චතුරාර්ය සත්‍යය, ධර්මයන්ගේ අමෘතයයි.

පින්වත, සුන්දර වස්සානයේ දෙවැනි මාසයත් ගෙවිලා ගියා. පින්වත, වැස්ස හිඟ වස්සානය, සියලු සංස්කාරයෝ අනිත්‍ය දහම බොහෝම සරල භාෂාවෙන් ම අපිට කියලා දුන්නා. පින්වත, ඍතු නියාමයෝ වෙනස් වෙලා යන වේගය, ලොව්තුරු දහමේ “අරටුව”, ඕපනයිකව පැවිදි අපි තුළ තව තවත් ශක්තිමත් කොට දෙනවා. පින්වත, අදත් උදෑසන භික්ෂුව වස් අධිෂ්ඨානය පිළිබඳ සිහිනුවණ නැවත ආවර්ජනය කොට ගත්තා. පින්වත, වස් අධිෂ්ඨානය පිළිබඳව සිහිනුවණ නැවත ආවර්ජනය කොට ගනිද්දී, සිත සමාධියට පත් වෙනවා. පින්වත, එම සමාධියට පත් වෙන සිත, බුදුරජාණන් වහන්සේගේ පැනවීම් කෙරෙහි සති සම්බොජ්ඣංගය මයි ඇති කොට දෙන්නේ. පින්වත, සති සම්බොජ්ඣංගයෙන් උපදින ධම්ම විචය බොජ්ඣංගය බුදුරජාණන් වහන්සේත්, උතුම් ධර්ම විනයත් අනිත්‍ය වී යන සංස්කාරයෝ යැයි ධම්මානුපස්සනාවේ පෙරහන්කඩින් මයි ආස්වාදයේ මණ්ඩි රහිතව පෙරා දෙන්නේ. පින්වත, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට ගෙවී ගිය දින දෙකේ පුංචි පුංචි වැසි දෙකක් වැස්සා. පින්වත, පිපාසයෙන් මුහුණු නරක් කොට ගෙන සිටි කැලයේ ගස්කොළන් පුංචි දිය සීරාව වැදී යාන්තමට සිනාසෙනවා. පින්වත, දුකෙන් පිරුණ මනුෂ්‍ය ජීවිත සමාජය තුළ මොනතරම් නම් තිබෙනවා ද? පින්වත, මෙම අහිංසක ජීවිතවලට චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ දිය සීරාව වැදුණොත්, එම අහිංසක මුහුණුවල සිහින් සිනාවෝ මතු වේවි. පින්වත, ගිහි පින්වත් ඔබලා මහා සංඝ රත්නයට සිවුපසය පූජා කොට, පිනේ කදමළු පුරවා ගනිද්දී, ඇයි, පින්වත් ඔබලා චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අමෘතය ජීවිතයට නොගන්නේ? පින්වත, පින සිනාසෙද්දී, සිනහවත් අනිත්‍ය යැයි කියලා දෙන්නේ, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අමෘතය මයි.

පින්වත, රටේ සහ ලෝකයේ ප්‍රශ්න ගොඩාක් වැඩියි නේද? පින්වත් නායකකාරකාදීන්ගේ ‘තෘෂ්ණාව’ වැඩි වෙන කොට රටේ සහ ලෝකයේ ප්‍රශ්න වැඩි වීම හේතුඵල ධර්මයක් ම වෙනවා. පින්වත, රටේ සහ ලෝකයේ ප්‍රශ්න ගැන තලු මර මරා කතා කෙරුවත්, ප්‍රශ්නවලට හේතුව වන තෘෂ්ණාව ගැන කවුරුවත් ම කතා කරන්නේ නැහැ. පින්වත, ප්‍රශ්න ඉදිරියේ පෙරළා තෘෂ්ණාව මයි ශක්තිමත් කොට ගන්නේ. පින්වත, තෘෂ්ණාව බිමින් තියන්න, එවිට ප්‍රශ්නවලින් ඔබේ ඔළුව නිදහස් වේවි. පින්වත, මේ නිහඬ රාත්‍රියේ භික්ෂුවගේ ජීවිතය ප්‍රශ්නවලින් නිදහස් වෙලයි තිබෙන්නේ. පින්වත, භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත සංස්කාර හේතුවෙන් දැනීම් සකස් වෙනවා. පින්වත, එම දැනීම් භික්ෂුව පින්වත් ඔබට සටහන් තබනවා. පින්වත, ඔබේ සංස්කාරයන්ට අදාළව මෙම සටහන් ඔබ කැමැත්තෙන් පිළිගන්නත් පුළුවන්, ඔබ අකමැත්තෙන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. පින්වත, භික්ෂුව ඔබේ කැමැත්ත සහ අකමැත්තෙනුත් නිදහස් වෙනවා. පින්වත, සද්ධර්මයේ අමෘතය තිබෙන්නේ බොන්න නොවේ, “සියලු රස සහ නීරස රසයෝ අනිත්‍ය” යැයි අවබෝධ කොට ගන්න. පින්වත, අමෘතයට නොබැඳුණ පින්වතාට, තවත් බැඳෙන්න රසයක් නැහැ. පින්වත, ඔහු රස සහ නීරස යන අර්ථයන් දෙකෙන් ම නිදහස් වෙනවා. පින්වත, නිදහසට අපි තවමත් ගොඩාක් දුර නම්, මැරෙන්න පෙර කරුණාකර සිතා බලන්න, මැරුණාට පස්සේ පටිච්චසමුප්පන්නව කොහේ යළි උපදියි ද කියලා. පින්වත, තෘෂ්ණාවට පින් සිද්ධ වෙන්න, ප්‍රේත ලෝකයේ ජනගහනය ගොඩාක් වැඩි වෙනවා. පින්වත, මැරෙන මොහොතේ “මම”හෝ “මගේ” කිසිවක් ළඟට නම් ගන්න එපා. ඔබ, ඔබේ ලෝකය තුළ තෘෂ්ණාවෙන් තොරව තනි වෙන්න.

පින්වත, මුදල්වලට හැම දෙයක් ම මිල දී ගන්න බැහැ. පින්වත, බලයට හැම දෙයක් ම යටත් කොට ගන්නත් බැහැ. පින්වත, මිලක් හෝ වටිනාකමක් නැති ජීවිත කෙසේ නම් මිල කරන්න ද? පින්වත, කෙලෙස් බල කණු මුලින් ම උදුරා දැමූ ජීවිත කිනම් බලයකට යටත් වෙන්න ද? පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මිල කළ හැකි සහ යටත් විය හැකි සියලුම ලෞකික ධර්මයෝ පරාජය කොටයි වැඩ සිටියේ. පින්වත, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ අන්‍යශීලවෘතයෝ, පින්වත, කාම, රාග, පටිඝයෝ, පින්වත, පංච උපාදානස්කන්ධයෝ මනුෂ්‍ය අපිට කෙලෙස් වටිනාකම් ලබා දෙනවා. පින්වත, එම නිසා ම අපි විකිණෙනවා, එසේත් නැතිනම් අපි විකුණනවා. පින්වත, කෙලෙස් වටිනාකම් ඉදිරියේ අපි අනුනගේ බලයට යටත් වෙනවා. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ කෙලෙස් සහිත ලෝකයේ සැබෑම හැඩරුවයි. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ දී සක්කාය දිට්ඨියෙන් පෝෂණය වූ කාම, රාග, පටිඝයන්ට ලොකු මිලක් තිබෙනවා. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ කෙලෙස් අඟ පසඟවල හැඩ බලමින් මයි සක්කාය දිට්ඨියට සහ කාම, රාග, පටිඝයන්ට මිල නියම වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා කෙලෙස් වටිනාකම් නිරෝධය කරලයි වැඩසිටියේ. පින්වත, උන්වහන්සේලා තුළ පරිපූර්ණ වූ සම්මා ඥානයෝ, කෙලෙස් ධර්මයෝ විදර්ශනාවෙන් මයි විග්‍රහ කොට දෙන්නේ. පින්වත, අවිද්‍යාව පරිපූර්ණ වශයෙන් නිරෝධය වූ කල බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන්ට විකුණන්න හෝ විකිණෙන්න ලෝකයට අදාළව කිසිම ඉතිරියක් නැහැ. පින්වත, උන්වහන්සේලාගේ ජීවිත, විමුක්තියේ නිවී ගිය පංචස්කන්ධයක් පමණක් මයි.

පින්වත, අපේ ජීවිතවලට බලපාන අතීත අකුසල් සංස්කාරයෝ යටපත් කොට ගෙන කුසලයෙන් නැගී සිටීමට නම්, අනිවාර්යයෙන් ම අපිට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පෝෂණය වූ කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්න ම ඕනේ. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් පින්වතා, අකුසලයේ ගොදුරක් බවට ම පත් වෙනවා. පින්වත, ඔහු කුසල් සහ අකුසල් විපාකයෝ හඳුනන්නේ නැහැ. පින්වත, ඔහු කුසලයත් ‘මම’ ය කියලා දකිනවා. ඔහු අකුසලයත් ‘මම’ ය කියලා ම දකිනවා. පින්වත, “මේක මගේ කරුමය” යැයි කියලා ජීවිතය අකුසලයට ම ඇද දමා ගන්නා පින්වතුන්ලා සමාජය තුළ මොනතරම් නම් සිටිනවා ද? පින්වත, “මේක මගේ පින” යැයි සළායතනයෝ පිනවමින්, අකුසල් මූලයෝ වඩමින් පින ගින්දරක් කොට කොට ගන්නා පින්වතුන් මොනතරම් නම් සිටිනවා ද? පින්වත, මෙය සටහන් තබන භික්ෂුවටත් අකුසල් සංස්කාරයෝ නිරතුරුව ම විපාකයට පැමිණෙනවා. පින්වත, භික්ෂුවගේ ජීවිතයට කුසල් සංස්කාරයෝත් නිරතුරුව ම විපාකයට පැමිණෙනවා. පින්වත, භික්ෂුව විපාකයට පැමිණෙන කුසලය, කුසලය හැටියටත්, අකුසලය, අකුසලය හැටියටත් සිහිනුවණින් හඳුනා ගන්නවා. පින්වත, සංස්කාරයෝ කෙරෙහි සිහිනුවණ ශක්තිමත් වෙද්දී, සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය හෙවත් දැනීම්වලට අයාලේ යන්න බැහැ. පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණයට, පින සහ පව මුල්කොට ගෙන ලෝකය හිනස්සන ‘විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයෝ’ පෙන්වන්න බැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දක්‍ෂ විය යුතුයි, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ’ යැයි කියන ධර්මතාවය තුළින් විපාකයට පැමිණෙන පින සහ පව, ආර්ය විවේකයක් බවට ම පත් කොට ගන්න. පින්වත, කැලෑ පරිසරයේ මේ නිසල රාත්‍රිය පැවිදි ශ්‍රාවකයන්ට, සියලු සංස්කාරයන්ට දොර අගුල් දැමූ රාත්‍රියක් මයි, පින්වත, එහෙත් අතීත සංස්කාරයන්ට ජීවිතය විවෘතයි.

පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයට, රටට, ජාතියට, කලාවට, අධ්‍යාපනයට හිරි ඔතප් දෙක එන්නත් කළ පරම්පරාවක් ජාතියෙන් සමු ගන්නවා. පින්වත, හිරි ඔතප් යැයි කියන්නේ මනුෂ්‍ය ධර්මයන් ඉක්මවා ගිය දේව ධර්මයන්ට. පින්වත, දෙවියන් වගේ විනයගරුකව තම යුතුකම් ඉටු කළ මනුෂ්‍යයෝ ජාතියට සමුදීලා සුසාන භූමිවල මිහිදන් වෙනවා. පින්වත, ජාතියේ යහපත් සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ, අනාගත ජාතියේ හිරි ඔතප් කියන අර්ථයෝ සුනු විසුනු කොට දමලා. පින්වත, හිරි ඔතප් නමැති දේව ධර්මයෝ මනුෂ්‍ය ජීවිතවලින් සමුගනිද්දී, එම හිස් තැන පුරවන්නේ හිරි ඔතප් දෙක නැති ප්‍රේත, යක්‍ෂ, “මනුෂ්‍ය” ධර්මයන්ගෙන් මයි. පින්වත, අතීතයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවී යද්දී, එදා ජීවත් වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ මොනතරම් නම් කම්පා වෙන්න ඇති ද, අනාගත ශාසනයට කුමක් වේවි ද කියලා. පින්වත, අනේපිඬු සිටුතුමා, විශාකා උපාසිකාව ආදි වූ පූර්වාදර්ශී ගිහි පින්වතුන්ලා මිය යද්දී, එදා ජීවත් වූ සත්පුරුෂ මනුෂ්‍යයෝ මොනතරම් නම් කම්පා වෙන්න ඇති ද, ගිහි සමාජයේ ගුණාත්මකභාවයට අනාගතයේ දී කුමක් වේවි ද කියලා. පින්වත, පටිච්චසමුප්පන්න අපේ සංස්කාරයෝ හරිම පුණ්‍යවන්තයි. අපි තාමත් අකුසලය කෙරෙහි හිරි ඔතප් සහිත යහපත් සංස්කාරයෝ භුක්ති විඳිනවා. පින්වත, සමස්ත ජාතියට ම පූර්වාදර්ශී වූ, විනයගරුක, යහපත් මනුෂ්‍යයෝ මිය යද්දී, ජීවත්ව සිටින අපේ අකුසල් ධර්මයෝ කෙරෙහි හිරි ඔතප් දෙක මිය යන්න දෙන්න හොඳ නැහැ. පින්වත, ජාතියෙන් සමුගන්නා අකුසලය කෙරෙහි හිරි ඔතප් දෙක ආරක්‍ෂා කොට ගත්, ජාතිමාමක, දේශමාමක එක පින්වත් සත්පුරුෂයෙක් වෙනුවෙන් පෙරළා අපි සැවොම අකුසලය කෙරෙහි හිරි ඔතප් දෙක ඇති කොට ගනිමු. පින්වත, යහපත් සංස්කාරයෝ වෙනස් වෙලා යද්දී, පෙරළා අපි සිදු කොට ගන්නා යහපත් සංස්කාරයෝ මයි, යළි යළිත් යහපත උදා කොට දෙන්නේ. පින්වත, අපි මිය යන්න ඕනේ, අපිට හොඳ සහ නරක කියලා දුන්, සත්පුරුෂ කල්‍යාණමිත්‍ර ධර්මයෝ ඊළඟ පරපුරට ආරක්‍ෂා කොට තබලා මයි. පින්වත, නොවටිනා ලොවක, වටිනා ම දහම, රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයට ගොදුරක් කොට දෙන්න එපා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ.

උපුටා ගැනීම – 2026 සැප්තැම්බර් 27 ඉරිද දිවයින පුවත්පතින්.