අධර්මයෝ තුළින් ධර්මය උපද්දවා ගන්න.

පින්වත, දුක ඉදිරියේ බලෙන් සතුට සොයන්න එපා. පින්වත, දුක ඉදිරියේ, සැප ලබන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැප මතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, දුක පෙරළා දුක උදෙසා ම ආයෝජනය කරන අධර්මයෝ, අධර්මයන් ම විකසිත කොට දෙන සමාජයක් අපි ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා. පින්වත, හුඟාක් ඇත්තෝ දුක මකා ගන්න, මනුෂ්‍ය හිංසනය, කාමයේ වරදවා හැසිරීම සහ මතින් සිහිවිකල් කොට ගැනීම, වර්තමානයේ බොහෝම සුලභ දෙයක් වෙලා තිබෙනවා. පින්වත, මනුෂ්‍යයා තමා, තමාව ම හිංසනයට පත් කොට ගනිමින්, බලෙන් සතුට සොයනවා. පින්වත, දුක ඉදිරියේ කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට සැඟවී ක්‍රියාත්මක වන ඔබේ අවිද්‍යාවේ පාතාලය හඳුනා ගන්න. පින්වත, අවිද්‍යාවේ පාතාලය හරිම දක්‍ෂයි, ඔබට කෙටි ආස්වාදයේ මත්ද්‍රව්‍ය පොවලා, දීර්ඝ ආදීනවයේ භව පිරිවර ශක්තිමත් කොට දෙන්න. පින්වත, ඔබේ සම්මා දිට්ඨිය දුර්වල ජීවන දැක්ම, විනය පිහිහුණ පොලීසියක් වගේ මයි. පින්වත, යහපත පෙනි පෙනී අයහපතට මයි සහයෝගය දෙන්නේ. පින්වත, ඔබේ දුක සහ සැප එහා මෙහා පෙරළන, සංස්කාර බුල්ඩෝසරයට ඔබ තවදුරටත් යට වෙන්න එපා. පින්වත, ඔබ ඉදිරියේ දිගහැරෙන, ඔබව දුකට පත් කරන සෑම සිදුවීමක් ඉදිරියේ දී ම, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිතක් ම ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, දුක ඉදිරියේ, මෛත්‍රියට අදාළ ආනිශංසයෝ එකොළහකින් ඔබ අවිද්‍යාවේ පාතාලයට මෙත් සිතින් ම පිළිතුරු දෙන්න. පින්වත, අධර්මයෝ තුළින් ධර්මය උපද්දවා ගන්න දක්‍ෂ වෙන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ, අෂ්ට ලෝක ධර්මයන් දිශාවට, ලෝකය පෙරළෙන බව හොඳාකාරව ම දන්නවා. පින්වත, උන්වහන්සේලාට “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින ධම්මානුපස්සනාව, පෙරළෙන ලෝකයට මුක්කුවක් නොව, නොසැලෙන ධර්මයේ උපේක්‍ෂාවක් මයි මතු කොට දෙන්නේ. පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ ඉදිරියේ දීර්ඝ ආදීනවයෝ ගැන මෙලෝ සිහියක් නැතිව අතුරේ දුව පැන නටන සමාජයක, පින්වත් ඔබ ගොදුරක් නොවී, කෙටි ආස්වාදයෝ විනිවිද දකින ප්‍රේක්‍ෂකයෙක් පමණක් ම වෙන්න. පින්වත, කාමයන්ගේ ගින්දර සමග සෙල්ලම් කරන පළඟැටියෙක් නොවී, කාමයන්ගේ ගින්දර නිවා දමන නිස්සරණයේ මාවත විවෘත කොට ගන්න. පින්වත, ශෝක, පරිදේවයන්ගෙන් සැලෙන ලෝකය තුළ, නොසැලෙන මිනිසා ජීවත් වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය තුළ පමණක් මයි. පින්වත, ඔහු ‘දුක’ සහ ‘තෘෂ්ණාව’ අවිද්‍යාවේ ම කසළ බඳුනට දමා, සම්මා දිට්ඨියේ කණ්ණාඩියෙන්, සම්මා ඥානයන්ගේ හැඩරුව බලන්න මයි වීර්යය වඩන්නේ. පින්වත, ඔහු දුකේ මඩගොහොරුව මත, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොන්ක්‍රීට් ඇතිරූ, නොසැලෙන, ශක්තිමත් කුලුනක් ම වෙනවා. පින්වත, පෙරළ පෙරළා කාමයන් අත්විඳීමට පමණක් නොවේ, කාමයේ නිස්සරණයටත් ලෝකය තවමත් විවෘතයි. පින්වත, කාමයන්ගේ ජරා, ව්‍යාධි, මරණ හැඩරුව තවදුරටත් විඳීමේ පිපාසයෙන් මිදී, අපි නිවුණ සිතින් සම්මා ඥානයන්ගේ නිවුණ අඟ පසඟ දකින්න කැමති වෙමු.

පින්වත, අපි උතුම් සම්මා ඥානයන්ගේ සතර අපා දුක් නිවුණ අඟ පසඟ මුලින්ම විවෘත කොට දකින්නේ උතුම් සෝවාන්ඵල අවබෝධයේදීයි. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී අපි කාමයේ සහ රූපයේ ආස්වාදයෝ උතුම් බල ධර්මයන්ගේ ආරක්‍ෂාව යටතට ගන්නවා. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධයේ දී, සතර අපා ජාන රහිත තුන් නිවුන් අඟ පසඟයෝ වන අචල ශ්‍රද්ධාව, ආර්ය ශීලය සහ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දැක්ම උපදින්නේ, මෙතෙක් ජීවිතගතව තිබූ සතර අපා ජාන සහිත සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ අන්‍යශීලවෘත නමැති තුන් නිවුන් සතර අපා දුක් සහිත කාම අඟ පසඟයෝ යළි නූපදින්න ම මරා දමමින් මයි. පින්වත, ඔබේ ජීවිතය ඔබට බරක් වගේ දැනෙනවා ද? පින්වත, ව්‍යායාම කරලා, ආහාර පාලනය කරලා ජීවිතයට දැනෙන බර සැහැල්ලු කොට ගන්න බැහැ. පින්වත, ඔබේ ජීවිතය මහ මෙරක් වගේ බර කරන්නේ, සක්කාය දිට්ඨිය, කාම, රාග, පටිඝයෝ සහ පංච උපාදානස්කන්ධයෝ කෙරෙහි තෘෂ්ණාවේ බරයි. පින්වත, අපි මේ මහා බර, ‘අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ’ යැයි කියන සැහැල්ලුවට ම ගන්න ඕනේ. පින්වත, එම සැහැල්ලුවට ඔබව පාවෙන්නේ, උඩ යන්නේ නැහැ. පින්වත, එම සැහැල්ලුව ඔබව ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිදහස් කරනවා පමණක් මයි. පින්වත, එවිට ඔබ ලෝකය මැද, ලෝක බැඳීම්වලින් නිදහස්ව ජීවත් වෙනවා. පින්වත, ඔබ එදාට, හෙට දවසේ මරණය දකින්නේ නැහැ. පින්වත, ඔහු නාසයෙන් හුස්ම ඉහළට ගනිද්දී ‘ජීවිතය’ යැයි දකිනවා, නාසයෙන් හුස්ම පිට කරද්දී, ‘මරණය’ යැයි දකිනවා. ඔහු ජීවිතය දශමයට ම සරල කොට ගන්නවා.

පින්වත, දානයේ ආනිශංසයෝ වර්ණය, සැපය සහ බලයයි. පින්වත, මෛත්‍රියේ ආනිශංසයෝ සත්පුරුෂ, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ප්‍රජාවට ම ප්‍රිය වීමයි. පින්වත, ශීලයේ ආනිශංසයෝ සතරදිග්භාගය පුරාවට පැතිරී යන ජනප්‍රියභාවයයි. පින්වත, ඔබට, ඔබේ ලෞකික ලෝකය ජය ගන්න අවශ්‍ය නම්, ඉහත ජයග්‍රහණයේ හේතුඵල ධර්මයෝ ජීවිතයට එකතු කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, පරාජය ඔබට අයිති දෙයක් නොවේ, පින්වත, පරාජය අයිති ඔබේ පටිච්චසමුප්පන්න අකුසලයටයි. පින්වත, ඔබ ලබන ජයග්‍රහණය ඔබට අයිති දෙයක් නොවේ, ඔබ ලබන ජයග්‍රහණය අයිති ඔබේ පටිච්චසමුප්පන්න කුසල් සංස්කාරයන්ටයි. පින්වත, ඔබට හැකි උපරිමයෙන් අනුනගේ සතුට උදෙසා, අනුනගේ සැපය උදෙසා නිර්ලෝභීව උපකාර කරන්න. පින්වත, ඔබට හැකි උපරිමයෙන් අනුනගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා උපකාර කරන්න. පින්වත, ඔබ නිර්ලෝභීව අනුන් උදෙසා කැපවීමෙන් ඔබට මෙතෙක් නොලැබුණ සියල්ල ම ඔබට ලැබේවි. පින්වත, එම ලැබීම් නිර්ලෝභීව පිළිගන්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, නිර්ලෝභීභාවය තුළ බරක් නැහැ. පින්වත, නිර්ලෝභීභාව තුළ තිබෙන්නේ, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින ධම්මානුපස්සනාවේ නිදහස පමණක් මයි. පින්වත, ලෝකයේ සැප සහ දුක යැයි කියන අන්ත දෙකට ම බර වෙන්න එපා. පින්වත, ඔබ අන්ත දෙකට බර වුණොත් අකුසලයේ ප්‍රපාතයට වැටේවි. පින්වත, ආරක්‍ෂිත මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ අපවත් වෙන්නේ, උතුම් මධ්‍යම ප්‍රතිපදාවේ නික්ලේශී සියලු ඵලයෝ පූර්වාදර්ශීව ලෝකයට ප්‍රකට කරලා මයි.

පින්වත, මේ රාත්‍රිය තවමත් යෞවනයි. පින්වත, සෞම්‍ය සඳ කිරණ, සිහින් සුළඟ, ශීතල රාත්‍රියේ යෞවනත්වය තවත් හැඩවැඩ කරනවා. පින්වත, මේ යෞවන රාත්‍රියේ භික්ෂුව කවුරුන් ගැන නම් සිතන්න ද? පින්වත, ‘දැක්කා’, ‘ඇසුණා’, ‘දැනුණා’ යැයි කියන ඵස්සයට පුංචි හෝ තෘෂ්ණාවේ ජවයක් දුන්නොත්, ඵස්සයට ඉලක්කය වෙන්නේ තවත් බාහිර රූපයක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ රූපය ඵස්සයට ඉලක්ක වුවත් එම රූපය අනිත්‍ය වී ගිය සංස්කාරයක් පමණක් මයි. පින්වත, මෙම සටහන කියවන පින්වත් ඔබේ රූපය, භික්ෂුවගේ ඵස්සයට ඉලක්ක වුණොත් ඔබේ රූපයත් අනිත්‍ය වී යන සංස්කාරයක් පමණක් මයි. පින්වත, ඵස්සයට තෘෂ්ණාව මුසු කළොත්, ඒ කියන්නේ සිතුවොත්, එහි ඵලය වන්නේ අනිත්‍ය වී යන රූපයක් ඇසුරෙන් සකස් වන වියෝවේ විඳීමක් මයි. පින්වත, දැක්ක රූපයට, ඇසුණ ශබ්දයට, දැනුණ සිතුවිල්ලට බැඳී යන්න එපා. විඳීම් ඔබව ගොදුරු කොට ගනීවි. පින්වත, ඵස්සය විනිවිද දකින්න. පින්වත, ඵස්සයට හේතු වූ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත් කායානුපස්සනාවෙන් විවෘත කොට බලන්න. පින්වත, ඵස්සයට මුල්වෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අනිත්‍ය වූ සංස්කාරයන්ගේ රූකඩයක් යැයි ධම්මානුපස්සනාවෙන් විවෘත කොට දකින්න. පින්වත, කායානුපස්සනාවෙන් සහ ධම්මානුපස්සනාවෙන් ඔබේ ඵස්සය විනිවිද දකිද්දී, සැප, දුක් සහ උපේක්‍ෂාවේ සුන්බුන් ඔබටත් හොරා, ‘ආස්වාදයේ ගොම බින්දු’, ඔබේ විදසුන් සිත අපවිත්‍ර කරන්න පුළුවන්. පින්වත, චිත්තානුපස්සනාවේ සහ වේදනානුපස්සනාවේ පිරිසිදු දියෙන් ඉහත විදර්ශනා ආස්වාදයේ ගොම බින්දු සෝදා හරින්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, සිතුවිලි සමග සටන් කරන්න එපා. එවිට ඔබට ජය හෝ පරාජය ලැබේවි. පින්වත, සටනට සැරසෙන සිතත් සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් ම විනිවිද දකින්න. පින්වත, එවිට ඔබ ජය සහ පරාජයෙන් නිදහස් වේවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.

උපුටා ගැනීම – 2026 ඔක්තොම්බර් 11 ඉරිදා දිවයින පුවත්පතින්.