පිංවත ලෝකයේ මහා බලවතා වෙන්නේ ඇමෙරිකාව හෝ වෙනත් රාජ්‍යයක් නොවේ. ලෝකයේ මහ බලවතා වෙන්නේ අවිද්‍යාවයි. පංච නීවරණයන්ගේ ධනයෙන් බලවත්වෙන අවිද්‍යාව පෙර පිනට අදාළව සංස්කාර හේතුවෙන්ම සකස්කොට ගන්නා ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙන ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා. පිංවත ලෝකයේ බලවත් යැයි සම්මත රාජ්‍යයන්ගෙන් උපදෙස් හා ගුරුහරුකම් ගන්නවා යැයි කියන්නේ, අවිද්‍යාවෙන් උපදෙස් ගන්නවාය කියන කාරණයයි. පිංවත රාජ්‍යයක් හැටියට අපි හැමදාමත් උපදෙස් ගන්නේ දුකට අධිපති අවිද්‍යාව කියන මාර ධර්මයන්ගෙන්මයි.
පිංවත අවිද්‍යා අධිපතින්ගෙන් පාර අසා දැනගන්නා අපි, වර්තමානයේ සිත් සේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් සංවර්ධනය වෙලා තිබෙනවා නේද? පිංවත ලෝක බලවතුන් වෙන අවිද්‍යාවෙන් උපදෙස් අරගෙන මීට වඩා යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න එපා. පිංවත අවිද්‍යාව දෙන්න දන්නේ දුකටම මුල්වෙන පංච නීවරණ ධර්මයෝ පමණක්මයි. එය අවිද්‍යා මහා බලවතුන්ගේ වරදක් නොවේ. එය ඔවුනගේ ජන්ම ගතියයි. අවිද්‍යා බලවතුන්ගේ භාෂාව පංච නීවරණයෝමයි. ඔවුනගේ හැසිරීම ඇලීම් සහ ගැටීම් පමණක්මයි. ඔවුනගේ අරමුණ දුකට හේතුවෙන මාර ධර්මයෝ ලෝකය තුළ සංවර්ධනය කිරීමයි. පිංවත සතර අපායට පිරිස් බලය සපයන මේ ජාත්‍යන්තර මාර නියෝජිතයෝ අපේ සම්මා දිට්ඨියේ ඇස අන්ධ දේශපාලන අධිකාරියට වරප්‍රසාද ලබා දෙමින් මේ යන දේශීයත්වයට නුහුරු ගමන, මාරයාගේ මළ පුඩුවට ජනතාව ගොදුරු කොටදීමේ ගමනක්මයි.
පිංවත අතීත සංස්කාරයන් හේතුවෙනුයි අපේ දැනීම් සකස් වෙන්නේ. යම් පිංවතෙකුගේ අතීත අකුසල් වැඩිවෙන්න, වැඩිවෙන්න එම පිංවතාගේ වර්තමාන දැනීම් සකස් වෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන්ට අදාළවමයි. පිංවත දැන දැනම ලෝභ, ද්වේශ, මෝහ අකුසල් පොදි ජීවිතය කොටගත් පිංවතුන්ලාගෙන් වර්තමානයේ හෝ අනාගතයේ දී යහපත් ධර්මයෝ බලාපොරොත්තු වෙනවාය කියන කාරණය අයිති වෙන්නේ මෝහයටමයි. පිංවත නිවැරදි කරන්න බැරි, එහෙත් නිරෝධය කිරීමෙන් පමණක් නිදහස් විය හැකි අර්ථය ලෝකයයි. පිංවත නිවැරදි නොවන ලෝකය දෙස සිහිනුවණින් බලන්න. උතුම් ධර්ම විනය නමැති භාග්‍යවතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩසිටින මේ භාග්‍යවන්ත වර්තමානයේදිත් ශිල්පද බිඳ ගන්න මනුෂ්‍යයෝ, අකුසලය ජීවිතය කොටගත් මනුෂ්‍යයෝ, තමන් උපන් රට, ජාතිය, ආගම පෙනි පෙනී විකුණාගෙන කන මනුෂ්‍යයෝ, අල්ලස, දූෂණය, බොරුව තම හෘදසාක්ෂිය බවට පත්කොටගත් මනුෂ්‍යයෝ, පිංවත මේ අපි අකමැත්තෙන් වුව ද දකින්නේ නිවැරදි නොවන ලෝකයේ සැබෑ ජාන උරුමයයි.
පිංවත ධර්ම විනය නමැති ජීවමාන භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින මේ වර්තමානය මෙවන් අකුසලයේ විකෘතියක් නම්, අනාගතයේ දී ඇතිවෙන මෘග සංඥා ලෝකය මොනතරම් දුකේ වියරුවක් වේවි ද කියලා ඔබට සිතෙන්නේ නැති ද? පිංවත කරුණාකර ඒ අනාගත මෘග සංඥා වියරුව ගැන සිතන්න එපා. එම සිත චිත්තානුපස්සනාවෙන් අනිත්‍ය යැයි දකින්න. චිත්තානුපස්සනාවත් අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් හැටියටම දකින්න. පිංවත දැන් ඔබ තුළ වැඩෙන සම්මා සමාධිමත් සිතයි ඔබට වැදගත් වෙන්නේ. පිංවත් ඔබ අනාගත මෘග සංඥාව ගැන සිතන්න ගියොත් ඔබේ ලෝකය ඇලීම් සහ ගැටීම් හේතුවෙන් විතර්ක තුළ තව තවත් සංස්කාරයෝමයි පෝෂණය කරන්නේ. පිංවත විතර්කයන්ට විරාමයක් තබා, උපදින සති සම්බොජ්ඣංගයමයි අනාගත පංච උපාදානස්කන්ධ දුක කෙරෙහි විතර්ක කිරීම නොව අවබෝධයෙන්ම කළකිරීම ඇතිකොට දෙන්නේ.
උසස් අධ්‍යාපනය ලබන දරුවෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, පාඩම් කරනකොට නින්ද යනවා, ඊට හේතුව කුමක් ද කියලා. පිංවත භාවනා කරනකොට නින්දයෑමේ ප්‍රශ්නයක් මුගලන් මහෝත්තමයන් වහන්සේටත් තිබුණා. හැබැයි ඒ වෙනකොට උන්වහන්සේ උතුම් අරිහත්ඵල අවබෝධය ලබලා තිබුණේ නැහැ. උන්වහන්සේ භාවනා කරන විටදි නින්දයෑමේ ස්වරූපය සිහිපත් වෙද්දී, උන්වහන්සේ අවම වශයෙන් සේවාන්ඵල අවබෝධයවත් ඒ අවස්ථාවේ දී ලබා නොතිබෙන්න ඇති.
බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා, මුගලන් මහෝත්තමයන් වහන්සේ තුළ තිබුණ ථීනමිද්ධය පෙර අකුසල් සංස්කාරයන්ගේම ඵලයක්ය කියලා. බුදුරජාණන් වහන්සේගේ කල්‍යාණමිත්‍රභාවය තුළින් මුගලන් මහෝත්තමයන් වහන්සේ කුසල් සහ අකුසල් දෙධර්මයෝම අනිත්‍ය වශයෙන් අවබෝධ කොටගෙන උතුම් විදර්ශනාවෙන් සුපිරිසිදු වූ අරිහත්ඵල අවබෝධයෙන්, ථීනමිද්ධය පමණක් නොව භව දුකත් ජය ගන්නවා. පිංවත් දරුවෙනි, ලෞකික සැපය සොයන ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, මෛත්‍රිය, ත්‍යාගය තිබෙන තාක්කල් දිනාගන්න බැරි ධර්මතාවයක් ඔබලාට නැහැ. පිංවත් දරුවන් පාඩම් කරන වේලාවේ දී ථීනමිද්ධයට යට වෙන්න එපා. ථීනමිද්ධය හේතුවෙන් ගැටෙන සිත් ඇතිකොට ගන්න එපා. ථීනමිද්ධයට ඇලීම් ඇතිකොටගෙන නින්දට බාර දෙන්න එපා. කරුණාකර ථීනමිද්ධය අකුසලයක් බව හඳුනාගෙන කුසලයෙන් නැගී සිටින්න. පිංවත් දරුවන් ථීනමිද්ධය ඇතිවෙන සෑම මොහොතකම නිදිමතට යට නොවී නිදිමතට සුවපත් වේවා යැයි සිතන්න. නිදිමතට ඇලීම හෝ ගැටීම නිදිමතට උපකාර කළා වෙනවා. නිදිමත සිහිපත් වෙද්දී සුවපත් වේවා යැයි සිතන්න. නැවත නැවත සිතන්න. ඔබේ මුවගට සිනා රැල්ලක් නගා ගනිමින් නිදිමතට සුවපත් වේවා යැයි සිතන්න. ථීනමිද්ධය වෙනුවට ප්‍රීතිය සහ පස්සද්ධිය ජීවිතයට එකතු කොටගන්න. පිංවත ථීනමිද්ධය යටපත්කොට ඔබ ලබන ප්‍රීතිය, පස්සද්ධියමයි නොවිසිරුණු සිතකින් ඔබව අකුරට යොමු කරන්නේ.
පිංවත ලෞකික අරමුණු උදෙසා පාඩම් කරන දරුවෙක් තම අධ්‍යාපන කටයුතුවලට හොඳින් අවධානය යොමු කරනවා වගේම අධ්‍යාපනයෙන් පසුව තමන් බලාපොරොත්තු වෙන වෘත්තිය ජීවිතය පිළිබඳව තෘෂ්ණාව ඇතිකොට ගන්න දක්ෂ වෙන්න ඕනේ. සිහින දැකීම අනිත්‍ය වූ මනෝ විඤ්ඤාණයක් බව ඇත්ත. ඒත් පාඩම් කරන ඔබ අනාගතය ගැන සිහින දකින්න ඕනේ. මම අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක් වෙනවා යැයි සිහින දකින්නම ඕනේ. එම සිහින තුළ ජීවත් වෙන්න ඕනේ. අනාගත ලෞකික සැපයන් කෙරෙහි ඔබ ඇතිකොටගන්නා තෘෂ්ණාවට පුළුවන්, වර්තමාන අධ්‍යාපනය කෙරෙහි ඔබ තුළ ඇතිවෙන ථීනමිද්ධය පරාජය කොට නැගී සිටින්න. පිංවත් දරුවෙනි ඔබ අනාගතය ගැන සිහින දැකිය යුත්තේ සියළු සහෝදර සිසු දරුවන්ට මෙත් සිතින් මිස තරඟකාරීව නම් නොවේ. අතීත භව ගමනේ දී අන්‍යයන් පරදවා තරඟකාරීව අන්‍ය සිසු දරුවන්ට මානසිකව පීඩාකොට ඔබ අධ්‍යාපන ජයග්‍රහණයන් ලැබීමේ අකුසල් විපාකයන් හේතුවෙන් මේ ජීවිතයේ දී පාඩම් කරනකොට ථීනමිද්ධය ඇතිවෙන්න පුළුවන්. පිංවත් දරුවෙනි පාඩම් කරනකොට ඔබට ථීනමිද්ධය ඇති වෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ අවවාදයන්ට අදාළව ඔබේ සංඥාව වෙනස් කොටගන්න. පිංවත් ඔබට නිදිමත ඇති වූ අධ්‍යාපන කටයුත්ත මොහොතක් නවතා මෛත්‍රී සංඥාවට යොමු වෙන්න. පිංවත් දරුවන්ට අකුසල් යටපත් කොටගෙන නැගී සිටීමේ හොඳම සංඥාව මෛත්‍රී සංඥාවයි. පිංවත් දරුවන් වැරදි මංපෙත් ඔස්සේ අධ්‍යාපන ජයග්‍රහණයන් සොයාගෙන යෑම හරිම අනතුරුදායකයි. අසීමිත තරඟකාරී තෘෂ්ණාව ඉදිරියේ සම්මා දිට්ඨියේ අර්ථයන් පසුබසින සමාජයක අපි දුර නොබලා ළඟ පමණක් බැලීම, සමාජගතවෙන විනාශයන්ට මූලික හේතුව වෙලා තිබෙනවා. පිංවත උපරිම අවුරුදු හැත්තෑ පහක (75) ජීවිතයක් අපිට නිවැරදිව, නිරෝගීව කළමනාකරණය කොටගැනීමට නොහැකි නම් අපි කෙසේ කවදාක නම් මේ අති දීර්ඝ අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය නිරෝධය කොට ගන්න ද? පිංවත් දරුවෙනි, ඔබලා පාඩම් කිරීමේ දී ඇතිවෙන ථීනමිද්ධය වළක්වා ගන්න දුම්වැටි, බීඩි, මත්ද්‍රව්‍ය වැනි අකුසල් බීජයන්ට යොමුවීම උතුම් තෙරුවන්ට දක්වන අකීකරුභාවයක්ම වෙනවා. අධ්‍යාපනය ලබන තරුණ ජීවිතයේදීම තෙරුවන්ට අකීකරු වෙන ඔබ, අනාගත මෙලොව සහ පරලොව ජීවිතය කෙසේ නම් සාර්ථක කොටගන්න ද? පිංවත මනුෂ්‍යකම්, ශීලාචාරකම් මරාගෙන ඔඩුදුවන තෘෂ්ණාවේ මාරාවේශය දුක හැර අන් සියල්ලම විනාශකොට දමද්දී, පිංවත් දරුවෙනි පින ඉදිරියේ අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටියදීම ගුරු ගෙදරින් අංගුලිමාල කෙනෙක් බිහි වූ සංස්කාර ලෝකයකයි ඔබත්, භික්ෂුවත් ජීවත් වෙන්නේ. පිංවත නිවැරදි නොවන පංච උපාදානස්කන්ධ ලෝකය වැරදි නැහැ. නිවැරදි නොවන ලෝකය තුළ අපි තවමත් ප්‍රමාදිවීමයි වරද වෙලා තිබෙන්නේ.
පිංවත අපි හැමෝම නිරෝගී ඇස් දෙකක් ලබන්න කැමතියි නේද? අපේ ඇස් පෙනීම දුර්වල වුණොත්, ඇස්වල තුවාල ඇති වුණොත්, ඇස් අවපැහැ ගැන්වුණොත් එය අපිට මොනතරම් නම් මානසික පීඩාවක් ද? පිංවත නිරෝගී නිල්වන් පැහැ ඇස් දෙකක් යැයි කියන්නේ කුසල් සංස්කාරයන්ගේම සුන්දර ඵලයක්. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, ඔබට නිරෝගී, නිල්වන් පැහැ දෑසක් ලබන්න අවශ්‍ය නම්, ඔබේ ඇස් දෙකෙන් අනුන් දෙස ක්‍රෝධයෙන්, වෛරයෙන්, පළිගැනීමේ චේතනාවෙන් බලන්න එපාය කියලා. අනුන් දෙස අපහාසයෙන්, අනුන්ව රිදවන චේතනාවෙන් සහ අනුන් දෙස රවා, ඔරවා බලන්න එපාය කියලා. පිංවත පෙර පිනට ලැබුණු ඔබේ ඇස් දෙකෙන් අනුන්ව සුවපත් වේවා, අනුන්ට යහපතක් වේවා යන චේතනාවෙන්ම දකින්න. ඔබේ අහිංසක ඇස් දෙකෙන් අනුන් දෙස රවා, ඔරවා බලන්න එපා. පිංවත ඔබේ දෑස් වලින් බලන බැල්මෙන් ශිල්වත් අනුනගේ සිත් තුවාල කළොත්, ඔබේ දෑස්වල අනාගතයේ දී තුවාල ඇති වෙන්න පුළුවන්. පිංවත ඇසෙන් බලනා වංචාකාරී, කපටි බැල්මකින් අහිංසක ජීවිත විනාශකොට දමන, අතරමං කොටදමන සිදුවීම් සමාජය තුළ බොහෝම වේගවත් වෙලා තිබෙනවා. පිංවත ඔබේම ඇස් දෙක ඔබේම දශ අකුසල් ධර්මයන්ගෙන් රෝගීභාවයට, අන්ධභාවයට පත්කොට ගන්න එපා. මෙම සටහන කියවන ඔබ මොහොතක් ඔබේ දෑස් වලින් සමස්ත සත්ත්ව ප්‍රජාවම දෙස මතකය අවදිකොටගෙන සෑම සත්ත්වයෙකුටම යහපතක්ම වේවා, සුවපත් වේවා යැයිම දකින්න. පිංවත ඔබේ දෑස කුසලය උදෙසා උපයෝගී කොටගන්න. ඔබේ ඇස් දෙක, දෑසේ නිරෝධය උදෙසාම උපයෝගී කොටගන්න. පිංවත ඔබ, ඔබේ දෑසින් අනුනගේ සැපය දකින්න අකමැති වුණොත්, ඔබේම ඇස් දෙකට අදාළ නිරෝගී සැපය අකුසලය විසින් ඔබෙන් උදුරා ගනීවි.
පිංවත කාත් කවුරුවත් නැති, අවිද්‍යාව ආහාරය කොටගත් පංච උපාදානස්කන්ධ ලෝකයක, අපේම අතීත සංස්කාරයන්ගේ පිහිටෙන් ලෝකය දකින අපි, ඉවරයක් නැති දුකක් තවමත් විඳින්නේ, සළායතනයෝ හේතුවෙන් සකස්වෙන ඵස්ස, වේදනාවෝ නිසාමයි. පිංවත ඇසෙන් දකින රූප කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් ඉදිරියේ ඇස ඔබට මාර ධර්මයක්ම වෙනවා. පිංවත අපි ඇසෙන් දකින ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. එම දුක අයිති වෙන්නේ දුක්ඛ සත්‍යයට. පිංවත දුකට හේතුව තෘෂ්ණාවයි. අපේ තෘෂ්ණාව වැඩිවෙනකොට අපේ ඇලීම් සහ ගැටීම් වැඩි වෙනවා. එවිට අපිටත් හොරා අපේ අකුසල් මූලයෝ ඉහවහා යනවා. එවිට ප්‍රියයන් අපෙන් වෙන්වෙලා යන්නේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඉරිතලා ගෙනමයි. පිංවත දුකට අයිති ලෝකය තුළ ප්‍රිය ධර්මයෝ දුර්ලභයි. එය ලෝකයේ වරදක් නොව, අකුසල් සංස්කාරයන්ගේම හැඩරුවයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023 දෙසැම්බර් මස 03 වන ඉරුදින දිවයින පුවත්පත