පින්වත, පංච නීවරණයන්ට ජීවිතයෙන් සමුදීලා දස දිශාවට ම මෙත් වඩන්න. පින්වත, බාහිර වේවා, ආධ්‍යාත්මික වේවා පංච උපාදානස්කන්ධ ලෝකයේ පුංචි හෝ වරදක් නැහැ. පින්වත, අතීතයේ අපි වපුරපු සංස්කාරයෝ, අස්වැන්න හැටියට වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. පින්වත, ලැබුණ දෙය සතුටින් පිළිගන්න. පින්වත, ඔබට ලැබිලා තිබෙන දෙය ගැන ඔබ සෑහීමකට පත් වෙන්නේ නැති නම්, ලැබීමට අදාළ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සවිමත් වෙන්න. පින්වත, ආදරය, කරුණාව සහ මෛත්‍රිය ලෝකයේ හරිම දුර්ලභ ධර්මතාවයන්. පින්වත, වර්තමානයේ පින්වත් දෙමාපියන්ට තමන්ගේ ම දරුවන්ට ආදරය කරන්න වෙලාවක් නැහැ. පින්වත, වර්තමානයේ පින්වත් ගුරුතුමන්ලාට තමන්ගේ ගෝලයන්ට ආදරය දක්වන්න වෙලාවක් නැහැ. පින්වත, වර්තමානයේ දේශපාලන නායකයන්ට රටට, ජාතියට, ජනතාවට ආදරය දක්වන්න වෙලාවක් නැහැ. පින්වත, ආදරය ‘තෘෂ්ණාව’ විසින් උදුරාගෙන. පින්වත, තෘෂ්ණාව පෙරළා අවිද්‍යාවේ කැත සහ කුණු ආදරයට මුසු කරනවා. පින්වත, ආදරය ලෝකයෙන් බොහෝම වේගයෙන් වඳ වී යන ධර්මතාවයක් බවට පත් වෙලා තිබෙනවා. පින්වත, දැන් දැන් ඉතිරිය බවට පත් වෙන්නේ, මනුෂ්‍ය ධර්මයන්, වගකීම් සහ යුතුකම් නොහඳුනන ආදරයක්. පින්වත, දෙමාපියන්ගේ ආදරය දරුවන්ගෙන් දුරස් වෙද්දී, පින්වත, අසරණ දරුවෝ පාපමිත්‍ර ආශ්‍රයෙන් අසම්මත ආදරයන් සොයනවා. පින්වත, තවදුරටත් වරදකරුවන් හඹා යන්නට එපා, වරදට හේතුව මතු කොට දකින්න. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි දස දිශාවට ම මෙත් වඩන්න. පින්වත, ලෝකයේ සියලු අවුල් සහ වියවුල්වලින් ප්‍රකට වෙන්නේ තෘෂ්ණාවේ මව්දෙමාපියන් වන අවිද්‍යාවේ කැතභාවය මයි.
පින්වත, උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ ඔබේ ජීවිතය රඳවාගෙන, කර්මය කර්මඵල විශ්වාසයෙන්, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිත පතුරුවද්දී, ඔබ සියලුම සත්ත්වයන්ට මනුෂ්‍යත්වයේ ආදරය, කරුණාව පැතිරුවා වෙනවා. පින්වත, එහි ආනිශංසයෝ මයි, පින්වත් ඔබට මනුෂ්‍ය ධර්මයන්ගෙන් පෝෂණය වූ යුතුකම්, වගකීම් හඳුනන ආදරයේ සැබෑ සතුට ලබා දෙන්නේ. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සමාජයෙන් ආදරය, කරුණාව ලබනවා. පින්වත, මේ සියල්ල ම භික්ෂුව දස දිශාවට ම මෛත්‍රිය වැඩීමේ ආනිශංසයෝ මයි. පින්වත, ආදරය අනුන් දෙන දෙයක් නොවේ, පින්වත, මෛත්‍රියට අදාළ ඔබේ ම සංස්කාරයෝ හේතුවෙන් ඔබට ලැබෙන හේතුඵල ධර්මයක්. පින්වත, මෛත්‍රියේ වියෝවෙන්, මනුෂ්‍යත්වයේ ආදරය ලෝකයෙන් වේගයෙන් අතුරුදන් වී යන ධර්මතාවයක් වෙද්දී, ලෝකය පියවර තබන්නේ ආදරය මරාගෙන උපදින මෘග සඤ්ඤාවෝ දිශාවට මයි. පින්වත, අවිද්‍යාවට ලෝකයේ පාලනය සියයට සියයක්, සිය අණසකට ගන්න දෙන්න එපා, තෘෂ්ණාව ලෝකය නොමිනිස් ධර්මයන්ගේ වියරුවක් කරාවි. පින්වත, ලෝකයේ මනුෂ්‍ය ජනගහනය වැඩි වෙද්දී, ලෝකයේ සම්පත් සීමා වෙද්දී, මනුෂ්‍යයාගේ තෘෂ්ණාව දෝරේ ගලා යද්දී අනුනගේ සම්පත් තම බලය යොදා මංකොල්ල කෑම, වර්තමානයේ ලෝක දේශපාලනය බවට පත් වෙලා තිබෙනවා. පින්වත, ආදරය මරාගෙන උපදින ලෝක දේශපාලනය, ධර්මය දන්න අපිට බල කරනවා, “මනුෂ්‍ය ලෝකයේ නැවත පටිච්චසමුප්පන්නව ඉපදීම කෙරෙහි තෘෂ්ණාව පහකොට ගන්න” ය කියලා.
පින්වත, ලෝකය දුකෙන් මුදවා ගන්න දියසෙන් කුමාරයෙක් පැමිණෙන තෙක්, තවදුරටත් මෝහයේ දවල් සිහින දකිමින් ඉන්න එපා. පින්වත, තෘෂ්ණාවේ වියරුව ඉහවහා යද්දී, අනාගතයේ දී පහළ වෙන්නේ දියසෙන්ලා නොව, දිය රෙද්දෙන් ජනතාවගේ බෙල්ල කපන මාරසෙන්ලා මයි. පින්වත, ඔබව දුකෙන් මුදවා ගන්නා දියසෙන් කුමාරයා ඔබ ම වෙන්න දක්‍ෂ වෙන්න. පින්වත, එවිට ලෝකගත වෙන තෘෂ්ණාවේ විකෘතිය, ඔබට අභියෝගයක් වෙන්නේ නැහැ. පින්වත, කවුරුන් මොනවා කීවත්, ලෝකය දුකෙන් මුදවා ගන්නා සැබෑම දියසෙන් කුමාරයා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මයි. පින්වත, මෙලොව සහ පරලොව ලෞකික සැපයෝ උරුම කොට දෙන දියසෙන් කුමාරයා දෑස් ඉදිරිපිට සිටිය දී ම, අවිද්‍යාවෙන් අන්ධ දෑස් අනාගත දියසෙන්ලා නාමයෙන් ප්‍රවර්ධනය කරන්නේ දුකට හේතු වන තෘෂ්ණාව මයි. පින්වත, අවිද්‍යාවේ කඩදාසි ඔටුනු ගලවා දමන්න. පින්වත, සම්මා දිට්ඨියට ඇස් දෙන්න. පින්වත, සැප යැයි, සෞභාග්‍යය යැයි ජරා, ව්‍යාධි, මරණ පංච උපාදානස්කන්ධ දුක ම සොයා ගෙන යන මෝහයේ ලෝකය ඉදිරියේ සැපයට එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තව තවත් නිහතමානී වෙන්න. පින්වත, මනුෂ්‍ය ජීවිත තුළ මහ පොළොවේ ඇති පස් ප්‍රමාණයට මෝහය බලවත් වෙද්දී, පින්වත් ඔබේ නිය සිලේ තිබෙන පස් ප්‍රමාණයයි, ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් ම දකින්නේ.
පින්වත, භික්ෂුව වැඩසිටින ගමේ ප්‍රාථමික පාසලේ ඊයේ රාත්‍රී පිරිත් පින්කමක් තිබුණා. පින්වත, මෙවැනි පින්කමක් සංවිධානය කරලා තිබෙන්නේ දහවල් කාලයේ පාසලේ අමනුෂ්‍යයෙක් පෙනෙනවා ලු. පින්වත, ගෙවල්වල නම් අමනුෂ්‍ය උපද්‍රව තිබෙන බව ඕනෑතරම් අහලා තිබෙනවා. පාසලක අමනුෂ්‍ය උපද්‍රවයක් ගැන භික්ෂුව ඇසුව පළමු වතාව. පින්වත, ප්‍රේත සඤ්ඤාවෝ වඩන්න එපා. පින්වත, ප්‍රේත සඤ්ඤාවෝ වැඩුවොත්, නින්දේදීත්, නොනින්දේදීත් පේන්නේ ප්‍රේතයෝ මයි. පින්වත, ‘සංස්කාර පච්චයා විඤ්ඤාණං.’ පින්වත, තමන් වඩන දෙයට අදාළව දැනීම් සකස් වෙනවා. පින්වත, එවිට මහ දහවල් තමන්ගේ ම සෙවණැල්ල දැක්කත්, අමනුෂ්‍යයෙක් හැටියටයි පෙනෙන්නේ. පින්වත, ප්‍රේත සඤ්ඤාවෝ යැයි කියන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කෙරෙහි ලෝභ සිත මයි. පින්වත, අමනුෂ්‍ය උපද්‍රව ඉදිරියේ ලෝභ සිත් බැහැර කරලා මෛත්‍රී සිත් තර කර ගන්න. පින්වත, පාසලක විදුහල්පතිතුමාට සහ ගුරු මණ්ඩලයට සිසුදරුවන් උදෙසා මොනතරම් නම් මෛත්‍රී සිත් දන් දෙන්න පුළුවන් ද? පින්වත, මෛත්‍රියට ආනිශංස එකොළහක් ලැබෙනවා. පින්වත, අද සෙනසුරාදා. උදෑසන පිණ්ඩපාත මඩුවට දෙසියයක් පමණ ඇවිත් සිටියා. භික්ෂුව මේ සියලුම දෙනාට ම සිත් සේ මෛත්‍රිය දන් දුන්නා. පින්වත, මෙවන් මෛත්‍රියේ දන්සැල් ඉදිරියේ ප්‍රේත සඤ්ඤාවෝ කෙසේ නම් පවතින්න ද? පින්වත, තමාගේ ම ඵස්සය හේතුවන් සකස් වන විඳීම් තුළයි ප්‍රේත සඤ්ඤාවෝ උපදින්නේ. පින්වත, භික්ෂුවගේ සෙවණැල්ලත්, භික්ෂුව දකින්නේ ‘අවිද්‍යා නිරෝධා, ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ’ කියලා මයි. පින්වත, එවිටයි භික්ෂුව තුළ නිරෝධයට අදාළ සඤ්ඤාවෝ බල ගැන්වෙන්නේ. පින්වත, අපි තවම නිරෝධය ඉදිරියේ ළදරුවෝ. එම නිසා ම තමාගේ ම සෙවණැල්ල තුළිනුත් අපි අමනුෂ්‍යයෙක්ව දකිනවා.
පින්වත, ඔබේ ආදරණීය අම්මා සහ තාත්තා තවමත් ජීවතුන් අතර සිටිනවා නේද? පින්වත, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන් දරාගත්ත, එම අහිංසක දෑස් භික්ෂුවට සිහිපත් වෙනවා. පින්වත, මරණින් පසුව මහා බ්‍රහ්මයා ළඟට යන්න, යාගහෝම සිදු කරන ලක්‍ෂ ගණන් මනුෂ්‍යයෝ ජීවත් වන ලෝකයක, තම නිවස තුළ දී ම මහා බ්‍රහ්ම ගුණයන් දකින්න සහ විඳින්න, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඔබ, මොනතරම් නම් පුණ්‍යවන්ත ද? පින්වත, උතුම් තෙරුවන් සරණ ගිය ඔබලා, ප්‍රමාදී භව ගමනේ මොනතරම් නම් ඉදිරිගාමී පිරිසක් ද? පින්වත, ළදරු, ළමා, තරුණ කාලයේ දී කාගේවත් හව්හරණයක් නොලැබූ ඔබට, මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් සංග්‍රහ කළ ඔබේ ආදරණීය දෙමාපියන්ට උතුම් සද්ධර්මයේ ගුණයන්ගෙන් සංග්‍රහ කරන්න දක්‍ෂ වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “ඔබේ ආදරණීය දෙමාපියන්ට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සංග්‍රහ කරන්න” ය කියලා. පින්වත, අම්මා සහ තාත්තා තුළින් මහා බ්‍රහ්ම ගුණයන් ඔබ එකතු කොට ගන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ දී පමණක් මයි. පින්වත, අදත් උදෑසන තම වැඩිහිටි දරුවන්ගේ අත්වාරුවෙන් පිණ්ඩපාත මඩුවට වයෝවෘද්ධ දෙමාපියන් කිහිප දෙනෙක් ම පැමිණියා. පින්වත, මෙවැනි දරුවන් තුළින් අපි දකින්නේ උතුම් තෙරුවන් කෙරෙහි කීකරුභාවය මයි. පින්වත, බෞද්ධයා යැයි කියන්නේ මනුෂ්‍ය ධර්මයන්ගෙන් ලෝකය ලස්සන කරන්නාටයි. පින්වත, ඔහු තම දෙමාපියන් තුළිනුත්, ලෝකය මනුෂ්‍ය ධර්මයන්ගෙන් ලස්සන කරනවා, අපිට දැකලා සතුටු වෙන්න. පින්වත, දරුවන්ගේ උපකාරයෙන් දෙමාපියන් ලබන පිනේ සතුට සහ ප්‍රඥාවේ අවබෝධය පෙරළා දරුවන්ට වර්ණය, සැපය, බලය, ප්‍රඥාවක් ම වෙනවා. පින්වත, මනුෂ්‍ය ධර්මයන්ගෙන් ලෝකය ලස්සන කරන්න, එවිට පින්වත් ඔබත් ලස්සන වේවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 ඔක්තොම්බර් 4 ඉරිදා දිවයින පුවත්පතින්.