කාමච්ඡන්දයන්ගේ කේන්තිය, විසිරුණ සිතුවිලි ජීවිතයෙන් අඩු කොට ගන්න.

පින්වත, මේ උදා වෙලා තිබෙන්නේ පුණ්‍යවන්ත චීවර මාසය. පින්වත, මනුෂ්‍ය ලෝකයේ වැඩිපුරම අටමහා කුසල් ධර්මයෝ සිදු වන මාසය චීවර මාසයයි. පින්වත, ගෞරවනීය මහා සංඝ රත්නය වස් පවාරණයන් සිද්ධ කරලා, චීවර මාසයට එළඹෙන්නේ, අයෝමය කුසල් ශක්තියකින් තම පැවිදි ජීවිත ආලෝකවත් කොට ගෙනයි. පින්වත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශක්තිය තුළින් මයි. පින්වත, උතුම් උපසම්පදා භික්ෂුවකගේ “තුන්සිවුරත්”, “ප්‍රාතිමෝක්‍ෂ ශීලයත්” යැයි කියන්නේ වෙන් කළ නොහැකි එකට බැඳුණා වූ ධර්මතාවයන් දෙකක්. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව උතුම් පැවිදිභාවයට පත් වීමට චීවරය පෙරවූ මුල්ම සාමණේර අවස්ථාවේ දී, භික්ෂුවට දැනුණේ, “මුළු ලෝකයෙන් ම නිදහස් වුණා” වගේ සැහැල්ලුවක්. පින්වත, එතෙක් පැවති ගිහි ගති, මකා දමන්න චීවරය පොරවාගත් පැවිදි ජීවිතයකට අයෝමය ශක්තියක් ලැබෙනවා. පින්වත, මේ නිමේෂයේදීත් භික්ෂුවගේ තුන්සිවුර සිහිපත් වෙද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව මයි; පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් පණ ලබන, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා චීවර ප්‍රත්‍යවේක්‍ෂාව තුළින් තම චීවරය නිවන උදෙසා කැප කළ චීවරයක් බවට පත් කොට ගන්න දක්‍ෂ විය යුතුයි. පින්වත, අශ්‍රද්ධාවැති පින්වතෙකුට උතුම් චීවරයක් ගලවා දැමීම, කලිසමක්, කමිසයක් ගලවනවා වගේ බොහෝම ලෙහෙසි පහසු කටයුත්තක් වුවත්, උතුම් චීවරයක් පොරවා ගැනීම යනු, මහා කෙලෙස් යුද්ධයකින් ලබන ජයග්‍රාහී පුණ්‍ය විජයග්‍රහණයක් මයි. පින්වත, අතීත සාංසාරික දැනීම් නිසා ම, දෙවියන් සහ අමනුෂයයන් පවා චීවරයක් පොරවාගත් භික්ෂුවකට පුදුමාකාර ගෞරවයක් සහ බියක් දක්වන්නේ. පින්වත, ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශක්තිය, උතුම් චීවරයේ බලයයි.

පින්වත, පසුගිය සති දෙක පුරාවට භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට ඇළ වේලි දොරේ ගලා යන්න වැස්සා. පින්වත, මේ දින දෙකේ වැස්ස හොඳටෝම පායලා. පින්වත, වැස්ස පායපු දින දෙකට කුටිය ඉදිරිපිට ඇළේ වතුර සිඳිලා, නිරුවත් වැල්ලේ පුංචි දිය සීරාවක් ගලාගෙන යනවා. පින්වත, මේ දිය සීරාවට ගමේ ඇත්තෝ කියන්නේ ‘උල්ලාරං නැගෙනවා’ කියලයි. පින්වත, පරිසරයට හොඳටෝම ඇඳිරි වැටුණ, සුළඟක සේයාවක්වත් නැති මේ නිශ්චල රාත්‍රියේ කැලයේ ගහකොළ සීරුවෙන් සිටගෙන සිටිනවා. පින්වත, පරිසරයේ නිශ්චලභාවය වගේ ම, භික්ෂුවගේ සිතත් හරිම නිශ්චලයි. පින්වත, මේ නිශ්චල රාත්‍රියේ භික්ෂුවගේ ඵස්සය ආහාර සොයන්නේ නැහැ. පින්වත, තෘෂ්ණාවේ බඩගින්නට භික්ෂුව දෙන්නේ විදර්ශනාවේ සම්මා ඥානයෝ මයි. පින්වත, මේ රාත්‍රියේ බරක් නැති ජීවිතයක ප්‍රණීත සහ අප්‍රණීතභාවය නැති සැහැල්ලුවක් භික්ෂුවට දැනෙනවා. පින්වත, ඔබේ ජීවිතයට මේ රාත්‍රියේ බරක් දැනෙනවා ද? පින්වත, ඔබට බියක් තිබෙනවා ද, මේ බර නිසා ම, ඔබේ ජීවිතය අකුසලයේ ගිලී යාවිය කියලා. පින්වත, ඔබේ නිසල ජීවිතයට කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි සහ විචිකිච්ඡාවේ බර පුරවා ගන්න එපා. පින්වත, ඉහත පංච නීවරණයෝ පුරවා ගත්තා වූ ජීවිතය කළු ගලක් වගේ ම බරක් මයි. පින්වත, කාමච්ඡන්දයේ කේන්තිය, විසිරුණ සිතුවිලි ටික ටික ජීවිතයෙන් අඩු කොට ගන්න. පින්වත, එවිට ඔබව පංච නීවරණයන්ගේ බරට අකුසලයේ ගිලී යන්නේ නැහැ. පින්වත, අවම වශයෙන් ඔබ දක්‍ෂ වෙන්න, අකුසලයේ ම නොගිලී, කුසලය සහ අකුසලය අතර සමබරව සිටගන්න. පින්වත, සුළඟ නැති මේ රාත්‍රිය, ඇලීම් සහ ගැටීම් දෙදිශාවට නොදුවවන, ධර්මයෙන් එක්තැන් වුණ ජීවිතයක් වගේ මයි.

පින්වත, උතුම් සම්මා දිට්ඨිය යැයි කියන්නේ දුකට වැට බඳින දහමක්. පින්වත, සම්මා දිට්ඨියේ වැටට පුළුවන්, අපේ කුසලයට අදාළ භවභෝග සම්පත් වන මෛත්‍රිය, ශීලය, ත්‍යාගය ආදි වූ යහපත් ධර්මයෝ ආරක්‍ෂා කොට දෙන්නට. පින්වත, ඔබේ සම්මා දිට්ඨියේ වැට ශක්තිමත් කොට ගන්න, එවිට මිථ්‍යා දෘෂ්ටියේ සොරසතුරන්ට කුසලයට අදාළ ඔබේ භවභෝග සම්පත් සොරකම් කරන්න බැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “පින්වත් මනුෂ්‍යයා තමාගේ ආරක්‍ෂාව පතා තමාගේ සෞභාග්‍යය පතා විවිධාකාරී වූ යාගයන් සිද්ධ කරනවා” ය කියලා. පින්වත, සමහරු තිරිසන් සතුනගේ සහ මනුෂ්‍යයන්ගේ බෙලි අමු අමුවේ කපා දමා යාග කරනවා. පින්වත, තවත් සමහරු එළඟි තෙල් සහ සඳුන්, රත් සඳුන් දැව, සුවඳ දුම් පුච්ච පුච්චා යාග කරනවා. පින්වත, තවත් සමහරු යුද්ධ කරමින් මිනිසුන්ගේ ලෙයින්, කඳුළින්, විනාශයෙන් නැගෙන අඳෝනාවන්ගෙන් තම ආරක්‍ෂාව පතා යාග කරනවා. පින්වත, තවත් සමහරු බලි තොවිල් කරමින් තම ආරක්‍ෂාව පතා යාග කරනවා. පින්වත, ඉහත සෑම යාගයක් ම අයිති වෙන්නේ දුකට හේතු වන මිච්ඡා යාගයන්ට යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, මේ ලෝක ධාතුවේ ඔබේ මෙලොව සහ පරලොව ආරක්‍ෂාව සහ සෞභාග්‍යය සහතික කොට දෙන සම්මා යාගය උතුම් ශීලයේ ශක්තිය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, මිච්ඡා යාගයෝ බලවත් වෙන ලෝකයක පින්වත් ඔබ, ඔබේ ආජීව අට්ඨමක ශීලයේ යාග භූමිය ශක්තිමත් කොට ගන්න. පින්වත, එවිට සමාජගත වෙන අධර්මයෝ, ධර්මයේ ශක්තියෙන් දුර්වල වෙලා යාවි.

පින්වත, ලස්සන, අර්ථවත් චතුරාර්ය සත්‍යය දහමක් අපිට තිබුණත්, අපි කැමති ලෝභ, ද්වේශ, මෝහයන් ම තිරිහන් කරන අවලස්සන, අනර්ථවත් ධර්මයන්ට මයි. පින්වත, ඊට වරදකරු ඔබ හෝ භික්ෂුව නොවේ. පින්වත, ඊට වරදකරු සංස්කාර හේතුවෙන් සකස් කොට ගන්නා දැනීම්වල සැබෑම රුවගුණයි. පින්වත, ඔබ දෑස් පියාගෙන මොහොතක් “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි සිහිනුවණින් දකින්න. පින්වත, එවිට යහපත් සහ අයහපත් සියලුම අතීත, වර්තමාන සහ අනාගත දැනීම් තාවකාලිකව විවේක ගනීවි. පින්වත, හැබැයි එම විවේකයට ‘නිවන’ යැයි රැවටෙන්න නම් එපා. පින්වත, එම විවේකය ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’, ‘සංස්කාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ’ යැයි ඔබේ දෘෂ්ටි විශුද්ධිය ම මුවහත් කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, විදර්ශනාවේ කෙටි ආස්වාදය, ඔබේ ළදරු ප්‍රඥාවේ හිස අත ගා ටොකු අනින්න හරිම දක්‍ෂයි. පින්වත් ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, “මා තුළ ‘මම’ කියලා කෙනෙක් දකින්නේ නැහැ” ය කියලා. පින්වත, තවත් ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, “මා තුළ ‘මම’ දකිනවා” ය කියලා. පින්වත, මේ සියලු දෘෂ්ටි මතවාදයෝ අපි තුළ ඇති වෙන්නේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයන්ට අදාළව අපේ දැක්ම නිවැරදි කොට නොගැනීම නිසා මයි. පින්වත, ඔබ ඇති කොට ගන්නා සම්මා සමාධිමත් සිතට ඔබ දිය යුතු මුල්ම කමටහන පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය සහ නිරෝධයේ නිවැරදි දැක්ම මයි. පින්වත, ඔබ ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’ යැයි නුවණින් මෙනෙහි කළත්, ‘සළායතන නිරෝධා ඵස්ස නිරෝධෝ’ යැයි නුවණින් මෙනෙහි කළත්, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධයෝ තාවකාලිකව සුන්බුන් ගොඩක් බවටයි පත් වෙන්නේ.

පින්වත, උතුම් මහා සංඝ රත්නය යැයි කියන්නේ මේ ලෝක ධාතුවේ උත්තම පුරුෂයන් අට දෙනාටයි. පින්වත, මේ උත්තම පුරුෂයන් අට දෙනාට මහා බ්‍රහ්මයා අයිති නැහැ; ශක්‍ර දෙවියන් අයිති නැහැ; මේ රටේ පින්වත් රජතුමා අයිතිත් නැහැ. පින්වත, මේ සියල්ලන්ට ම වඩා මහා සංඝ රත්නය ශ්‍රේෂ්ඨයි. පින්වත, ඊට හේතුව උන්වහන්සේලා සතු සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෝ මයි. පින්වත, මේ දිනවල බෞද්ධ ගිහි පින්වතුන්ලා මහා සංඝ රත්නයට ගරු කරනවා ගොඩාක් වැඩි වෙලා. පින්වත, කිසියම් පාර්ශ්වයක් මහා සංඝ රත්නයට අකීකරු වෙනවා නම්, මහා සංඝ රත්නය නොසලකා හරිනවා නම්, ගිහි පින්වතුන්ලාගේ කරුණාව ගලාගෙන එන්නේ මහා සංඝ රත්නය දිශාවටයි. පින්වත, මේ මොහොතේ මහා සංඝ රත්නය ලබන ගෞරවයට හේතු වූ, මහා සංඝ රත්නයට අකීකරු වෙන පාර්ශ්වයන්ට අපි මෙත් සිතින් පින් අනුමෝදන් කරන්න ඕනේ. පින්වත, එය මයි සංඝයාගේ උතුම් ගුණයන් යැයි කියන්නේ. පින්වත, යම් පින්වතෙක් රජ වෙන්නේත්, මැති, ඇමති වෙන්නේත් පටිච්චසමුප්පන්නව මහා සංඝ රත්නය අරමුණු කොට, උතුම් තෙරුවන් මුල්කොට ගෙන සිදු කොට ගත්තා වූ පින්කම් සහ ආශීර්වාදයන් මුල් කොට ගෙන මයි. පින්වත, ‘කෘතවේදීභාවය’ ලෝකයේ හතරවෙනි දුර්ලභ කාරණය බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, කෘතවේදීභාවය මරා දැමූ තැන උපදින්නේ, අසත්පුරුෂභාවයෝ මයි. පින්වත, ගෞරවනීය සංඝ සමාජයේ අපිත් දෙපැත්ත කැපෙන “දිව” නමැති තියුණු කෙටේරිය, මධ්‍යස්ථභාවයෙන් යුතුව හසුරුවා ගන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, පැවිදි අපි කතා කරන සෑම වචනයකින් ම ගෞරවනීය සංඝ සමාජයේ ආත්ම ගරුත්වය කෙලෙසීමට නොව, සංඝ සමාජයේ ම පින, කුසලය, නිවන උදෙසා ඉන්ද්‍රිය සංවරභාවයේ අවියක් කොට ගන්න පැවිදි අපි සිහිනුවණ ඇති කොට ගන්න ඕනේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.

උපුටා ගැනීම – 2026 නොවැම්බර් 01 ඉරිදා දිවයින පුවත්පතින්.