පින්වත, ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේවයෝ මනුෂ්ය ජීවිතවලට හරිම අභියෝගයක්. පින්වත, මේ අභියෝගයන් ඉදිරියේ පින්වත් මනුෂ්යයෝ සම්මතයන් ඉරාගෙන, අසම්මතයන් තුළ හැසිරෙනවා. පින්වත, සමාජයට අවශ්ය දුකෙන් මිදෙන්න දහමක් නොවේ. පින්වත, සමාජයට අවශ්ය දුක මඟ හැර ජීවත් වීමට ආරක්ෂාකාරී දහමක් පමණක් මයි. පින්වත, සංඝ සමාජයේ පුද්ගලයන් අටදෙනෙක් සිටිනවා. පින්වත, මෙම උතුම් පුද්ගලයන් අටදෙනා ශ්රද්ධානුසාරී සහ ධම්මානුසාරී තැන පටන් උතුම් රහත්ඵලය දක්වා වැඩ සිටිනවා. පින්වත, ශ්රද්ධානුසාරී සහ ධම්මානුසාරී ස්වාමීන් වහන්සේලා තුළ වැඩෙන්නේ ඉන්ද්රිය ධර්මයන්. පින්වත, එම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුළ තවම ආර්ය ශීලය, අචල ශ්රද්ධාව සහ පංච උපාදානස්කන්ධයේ අනිත්ය දැක්ම ඇති වෙලා නැහැ. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධයේ සිට උතුම් රහත් මාර්ගය දක්වා ස්වාමීන් වහන්සේලා තුළ වැඩෙන්නේ උතුම් බල ධර්මයන්. පින්වත, සතර පාරාජිකාවන්ට පත් නොවූ සෑම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ම ඉහත සංඝ සමාජයේ පුද්ගලයන් අටදෙනාට අයිති යැයි ධර්මානුකූලව භික්ෂුව විශ්වාස කරනවා. පින්වත, තමන් සතර පාරාජිකාවන්ට පත් වුණා යැයි නොපිළිගන්නා, ධර්ම විනය හදාරන, සද්ධර්මය දේශනා කරන යම් උපසම්පදා භික්ෂුවක් පෘථග්ජන යැයි අපි කෙසේ නම් ධර්මානුකූලව කියන්න ද? පින්වත, උන්වහන්සේලා ශ්රද්ධානුසාරී හෝ ධම්මානුසාරී “මාර්ගයේ” හෝ හික්මෙන, සංඝ සමාජයේ පුද්ගලයන් අට දෙනාට අයිති වෙනවා යැයි භික්ෂුව විශ්වාස කරනවා. පින්වත, සිල්වත් සහ දුසිල්වත් යැයි භේදයන් ඇති කොට, සංඝ සමාජයේ සමගිය දුර්වල කොට දැමීමේ පාපකර්මයන්ගේ පවුකාර ගොදුරක් බවට පින්වත් ඔබ පත් වෙන්න නම් එපා. පින්වත, ඉහත අදහසට ඔබ අකමැති නම් කරුණාකර සමාවෙන්න.
පින්වත, දුකට බර ලෝකය තුළ සතුට යැයි කියන්නේ දුර්ලභ දෙයක්. පින්වත, දුර්ලභ ධර්මයෝ අයිති අප්රමාදී මනුෂ්යයන්ට. පින්වත, ප්රමාදීභාවය අපේ සතුට, අපෙන් උදුරා ගන්නවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයෙක් හැටියට මෙය සටහන් තබන භික්ෂුවට, තමා උදෙසා කළ යුතු යුතුකම් පක්ෂයක් තිබෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවක් තමා උදෙසා කළ යුතු යුතුකම වෙන්නේ උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ ආරක්ෂාව තුළ ජීවත් වීමයි. පින්වත, උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ ප්රාතිමෝක්ෂ ශීලය භික්ෂුවක් තමා උදෙසා තමා සිදු කොට ගන්නා ශ්රේෂ්ඨ ම යුතුකම වෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවක් සමාජය උදෙසා කළ යුතු යුතුකම් පක්ෂයකුත් තිබෙනවා. පින්වත, භික්ෂුවක් සමාජය උදෙසා සාමීචිපටිපන්න ගුණයෙන් තම යුතුකම් ඉටුකළ යුතු වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව ප්රාතිමෝක්ෂ ශීලය තුළින් තමාටත්, උතුම් සාමීචිපටිපන්න ගුණය තුළින් සමාජයටත් වර්තමානයේ අකුරට ම යුතුකම් ඉටු කරන නිසා ම, සත්යකින් ම භික්ෂුවට අනාගතය පිළිබඳව බියක්, විචිකිච්ඡාවක් නැහැ. පින්වත, භික්ෂුවට සුගතිය පිළිබඳව සහ සම්මා ඥානයෝ පිළිබඳව සැකයක්, විචිකිච්ඡාවක් නැහැ. පින්වත, භික්ෂුව අනාගතයේ ප්රීතියෙන්, පස්සද්ධියෙන් ජීවත් වෙන්නේ අතීතයේ සහ වර්තමානයේ භික්ෂුවගේ යුතුකම් කොටස අකුරට ම ඉටු කළ නිසා මයි. පින්වත, ඔබට අනාගතයේ දී සතුටෙන් සහ සැනසිල්ලෙන් ජීවත් වෙන්න අවශ්ය නම්, වර්තමානයේ ඔබේ යුතුකම් කොටස අකුරට ඉටු කරන්න. පින්වත, සතුට, සැනසිල්ල දෙවියෙක් දෙන දෙයක් නොවේ. පින්වත, අනාගත සැපයට මාර්ගය, වර්තමානයේ ඔබේ ම කුසල් සිතෙනුයි මතු කොට ගත යුත්තේ.
පින්වත, මේ වස්සානයේ හැමදාමත් පිණ්ඩපාතය බෙදන්න පිණ්ඩපාත මඩුවට පින්වතුන්ලා පැමිණෙනවා. පින්වත, එම පින්වතුන්ලාගේ ඉන්ද්රිය ධර්මයන් එකිනෙකට වෙනස්. පින්වත, මේ සෑම පින්වතෙක් ම ශාසනයේ කොටස්කරුවෝ. පින්වත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට අවවාද කොට තිබෙනවා, “ගිහි පින්වතුන්ලාගේ ශ්රද්ධාව දුර්වල කරන්න එපා” ය කියලා. පින්වත, තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව යැයි කියන්නේ හරිම දුර්ලභ අර්ථයක්. පින්වත, දන් පූජා කරන්න පැමිණෙන තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවැති පින්වතුන්ලා දකිද්දී, භික්ෂුවට සිහිපත් වෙන්නේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය මයි. පින්වත, පැවිදි අපගේ කරුණාවට සහ මෛත්රියට පුළුවන්, බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පහස තව චිරාත් කාලයක් ලෝකය තුළ ජීවත් කරවන්න. පින්වත, අපි ජීවත් විය යුත්තේ අපි උදෙසා නොවේ, අපි ජීවත් විය යුත්තේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා මයි. පින්වත, ඔබ සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ප්රතිපත්ති ගරුකව ජීවත් වෙනවා යැයි සිතන මොහොතේ දී ම, ඔබ උතුම් තෙරුවන්ට ජීවිතය පූජා කළා වෙනවා. පින්වත, එවන් ජීවිත උදෑසන අවදි වෙන්නේ චතුරාර්ය සත්යය ධර්මයෝ කෙරෙහි සති සම්බොජ්ඣංගයෙන් මයි. පින්වත, එවන් ජීවිත රාත්රී නින්දට යන්නේ, ඇලීම් සහ ගැටීම් බැහැර වූ උපේක්ෂා සම්බොජ්ඣංගයෙන් මයි. පින්වත, අනාගත මනුෂ්ය ප්රජාව උදෙසා ඔබට ආරක්ෂා කොට තැබිය හැකි ශ්රේෂ්ඨ ම ධනය, උතුම් තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව මයි. පින්වත, ඉන්ද්රිය ධර්මයන් එකිනෙකට වෙනස් ලෝකයේ හොඳ සහ නරක ඔබ අමතක කොට, ලෝකයට සද්ධර්මයෙන් උපකාර කරන්න. පින්වත, ඔබට වටින්නේ ලෝකය නොවේ, ලෝකය මුල්කොට ගෙන ඔබ ඇති කොට ගන්නා “සියලු සංස්කාරයෝ අනිත්ය” යැයි දකින ධම්මානුපස්සනාවේ විදර්ශනා අවබෝධයයි. පින්වත, බාහිර ලෝකය උපයෝගී කොට ගෙන ඔබේ ආධ්යාත්මික ලෝකය නිවා දමන්න.
පින්වත, මනුෂ්යයාගේ තෘෂ්ණාව වැඩි වෙන්න, වැඩි වෙන්න අකුසල් සංස්කාරයෝ ලෝකයේ බලය තහවුරු කොට ගන්නවා. පින්වත, එවිට කුසල් සංස්කාරයෝ ලෝකයේ සුළුතරය බවට පත් වෙනවා. පින්වත, සත්යය පෙනි පෙනී එදාට අසත්යය ජය ගන්නවා. පින්වත, ලෝකය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, මනුෂ්යයෝ ‘කර්මය මගේ’ කොට ගෙන ජීවත් වෙනවා. පින්වත, අපිම වගා කළ ඇලීම් සහ ගැටීම් බීජවල අකුසල් සංස්කාර අස්වැන්න අපිම නෙළා ගන්නවා. පින්වත, ලෝකය පෙරළුනත් නොපෙරෙළෙන දහමක් තිබෙනවා. පින්වත, උතුම් චතුරාර්ය සත්යය ධර්මයන්ගේ අර්ථයෝ කල්ප විනාශයකදීත් නොපෙරළී තිබෙනවා. පින්වත, දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි ඔබේ හදවතේ ටැටූවක් සිතුවම් කොට ගන්න. පින්වත, එවිට ඔබ, ඔබේ දුකට අනුනට බණින්නේ නැහැ. පින්වත, ඔබේ දුකට ඔබ බණින්නේ, ඔබේ ම තෘෂ්ණාවටයි. පින්වත, ඔබ තෘෂ්ණාවට බණිද්දී, ඔබ තෘෂ්ණාවයි ප්රවර්ධනය කරන්නේ. පින්වත, ඉවරයක් නැති දුකක මහ මෙරක් බවට අපි පත් වෙලා. පින්වත, දුකේ පියා වන තෘෂ්ණාව හඳුනා ගන්න අපි තව ම අදක්ෂ වෙලා තිබෙනවා. පින්වත, අනාගාමී උත්තමයා තුළත් අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, ඇතිවත් බැරි නැතිවත් බැරි තෘෂ්ණාවට විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගේ ඇඳුම් අන්දවන්න අපි දක්ෂ වෙන්න ඕනේ. පින්වත, තෘෂ්ණාවට විදර්ශනා සප්ත බොජ්ඣංගයන්ගේ ඇඳුම් ඇන්දුවහම තෘෂ්ණාවේ විදර්ශනා හැඩරුව, බල ධර්මයන්ට පාර පෙන්වන කීකරු දරුවෙක් වෙනවා. පින්වත, අනුශය තෘෂ්ණාව තුළත් අවිද්යාව තැවරිලයි තිබෙන්නේ. පින්වත, සම්මා විමුක්තියෙන් මෙහා භවාත්රයේ සෑම සත්ත්වයෙක් ම, එකිනෙකට වෙනස් ‘තෘෂ්ණාවේ ගොදුරක්’ ම වෙනවා.
පින්වත, තවත් පුණ්යවන්ත වස්සානයක් ගෙවිලා යනවා. පින්වත, ඔක්තෝබර් අවසන් සතියෙන් උදා වෙන්නේ චීවර මාසය. පින්වත, මනුෂ්ය ලෝකයේ වැඩිපුර ම පින්කම් සිද්ධ වෙන මාසය චීවර මාසයයි. පින්වත, සත්පුරුෂ දෙවියන් සහ පිනට කැමති අමනුෂ්යයන් පිනෙන් සතුටු වන මාසය චීවර මාසයයි. පින්වත, චීවර මාසය උදා වෙද්දී, භික්ෂුවට අතීත පංච උපාදානස්කන්ධයෝ සිහිපත් වෙනවා. පින්වත, භික්ෂුව අතීත සම්මා සම්බුද්ධ ශාසනවල සහ මිච්ඡා ශාසනවල පැවිදි වෙලා පෙරවපු චීවර ගොඩ ගිජ්ජකූඨ පර්වතයට වඩා විශාලයි. පින්වත, භික්ෂුවට එම අතීත මහා චීවර ගොඩ සිහිපත් වෙද්දී, “සියලු සංස්කාරයෝ අනිත්ය” යැයි කියලා මයි සිහිපත් වෙන්නේ. පින්වත, භික්ෂුව අතීත සංසාරයේ පොරවපු එකම චීවරයකින්වත් උතුම් නිවනේ අර්ථය මතු කොට ගෙන නැහැ. පින්වත, අතීත පංච උපාදානස්කන්ධය පුරාවට භික්ෂුව පටිච්චසමුප්පන්නව පොරවපු චීවර තුළින් මතු කොට ගෙන ඇත්තේ භවයේ අර්ථයෝ මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයාට වටින්නේ චීවරය දරාගත්ත උතුම් පැවිද්ද පමණක් නොවේ, එම උතුම් පැවිදි ජීවිතය තුළින් මතු කොට ගන්නා චතුරාර්ය සත්යය ධර්මයෝ මයි. පින්වත, උදා වන පුණ්යවන්ත චීවර මාසයේ දී අපි ලබනා චීවරය, තෘෂ්ණාවේ ගිනි නිවා දමන, නිවනේ සැහැල්ලුව මතු කොට දෙන, අවම වශයෙන් සුගතියේ රසය මෝදු කොට දෙන උපකාරක ධර්මයක් බවට පත් කොට ගන්න අපි දක්ෂ විය යුතුයි. පින්වත, මේ උතුම් චීවරය ජීවත් වීම උදෙසා නොව, ජීවිතයේ ජාති, ජරා, ව්යාධි, මරණ නීරස තේරුම් ගැනීම සහ අවබෝධය උදෙසා ම විය යුතුයි. පින්වත, භික්ෂුව වැඩ සිටින ප්රදේශයට මේ දිනවල සවස් යාමයේ ඇළ වේලි පිරී ඉතිරී යන්න පැය දෙකක් පමණ මහා වැස්සක් වහිනවා. ඒත් පසුවදා දහවල් වෙන කොට මහ පොළොව හොඳටෝම වියළිලා. පින්වත, මනුෂ්යයාගේ තෘෂ්ණාව වේගවත් වෙද්දී, සියල්ල ම වේගවත් වෙලා. පින්වත, සිහිනුවණින් බලන්න, වේගය සීමා කරන මධ්යම ප්රතිපදාව තවමත් අපි ඉදිරියේ ජීවමානව තිබෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 ඔක්තොම්බර් 18 ඉරිදා දිවයින පුවත්පතින්.