පින්වත, මෙය සටහන් තබන භික්ෂුව තමන් දිවිහිමියෙන් සුරකින ප්රාතිමෝක්ෂ ශීලය සිහිපත් වෙද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි ධම්මානුපස්සනාව මයි මතු කොට දකින්නේ. පින්වත, භික්ෂුව ශීලයෙන් දුර්වල යම් ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් වෙද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි ධම්මානුපස්සනාව මයි මතු කොට දකින්නේ. පින්වත, තමන්ගේ සිල්වත්භාවයත්, අනුනගේ දුසිල්වත්භාවයත් ඉලක්ක කොට ගෙන, භික්ෂුවගේ ඉලක්කය වෙන්නේ සම්මා ඥානයෝ මයි. පින්වත, සිල්වත්භාවයෙන් සහ දුසිල්වත්භාවයෙන්, පුද්ගල සඤ්ඤාව හෝ ආත්මීය සඤ්ඤාව ඉවත් කරන්න. පින්වත, සිල්වත්භාවය සහ දුසිල්වත්භාවය ඉන්ද්රිය ධර්මයන්ගේ දුර්වලභාවය සහ ශක්තිමත්භාවය හැටියට ම දකින්න දක්ෂ වෙන්න. පින්වත, එවිට ඔබට දුශ්ශීල යැයි චෝදනා කරන්න හෝ සිල්වත් යැයි පසසන්න පුද්ගල සඤ්ඤාවක් ඉතිරි වෙන්නේ නැහැ. පින්වත, වර්තමානයේ තෘෂ්ණාවට, ඇලීම් සහ ගැටීම් අරක්කු පොවලයි තිබෙන්නේ. පින්වත, බේබදු තෘෂ්ණාව දෘෂ්ටි, මතවාද, අන්‍යශීලවෘත උපාදානයෝ වමනය කරද්දී, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගේ දුර්ගන්ධය පින්වත් ඔබේ සංස්කාර නාස් පුඩුවලට දැනෙනවා නේද? පින්වත, ඔබ කලබල වෙන්න එපා. පින්වත, ඔබ මේ දකින්නේ අවිද්‍යා ලෝකයේ සැබෑ ම හැඩරුවයි. පින්වත, අනුනගේ දුසිල්වත්භාවයන් නිසා ඔබට දුකක් ඇති වෙනවා නම්, ඊට හේතුව අනුන් නොව ඔබේ ම තෘෂ්ණාවයි. පින්වත, කරුණාකර වැරදි හදා ගන්න. ඔබ වැරදි හදා ගන්නේ, නිවැරදි වෙන්න නොවේ, වරදත්, නිවැරදිභාවයත් යන අර්ථයෝ දෙකෙන් ම නිදහස් වෙලා යන්න. පින්වත, වරද යම් සේ භයානක ද, “මම නිවැරදියි” යැයි ගන්නා මමත්වයේ දැඩිභාවය, වරදේ ආරම්භයයි.
පින්වත, අපි තවමත් ජීවත් වෙන්නේ දෘෂ්ටි කාන්තාරයක. පින්වත, එම දෘෂ්ටි කාන්තාරයේ වැල්ල, ලෝභ, ද්වේශ, මෝහ අව් කාෂ්ටයෙන් හොඳටෝම රත් වෙලා. පින්වත, තෘෂ්ණාවේ උපාදානයෝ දෘෂ්ටි කාන්තාරයේ ගිනියම් වූ වැල්ල දීප්තිමත් කොට දෙනවා. පින්වත, කාම භවය කට ඇරගෙන බලාගෙන සිටිනවා, දෘෂ්ටි කාන්තාරයේ අතරමං වෙන අසරණයන්ව ගිල ගන්න. පින්වත, උතුම් සම්මා දිට්ඨිය නොදත් ලෝකය හරිම අසරණයි. පින්වත, ප්‍රමාදීභාවයේ කරවටක් ගිලිලා තමන් නොහැදී බාහිර ලෝකය හදන්න යනවා. පින්වත, එහි ඵලය එක ප්‍රශ්නයක් විසඳන්නේ තවත් ප්‍රශ්න දහයක් ඇති වෙන දිශාවටමයි. පින්වත, තම තමන්ගේ පෞද්ගලික දෘෂ්ටි, මතවාද අවිද්‍යාවේ කුණු කූඩයට දමා, උතුම් සද්ධර්මයට පූර්වාදර්ශී වෙන්න. පින්වත, උතුම් ශ්‍රී සද්ධර්මය තිබෙන්නේ නොහැදෙන ලෝකය හදන්න නොවේ, නොහැදෙන ලෝකය කමටහනක් කොට ගෙන, ඔබට ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත, පැවිදි වේවා, ගිහි වේවා අනුනගේ ශීලයෙන් අපිට වැඩක් නැහැ. පින්වත, අනුනගේ ශීලයට ඇලෙන්නා හෝ ගැටෙන්නා තමන්ගේ ශීලය ගැන සිහිනුවණින් පසුවෙන්න ඕනේ. පින්වත, අනුනගේ ශීලයට ඇලෙන සහ ගැටෙන මොහොතක් පාසා ඔබේ සම්මා සංකප්පයෝ, සම්මා වාචාවෝ සහ මනුෂ්‍ය හිංසනයට අදාළ ශීලයෝ දුර්වල වෙලා යන්න පුළුවන්. පින්වත, ඔබේ සිල්වත්භාවය ඔබ ඉලක්ක කරන්න ඕනේ, අනුනගේ දුර්වල ශීලයක් උදෙසා නොවේ. පින්වත, ඔබේ සිල්වත් ජීවිතය ඔබ ඉලක්ක කළ යුත්තේ සම්මා සමාධිය සහ සම්මා ඥානයෝ උදෙසා මයි. පින්වත, එතෙක් අපේ ඉහ මොළ, දෘෂ්ටි කාන්තාරයේ අව් කාෂ්ටයෙන් ගිනියම් වෙනවා මයි.
පින්වත, කැලෑ පරිසරයට සඳ එළියක් නැති හරිම කළුවර රාත්‍රියක්. පින්වත, කළුවර රාත්‍රියක් යැයි කියන්නේ කළුවර සඳේ හේතුඵල ධර්මයක් පමණක් මයි. පින්වත, සඳ නමැති රූපය කළුවර දිශාවට වෙනස් වෙලා යද්දී, අපේ විඳීම් සහ හඳුනා ගැනීම් වෙනස් වෙලා යනවා. පින්වත, එවිට පෙරළා මඩිය තර වෙන්නේ සංස්කාරයන්ගේ මයි. පින්වත, පංච නීවරණයෙන්ගෙන් බර වෙච්ච මනුෂ්‍ය ජීවිතයක් යැයි කියන්නේ, සඳ නැති කළුවර රාත්‍රියක් වගේ මයි. පින්වත, දුක, දුකට හේතුව තෘෂ්ණාව, දුකෙන් මිදෙන මාර්ගය පංච නීවරණ බහුල කළුවර ජීවිතයකට පෙනෙන්නේ නැහැ. පින්වත, කළුවරක කෙසේ නම් ආලෝකයක් පෙනෙන්න ද? පින්වත, එක සිතුවිල්ලක ප්රමාදීභාවය අපේ මුළු ජීවිතය ම කළුවර කරනවා. පින්වත, “මම” අද පටන් නිවැරදි වෙනවාය කියන සිතුවිල්ල ඇති කොට ගැනීමේ ප්රමාදීභාවය හේතුවෙන්, මතින්, දුරාචාරයෙන් කළුවර කොට ගත් ජීවිත සමාජය තුළ මොනතරම් නම් තිබෙනවා ද? පින්වත, ඔබ, ඔබට ආදරය කරන්න, එවිට හැමෝම ඔබට ආදරය කරාවි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව, භික්ෂුවට ගොඩාක් ආදරෙයි. පින්වත, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් භික්ෂුවගේ ආදරය භික්ෂුව වර්ණවත් කොට ගන්නවා. පින්වත, භික්ෂුව ලෝකය ගැන සිතන්නේ නැහැ. ලෝකය යැයි කියන්නේ දුක. පින්වත, ලෝකයට බැඳෙන සිතුවිලි විදර්ශනාවෙන් දකිද්දී, භික්ෂුවගේ ආදරය තව තවත් මුවහත් වෙනවා. පින්වත, මුළු ලෝකයට ම ආදරය කරන්න සහ මුළු සත්පුරුෂ ලෝකයාගෙන් ම ආදරය ලබන්න පාර පෙන්වන එකම ධර්මතාවය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මයි. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළ ජයග්‍රහණයෝ සහ පරාජයෝ නැහැ. පින්වත, එහි තිබෙන්නේ ‘ආදරණීය නිදහස’ පමණක් මයි.
පින්වත, ලෝකයට රැවටෙන්න එපා, ලෝකය යැයි කියන්නේ තෘෂ්ණාවට. ලෝකය යැයි කියන්නේ දුකට. පින්වත, එවන් ලෝකයකින් කෙසේ නම් සතුටක් බලාපොරොත්තු වෙන්න ද? පින්වත, දුකෙන් පිරුණ ලෝකය තුළ ඔබේ සතුට ඔබ තුළින් ම මතු කොට ගන්න. පින්වත, එවිට එම සතුට කවදාකවත් අනුනට කඩා බිඳ දමන්න බැහැ. පින්වත, ඔබ අනුන් තුළින් සතුට සෙව්වොත්, අනුනට පුළුවන් කවදාක හෝ ඔබේ සතුට කඩා බිඳ දමන්න. පින්වත, ඔබ තුළින් සතුට මතු කොට ගන්නා මාර්ගය තමයි, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත, තෘෂ්ණාව හරිම දඩබ්බරයි. පින්වත, තෘෂ්ණාවට සක්කාය දිට්ඨියේ විෂබීජ මුසු වුණහම සම්මා දිට්ඨියේ අර්ථයෝ ජීවිතවලින් මැකිලා ම යනවා. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ඔබේ සතුටේ උල්පත වෙනවා. පින්වත, භික්ෂුවගේ ජීවිතයටත් ලැබුණ දේවල් සහ නොලැබුණ දේවල් තිබෙනවා. පින්වත, භික්ෂුව ලැබුණ සහ නොලැබුණ සියල්ල ම කර්මය කර්මඵල විශ්වාසයෙන් සෝදා හරිනවා. පින්වත, එවිට භික්ෂුව “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින උතුම් ධම්මානුපස්සනාවේ රැකවරණය තුළ වැඩ සිටිනවා. පින්වත, දෑස් පියාගෙන ඔබේ රූපයේ අනිත්‍යභාවය දකින්න. පින්වත, එවිට රූපයේ ඵස්සයෙන් සකස් වෙන ඔබේ ඇලෙන සහ ගැටෙන විඳීම්වල සෙලුව ඔබට යස අගේට පෙනේවි. පින්වත, ඔබේ විඳීමේ සෙලුවට සක්කාය දිට්ඨියේ ඇඳුම් අන්දවන්න එපා. පින්වත, එවිට ඔබේ අකුසල් සංස්කාරයෝ රජ ඇඳුමෙන් ම සැරසේවි.
පින්වත, තෘෂ්ණාව බල ධර්මයන්ගේ යටතට ගන්නා තාක් කල් උපාදානයෝ අන්‍යශීලවෘතයන්ගේ අවි අපිට ඔසවනවා. පින්වත, යම් පින්වතෙක් මෙලොව, පරලොව සැපය උදෙසා වේවා, උතුම් විදර්ශනා නුවණ උදෙසා වේවා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වූ වැරදි වෘතයන්ට, වැරදි දෘෂ්ටීන්ට බැඳී යයි ද, එම පින්වතා අන්‍යශීලවෘතයන්ගේ ප්‍රණීත ගොදුරක් වෙනවා. පින්වත, අසත්පුරුෂ ආශ්රයෙන්, අසද්ධර්ම ශ්‍රවණයෙන් සහ අනුවණින් මෙනෙහි කිරීමෙන් උපදින තෘෂ්ණාවේ උපාදානයෝ අන්‍යශීලවෘතයන්ගේ මව්දෙමාපියන් වෙනවා. පින්වත, අන්‍යශීලවෘතයන්ගේ ශබ්ද කෝෂය තුළ මිච්ඡා දෘෂ්ටිය, මිච්ඡා සංකප්පයෝ, මිච්ඡා ශීලය, මිච්ඡා සමාධිය විවෘතව බබළනවා. පින්වත, කෙටි සම්මා සම්බුද්ධ ශාසනයක් අවසානයේ දී, අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් උදා වෙනවා. පින්වත, එදාට සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා ශීලය අතුරුදන් වෙලා, මිච්ඡා ශීලයෝ රජ වෙනවා. පින්වත, මිච්ඡා ශීලයෝ එදාට මිච්ඡා සමාධිය තුළින් මිච්ඡා විමුක්තීන් සමාජගත කරනවා. පින්වත, එදාට මනුෂ්‍යයෝ ‘නිවන’ යැයි දකින්නේ, භවයේ තවත් ගොරහැඩි පටිච්චසමුප්පන්න උපතක් මයි. පින්වත් මහත්මයෙක් වරක් භික්ෂුවට කියනවා, “තමන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩක් නැහැ, මැරෙන මොහොතේ සිත අනිත්‍ය වශයෙන් දැකලා නිවන් දකිනවා” ය කියලා. පින්වත, මෙවන් ප්‍රකාශයක් තුළ අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගෑවිලාවත් නැහැ. පින්වත, ඔහු පසුවෙන්නේ මිච්ඡා සමාධිය තුළින් මතු කොට දෙන මිච්ඡා සමථ විදර්ශනාවේ ආස්වාදය තුළ මයි. පින්වත, උපාදානයෝ පටිච්චසමුප්පන්නව භවය සමග ගිවිසුම්ගතවයි සිටින්නේ. පින්වත, උපාදානයෝ වීසා නිකුත් කරන සෑම සත්ත්වයෙක් ම, කාම, රූපී සහ අරූපී භවාත්රයේ යළි පදිංචිය සහතික කොට දෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 නොවැම්බර් 08 ඉරිදා දිවයින පුවත්පතින්.