පින්වත, මේ උදා වුණේ පුණ්‍යවන්ත වස්සානයේ සිව්වැනි සතිය. පින්වත, අදත් උදෑසන භික්ෂුව විසින් සමාදන් වූ වස් ශීලය යළි ආවර්ජනය කරමියි, භික්ෂුව පුණ්‍යවන්ත වස් ශීලය කෙරෙහි සිහිනුවණ නැවුම් කොට ගත්තා. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් පෝෂණය වූ, චාරිකාවන් අවම කොට බුදුරජාණන් වහන්සේ පැනවූ වස් ශීලය මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයක් වෙනවා. පින්වත, මේ උතුම් ශීලයෝ අපිට මුණ ගැසෙන්නේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක දී බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපසම්පදා භික්ෂු සමාජයක දී පමණක් මයි. පින්වත, මෙවන් දුර්ලභ ශීලයකින් හික්මෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා යැයි කියන්නේ මොනතරම් නම් දුර්ලභ පිරිසක් ද? පින්වත, මෙවන් දුර්ලභ අර්ථයෝ කාමච්ඡන්ද ආදි වූ සුලබ පංච නීවරණයෝ ඉදිරියේ පැවිදි අපිට අමතක වෙලා යන්න පුළුවන්. පින්වත, එම නිසාම උතුම් වස් ශීලය දිනපතා උදෑසන ආවර්ජනය කිරීම, දුර්ලභ ධර්මයන් කෙරෙහි පැවිදි අපේ සතිය සිහිය අවදි කොට ගත්තා වෙනවා. පින්වත, උතුම් වස් ශීලය පැවිදි අපිව ස්වයංසීමාවකට යටත් කොට තිබෙනවා. පින්වත, පුණ්‍යවන්ත වස්සානයේ දී පැවිදි අපිව ස්වයංව සීමා කොට තිබෙන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් මයි. පින්වත, පැවිදි අපිට ඇතෙක් බරට නිදහස තිබුණත්, අපි දක්‍ෂ නම් අපේ කෙලෙස් බරට සැහැල්ලුව දෙන්න වස් ශීලයට ඖෂධීය ගුණයක් තිබෙනවා. පින්වත, මෙලොව සහ පරලොව සැපයට ලොල් වූ ලෝකයට, දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි චතුරාර්ය සත්‍යය ධර්මයෝ කෙරෙහි සතිය සහ සිහිය ඇති කොට දීමේ මානසික විවේකය, වස්සානයේ ධර්මානුකූල හැඩරුව කොට ගන්න පැවිදි අපි දක්‍ෂ වෙන්න ඕනේ. පින්වත, උතුම් වස්සානය තවත් පිනේ ඝෝෂාවක් පමණක්ම නොව, පින යනු අනිත්‍ය වී යන සංස්කාරයක් යැයි දකින සම්මා ඥානයෝම අවදි කොට ගන්න දක්‍ෂ වෙන්න.
පින්වත, උතුම් ආජීව අට්ඨමක ශීලයට ඔබේ ජීවිතය තුළින් වටිනාකමක් දෙන්න. පින්වත, ශීලය ඔබට බල කරන්නේ නැහැ, ශීලයට ඔබේ ජීවිතය තුළින් වටිනාකමක් දෙන්නය කියලා. පින්වත, සමාජය තුළ දිගහැරෙන අනපේක්‍ෂිත විපත් මනුෂ්‍ය සමාජයට බල කරනවා, කරුණාකර ශීලයට වටිනාකමක් දෙන්නය කියලා. පින්වත, අනාගතයේ ඇති වන විපතකින් ඔබ අනතුරකට පත් වෙන තුරු ඔබ ප්‍රමාදී වෙන්න එපා. පින්වත, වර්තමානයේ ශීලයට තම ජීවිතයෙන් වටිනාකමක් දෙන්නා, අනාගතයේ දී ශීලයේ උතුම් ආනිශංස ධර්මයන්ගේ ප්‍රතිලාභයන් මයි ලබන්නේ. පින්වත, හෙට දවසේ ඔබේ ජීවිත ආරක්‍ෂාවේ තීරකයා වෙන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් නොවේ. පින්වත, හෙට දවසේ ඔබේ ජීවිත ආරක්‍ෂාවේ තීරකයා බවට පත් වෙන්නේ, ඔබ තුළින්ම සකස් වන ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ යැයි කියන ධර්මතාවයයි. පින්වත, පටිච්චසමුප්පන්න අපේ දුර්වල සංස්කාරයෝ අනතුරු සහ විපත් කරා යන්න අපිට දැනීම් සකස් කොට දෙනවා. පින්වත, ඔබේ දුසිල්වත්භාවය අනාගත අනතුරු සහ විපත් දිශාවට ඔබේ ජීවිතය විවෘත කොට දෙනවා. පින්වත, දුසිල්වත්භාවයේ කෙටි සැපයන් උදෙසා සිල්වත්භාවයේ මහා සැපයන් සමාජයට අහිමි කොට ගන්න එපා. පින්වත, බුදුරජාණන් වහන්සේට, රුවන්වැලි මහා සෑ සමිඳුන්ට, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට ඔබව ආරක්‍ෂා කොට දෙන්න බැහැ. පින්වත, සමාජය තුළ දිනපතා සිදු වන විපත්, අනතුරු අවම කොට ගැනීමට නම් තෙරුවන් කෙරෙහි කීකරුභාවයෙන් ශීලයේ සහ මෛත්‍රියේ කුසල් ශක්තිය ඔබ තුළින්ම ඇති කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව දඹදිව වැඩසිටිය දීම, විශාලා මහනුවර ජනතාව තමන්ගේ අකුසල් සංස්කාරයෝ විසින්ම විනාශයේ දොරටු විවෘත කොට ගත්තා. පින්වත, බුදුරජාණන් වහන්සේට කළ හැක්කේ මාර්ගය කියා දීම පමණක් මයි. පින්වත, මාර්ගයට කීකරු වීම හෝ අකීකරු වීම අපේ සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයක් මයි.
පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, තමන් සමාධි භාවනාවක යෙදී සිටිය දී දෙවියෙක් දර්ශනය වී, තම බිරිඳටත් තමන්ටත් මේ ජීවිතයේ දී ම සෝවාන්ඵලයට පත් වෙන්න පුළුවන්” ය කියලා කිව්වාය කියලා. පින්වත, මේ කතාව ඇත්තක් ද කියලයි ඔහු භික්ෂුවගෙන් විමසන්නේ. පින්වත, ඉහත කතාව දෙවියන්ගේ කතාවක් නොවේ. ඉහත දෙවියාගේ සිද්ධියට කියන්නේ සමථ විදර්ශනාවේ ආස්වාදය කියලයි. පින්වත, සමාධිමත් සිතේ විඳීම් තුළ බැස ගත්ත ‘විඤ්ඤාණයේ මායාව’, අපිට මෙවැනි මැජික් සන්දර්ශනයෝ පෙන්වන්න පුළුවන්. පින්වත, “ඔබ තුළ තෙරුවන් කෙරෙහි කීකරුභාවය, වීර්යය සහ අකුසලය කෙරෙහි ලජ්ජාව සහ බිය කියන කාරණා තුන තිබෙනවා නම්, ඔබට මේ ජීවිතයේ දී ම උතුම් සෝවාන්ඵල අවබෝධයෝ සාක්ෂාත් කොට ගන්න පුළුවන්” යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ඔබ දෙවියන්ගේ දර්ශනයන්ට බැඳුණොත් අවබෝධය දිශාවට නොව ආස්වාදයේම ගොදුරක් වෙන්නත් පුළුවන්. පින්වත, ඔබ උතුම් සමාධියේ දී දැක්කා යැයි කියන ඔය දෙවියාගේ රූපය මුලින් ම කායානුපස්සනාවෙන් දකින්න. පින්වත, දෙවියා, දෙවියෙක් නොව අට්ඨික සඤ්ඤාවක් කොට දකින්න. පින්වත, ඔය දිව්‍ය රූපය කෙරෙහි තෘෂ්ණාව පහවුණ තැන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්ට පවතින්න බැහැ. පින්වත, ඔය දෙවියාගේ රූපය ඔබ නිත්‍ය සඤ්ඤාවෙන් දැක්කොත්, දෙවියා දැක්ක ඔබේ ආධ්‍යාත්මික රූපයත් ඔබ නිත්‍ය සඤ්ඤාවෙන් ම දකිනවා. පින්වත, ඔය දෙවියාගේ රූපය විදර්ශනාවෙන් කඩා බිඳ දමන්න. පින්වත, එසේ නොවුණොත් දෙවියාගේ රූපය ඵස්සය වීමෙන් සකස් වන සෑම සිතුවිල්ලක්ම උතුම් සෝවාන්ඵල අවබෝධයට අදාළ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැක්ම උදෙසා නොව, පංච උපාදානස්කන්ධයේ ප්‍රවර්ධනය උදෙසා ම හේතු වෙනවා. පින්වත, දෙවියන්ගේ කතාවන්ට සවන් නොදී බුදුරජාණන් වහන්සේට සවන් දෙන්න. එවිට ඔබට ඇසේවි, “සෝවාන්ඵල අවබෝධයට එකම මාර්ගය චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෙන් පෝෂණය වූ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය” යැයි කියලා.
පින්වත, සත්ත්වයාගේ පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල්වල හැඩරුවට අදාළව, රූපයේ ප්‍රකෘති සහ විකෘතීන් ඇති වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ජීවත් වූ බරට බරේ මහ පොළොවේ ඇතිල්ලෙන තරම් විශාල වෘෂණ කෝෂ දෙකක් සහිත ප්‍රේතයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මෙම ප්‍රේතයාගේ වෘෂණ කෝෂවල විශාලත්වය නිසා ම ප්‍රේතයාට නිදහසේ ඇවිදින්න බැහැ. පින්වත, ඔහු වරෙක තම විශාල වෘෂණ කෝෂය දකුණු කර මතට ගන්නවා. එවිට ප්‍රේතයා වෘෂණ කෝෂයේ බරට දකුණු පැත්තට බර වෙනවා. පින්වත, ප්‍රේතයා මහා පීඩාවකින් ටික දුරක් ඇවිදලා තම වෘෂණ කෝෂය වම් කරට ගන්නවා. පින්වත, එවිට ප්‍රේතයා වම් පැත්තට බර වෙලා යනවා. පින්වත, වෘෂණ කෝෂයේ අධික බර ප්‍රේතයාගේ සමබරතාවය සාහසික ලෙස උදුරා ගෙන තිබෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “මෙම අධිබර වෘෂණ කෝෂ සහිත ප්‍රේතයා, පෙර පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතයේ දී නීතිය පක්‍ෂග්‍රාහීව කිරපු අධිකරණ විනිසුරුවරයෙක්” ය කියලා. පින්වත, වර්තමානයේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ අලුත් අලුත් මාතෘකාවෝ කල එළි බහිනවා නේද? පින්වත, පරිස්සමෙන්, ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්න ගිහිල්ලා පටිච්චසමුප්පන්නව ඔබලා “අන්ක්ලීන්” වෙන්න නම් එපා. පින්වත, මේ රාත්‍රියේ කැලෑ රොදේ ගස් කොළන් අතරින් මහා ගිනි මැලයක් භික්ෂුවට පෙනෙනවා. පින්වත, වගාවන්ට හානි කරන වන සතුන්ව පළවා හරින්න ගිනි මැලයක් ගහලා.
පින්වත, භික්ෂුව වැඩසිටින ගමට අලි වැටක් තිබුණත්, එම අලි වැට සුදු අලින් හේතුවෙන් අක්‍රීය වෙලා. පින්වත, ජීවත් වීම උදෙසා දිවා රාත්‍රී සතාසිවුපාවා සමග පොර බදමින් ජීවත් වෙන මෙවැනි අහිංසක මනුෂ්‍යයන් කෙසේ නම් “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩන්න ද? පින්වත, අපේම පටිච්චසමුප්පන්න සංස්කාරයෝ නියමිත සංස්කාරයන්ට අදාළව, අපිට විවිධ ප්‍රමාණයේ හැඳිවලින් දුක බෙදනවා. පින්වත, එහෙත් මේ රාත්‍රියේ ගිනි මැලයේ එළියෙන් පැල් රකින ඔබලාට මෛත්‍රිය හෝ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි නැහැ. පින්වත, මනුෂ්‍ය ඝාතන සිය ගණනක් සිදු කරපු අංගුලිමාලත් මේ උතුම් ශාසනයේ අග්‍රම ප්‍රතිලාභයෝ උරුම කොට ගත්තා. පින්වත, සුනීත, සෝපාකලාත් උතුම් ශාසනයේ අග්‍රම ප්‍රතිලාභයෝ උරුම කොට ගත්තා. පින්වත, හෙට උදෑසන මෙම අහිංසකයන් බතක්, ව්‍යංජනයක්, අතුරුපසක් හදාගෙන පිණ්ඩපාතය බෙදන්න පිණ්ඩපාත මඩුවට පැමිණේවි. පින්වත, භික්ෂුව එම ගම්වාසීන් උපයෝගී කොට ගෙන මෛත්‍රී සිතත්, විදර්ශනා සිතත් ශක්තිමත් කොට ගනීවි. පින්වත, කෙනෙකුගේ දුකට බර ජීවිතය, තවත් කෙනෙකුගේ දුකේ නිරෝධය උදෙසා හේතු වේවි. පින්වත, අවිද්‍යාවෙන් ගොරහැඩි ලෝකයට ආදරය කරන්න හෝ වෛර කරන්න යන්න එපා. පින්වත, ලෝකය විනිවිද දකින්න. පින්වත, එවිට අවිද්‍යාවෙන් ගොරහැඩි වූ, දුකෙන් පිරී ගිය ලෝකය, ඔබ තුළ වැඩෙන සම්මා ඥානයෝ අභියස දණ ගසාවි. පින්වත, දුක, පින්වත, දුකට හේතුව තෘෂ්ණාව. පින්වත, ලෝකයේ සැබෑ හැඩරුව ඔබේ රූපය තුළ නොවේ තිබෙන්නේ, ඉහත ධර්මතාවයෝ තුළ යැයි එවිට ඔබට පසක් වේවි. පින්වත, ඔබ හැඩවැඩ කරන ඔබේ ආධ්‍යාත්මික රූපය අවිද්‍යාවේ ඇස්බැන්දුම් රූපයක් පමණක්ම නේද කියලා ඔබට තේරුම් යාවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 අගෝස්තු 23 ඉරිදා දිවයින පුවත්පතින්.