පින්වත, විනෝදාස්වාදය උදෙසා කඳු ශිඛර තරණය කරන විනෝදකාමී පින්වතුන්ලා මොනතරම් නම් සිටිනවා ද? පින්වත, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා කඳු මුදුනට නැගගත්තට පස්සේ, වටාපිටාවේ තිබෙන අනෙක් සෑම කන්දක් ම, තමන් නැගගත් කන්දට වඩා ගොඩාක් ලස්සනටයි පෙනෙන්නේ. පින්වත, අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන ‘චක්ඛු විඤ්ඤාණයේ මායාව’, කන්දෙන් කන්දට නොසෑහීම සොයා යන සංචාරකයන් බවට අපිව පත් කරවනවා. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව තිබෙන තාක් කල්, අපේ ම විඳීම්වල අනිත්‍යභාවය, පාරිසරික චමත්කාරය පෙන්වා, සංස්කාරයෝ ප්‍රවර්ධනය කොට ගන්නවා. පින්වත, සිහිනුවණින් කඳු මුදුනකට නැගගත් පින්වතාට කන්ද පාමුල යස අගේට පෙනෙනවා වගේ ම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට තම ජීවිතය පූජා කොට ගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයට වශී වී අහිංසක මනුෂ්‍ය ජීවිත ලබන පුංචි සතුටත්, එම පුංචි සතුට කෙළවර ලබන දීර්ඝ ආදීනවයෝත් නේපාලයේ පසුගියදා සිදු වූ විනාශයෙන් සක් සුදක් සේ පෙනෙනවා. පින්වත, ඉහත දීර්ඝ ආදීනවයෝ දැක ඕපනයිකව මතු වෙන සද්ධර්මයේ උල්පත් තුළින් මයි පින්වත් මනුෂ්‍ය සමාජය කෙරෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් මහා සංඝ රත්නයේ ජීවිතවලට උනන්නේ. පින්වත, හේතුඵල ධර්මයන්ට අදාළව සමාජගත වෙන කාමයේ සහ රූපයේ කෙටි ආදීනවයෝ දැක මහා සංඝ රත්නය තුළ උපදින මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් පෙරළා කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයේ ගොදුරක් බවට මහා සංඝ රත්නය පත් කොට ගන්නේ නැහැ. පින්වත, මහා සංඝ රත්නය මනුෂ්‍ය සමාජය තුළින් දකින දීර්ඝ ආදීනවයෝ සංසාර බිය, සංසාර දුක, සංසාර ගැඹුර විනිවිද දකින උතුම් සම්මා ඥානයෝ උදෙසා මයි කැප කරන්නේ.
පින්වත, ඉන්ද්‍රිය ධර්මයන් සහ බල ධර්මයන් අතර තිබෙන වෙනස සහ පරතරය, සතර අපායත්, උතුම් සම්මා ඥාන සහ සම්මා විමුක්තිය අතර පරතරයයි. පින්වත, මෙම පරතරය තුළ අපේ මෝහය සහ අමෝහය යස අගේට දෝලනය වෙනවා. පින්වත, ඔබ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන පින්වතෙක් ද? මහා සංඝ රත්නයට දන් පූජා කරන පින්වතෙක් ද? පින්වත, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය කර්මඵල විශ්වාසය සහ සියතින් සකසා, ප්‍රණීතව දන්පැන් පූජා කරන ඔබ, ඔබට අවස්ථාවක් ලැබුණ විට දී, ඔබේ “කුසගින්න” තෙරුවන් උදෙසා දන් දෙන්න පුහුණු වෙන්න. පින්වත, ඔබේ කුසගින්න මාරයාට ප්‍රණීත ආහාරයක් කොට දෙන්න එපා. පින්වත, පින්කමකට පෙර සූදානම් වෙද්දී සහ පින්කමක් අවසානයේ දී අදාළ පූජා භූමිය පිරිසිදු කිරීමේ දී, ඒවාට සම්බන්ධ වෙන පින්වතුන්ලාට කුසගින්න දැනෙනවා. පින්වත, එවැනි අවස්ථාවක පින්කමේ දායක මහත්මයාගෙන් බුරියානි, කොත්තු රොටී, ෆ්‍රයිඩ් රයිස් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, ඔබ පින්කමේ දායක මහත්මයාට ලොකු බිලකින් සංග්‍රහ කළොත්, ඔබේ කුසගින්න ඔබ පංච නීවරණ මාරයාට ප්‍රණීත ආහාරයක් කොට දන් දුන්නා වෙනවා. පින්වත, පින්කමක් සිදු කරන අවස්ථාවක ඔබේ කුසගින්න උදෙසා මධ්‍යස්ථ ආහාරයකින් සතුටු වී, පින්කමේ දායක මහත්මයාට පොඩි බිලකින් සංග්‍රහ කරන්න දක්‍ෂ වෙන්න. පින්වත, එවිට ඔබ, ඔබේ කුසගින්න පංච නීවරණ මාරයාට නොව, උතුම් තෙරුවන්ට දන් දුන්නා වෙනවා. පින්වත, අනාගත භව ගමනේ කවදාහරි දවසක් ඒවි, ඔබගේ මුළු පංච උපාදානස්කන්ධ ලෝකය ම උතුම් තෙරුවන්ට දන් දෙන්න සිද්ධ වෙන. පින්වත, වර්තමානයේ පින්කමකදීත් ප්‍රණීත ආහාර සොයමින්, ඔබේ කුසගින්න මාරයාට දන් දෙන්න පුහුණු වුණොත්, ඔබ අනාගතයේ දී කෙසේ නම් ඔබේ තෘෂ්ණාව, සම්මා විමුක්තිය උදෙසා දන් දෙන්න ද?
පින්වත, වචනයෙන් සිදු වන වැරදිවලින් මිදීම උදෙසා බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා නමින් මාර්ග අංගයක් පනවා තිබෙනවා. පින්වත, සම්මා වාචාවන්ගෙන් තොරව සම්මා සමාධිය සිහිනයක් ම වෙනවා. පින්වත, මිච්ඡා වාචාවෝ අපේ මෙලොව සහ පරලොව යන දෙකම පිරිහීමට පත් කොට දමනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ “බොරු කියන්නා, දෙපා සෝදද්දී ඉවතට ගලා යන වතුර වගේ” ය කියලා. පින්වත, දෙපා සෝදද්දී, ඉවතට යන වතුරට පුංචි හෝ වටිනාකමක් නැහැ. පින්වත, එම වතුරේ තැවරිලා තිබෙන්නේත් දැලි සහ කුණු දූවිලි පමණක් මයි. පින්වත, බොරු කියන්නාගේ වචනවලට මෙලොව සහ පරලොව යන දෙකේ දී ම, කාගෙන්වත් ආකර්ශණයක් හෝ පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. පින්වත, ඔහු කතා පෙට්ටියක් වුවත්, එම කතා පෙට්ටිය අනුනට හරිම නීරසයි. පින්වත, ජීවිතවලින් සම්මා දිට්ඨිය දුර්වල වෙද්දී, බොරුව රජ වෙනවා. පින්වත, බොරුව රජ වෙද්දී, සමස්ත ජාතියේ ම සතිය, සමාධිය අතුරුදන් වෙලා යනවා. පින්වත, යමෙක් බොරු කියලා පටිච්චසමුප්පන්නව ප්‍රේත ලෝකයේ ඉපදුණොත් කට සහ දිව වණ වෙලා, කුණු වෙලා තමයි උපදින්නේ. පින්වත, තෘෂ්ණාව වැඩිවෙද්දී, අකුසල් විපාකයෝ කෙරෙහි බිය පහව යනවා. පින්වත, එවිට අකුසල් සමග අපි සෙල්ලම් කරනවා. පින්වත, අද උදෑසන හරියට බොරු කියන කාන්තාවක් පිණ්ඩපාත මඩුවට පැමිණියා. පින්වත, භික්ෂුව ඇයව දැකපු දවසේ පටන් ම ඇය බොරුවෙන් ජීවත් වෙන්නේ. පින්වත, දුරබැහැර පිණ්ඩපාත මඩුවලට ඇය ඇවිල්ලා ස්වාමීන් වහන්සේව හොඳින් හඳුනන බව අනුනට කියලා, දානය බෙදන ඡායාරූප තම මුහුණු පොතේ දමලා, පින්වතුන්ලාගේ දුරකථන අංක ඉල්ලාගෙන, පින්කම්වලට යැයි කියලා පින්වතුන්ලාගෙන් මුදල් ගන්නවා. පින්වත, පිණ්ඩපාත මඩුවල දී, “ස්වාමීන් වහන්සේ හොඳින් හඳුනනවා” යැයි කියන මෙම කාන්තාව ගැන අවධානයෙන් සිටින්න.
පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අද කරන්න පුළුවන් දෙය හෙටට කල් දමන්න එපා. පින්වත, අද කරන්න පුළුවන් දෙය හෙටට කල් දැම්මොත්, ඔබ තුළ සකස් වෙන හීන වීර්යය ඔබේ භව නිරෝධයත් කල් දමනවා. පින්වත, බාහිය දාරුචීරිය කියන ගිහි පින්වතා බුදුරජාණන් වහන්සේව දකින්න විනාඩි පහක්වත් ප්‍රමාදී වෙන්න කැමති වුණේ නැහැ. පින්වත, එම වීර්යවන්ත පින්වතා දැක්කේ ප්‍රමාදී වෙන පුංචි නිමේෂයේ දී තමා මිය ගියොත්, බුදුරජාණන් වහන්සේ නොදැක මයි තමන්ට මිය යන්න සිද්ධ වෙන්නේ කියලා. පින්වත, කරුණාකර බුදුරජාණන් වහන්සේ නොදැක ඔබ මිය යන්න එපා, වහ වහා අප්‍රමාදී වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මේ නිමේෂයේදීත් ජීවමාන ශාස්තෘන් වහන්සේව දකිනවා. පින්වත, භික්ෂුව ජීවමාන ශාස්තෘන් වහන්සේව දකින්නේ, භික්ෂුවගේ අප්‍රමාදීභාවය තුළින් මයි. පින්වත, අප්‍රමාදී ජීවිත ජීවත් වෙන්නේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ උදෙසා මයි. පින්වත, තෘෂ්ණාව නිරෝධය කිරීමට නම්, තෘෂ්ණාවෙන් ගත යුතු සැබෑ ධර්මානුකූල ප්‍රයෝජනයෝ ලබා ගන්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, තෘෂ්ණාව දුකට හේතුව බව ඇත්ත, නමුත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී උත්තමයන් තුළත් අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, ඉන් අදහස් වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධය උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඕජාවෙන් පෝෂණය වූ, උතුම් සප්ත බොජ්ඣංගයන්ගේ හැඩරුව සහිත, තෘෂ්ණාවේ සහයෝගය අවශ්‍යයි කියන කාරණයයි. පින්වත, කරුණාකර ඔබේ බල ධර්මයන් වැඩීමට පෙරාතුව, සප්ත බොජ්ඣංගයන් තුළින් පෝෂණය වන තෘෂ්ණාවට තිත තබන්න යන්න එපා.
පින්වත, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සිහිපත් වෙද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ දසපාරමී පුණ්‍ය ශක්තියයි. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තියෙන් තොරව කෙසේ නම් ගුරු උපදේශයන් රහිතව උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධ කොට ගන්න ද? පින්වත, එවන් දුර්ලභ චතුරාර්ය සත්‍යය ධර්මයෝ කවදාහරි ලෝකයෙන් ඈත්කොට දමන්නේ ගිහි සහ පැවිදි අපේ තෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවේ විපාකයෝ මයි, අතිදීර්ඝ අබුද්ධෝත්පාද කාලයන් උදා කොට දෙන්නේ. පින්වත, දසපාරමී පුණ්‍ය ශක්තියෙන් උපන් චතුරාර්ය සත්‍යය ධර්මයෝ, සද්ධර්මයේ ගුණයන්ගෙන් මොනවට ප්‍රණීත වෙලයි තිබෙන්නේ. පින්වත, මෙම ප්‍රණීතභාවය තේරුම් ගන්න නම්, කාමච්ඡන්දයන්ගේ අප්‍රණීතභාවය වටහා ගන්න ම ඕනේ. පින්වත, ඇලීම් සහ ගැටීම්වලින් මොහොතක් සංසිඳුණ සිත, ප්‍රණීත චතුරාර්ය සත්‍යය ධර්මයෝ ශ්‍රවණය කරන්න හරිම කැමතියි. පින්වත, අදත් උදෑසන භික්ෂුව පිණ්ඩපාත මඩුවේ දී චතුරාර්ය සත්‍යය ධර්මයෝ දේශනා කළා. පින්වත, ලෝකයේ නිරවුල් ම හේතුඵල දහම චතුරාර්ය සත්‍යය ධර්මයෝ මයි. පින්වත, අපි ඉදිරියේ දිග හැරෙන්නේ දුක අවබෝධ කොට ගන්නා ලෝකයක් නොව, දුක සිත් සේ විකුණන ලෝකයක්. පින්වත, දුක විකුණද්දී, ලාභය බවට පත් වෙන්නේ තෘෂ්ණාවයි. පින්වත, තෘෂ්ණාවේ ලාභය පෙරළා දුක උදෙසා මයි ආයෝජනය වෙන්නේ. පින්වත, අපි තවමත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නික්ලේශී රසය ලබලා නැහැ. පින්වත, අපි කැමති ඇලීම් සහ ගැටීම්වලින් උනන පංච නීවරණ කුණු රසයට මයි. පින්වත, පංච නීවරණයෝ ඉදිරියේ චතුරාර්ය සත්‍යය ධර්මයෝ යැයි කියන්නේ තහනම් වචනයක්. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ උපදින්නේ සති සම්බොජ්ඣංගයේ තිඹිරි ගෙය තුළ මයි. පින්වත, බෝධිසත්ත්වයන් වහන්සේ තෘෂ්ණාව දන් දෙමින්, සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට ගන්නා චතුරාර්ය සත්‍යය ධර්මයෝ, මනුෂ්‍ය අපි තෘෂ්ණාව ප්‍රවර්ධනය කරමින්, අනාගතයේ දී තාවකාලිකව අතුරුදන් කොට දමනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 සැප්තැම්බර් 20 ඉරිද දිවයින පුවත්පතින්.