අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ, විසාලා මහ නුවර එක් ගණිකාවකට දුවක් සිටියා ය. එම දුවගේ නම “විමලා” යි. ඇය තරුණ වයසට පැමිණි පසු අම්මා මෙන්ම ගණිකාවක් විය.
විවිධ පිරිමින් පොළඹවා ගෙන සංසර්ගයේ හැසිරෙන ඇය, එයින් ලැබෙන මුදලින් ජීවත් විය. එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇය ජීවත් වන වීථියේ පිණ්ඩපාතයේ වැඩම කළහ.
විමලා ගණිකාවට මුගලන් මහ රහතන් වහන්සේ ගැන කාම සිතක් ඇති විය. ඇය තෙරුන් වහන්සේ වාසය කරන තැනට ගොස්, විවිධ ඉරියව් වල සිටිමින්, ශරීරයේ රහස් තැන් පෙන්වමින්, මහරහතන් වහන්සේව පොළඹවා ගන්නට උත්සාහ කළා ය. (ඇතැම් තැනක මේ සිදුවීම, තීර්තකයින්ගේ මෙහෙයවීම නිසා විමලා ගණිකාව විසින් සිදු කළ බවද සඳහන් වේ.)
මුඟලන් මහරහතන් වහන්සේ ඇයට මිනිස් සිරුර ගැන මෙසේ දේශනා කළ සේක.
‘‘අට්ඨිකඞ්කලකුටිකෙ
මංසන්හාරුපසිබ්බිතෙ
ධිරත්ථු පුරෙ දුග්ගන්ධෙ
පරගත්තෙ මමායසෙ.”
“ඇටසැකිලි කුටියක් ඇත්තිය, නහරවැල්වලින් වෙලන ලද, දුගඳ හමන, අසූචිවලින් පිරුණ, තොපට ගර්හා වේවා! අනුන්ගේ, ශරීරත් මේ වගේම තත්ත්වයක් පවතින නිසා මට මොන බයක්ද?”
‘‘ගූථභස්තෙ තචොනද්ධෙ
උරගණ්ඩිපිසාචිනි
නව සොතානි තෙ කායෙ
යානි සන්දන්ති සබ්බදා.”
“අසූචි ඇති අතක් හා සමානවූ, සමින් වසන ලද පිසාචයෙක් වැනි, ඔබගේ ශරීරය හැම විටම නව දොරකින් වෑහෙන කුණු වලින් පිරී පවතී.”
‘‘තව සරීරං නවසොතං
දුග්ගන්ධකරං පරිබන්ධං
භික්ඛු පරිවජ්ජයතෙ තං
මීළ්හං ච යථා සුචිකාමො.”
“ දිය පහරවල් නවයක් ඇති, දුගඳ හමන, සමින් බඳින ලද මේ ශරීරයේ පිරිසිදුබව කැමැති අයෙක්, කුණක් දැක එය පිළිකුල් කරන්නාක් මෙන්, භික්ෂුව විසින් දුරුකළ යුතු ය.”
‘‘එවඤ්චෙ තං ජනො ජඤ්ඤා
යථා ජානාමි තං අහං
ආරකා පරිවජ්ජෙය්‍ය
ගූථට්ඨානංව පාවුසෙ’’
“අසූචි ගොඩක්වූ මේ ශරීරය, මා දකින ආකාරයටම, මහජනයාත් දකිනවානම්, අපිරිසිදු අසූචිවලක් දුරුකරනවා වාගේ, මෙය දුරින්ම දුරු කරනවා.
‘‘පස්ස චිත්තකතං බිම්බං
අරුකායං සමුස්සිතං
ආතුරං බහුසඞ්කප්පං
යස්ස නත්ථි ධුවං ඨිති.”
“අසූචි වැගිරෙන මේ ශරීරය සිතින් සිතියම් කරන ලද්දක් මෙන් පවතින නමුත්, නොයෙක් රෝග ව්‍යසනයන්ට ගොදුරු වෙනවා. මෙහි ස්ථිර බවක්ද නැහැ.”
‘‘අට්ඨපදකතා කෙසා
නෙත්තා අඤ්ජනමක්ඛිතා
අලං බාලස්ස මොහාය
නො ච පාරගවෙසිනො.
“අෂ්ටපදාකාරයෙන් කරනලද කෙස් ඇති, අඳුන් තැවරූ ඇස් ඇති, මේ ශරීරය මෝඩයාගේ මුලාවට හේතු වෙයි. නිවන් සොයන්නහුගේ මුලාවට හේතුවක් නොවේ.
‘‘අඤ්ජනීව නවා චිත්තා
පූතිකායො අලඞ්කතො
අලං බාලස්ස මොහාය
නො ච පාරගවෙසිනො.”
“අලංකාර කරනලද මේ කුණු කය, මාලාකර්ම දන්තාදියෙන් විසිතුරුය. එය බාලයාගේ මුලාවට හේතුවක් වෙයි.
මුගලන් මහ රහතන් වහන්සේගේ අවවාද ඇසූ විමලා ගණිකාව, තමන් මෙතෙක් කල් අතිශයින් සුන්දර යැයි සිතාගෙන සිටි ශරීරයේ සැබෑව තේරුම් ගෙන, දහම් සංවේගයක් ඇති කර ගත්තා ය. ඇය පවට ලැජ්ජාව සහ භය කියන හිරි, ඔත්තප්ප ධර්ම තමන් තුළ ඇති කර ගත්තා ය.
ඉන්පසුව ගණිකා වෘත්තියෙන් ඈත් වූ ඇය, බුද්ධ ශාසනය තුළ සැදැහැවත් උපාසිකාවක් ලෙස, කාලයක් කටයුතු කළා ය. ටිකෙන් ටික ධර්ම ඥානය මුහුකුරා යන විට ඇයටත් පැවිදි වන්නට දැඩි කැමැත්තක් ඇති විය. පසු කාලයකදී ඇය භික්ෂූණීන් වහන්සේලා ළඟට ගොස් පැවිදි විය. පෙර සංසාරයේ සිදු කරගෙන තිබුණු පින්බලය නිසාම හේතු සම්පත් මුහුකුරා ගොස් තිබුණු මෙතුමිය මගඵල ලබන්නට දැඩි වීර්යයෙන් කටයුතු කළා ය. විමලා තෙරණින් වහන්සේට වැඩි කාලයක් යන්නට පෙර සියලුම කෙලෙසුන් නසා රහත් වන්නට හැකි හැකියාව ලැබුණි.
සියලු කෙලෙසුන් නසා රහත් ව අතීතය දෙස බලමින් විමලා තෙරණින් වහන්සේ පසු කලෙක මෙසේ කීවා ය.
‘‘මත්තා වණ්ණෙන රූපෙන
සොභග්ගෙන යසෙන ච
යොබ්බනෙන චුපත්ථද්ධා
අඤ්ඤාසමතිමඤ්ඤිහං.”
“ශරීර පැහැයෙන්ද, රූපයෙන්ද, සැපතින්ද, යසසින්ද, තරුණ කමින්ද මත්වූ මම අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතුවෙමි.”
‘‘විභූසෙත්වා ඉමං කායං
සුචිත්තං බාලලාපනං
අට්ඨාසිං වෙසිද්වාරම්හි
ලුද්දො පාසමිවොඩ්ඩිය.”
“මෝඩයන් රස්වත් කර කථාකරණ මේ කය විසිතුරු කොට සරසා, වැද්දා මළපුඩුව හෙලා බලාසිටින සේ වෙශ්‍යාගෘහයෙහි සිටියෙමි.”
‘‘පිලන්ධනං විදංසෙන්තී
ගුය්හං පකාසිකං බහුං
අකාසිං විවිධං මායං
උජ්ජග්ඝන්තී බහුං ජනං.”
“ලස්සන ආභරණ දරමින්, ශරීරයේ බොහෝ රහස් තැන් පෙන්වමින්, මහජනයාට සිනාසෙමින් නොයෙක් රැවටීම් කෙළෙමි.”
‘‘සාජ්ජ පිණ්ඩං චරිත්වාන
මුණ්ඩා සඞ්ඝාටිපාරුතා
නිසින්නා රුක්ඛමූලම්හි
අවිතක්කස්ස ලාභිනී.”
ඒ මම අද හිස මුඩුකොට දෙපොට සිවුරු පොරවා පිඬු පිණිස හැසිර, ධ්‍යානය සහ අර්හත්වය ලබා ගස් මුලක වාසය කරන්නෙමි.”.
‘‘සබ්බෙ යොගා සමුච්ඡින්නා
යෙ දිබ්බා යෙ ච මානුසා
ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ
සීතිභූතාම්හි නිබ්බුතා’’ති.
“දෙවි මිනිසුන් ඒ සියළු බැඳුම් සිඳ සියලු පව් ගෙවා සිහිල් වීමි. නිවුනෙමි.”
(පඤ්චකනිපාතො, විමලා (පුරාණ ගණිකා) ථෙරී ගාථා)
අතිපූජනීය තපෝවනයේ රතන හිමි
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
බෞද්ධ භාවනා.