පින්වත, පැවිදි අපි මේ වීර්යය වඩන්නේ වර්ණය, සැපය, බලය සොයන්න නොවේ, මේවායෙන් නිදහස් වෙලා යන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව ධර්මානුකූලව දන්නවා, “භික්ෂුව යැයි කියන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාරයන්ගේ ඵලයක්” ය කියලා. පින්වත, පටිච්චසමුප්පන්න සංස්කාරයන්ට හැර වෙන කිසිම අයිතියක් භික්ෂුවට අයිති නැහැ. පින්වත, භික්ෂුවගේ ජීවත් වීමත්, භික්ෂුවගේ අපවත් වීමත් සංස්කාරයන්ගේ ම හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, මෙම සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. පින්වත, යහපත් සංස්කාරයෝ, යහපත් විපාක දීලා අනිත්‍ය වෙලා යද්දී, අපි යළි යළිත් යහපත් සංස්කාරයෝ උපයා ගන්න ඕනේ. පින්වත, ඔබ ලෝකයට හෝ පින්වත් ලෝකයාට නොවේ, බිය විය යුත්තේ. පින්වත, ඔබ බිය විය යුත්තේ ඔබ තුළින් රැස්කොට ගන්නා අකුසල් සංස්කාරයන්ටයි. පින්වත, ඔබ ලෝකයට හෝ පින්වත් ලෝකයාව ‘මගේ’ කොට ගන්න හෝ ආදරය කරන්න යාම නොවේ, ඔබ කළ යුත්තේ. ඔබ කළ යුත්තේ යහපත් සංස්කාරයෝ යළි යළිත් උපයා ගැනීමයි. පින්වත, එවිට හැමෝම ඔබට ගරු කරාවි; ආදරය කරාවි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ ලෝකයට හෝ පින්වත් ලෝකයාට පුංචි හෝ බියක් නැහැ. පින්වත, උන්වහන්සේලා අභියෝගයන්, විවේචන, චෝදනාවෝ ඉදිරියේ සැලෙන්නේ නැහැ. පින්වත, උන්වහන්සේලා විශ්වාසය තබන්නේ ලෝකය හෝ පින්වත් ලෝකයා කෙරෙහි නොවේ, උන්වහන්සේලා විශ්වාසය තබන්නේ අයහපත් සංස්කාරයෝ බැහැර කොට, තමන් උපයා ගත්ත යහපත් සංස්කාරයෝ කෙරෙහි පමණක් මයි. පින්වත, ඔබ ලෝකයෙන් සතුට බලාපොරොත්තු වෙනවා නම්, ඊට අදාළ කුසල් ධර්මයෝ ඔබ තුළින් මතු කොට ගන්න. ඔබ අකුසලය තුළ ම පිහිටා ලෝකයට හෝ ලෝකයාට චෝදනා කරන්න එපා.
පින්වත, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මේ වියරු කැඩෙන, බිඳෙන, විසිරෙන සහ සංස්කාරයෝ අනිත්‍ය වෙන පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි, සැකය, බිය, විචිකිච්ඡාව පහකොට දමනවා. පින්වත, වෙනස් වෙන සංස්කාරයෝ ඉදිරියේ නොසැලෙන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔබව අයෝමය බල පවුරක් බවට පත් කරනවා. පින්වත, සැලෙන ශ්‍රද්ධාව හෙවත් අමූලිකා ශ්‍රද්ධාව අභියෝගයෝ ඉදිරියේ අපිව කම්පිත කරනවා. පින්වත, බාහිර ලෝකයෙන් ඔබට ලැබෙන දෙය සහ නොලැබෙන දෙය තීරණය වෙන්නේ, ලැබීම සහ නොලැබීමට අදාළ ඔබේ ම පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඵලයෙන් මයි. පින්වත, ඔබ පුහුණු කරන මෛත්‍රියට පුළුවන්, සත්පුරුෂ මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් අතර ඔබව ජනප්‍රියභාවයට පත් කරන්න. පින්වත, ඔබ පුහුණු කරන ශීලයට පුළුවන්, විපාකයට පැමිණෙන කුසල් සහ අකුසල් සංස්කාරයෝ ඉදිරියේ පෙරළා අකුසලයට නොයා, කුසල් සංස්කාරයෝ ඉදිරියේ ඍජුව සිටගන්න. පින්වත, මහා සංඝ රත්නය අරමුණු කොට පූජා කර ගන්නා දානයට, සිවුපසයට පුළුවන්, ජරා, ව්‍යාධි, මරණයෝ, වර්ණය, සැපය සහ බලයෙන් තාවකාලිකව යටපත් කරන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව සමාජයෙන් කිනම් විවේචන, චෝදනාවන් පැමිණියත් සැලෙන්නේ නැහැ. භික්ෂුවගේ පුංචි හෝ වරදක් ඇතොත් වහ වහා නිවැරදි කොට ගන්නවා, වරද පෙන්වූ පින්වතාට හදවතින් ම පින් අනුමෝදන් කරලා. පින්වත, වරදක් නිවැරදි කොට ගන්න, භික්ෂුවට එක සිතුවිල්ලක කාලයක් පමණක් මයි ගත වෙන්නේ. ඊට මාර්ගය භික්ෂුව දන්නවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව සමාජය ඉදිරියේ පරාජය වෙන්නෙත් නැහැ. පින්වත, භික්ෂුව ජය ගන්නේත් නැහැ. පින්වත, ජය සහ පරාජය සංස්කාරයන්ට ම භාර දීලා, සංස්කාරයන්ට හේතු වෙන අවිද්‍යාව නිරෝධයයි, භික්ෂුවගේ ඉලක්කය වෙන්නේ.
පින්වත, එකිනෙකට වෙනස් ඉන්ද්රිය ධර්මයෝ සහ පෘථග්ජන ධර්මයෝ ඉදිරියේ සිහිනුවණින් කටයුතු කරන්න. පින්වත, “ධාතු ධාතු හැටියට මනුෂ්‍යයා බැඳී යනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට හුඟාක් දුරට බැඳී යන්නේ, සතර සතිපට්ඨාන ධර්මයෝ වඩන පින්වතුන්ලායි. පින්වත් අශ්‍රද්ධාවැති මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, “සතර සතිපට්ඨානයෝ වැඩුවහම බඩ පිරෙනවා ද?” කියලා. භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, “සතර සතිපට්ඨාන ධර්මයෝ වඩද්දී, විදර්ශනාමය සප්ත බොජ්ඣංග ධර්මයන්ගෙන් සිත පිරෙනවා” ය කියලා. පින්වත, සප්ත බොජ්ඣංගයන්ගෙන් සිත පිරෙද්දී, බඩගින්නක් කෙසේ නම් පවතින්න ද? පින්වත, සප්ත බොජ්ඣංග ධර්මයෝ ම භික්ෂුවගේ ජීවිතය පිනවන, විදර්ශාමය ආහාරයක් බවට පත් වෙලා. පින්වත, බඩගින්න දැනෙද්දී, ආහාර ගැන නොවේ ඔබ සිතිය යුත්තේ. පින්වත, ඔබ සිතිය යුත්තේ බඩගින්න ඇති වුණේ ඉපදීම නිසා නේද කියලයි. පින්වත, එවිට ඔබ වීර්යය වඩන්නේ ආහාර සෙවීම උදෙසා නොවේ, ඔබ වීර්යය වඩන්නේ ඉපදීමේ නිරෝධයට මුල්වෙන කායානුපස්සනාවේ ආහාරයෝ උදෙසායි. පින්වත, අපි තවමත් බඩගින්න, බඩගින්න හැටියට ම දකිනවා. බඩගින්න තුළින් ධර්මය දකින්න දක්ෂ නැහැ. පින්වත, ඔබ උදරය පුරවන්නේ ආහාරවලින් වුවත්, සිත පිරෙන්නේ, ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවයෙන් මයි. පින්වත, ආහාර ප්රත්යවේක්ෂාව ඔබට කායික සැහැල්ලුව, නීරෝගීභාවය වගේ ම, ඔබේ ‘ආහාර කෙරෙහි තෘෂ්ණාව’ ද අඩ හාමතේ තබනවා.
පින්වත, ආහාර වැඩියෙන් අනුභව කළත් දුකයි සකස් වෙන්නේ. පින්වත, ආහාර අඩුවෙන් අනුභව කළත් දුක මයි සකස් වෙන්නේ. පින්වත, අඩු සහ වැඩි යන අන්ත දෙකේ දී ම මාර සමීකරණයෝ අපිව සංස්කාර උගුලේ ම දැඩිව සිරගත කරනවා. පින්වත, ඔබට නිතර නිතර කුසගිනි දැනෙනවා ද? පින්වත, කුසගිනි නොදැනෙන ධර්මතාවයක් තිබෙනවා. එම ධර්මතාවයට කියන්නේ සප්ත බොජ්ඣංගයෝ යැයි කියලා. පින්වත, රූපාවචර සහ අරූපාවචර බ්‍රහ්ම තලවල බ්‍රහ්මයෝ ධ්‍යානගත සමාධිය ආහාරය කොට ගෙනයි ජීවත් වෙන්නේ. පින්වත, සප්ත බොජ්ඣංගයෝ තුළ කාමච්ඡන්දයන් නැහැ. පින්වත, කාමච්ඡන්දයන් යැයි කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමටයි. පින්වත, කාමච්ඡන්ද ආදි වූ පංච නීවරණයෝ යටපත් වූ සප්ත බොජ්ඣංගයෝ විකසිත වූ ජීවිතයක කෙසේ නම් කුස පිනවීමේ කැමැත්ත නැතහොත් ආහාර කෙරෙහි තෘෂ්ණාවේ කුස ගින්දර ඇති වෙන්න ද? පින්වත, සප්ත බොජ්ඣංගයන්ගේ පළවෙනි පියවර වන සති සම්බොජ්ඣංගයට තිබෙන්නේ කුසගින්න කෙරෙහි තෘෂ්ණාව නොවේ, සද්ධර්මය කෙරෙහි ඡන්දය තුළින් මතු වෙන ධම්ම විචය බොජ්ඣංගයයි. පින්වත, ධම්ම විචය බොජ්ඣංගයෙන් ආධ්‍යාත්මික රූපය හෙවත් සළායතනයෝ විනිවිද දකිද්දී, අපි තුළ සකස් වෙන්නේ කුසගින්න හෝ පිපාසය නොවේ. රූපය ඇසුරෙන් සකස් වෙන ඵස්ස, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයේ යථා ස්වභාවයයි. පින්වත, අපි තවමත් සම්මා සමාධිමත් සිතෙන් උපදින සම්මා ඥානයන්ගේ විදර්ශනා රස සහ ගුණ වළඳලා නැහැ. පින්වත, අපි තවමත් කට, දිව පිනවන ආහාරයන්ගේ නාමයෙන් ‘තෘෂ්ණාව’ වළඳලා, සංස්කාර මාරයාගේ වර්ණය, සැපය, බලය තව තවත් තර කරනවා.
පින්වත, හුදෙකලාව අයිති යෝගාවචරයන්ට, පින්වත, හුදෙකලාව අයිති සම්මා සමාධියෙන් උපදින සම්මා ඥානයන්ට සහ සම්මා විමුක්තියට. පින්වත, හුදෙකලාව කියන අර්ථයට පංච නීවරණයෝ අයිති නැහැ. පින්වත, හුදෙකලාව තුළ පංච නීවරණයෝ තිබෙනවා නම්, එම හුදෙකලාව අනාර්ය හුදෙකලාවක් ම වෙනවා. පින්වත, ආර්ය හුදෙකලාව විදර්ශනාමය සප්ත බොජ්ඣංගයන්ගේ නොසිඳෙන උල්පතක් ම වෙනවා. පින්වත, අවිද්‍යාවෙන් පණ ලබන සංස්කාර මාර ධර්මයෝ හරිම තියුණුයි. පින්වත, සංස්කාරයන්ගේ තියුණු වේගවත්භාවය නිසා ම, සංස්කාර හේතුවෙන් සකස් වෙන මනුෂ්‍යයාගේ දැනීම් ද හරිම වේගවත් වෙනවා. පින්වත, පින්වත් මනුෂ්‍යයාගේ වේගවත් දැනීම් නිසා ම, පැවිදි අපි ගොඩාක් සිහිනුවණින් කටයුතු කරන්න ඕනේ. පින්වත, වරක් චුන්ද මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, “යමෙක් මට බැන්නොත් ඔහු මට පහර දුන්නේ නැහැ නේද කියලා මම ඔහුට මෙත් වඩනවා. පින්වත, යමෙක් මට පහර දුන්නොත්, ඔහු මගේ අතපය කැඩුවේ නැහැ නේද කියලා මම ඔහුට මෙත් වඩනවා. පින්වත, යමෙක් මගේ අතපය කඩා දැමුවොත්, ඔහු මගේ දිවි තොර කළේ නැහැ නේද කියලා මම ඔහුට මෙත් වඩනවා. පින්වත, යමෙක් මගේ දිවි තොර කළොත් ‘සියලු සංස්කාරයෝ අනිත්‍ය’ යැයි දකිමින් ම දෑස් දෙක පියා ගන්නවා.” පින්වත, සංඝ සමාජයේ ඉවසීම ‘අසීමාන්තික’ විය යුතු මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසයයි, එම අසීමාන්තික ඉවසීමට ජවය සකස් කොට දෙන්නේ. පින්වත, සංඝ සමාජයේ ඉවසීම, ආවේගශීලීභාවයෙන් තෙත් වුණොත්, ඕනෑම අසත්පුරුෂ පුද්ගලයෙකුට පුළුවන්, උපක්රමශීලීව පැවිදි අපේ ආත්ම ගරුත්වය කෙලෙසා දමන්නට.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 නොවැම්බර් 22 ඉරිදා දිවයින පුවත්පතින්.