පින්වත, කාමයේ සහ රූපයේ ආස්වාදයෝ සමාජය තුළ ඒකාධිපති වෙන කොට තෘෂ්ණාවේ උපාදානයෝ ගොඩාක් තරගකාරී වෙනවා. පින්වත, එවිට ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේව දුකේ සැඟවුණ අමුත්තා වන ‘තෘෂ්ණාව’ අපිව මෙහෙය වන්නේ එකිනෙකා පරයා ආධ්යාත්මික සහ බාහිර රූපයෝ ම සතුටින් පිළිගන්නයි. පින්වත, රූපයට වටිනාකමක් දෙද්දී, ප්රඥාව නොවටිනා දෙයක් බවට පත් වෙලා, මෝහයට හොඳ මිලක් ලැබෙනවා. පින්වත, මෝහයේ මිල ඉහළ යද්දී, කායානුපස්සනාවට සිද්ධ වෙන්නේ අවිද්යා බැංකුවේ සින්න වෙන්නයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට පිණ්ඩපාත, චීවර, ඖෂධ, සේනාසන ප්රත්යවේක්ෂාව පනවන්නේ රූපය පෙරළා තෘෂ්ණාව උදෙසා නොව, රූපය කාමයන්ගේ නිරෝධය උදෙසා උපකාරක ධර්මයන් බවට පත් කොට ගන්නයි. පින්වත, මෙම පුණ්යවන්ත වස්සානයේ දී, පැවිදි අපි දක්ෂ විය යුතුයි, අපි වළඳන පිණ්ඩපාතය, අපි පොරවන චීවරය, අපි වළඳන ඖෂධ, අපි වැඩසිටින පන්සල, ආරණ්යය, කුටිය භවය උදෙසා නොව ‘භව නිරෝධය’ උදෙසා ප්රයෝජනයට ගන්න. පින්වත, පැවිදි අපි පරිහරණය කරන සිවුපසය කෙරෙහිත්, එම සිවුපසයෙන් යැපෙන කය කෙරෙහිත් අවම වූ තෘෂ්ණාව, උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝ නිදහසේ මෝදු වෙන්න කොළ එළියක් මයි ලබා දෙන්නේ. පින්වත, වැස්ස අධික පරිසරයේ ගහකොළ, මහ පොළොව පිපාසය සංසිඳුවා ගෙන භික්ෂුව දෙස බලා සිටින මේ ශීතල රාත්රියේ, භික්ෂුව දෑස් පියාගෙන අද දවසේ භික්ෂුව පරිහණය කළ සිවුපසයත්, එම සිවුපසයෙන් යැපුණ කයත්, සිදු කළ සිවුපස ප්රත්යවේක්ෂාවෝත්, අනිත්ය වූ එස්සය හේතුවෙන් සකස් වූ අනිත්ය වූ වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ හැටියට දකිනවා. පින්වත, එවිට තෘෂ්ණාව වියළි ඉඩෝරයක් ම වෙද්දී, සම්මා ඥානයෝ අවදි වෙන්නේ විමුක්තියේ ජල උල්පත් මතු කොට ගෙන මයි.
පින්වත, ජීවිතය යැයි කියන්නේ සිහිනයක් ද? පින්වත, ජීවිතය සිහිනයක් වෙන්නේ නැහැ. පින්වත, ජීවිතය යැයි කියන්නේ අවිද්යාව හේතුවෙන් සකස් වූ සංස්කාරයන්ගේ පටිච්චසමුප්පන්න ඵලයක්. පින්වත, එම ඵලය තුළ ජාති, ජරා, ව්යාධි, මරණ දක්වා ම පටිච්චසමුප්පන්න දහමක් තිබෙනවා. පින්වත, එම පටිච්චසමුප්පන්න දහම, “සියලු සංස්කාරයෝ අනිත්ය” යැයි නොදැක්ක පින්වතුන්ලාට නම් සැබවින් ම සිහිනයක් මයි. පින්වත, අපි නින්දේ දී පාට පාට සිහින දකිනවා. පින්වත, තවත් පින්වතුන්ලා නින්දේ දී බියකරු සිහින දකිනවා. පින්වත, මේ දෙවර්ගයේ ම සිහින අයිති සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයන්ට. පින්වත, යහපත් සංස්කාරයෝ පාට පාට සිහිනත්, අයහපත් සංස්කාරයෝ බියකරු සිහිනත් රාත්රී විඳීම් රඟ මඬලේ රඟ දක්වනවා. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්ය නිසා ම, පාට පාට සිහිනයක් පෙරළා බියකරු සිහිනයක් බවට පත් වෙන්න, එක සිතුවිල්ලක පරතරය හොඳටෝම ප්රමාණවත් වෙනවා. පින්වත, සංකීර්ණ වූ දහවලක්, කවදාකවත් අපිට යහපත් රාත්රියක් උදා කරලා දෙන්නේ නැහැ. පින්වත, ශාරීරික වෙහෙස නිසා ම, ඉක්මනට නින්ද ගියාට, සළායතනයන්ගේ ඵස්සය හේතුවෙන් සකස් වෙන විඳීම්වලට නින්ද යන්නේ නැහැ. පින්වත, මහ රාත්රියේත් ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවය, සංස්කාරයන්ට ආහාර සොයා දෙනවා. පින්වත, තද නින්දේදීත් ‘තෘෂ්ණාව’ ඇහැරිලා. පින්වත, තෘෂ්ණාවට සෑහීමක් නැහැ. පින්වත, ‘නොසෑහීම’ තෘෂ්ණාවේ ජන්ම ගතියයි. පින්වත, උතුම් අනාගාමී ජීවිතය තුළින් තෘෂ්ණාවේ අනුශය සුන්බුන් ඉතිරිව තිබෙනවා. පින්වත, තෘෂ්ණාව ඔබට සිදු කරන විනාශය කාම, රූපී, අරූපී මහා භවාත්රය තරමට ම විශාලයි. පින්වත, තෘෂ්ණාවෙන් පෙඟුණ පුංචි සිතක්, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය තරම් ම විශාලයි.
පින්වත, ප්රමාදී පින්වතා, කැමැත්තෙන් ම, දැන දැනම තම යුතුකම් පක්ෂය මඟ හරිනවා. පින්වත, බොහෝම වේගයෙන් රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, මහ පාරේ මනුෂ්යයෝ අනතුරුවලින් මැරෙනවා, කර්ම රෝගවලින් දවසකට සිය ගණන් මනුෂ්යයෝ මැරෙනවා. පින්වත, ඇස, කන, නාසය, දිව, ශරීරය ලෙඩ වෙනවා. පින්වත, අපි අත්විඳින සැප වේදනාවෝ කාලගුණික, දේශගුණික විපත්වලින්, මරණවලින්, රෝගාබාධවලින් කැඩිලා, බිඳිලා, විසිරිලා යනවා. පින්වත, වර්තමානයේ ඔබ සිනා වෙලා සතුටින් ජීවත් වුණත්, ඔබේ දරුවා වර්තමානයේ නීරෝගීව, විනයගරුකව ජීවත් වුණත් හෙට දවසේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අනාගතයේ දී ඔබට සතුටින්, නීරෝගීව ඉන්න අවශ්ය නම්, වර්තමානයේ ඔබ කුසලයෙන් අප්රමාදී වෙන්න. පින්වත, වර්තමානයේ ඔබෙන් දෙමාපියන්ට, ඥාතීන්ට, සමාජයට, මහණ බමුණන්ට වෙන්න තිබෙන යුතුකම් පක්ෂය අකුරට ම ඉටු කරන්න. පින්වත, “මම සුවපත් වෙම්වා!” යැයි කියලා දවස පටන් ගන්න. පින්වත, එවිට ඔබ දක්ෂයි, දවස පුරාවට යහපත් ධර්මයෝ ම ඔබේ ජීවිතයට එකතු කොට ගන්න. පින්වත, “සියලු සත්ත්වයෝ ම සුවපත් වේවා!” යැයි කියලා මෙත් සිතින් දවස පටන් ගන්න. පින්වත, එවිට ඔබ දක්ෂයි, දවස පුරාවට අනුන් සතුටු වෙන ආකාරයෙන් ජීවත් වෙන්න. පින්වත, කෙටි ආස්වාදයට යට වී, ප්රමාදී මනුෂ්යයන් පූර්වාදර්ශයට ගන්න එපා. පින්වත, මෛත්රියට යහපත් ආනිශංසයෝ එකොළහක් තිබෙනවා. පින්වත, කේන්තිය, ද්වේශයට නරක විපාකයෝ එකොළහක් තිබෙනවා. පින්වත, ශීලයට ආනිශංසයෝ පහක් තිබෙනවා. දුශ්ශීලභාවයට විපාකයෝ පහක් තිබෙනවා. පින්වත, අප්රමාදී වෙන්න, හෙට දවස තෘෂ්ණාවේ දුකට අයිති දවසක් මයි.
පින්වත, ඔබගේ තෘෂ්ණාව ප්රශ්න ඇති කරනවා. පින්වත, තෘෂ්ණාව ප්රශ්න විසඳනවා. පින්වත, තෘෂ්ණාව ප්රශ්න විසඳන්නේ ඔබව ප්රශ්නවලින් නිදහස් කරන්න නොවේ. පින්වත, තෘෂ්ණාව ප්රශ්න විසඳන්නේ කාමයන්ගේ සහ රූපයන්ගේ දීර්ඝ ආදීනවයෝ ඔබෙන් සඟවා තබා, කෙටි ආස්වාදයේ පුංචි සතුටින් ඔබව මංමුළා කරන්න. පින්වත, ප්රශ්න සහ ඒවාට සොයන විසඳුම් අතර අපේ ජීවිත ගෙවිලා යනවා. පින්වත, ඔබේ ජීවිතයත් ප්රශ්න සහ ඒවාට විසඳුම් සෙවීමත් අතර ගෙවී ගිය ජීවිතයක් ද? පින්වත, විතක්ක, විචාර යටපත් කොට ගත් සම්මා සමාධිමත් සිත, ඉනුත් ඔබ්බට ගොස් ඔබ ඇති කොට ගන්නා ධ්යානගත සිත තාවකාලිකව ඔබට ප්රශ්න සහ විසඳුම් සොයන ලෝකයෙන් නිදහස් කරනවා. පින්වත, ඔබ ඇති කොට ගන්නා ධ්යානගත සිත, තෘෂ්ණාවේ පංච නීවරණ දෑස් තාවකාලිකව අන්ධ කොට දමනවා. පින්වත, පංච නීවරණ ඇස් අන්ධ වූ තෘෂ්ණාව, ධ්යානගත සමාධියේ දී සප්ත බොජ්ඣංගයන්ට වේදනාවේ ආස්වාදයේ ඇස් ලබා දෙනවා. පින්වත, උතුම් අනාගාමීඵල අවබෝධයේ දී කාම, රාග, පටිඝයන්ගෙන් මිදුණ අනුශය තෘෂ්ණාව තම ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සටනක යෙදී සිටිනවා. පින්වත, තෘෂ්ණාව අනුශය වේවා, මහ මෙරක් වේවා, ජාති, ජරා, ව්යාධි, මරණ දුක ම තිබෙනවා යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඔබ කැමති ද, ඔබ තුළ ක්රියාත්මක වෙන තෘෂ්ණාව දකින්න? පින්වත, ඔබ තුළ සකස් වෙන ඇලීම් සහ ගැටීම් දෙස සිහිනුවණින් දකින්න. පින්වත, එම ඇලීම් සහ ගැටීම් තුළ තැවරී ඇත්තේ ඔබේ තෘෂ්ණාවේ සැබෑ ම අඩු හෝ වැඩිභාවයයි. පින්වත, ඕනෑවට වැඩියෙන් ඇලෙන සහ ගැටෙන සිත් ඇති කොට ගෙන, ඔබේ තෘෂ්ණාවේ තරම ලෝකයට පෙන්වන්න එපා. පින්වත, ‘වේදනා නිරෝධා තෘෂ්ණා නිරෝධෝ.’ පින්වත, තෘෂ්ණාවට පණ දෙන්නේ විඳීමේ හුස්මයි.
පින්වත, රට කරවන නායක පින්වතුන්ලා කුමන තීන්දු තීරණ ගත්ත ද, එම තීන්දු තීරණ බොහෝම සිහිනුවණින් ගන්න ඕනේ. පින්වත, නායක පින්වතුන්ලා ඒකපාක්ෂිකව ගන්නා තීන්දු තීරණ හේතුවෙන් සමස්ත ජනතාව ම අකුසලයේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ රජවරුනට අවවාද කොට තිබෙනවා, “සමගියෙන් රැස්වෙලා, සමගියෙන් සාකච්ඡා කරලා, සමගියෙන් තීන්දු තීරණ අරගෙන, සමගියෙන් විසිරිලා යන්න” ය කියලා. පින්වත, බලන්නකෝ, මොනතරම් නිහතමානී ධර්මයක් ද කියලා. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ අපි හැමෝම කිනම් හෝ මානසික ව්යාධියකින් පෙළෙනවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මෙම මානසික ව්යාධියේ ලොකුම විෂබීජය මමත්වයේ දැඩිභාවයයි. පින්වත, මෙම විෂබීජය ඇසීමෙන්, දැකීමෙන්, සිතීමෙන් කියන කාරණා තුනෙන් ම විෂබීජය අනුනගෙන් ඔබට බෝ වෙන්න පුළුවන්. පින්වත, පුළුවන් තරම් මෙවැනි රෝගකාරකයන් ඉදිරියේ ‘දැක්කා’, ‘ඇසුණා’, ‘දැනුණා’ කියන ආරක්ෂිත ක්රමවේදයත් ඔබේ ජීවිතයට එකතු කොට ගැනීමට දක්ෂ වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට, “වස් තුන් මාසයේ දී චාරිකාවේ වඩින්න එපා” ය කියලා අවවාද කොට තිබෙනවා. පින්වත, බන්ධනාගාරය තුළ දී ස්වාමීන් වහන්සේ නමකගේ චීවරය, ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ අවසරයකින් තොරව ගැලවීම හේතුවෙන්, ස්වාමීන් වහන්සේලා මහනුවර සිට කොළඹට චාරිකාවේ වැඩියා, පින්වත් ඔබ දකින්න ඇති. පින්වත, මෙම සිද්ධිය මුල්කොට ගෙන ඇති කොට ගත් ඇලීම් සහ ගැටීම් හේතුවෙන් පින්වත් ජනතාව මොනතරම් නම් අකුසල් සිද්ධ කොට ගත්තා ද? පින්වත, මේ සියලු අකුසල්වලට හේතු වුණේ ඒකපාක්ෂිකව රජය සිහිනුවණින් තොරව ගත්තා වූ තීන්දුවක් නිසා නේද?
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 ඔක්තොම්බර් 25 ඉරිදා දිවයින පුවත්පතින්.