අනාථපිණ්ඩික සිටුතුමාගේ ශ්‍රද්ධාව.

අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අතිශයින්ම ශ්‍රද්ධාවෙන් සිටි ශ්‍රේෂ්ඨ උපාසකයෙක්.

ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටින කාලයේ, සිටුතුමා දවසට තුන් වතාවක්ම උන්වහන්සේ බැහැදැකීමට ජේතවනාරාමයට යනවා.

හැබැයි ඔහු කිසිම දවසක හිස් අතින් ගියේ නැහැ.
උදෑසන යනවා නම් කැඳ සහ අවුළුපත් රැගෙන යනවා.

උදෑසන ආහාරයෙන් පසුව යනවා නම් ගිතෙල්, උක්හකුරු, වෙඬරු වැනි දේ රැගෙන යනවා.

සවස් වරුවේ යනවා නම් මල්, සුවඳ විලවුන් සහ වස්ත්‍ර රැගෙන යනවා.

මේ විදිහට දිනෙන් දින දන් දෙමින්, සිල් සමාදන් වෙමින් සිටි අනාථපිණ්ඩික සිටුතුමාගේ විශාල ධනය ටිකෙන් ටික අවසන් වෙන්න පටන් ගත්තා.

ඔහුගෙන් වෙළෙන්දන් ණයට ගත් මුදල පමණක් “කෝටි දහඅටක්” පමණ වුණා. ඒ මුදල් ආපසු ලැබුණේ නැහැ. සිටුතුමාගේ තිබ්බ ගුණය නිසා ආයේ ඉල්ලන්න ගියෙත් නෑ.

තවත් විශාල ධනයක් ඔහු ගං ඉවුරක නිධන් කර තිබුණා. නමුත් ගඟේ ඉවුර කැඩී යාමෙන් ඒ ධනයත් ජලයට ගසාගෙන ගියා.

අවසානයේ මහා ධනස්කන්ධයක හිමිකරුවෙකු වූ අනාථපිණ්ඩික සිටුතුමා සාමන්‍ය දුප්පත් මනුස්සයෙක් වුණා.
ඒත් එතුමාගේ දන්වැට නං නතර වුණේ නැහැ.

දවසක් බුදුරජාණන් වහන්සේ සිටුතුමාගෙන් ඇහුවා.

“මහසිට,තාමත් දන් දෙනු ලබනවාද?”

“එසේය, ස්වාමීනි.”

“කලින් වගේම හොඳට දෙනවාද?”

“කලින් වගේ නම් දෙන්න බෑ, ස්වාමීනි.”
“දැන් දෙන්නේ යම්තමට. කඩසාලේ බත්, කඩිහොදියි තමයි දෙන්නේ.

එකල තිබ්බ දුප්පත්ම ආහරයක් තමයි මේ කඩසහල් සහ කාඩිහොද්ද.

අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසේ දොරටුව ආරක්ෂා කරමින් දෙව්දුවක් වාසය කළා.
බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් නිවසට ඇතුළු වන විට එහි රැඳී සිටීමට මේ දෙවඟණට හැකියාවක් නැහැ.

බුද්ධානුභාවයත්, සංඝානුභාවයත් නිසා ඇයට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදුවුණා.

“මේ පිරිස මේ නිවසට පැමිණීම නතර කරවන්න ඕනෑ.” කියලා ඇයට සිතුනා.

නමුත් අනාථපිණ්ඩික සිටුතුමා ධනවත් කාලයේදී ඔහුට එරෙහිව කිසිවක් කියන්න ඇයට හැකි වුණේ නැහැ. දැන් සිටුතුමා දුප්පත්.
ඒ නිසා ඇය සිතුවා.

“දැන් නම් ඔහුට අවවාදයක් දෙන්න පුළුවන්.”

එක් රාත්‍රියක ඇය සිටුතුමා නිදා සිටි කාමරයට ඇතුළු වී, ඔහුට පෙනෙන ලෙස අහසේ සිටියා.

“මේ කවුද?” සිටුතුමා ඇසුවා.

“මහසිට, මම ඔබගේ සිවුවන දොරටුවේ අරක්ගෙන සිටින දෙව්දුව.”

“කුමක් නිසාද මෙහි ආවේ ?”

“ඔබට අවවාදයක් දෙන්නට.”

“ඔබ ඉදිරිය නොබලා ශ්‍රමණ ගෞතමයන් වෙනුවෙන් විශාල ධනයක් වියදම් කළා..ඒ නිසා ඔබ දැන් දුප්පත්. තවදුරටත් මේ විදිහට වියදම් කළොත්, වැඩි දවසක් යන්න කලින් ඔබට හිඟමනට වැටෙන්න සිදුවේවි.”

“ශ්‍රමණ ගෞතමයන් ඔබට කුමක් කරන්නද? මේ මුදල් යම් කර්මාන්තයක යොදවන්න. එවිට ඔබට මේ අමාරුවෙන් මිදෙන්න පුළුවන්.”

ඔන්න බලන්නකෝ දෙවි කෙනෙක් කියපු කතාව. අද වගේනං මොනවා කියයිද??

සිටුතුමා ඇගේ කතාව අසාගෙන සිටියා.
ඉන්පසු ඔහු ඇයගෙන් ඇසුවා.

“මට තී දෙන අවවාදය ඕකද?”

“මහසිට, එසේය.”

“තී වැනි දහසකටවත් මා දෙන දානය නවත්වන්න බැහැ. තිට, තවදුරටත් මේ මාලිගාවේ ඉන්නට ඉඩ නෑ. වාහම වෙනත් විමානයක් සොයා ගන්න..”

බැබලි බැබලි ඉන්න දෙවි කෙනෙක් ඉස්සරහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ අභිමානය බලන්න. අද එහෙම දෙවි කෙනෙක් ඔහොම කිව්වා නං. “අනේ එසේය දෙවිය” කියලා පිලිගන්න ලෑස්තියි.

අනේපිඬු සිටුතුමාගේ මේ වචනයට දෙවඟනගේ ඇග කිලිපොලා ගියා. ඇයට දැන් තව දුරටත් සිටුමැදුරේ ඉන්නට බෑ.
ඇයට වාසය කිරීමට තැනක් තිබුණේ නැහැ.

එනිසා, ඇය නුවරට අරක්ගත් දිව්‍යපුත්‍රයා වෙත ගොස් උපකාර ඉල්ලා සිටියා.

හප්පේ! අනේපිඩු සිටුතුමාගේ ප්‍රශ්නයකට මට අතදාන්න බෑ. සතරවරම් දෙවිවරුන්ට ගිහින් කියන්න.

ඇය සතරවරම් දෙවිවරුන් ලගට ගියා.
හප්පේ! තී ප්‍රශ්න දා ගත්තේ අනේපිඩු සිටාණන් එක්කද? අපිට බෑ ඕක විසදන්න. සක්දෙවිදු ගාවට යන්න.

අවසානයේ ඇය සක් දෙවිඳුන් වෙත ගියා.
සක් දෙවිඳුන් ඇයට එක් උපායක් පැවසුවා.

“තී අනාථපිණ්ඩික සිටුතුමාගෙන් සමාව ගන්න ඔනී. ඊට කලින් තී සිටුතුමාගේ සල්ලි නයට ගත්ත අය ලගට ගිහින් ඒ මුදල් නැවත් ගෙනත් දෙන්න්. ගඟට ගසා ගිය මුදල් ටිකද නැවත් සොයා ගෙනත් දෙන්න..”

දෙව්දුව ඒ උපදෙස් අනුව කටයුතු කළා.
අවසානයේ කෝටි පනස් හතරක ධනයක් නැවත අනාථපිණ්ඩික සිටුතුමාගේ හිස් ගබඩා පිරුණා.

ඉන්පසු ඇය සිටුතුමා ඉදිරියේ පෙනී සිට තමන් කළ වරද පිළිගත්තා. තමන්ගේ නුවණ මඳකම නිසා වැරදි උපදෙසක් දුන් බවත්, තමන්ට සමාව දෙන ලෙසත් ඉල්ලා සිටියා.

සත්පුරුෂයෝ සමාව ඉල්ලනකොට සමාව දෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා ඇයට සමාව දුන්නා.

සිටුතුමා දෙවඟනව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා.

දෙව්දුව බුදුරජාණන් වහන්සේගේ පාමුල හිස තබා තමන් කළ වරදට සමාව ඉල්ලා සිටියා.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාටත්, එම දෙව්දුවටත් කර්මයේ විපාකය පිළිබඳ ධර්මය දේශනා කළා.

ධර්ම දේශනාව අවසානයේ එම දෙව්දුව සෝවාන් ඵලයට පත්වූවා

ඍජු ගති ඇති, ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙක් නිසා දෙවිකෙනෙක්ට පවා යහපත සැලසුනා. ධර්මයේ පිහිටි නිසාම දෙවි කෙනෙක්ට පවා කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය සැලසුනා. සසර දුකින් නිදහස් වුනා.

ධම්මපද අටුවාව ඇසුරෙනි.