අසීමිත තෘෂ්ණාවෙන් තබන පියවර.

පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාව වුණත්, එම අවිද්‍යා මුල පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත තෘෂ්ණාවේ සශ්‍රීකම පෝෂක ධර්මයන් වෙන්නේ, අපි විසින්ම ඇතිකොට ගන්නා ඇලීම් සහ ගැටීම්මයි. පිංවත අවිද්‍යාවත්, තෘෂ්ණාවත් වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. මේ දෙක සන්ධානගත වෙලයි තිබෙන්නේ. පිංවත තෘෂ්ණාවේ ඕජාව දුර්වල වෙනකොට අවිද්‍යාවේ මුල දිරා යනවා. තෘෂ්ණාව නැති තැන අවිද්‍යාවට පවතින්න බැහැ. අවිද්‍යාව නැති තැන තෘෂ්ණාවට පවතින්නත් බැහැ. පිංවත උපේක්ෂා ධර්මයන්ගෙන් පෝෂණය වෙන රූපාවචර සහ අරූපාවචර ධ්‍යානයන් තුළ ද අවිද්‍යාව සහ තෘෂ්ණාව යන දෙකම හොල්මන් කරනවා.

පිංවත අසීමිත තෘෂ්ණාව අවිද්‍යාවේ වර්ණය, සැපය, බලය වෙනවා. පිංවත මොහොතක් දෑස් හැර ඔබ ජීවත්වෙන සමාජය දෙස බලන්න. ඔබ දකින්නේ අවිද්‍යාවේ වර්ණය, සැපය, බලයම නේද? පිංවත අසීමිත තෘෂ්ණාව අපිට අසීමිත අවශ්‍යතාවයන් ඇතිකොට දෙනවා. රාජ්‍ය සේවයේ විධායක මහත්මයෙක් තම දරුවන් දෙදෙනෙක් උසස් අධ්‍යාපනයට පිටරට යවලා. පිංවත අසීමිත තෘෂ්ණාව තම සීමිත වැටුපට අවනත වෙන්නේ නැහැ. දැන් එම පිංවත් රාජ්‍ය සේවයේ මහත්මයා, තම අසීමිත තෘෂ්ණාව නිසාම, රාජ්‍ය සේවයේ වංචාවන්ට, අල්ලසට, දූෂණයට බොහෝම උද්‍යෝගයෙන් සම්බන්ධ වෙනවා. පිංවත අපි මේ පියවර තබන්නේ අසීමිත තෘෂ්ණාවෙන්, අපේම යහපත් ධර්මයෝ කෙලෙසා දමමින්, මෙලොව සහ පරලොව බංකොලොත්භාවය දිශාවටම නේද?

පිංවත අතීතයේ අපේ වැඩිහිටියෝ දරුවන්ට අවවාද දුන්නේ පුතේ, දුවේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් හම්බකර ගන්නය කියලා. අනුනට බරක්, කරදරයක් නොවී ජීවත් වෙන්නය කියලා. පිංවත වර්තමානයේ අපි අනුනට පමණක් නොවේ, තමන්ටත් බරක් වෙලා නේද ජීවත් වෙන්නේ? අපේ අසීමිත තෘෂ්ණාව රටට, ජාතියට, ආගමටත් බරක් වෙලා නේද? පිංවත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මුදල් කියන්නේ සර්පයාය කියලා. සංඝ සමාජයේ අපිට මෙම විනාශකාරී සර්පයාව පරිහරණය කිරීම පවා විනයානුකූලව තහනම්කොට තිබෙනවා. සීමාවකින් තොරව මුදල් නමැති විෂකුරු සර්පයින් සාක්කුවේ දමා ගැනීමට යාම නිසාම, සර්ප විෂෙන් සිහිවිකල් වූ, හොඳ සහ නරක නොතේරෙන වසංගතයක් වේගයෙන් සමාජගත වෙනවා. පිංවත මුදල් නමැති සර්ප විෂ සියළු සමාජ වසංගතයන්ට මුල්ම හේතුව වෙනවා. පිංවත සම්මා දිට්ඨිය දුර්වලවෙන සමාජයක මුදල් නමැති සර්පයාව දේවත්වයෙන් දකිනවා. පිංවත විසකුරු සර්පයෙක් අපි දේවත්වයෙන් දැක්කොත්, මරණීය දුක හැර අපිට ඉතිරි වෙන්න තවත් දෙයක් නැහැ. පිංවත අකුසලයක මහත, අපි අද එතැන සිටිනවා. පිංවත කතා කරලා, ලියලා මේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න බැහැ. අපි ධර්මානුකූලව පූර්වාදර්ශී වියයුතුයි. සද්ධර්මයේ අර්ථයන් අපේ ජීවිතවල කෙටි ආශ්වාදය උදෙසා නොව, අර්ථවත් සමාජයක් උදෙසා සද්ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිත වලට බද්ධ විය යුතුයි. පිංවත පංච උපාදානස්කන්ධ ලෝකය මායාවක්. ඔබ දක්ෂවිය යුතුයි, මේ අවිද්‍යාවේ මායාව උපයෝගී කොටගෙන උපාදානයෝ නිවා දමන්න. පිංවත කාමයේ කෙටි ආශ්වාදයෙන් සහ රූපයේ කෙටි ආශ්වාදයෙන් ඔද්දල් වුණ මායාකාරී සමාජය, උතුම් තෙරුවන් තුළිනුත් බලාපොරොත්තු වෙන්නේත් ආශ්වාදයක් පමණක්ම නේද? පිංවත ඔබේ හෘදසාක්ෂියට විවේකීව තට්ටු කරලා අහන්නකෝ, ඔබ සිදුකරන දාන, ශීල, භාවනා පිංකම් තුළින් ඔබ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනසම නේද පිනවන්නේ? පිංකම් සිදුකොට ඔබ පිනවන්නේ සළායතනයන් නම්, එම පිනවීම අයිති වෙන්නේ කාමයේ කෙටි ආශ්වාදයටයි. නමුත් එම කාමයේ කෙටි ආශ්වාදය තුළ පින තිබෙනවා. එම ආශ්වාදයේ පිනට මුවාවී, ඔබ තුළ වැඩෙන අකුසල් මූලයෝම කෙටි පිනේ ආශ්වාදයේ දීර්ඝ ආදීනවය වෙනවා.

පිංවත, පිංවත් ඔබලා සමාජයේ යහපත උදෙසා කතා කරන, ලියන දේවල් වලින් සමාජයට ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. සංඝ සමාජයේ අපි සිදුකරන ධර්ම කතාවන්ගෙන් සමාජයට යහපතක් වෙලා නැහැ. පිංවත කෙසේ නම් මේ සාමීචිපටිපන්න ගුණයෝ සමාජයට යහපතක් වෙන්න ද? සංඝ සමාජයේ අපි දශ කුසල් ධර්මයෝ ගැන සමාජයට කියලා දෙත්දී, රටේ පිංවත් දේශපාලන නායකයෝ රටේ ජනතාව දුශ්ශීලභාවයෙන් සහ අකුසල් මූලයන්ගෙන්ම විනාශකොට දමනවා. වර්තමානයේ රටේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරයේ උවමනා, එපාකම් උදෙසා උවමනාවෙන්ම විනාශකොට දමමින් සිටින නිසාම, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉහත සේවාවන් දෙකේ කඩාවැටීම හේතුවෙන් බලවත් අකුසල් මූලයන් ඇතිකොට ගන්නවා. රටේ නීතිය සහ විනය වෙනුවෙන් පෙනී සිටින ගරු ආයතන පවා ජනතා විශ්වාසයෙන් ගිලිහීම නිසාම, සමාජය ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් පවතිනවා. පිංවත මේ සියළු අභියෝගයන්ට වඩා බරපතළ අභියෝගයක් සංඝ සමාජයේ අපි ඉදිරියේ මෙම මායාකාරී දේශපාලනය ඇතිකොට දී තිබෙනවා. පිංවත සමාජගතවෙන දැඩි කාමච්ඡන්දයන් සහ විකෘති සාරධර්මයන් ඉදිරියේ සහ අශීලාචාර මෝස්තරකරණයන් ඉදිරියේ ළමා සහ තරුණ භික්ෂූන් වහන්සේලාගේ උතුම් පැවිදි ජීවිත බලවත් අභියෝගයන්ට ලක්වෙලා තිබෙනවා. ගෞරවනීය පිංවත, දශ කුසල් ධර්මයන්ගේ නාමයෙන් ජාතියට වෙනසක් අවශ්‍යයි. ඒත් ඒ වෙනසට ජාතිය තවමත් සූදානම් නැහැ. ඉන් අදහස් වෙන්නේ රටේ යහපත් වෙනසකට ජනතාවගේ කුසල් ධර්මයන් ශක්තිමත් නැහැය කියන අර්ථයයි. පිංවත භික්ෂුව මේ තබන සටහන් ශිල්වත් හෙටක් උදෙසා වර්තමානයේ පිංවත් ඔබේ කුසල් ධර්මයෝ ශක්තිමත් කොටදීම උදෙසාමයි.

පිංවත රාජ්‍යයක මුදුන් මුල වෙන්නේ රාජ්‍ය දේශපාලනයයි. රාජ්‍යයක මුදුන් මුල කුණු වුණොත්, මැති ඇමති, ගිහි සහ පැවිදි සියල්ලම කුණු වෙලා යනවා. ඒ විතරක් නොවේ රාජ්‍යයක මුදුන් මුල කුණුවීමෙන් අව්ව, වැස්ස, ඍතු විකෘති වී බවභෝග, මහ පොළොව පවා විෂ වෙනවා. නිරෝගීභාවය කර්ම රෝගීභාවය විසින් ගිල ගන්නවා. මීට එකම හේතුව රාජ්‍ය දේශපාලනය ජනතාවට පූර්වාදර්ශ දෙන්නේ මිච්ඡා වායාමයන්ගෙන් වීමයි. රාජ්‍ය දේශපාලනය ජනතාව සද්භාවයෙන්ම පෙළගස්වන්නේ, මෙතෙක් සිදුකළා වූ අකුසල් තව තවත් වැඩි වැඩියෙන් සිද්ධකොට ගන්න. මෙතෙක් සිදු නොකළා වූ අකුසල් සොය සොයා අළුතෙන් සිද්ධකොට ගන්න. පිංවත මෙවැනි මිච්ඡා වායාමයෝ අයිති වෙන්නේ දුකටම හේතුවෙන මිථ්‍යාදෘෂ්ටියටයි. පිංවත මිච්ඡා වායාමයන්ගෙන් මාරාවේශ වූ සමාජයක එකම ඉතිරිය වෙන්නේ, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන, ධර්මය සහ අධර්මය නොහඳුනන මිච්ඡා සතිය පමණක්මයි. පිංවත බොරුවෙන්, සොරකමෙන්, අල්ලසෙන්, ලෝකයාට ණයවීමෙන් ජාතියට සෞභාග්‍යය සොයන වර්තමාන රාජ්‍ය දේශපාලනයේ මිච්ඡා සතිය, සමස්ත ජාතියටම උරුමකොට දී තිබෙන්නේ කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණ ධර්මයෝ පමණක්ම නේද?

උතුම් තෙරුවන්ට අකීකරු වූ දේශපාලන උන්මාදයක විවෘත ප්‍රතිඵලය, සමස්ත ජාතියටම අවිද්‍යාවේ පෝෂණය උදෙසාම පංච නීවරණයෝම ගොඩගසාදීම පමණක්මයි.

පිංවත දුක සමාජයේ සුලබ දෙයක් වුව ද, සමාජය තුළ සතුට කියන්නේ දුර්ලභ දෙයක්. පිංවත ඔබට දුකක් ගෙනදෙන සිතුවිල්ල ඊළඟ චිත්තයෙන් ඔබට සතුටක් බවට පත්කොට ගැනීමට හැකි වුවත්, අපේම අකුසල් සංස්කාරයෝ දුක ළඟ අපිව නැංගුරම් දමනවා. පිංවත අකුසලයේ බර වැඩි සමාජයක අපි අපේ සතුට උදෙසා උපක්‍රමශීලී වෙන්න ඕනේ. මෙය සටහන් තබන භික්ෂුව, පළිබෝධයන් උපරිමයෙන් වැඩි කුටියක් ලැබුණොත්, භික්ෂුව සිතන්නේ භික්ෂුවගේ ජීවිතයේ හොඳම කුටියයි මේ ලැබුණේ කියලා. පිංවත බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වය ඉදිරියේ අතීත අකුසලයට යළි අකුසලය උදෙසා ඉඩක් නැහැ. විපාකයට පැමිණෙන අකුසලය දුක උදෙසා නොව සතුට උදෙසාමයි පෙරළා ගන්නේ. එම සතුටත් වේදනානුපස්සනාවට බාර දුන්නම සංස්කාර මාරයාට අවකාශයක් නොදෙමින්මයි උන්වහන්සේලා වයසට යන්නේ. පිංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට කවදාකවත් අකල් මරණයන් සිද්ධවීමක් නැහැ. එම නිසාම උන්වහන්සේලා තම අපවත්වීම ඉදිරියේ දුක් හෝ සැප වේදනාවෝ ලබන්නේ නැහැ. අපවත්වීම උන්වහන්සේලාට ධම්මානුපස්සනාවක් පමණක්මයි. පිංවත දුක වැඩි, සැප අඩු පංච උපාදානස්කන්ධ ලෝකය තුළ අතීත අකුසල් විපාකයන්ට යට වෙන්න එපා. අතීත අකුසල් තුළින් කුසල් ධර්මයෝම මතුකොට ගන්න. පිංවත දුකට බාරදීලා මුහුණ නරක් කොටගෙන ඉන්න එපා. ඔබේ අතීත අකුසල් සංස්කාර වලට ඔබේ ලස්සන මුහුණ පළි නැහැ. පිංවත වියරු අවිද්‍යාවෙන් උපන් සළායතනයන්ගෙන් කුසල් ධර්මයෝ උදෙසා උපරිම ප්‍රයෝජනය ගන්න. මෙය සටහන් තබන භික්ෂුව වියරු අවිද්‍යාවෙන් උපන් භික්ෂුවගේ සළායතනයෝ, අවිද්‍යාවට හිස් කෑම මේසයක් බවටමයි පත්කොට දෙන්නේ.

පිංවත අතීත අකුසල් විපාකයන් ඉදිරියේ අපි දුක දෙසටම නැමී ගියත්, ඔබ මනා සිහිනුවණකින් කටයුතු කළොත් දුක ඉදිරියේ ඔබත් සතුට වී අනුන්වත් සතුටු කරන්න මොනතරම් නම් අවස්ථා තිබෙනවා ද? ඔබේ පින්වන්ත මුවගට නගා ගන්න අවංක සිනහවකින්, ප්‍රිය වචනයකින්, ප්‍රිය ඉරියව්වකින්, ඇඳුමෙන්, පැලඳුමෙන් සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් අනුන්ව සතුටුකොට තමන්ටත් සතුටු වෙන්න පුළුවන්. පිංවත දුක වැඩි ලෝකය තුළ ඔබ අනුනට සතුට බෙදාදෙන ඉල්ලමක් වෙන්න. පිංවත ඔබ දුක වැඩි ලෝකය තුළ අනුනට මෙත් සිතින්ම, ශීල්වත්භාවයෙන්ම සතුට බෙදාදෙන දන්සලක් වෙන්න. අහිංසක ජතතාවගේ සතුට උදුරාගෙන දුක ජනගත කරන දේශපාලන අසත්පුරුෂභාවයන්ට පිංවත් ඔබ අඳුර විනිවිද මතුවෙන ආලෝකයක් වෙන්න.

පිංවත් මැදිවියේ තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, තම දරුවන්ගේ අනාගතය ගැන සිතලා අපි විදේශ රටක පදිංචියට යනවාය කියලා. මවුබිමේ හුඟාක් දෙමාපියන්ට මේ සිතුවිල්ල හුඟාක් ජනප්‍රිය සිතුවිල්ලක්. පිංවත් දෙමාපියනි, ළඟ බලන්න එපා, දුර බලන්න. ඔබලා මෝහයේ දෑසින් ළඟ බැලුවොත් ඔබලාට පෙනෙන්නේ මැරෙනතෙක් තිබෙන කෙටි අනාගතය පමණක්මයි. පිංවත අපේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසාම, අපි අනාගතය යැයි දකින්නේ ඔය පුංචි කාලයයි. පිංවත මොහොතක් මෝහයේ දෑස් වහලා, අපි ඉදිරියේ තිබෙන සැබෑ ධර්මානුකූල අනාගතය දෙස නුවණින් බලන්න. එම අනාගතය කාම, රූපී, අරූපී භවාත්‍රය දක්වාම දුරයි. පිංවත පෙර ජීවිතයේ දී පටිච්චසමුප්පන්න මගේ දෙමාපියන් මගේ “අනාගතය” ගැන සිතලා, මාව දිසාපාමොක් ආචාර්යවරුන් ළඟට යවලා සියළු ශිල්ප කියලා දෙන්න ඇති. එම අතීත දෙමාපියන් දැක්ක තම දරුවාගේ “අනාගතය” මොනතරම් නම් මායාවක් ද? අතීත සංසාරයේ මගේ පටිච්චසමුප්පන්න දෙමාපියන්, මගේ “අනාගතය” ගැන සිතලා, මට විවාහයන් මොනතරම් නම් කරලා දෙන්න ඇති ද? ඒ අතීත දෙමාපියන් දැක්ක මගේ “අනාගතය” මොනතරම් නම් විහිළුවක් ද? පිංවත ඔබව වධයට පත්කරන පටිච්චසමුප්පන්න වධකයා ඔබ තුළමයි ජීවත් වෙන්නේ. කරුණාකර සිහිනුවණින් එම වධකයාව හඳුනා ගන්න. එම වධකයාට සවන් දෙන්න එපා. එම වධකයා දුකේ උල්පතයි. මාරයාගේ කීකරු අළුගෝසුවායි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023 දෙසැම්බර් 10 වන ඉරුදින දිවයින පුවත්පත.