ආර්ය ශ්‍රාවකයෝ වැඩ සිටින තැන අමනුෂ්‍යයන්ට, ප්‍රේතයන්ට පවතින්න බැහැ.

පින්වත, ඔබ ගිහි පින්වතෙක් නම් ඔබට රැකගන්නට සහ ආරක්‍ෂා කොට ගන්නට තිබෙන්නේ ධනය, බලය, නිලතල, දේපළ ආදි වූ දුක පිණිස හේතු වන සහ කවදා හෝ දවසක අන්සතු කොට දමා ඔබ මිය පරලොව යන ධර්මතාවයන් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නය වන අපිට, රැකගන්නට සහ ආරක්‍ෂා කොට ගන්නට තිබෙන්නේ දුක පිණිස හේතු වන ධර්මතාවයන් නොවේ. පින්වත, මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් තුන වන සම්මා සම්බුද්ධ ශාසනය, උතුම් ධර්ම රත්නය සහ උතුම් අධිගමයන් අනාගත ලෝකයාට ආරක්‍ෂා කොට තැබීමේ පූජනීය වගකීම පැවරී තිබෙන්නේ උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සුරකින මහා සංඝ රත්නයටයි. පින්වත, ඉහත උතුම් වගකීම් දරා ගත්ත පැවිදි අපි, අපේ ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ සිල් පද දුර්වල කොට ගන්න හොඳ නැහැ. පින්වත, ගිහි පින්වතෙක් ආජීව අට්ඨමක ශීලය දුර්වල කොට ගත්තොත් එහි විපාකයෝ ඔහුට පමණක් මයි. පින්වත, උතුම් පැවිදි අපි සිල් පද දුර්වල කොට ගත්තොත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයට ම අනතුරක් වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව යම් මොහොතක සතර පාරාජිකාවන්ට අදාළ සිල් පදයක් දුර්වල කොට ගත්තොත්, යම් කණ්ඩායමක් හෝ යම් රජයක් භික්ෂුවගේ බිඳුණ ශීලය දඩමීමා කර ගෙන, භික්ෂුව, තමන්ගේ පටු අරමුණු උදෙසා බිය ගන්වන්න හෝ මානසික සිරකාරීත්වයට පත් කොට ගන්න පුළුවන්. පින්වත, අපේ ගෞරවනීය සියලුම ස්වාමීන් වහන්සේලා ඉහත ශාසනික අනතුර ඉදිරියේ බොහෝම සිහිනුවණින් තම පෞද්ගලිකත්වය නොව, උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත යුතුව ඇතැයි භික්ෂුව විශ්වාස කරනවා.

පින්වත, අශ්‍රද්ධාවැති පින්වතුන්ලාට කර්මය කර්මඵල විශ්වාසය ගැන ශත පහක විශ්වාසයක් නැහැ. පින්වත, ගිහි ඇඳුමක සහ චීවරයක ඇති වෙනස අශ්‍රද්ධාවැති පින්වතුන්ලා හඳුනන්නේ නැහැ. පින්වත, මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ ම ධනය වෙන්නේ ශ්‍රද්ධා ධනයයි. පින්වත, ශ්‍රද්ධා ධනය අපේ මෙලොව සහ පරලොව යන දෙකම සැපයෙන් ධනවත් කොට දෙනවා. පින්වත, සැපයෙන් ශ්‍රේෂ්ඨ ශ්‍රද්ධා ධනය කෙරෙහි වටිනාකම, දේශපාලන කුණු කූඩයට දමා, රුපියල්, ඩොලර් වන්දනාවේ යන නිර්අශ්‍රද්ධාවේ සංස්කෘතියක් සමාජය ඉදිරියේ දිග හැරෙමින් පවතිනවා. පින්වත, යම් රාජ්‍ය නිල දරුවෙක් උතුම් චීවරයක් දරා ගත්ත භික්ෂුවකට පහර දෙයි ද, එම නිල දරුවා තම දෙමාපියන්ට සහ බිරිඳටත් පහර දෙන කෙනෙක් වෙනවා. පින්වත, සත්පුරුෂභාවය නැති නිල දරුවන් ඉදිරියේ පැවිදි අපි, අපේ සුපටිපන්න, උජුපටිපන්න ගුණයන් ආරක්‍ෂා කොට ගෙන, විදර්ශනාත්මක මෙත් සිතින් ම, සන්සුන්ව කටයුතු කරන්න දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේටත් අජාසත්තලා, දේවදත්තලා මරණීය චේතනාවන්ගෙන් ගල් පෙරළුවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ උපේක්‍ෂාවෙන් එම අසත්පුරුෂ ධර්මයෝ ඉවසුවා. පින්වත, පැවිදි අපේ ඉන්ද්‍රිය සංවරභාවය මයි අපි පොරවාගත් චීවරය, සම්බුද්ධ චීවරයක් බවට පත් කොට දෙන්නේ. පින්වත, උතුම් පැවිදි ජීවිත ගත කරන අපි, ශීලයෙන් ශක්තිමත්ව සකස් කොට ගන්නා ඉන්ද්‍රිය සංවරභාවය මයි, පැවිදි සමාජයේ අපිට පීඩා කරන, හිරිහැර කරන කණ්ඩායම්වලට හේතුඵල ධර්මයන්ට අදාළව ස්වයංක්‍රීයව අකුසලයෙන් දඬුවම් ලබා දෙන්නේ. පින්වත, පැවිදි අපි ඉන්ද්‍රිය සංවර ශීලයෙන් කළු ගලක් වෙමු. පින්වත, එවිට පැවිදි අපිට ගසන පහර, පෙරළා පහර දෙන දිශාවට ම යොමු වේවි. පින්වත, ශාසනික බාධා කිරීම් ඉදිරියේ හැඟීම්වලට යට නොවී ප්‍රඥාවෙන් නැගී සිටිමු.

පින්වත, මනුෂ්‍ය අපේ ඇලීම් සහ ගැටීම් හෙවත් ‘තෘෂ්ණාව’ අපි ජීවත් වන පරිසරයටත් හොඳටෝම දැනෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “වැස්සට, හිරුඑළියට, සුළඟට අධිගෘහිත දෙවියන් සිටිනවා” ය කියලා. පින්වත, ඉහත දෙවියන් ගැන විශ්වාස කරන්න නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන්න ම ඕනේ. පින්වත, ශ්‍රද්ධාව නැති පින්වතාට ලෝකය පෙනෙන්නේ ලෞකික ප්‍රඥාවේ ඇසෙන් නොව, තම මස් ඇසෙන් පමණක් මයි. පින්වත, “මනුෂ්‍යයාගේ පිරිහීමට සාපේක්‍ෂව දෙවියනුත් පිරිහීමට පත් වෙනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඉවරයක් නැති කාලගුණික විපත්තීන් අපිට සක් සුදක් සේ ඔප්පු කොට පෙන්වනවා, මනුෂ්‍ය අපේ තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම්වල වියරුවට අදාළව, වැස්ස වලාහක, අව්ව වලාහක සහ සුළං වලාහක දෙවියනුත් තෘෂ්ණාවෙන් වියරු වැටිලාය කියලා. පින්වත, ඉහත ධර්මානුකූල දේශගුණික වියරුව ඉදිරියේ ඇළ මාර්ග සහ කාණු සුද්ද කිරීමට පෙරාතුව, කරුණාකර අපි, අපේ ආධ්‍යාත්මය තුළ අකුසලයේ කුණු ගඳ ගහන බල කාමයේ රොන් මඩයි පිරිසිදු කොට දැමිය යුත්තේ. පින්වත, බාහිර සතර මහා ධාතුවේ කිපීම් හේතුවෙනුත් අසම්මත වැහි වහිනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බාහිර සතර මහා ධාතුව විකෘති කොට දමන්නේත්, මනුෂ්‍ය අපේ තෘෂ්ණාව ම නේද? පින්වත, අපි දක්‍ෂ විය යුතුයි, අශ්‍රද්ධාවේ බල කාමය පැත්තකින් තියලා, අපේ පින සහ හැකියාව මත විශ්වාසය තබන්නට. පින්වත, අපේ පිනයි, හැකියාවයි දුර්වල නම්, අපේ එකම විකල්පය වෙන්නේ තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම්වල අසම්මතය මයි. පින්වත, මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි.

පින්වත, වයස අවුරුදු අසූඅටක වයෝවෘද්ධ අම්මා කෙනෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මගේ මැදි වයසේ අවිවාහක දියණිය සමගයි මම නිවසේ ජීවත් වෙන්නේ. අපි කරන සහ කියන කිසිම දෙයක් හරි යන්නේ නැහැ. මම හරිම බියෙන් ජීවත් වෙන්නේ. මම මිය ගියාට පසුව තනිකඩව සිටින දියණියට කුමක් වේවි ද?” කියලා. පින්වත, එම අම්මා අහන්නේ, “තමන්ගේ නිවසට අමනුෂ්‍ය දෝෂයක් තිබෙනවා ද?” කියලයි. පින්වත, භික්ෂුව එම අම්මාට දැනුම් දුන්නේ, “ඔබතුමිය ඔය දියණිය කෙරෙහි උපාදානය අත්නොහළොත්, ඔබතුමිය මිය ගියාට පසුව නම් ඔය නිවසට අමනුෂ්‍ය පීඩාවන් ඇති වීමේ ඉඩකඩ ගොඩාක් වැඩියි” කියලා. පින්වත, එවිට එම අම්මා ඇසුවා, “ඊට හේතුව කුමක් ද?” කියලා. පින්වත, ඊට එකම හේතුව, එම අම්මා මිය යන මොහොතේ අවිවාහක දියණිය උපාදානය කොට ගෙන එම නිවසේ ම අමනුෂ්‍යයෙක්ව ඉපදීමයි. පින්වත, ඔබට කිනම් ප්‍රශ්න, කරදර තිබුණත් ඔබේ නිවසේ සහ ඉඩමේ අමනුෂ්‍යයෝ සිටිනවාය කියලා අනවශ්‍ය පීඩාවන්ට පත් වීමට පෙරාතුව, පින්වත් ඔබ මරණින් පසුව පටිච්චසමුප්පන්නව ඔය නිවසේ ම, ඉඩමේ ම අමනුෂ්‍යයෙක්ව ඉපදීමට ඇති ඉඩකඩ ගැන සිහිනුවණින් පසුවෙන්න. පින්වත, අපි නිවසේ සහ ඉඩමේ සිටින අමනුෂ්‍යයෝ ගැන කලබල වෙනවා, නමුත් මනුෂ්‍ය ජීවිත ගත කරන අපි තුළ වැඩෙන දරුවන්, ඉඩකඩම් සහ දේපළ කෙරෙහි ලෝභ සහ ප්‍රේත සිත් ගැන මෙලෝ සිහියක් අපිට නැහැ. පින්වත, ශ්‍රද්ධාව, මෛත්‍රීය, ශීලය සහ ත්‍යාගය වැපුරූ පොළවේ අමනුෂ්‍යන්ට, ප්‍රේතයන්ට පවතින්න බැහැ. පින්වත, අමනුෂ්‍යයන්, ප්‍රේතයන් පැලපදියම් වෙන්නේ අශ්‍රද්ධාව, කේන්තිය, දුශ්ශීලභාවය සහ මසුරුකම වපුරන පොළොවේය යන විශ්වාසය අපිට තිබෙන්නට ඕනේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ වැඩසිටින තැන, අඳුරු තැනක් නොවේ. පින්වත, එතැන ආලෝකවත් තැනක්. පින්වත, එම ආලෝකය තුළ නීච අමනුෂ්‍යයන්ට, ප්‍රේතයන්ට කොහෙත්ම පවතින්න බැහැ. පින්වත, එම ස්ථාන අයිති දෙවියන්ගේ අණසකටයි.

පින්වත, ඕනෑම පින්වත් මනුෂ්‍යයෙක්, මනුෂ්‍ය ධර්මයන් වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය යන ධර්මතාවයන්ගෙන් හොඳටෝම දුර්වල වෙද්දී, එම පින්වතුන් තුළ වැඩෙන්නේ අමනුෂ්‍ය ධර්මයන්. පින්වත, මනුෂ්‍යයායි, අමනුෂ්‍යයායි අතර වෙනස ඔතනයි තිබෙන්නේ. පින්වත, අමනුෂ්‍යයන් අයිති සතර අපායට වුවත්, මනුෂ්‍ය ධර්මයන් අහිමි කොට ගත් මනුෂ්‍ය ස්වභාවයේ අමනුෂ්‍යයන්, මනුෂ්‍ය සමාජය තුළ ජීවත් වෙනවා ද කියලා පින්වත් ඔබ සිහිනුවණින් කල්පනා කරලා බලන්නකෝ. පින්වත, මනුෂ්‍ය ධර්මයන් දිවිහිමියෙන් සුරකින මනුෂ්‍යයා තුළ වැඩෙන්න ඕනේ දිව්‍ය සඤ්ඤාවෝ මයි. පින්වත, ඔබ, ඔබේ හෘද සාක්‍ෂියට විවේකීව තට්ටු කරලා අහන්න, ඔබ තුළ දිව්‍ය සඤ්ඤාවෝ වැඩෙනවා ද කියලා. පින්වත, මම මෛත්‍රිය වඩනවා; සිල් පද රකිනවා; දන් දෙනවා යැයි කියන කාරණාවලින් පමණක් දිව්‍ය සඤ්ඤාවෝ නම් වැඩෙන්නේ නැහැ. පින්වත, තමන් සිල් පද රකිනවා යැයි කීවත්, බොරු කීම සිල් පදයක් කැඩීමක් යැයි කියලාවත් සමහර පින්වතුන්ලා සිතන්නේ නැහැ. පින්වත, මනුෂ්‍ය ඔබ තුළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය මුල්කොට ගෙන ප්‍රේත සඤ්ඤාවන්ගෙන් මිදී, දිව්‍ය සඤ්ඤාවෝ වැඩෙන්න නම්, අනිවාර්යයෙන් ම ඔබේ මෛත්‍රිය, ශීලය සහ ත්‍යාගය උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ නෙක්ඛම්ම සංකප්පයෙන් පිරිසිදු වෙන්න ඕනේ. පින්වත, නෙක්ඛම්මයෙන් තොර ඔබේ මෛත්‍රිය, ශීලය සහ ත්‍යාගය, ලෝභ, ද්වේශ, මෝහ අමනුෂ්‍ය ධර්මයන්ට පාවඩ එළා දෙන්න පුළුවන්. පින්වත, මනුෂ්‍ය ඔබ සම්මා දිට්ඨියේ ජවය ලබන නෙක්ඛම්ම සංකප්පයෙන් ශක්තිමත් වී ඔබේ මෛත්‍රිය, ශීලය සහ ත්‍යාගය උපයෝගී කොට ගෙන ‘මනුෂ්‍ය දෙවියෙක්’ වෙන්න. පින්වත, එවිට ඔබට නැවත දිව්‍ය ලෝකවලට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පින්වත, පටිච්චසමුප්පන්නව මනුෂ්‍ය ලෝකයෙන් පෙරළා අනාගාමී බ්‍රහ්ම තලයකට ම යන්න, විදර්ශනාමය දැනීම් සකස් කොට දේවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.

උපුටා ගැනීම – 2026 නොවැම්බර් 15 ඉරිදා දිවයින පුවත්පතින්.