පින්වත, සංස්කාර හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණ යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පින්වත, සංස්කාරයෝ අධාර්මික වෙද්දී, අපි තුළ සකස් වන දැනීම් අධාර්මික වෙනවා. පින්වත, ඔබ තුළ නිරතුරුව ම ගැටෙන සිත් සකස් වෙනවා නම්, ඊට හේතුව බාහිර පුද්ගලයෙක් නොව අනුන් හේතුවෙන් ඔබ තුළ සකස් කොට ගන්නා ලෝභ, ද්වේශ, මෝහයෝ ම බව සිහිනුවණින් තේරුම් ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, මේ ලෝක ධාතුවේ අග්‍ර ම සත්පුරුෂ දානය බවට පත් වෙන්නේ උතුම් ධර්ම දානයයි. පින්වත, ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පත සතිපතා පළ කරන මෙම ලිපි පෙළ යැයි කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ම දානමය පුණ්‍ය කර්මයක් වෙනවා. පින්වත, කොසොල් රාජ්‍යයේ සන්තිස ඇමතිතුමා තම ගිහි ඇඳුම දරාගෙන ම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගන්නේ, පෙර ජීවිතයක සිදු කොට ගත් ධර්ම දානමය පිනේ ආනිශංසයෝ මුල්කොට ගෙන යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව කාලය සහ වෙහෙස ගැන නොබලා ම, සාමීචිපටිපන්න ගුණයෙන් මේ දක්වා සමාජයට උපකාර කරන්නේ උතුම් ධර්ම දානයේ ආනිශංසයෝ අත්දැකීමෙන් ම දන්නා නිසා මයි. පින්වත, ඔබ කවදාකවත් ගැටෙන සිතින් ධර්ම දානය වළක්වන්න යන්න එපා. පින්වත, එවැනි අනුවණ, ආවේගශීලී චේතනාවෝ තමා තමාගේ ම සම්මා දිට්ඨියෙන් පළිගැනීමේ චේතනාවෝ බවටයි පත් වෙන්නේ. පින්වත, උතුම් ධර්ම දානයක් වැළැක්වීම, මේ ලෝක ධාතුවේ අග්‍ර ම අසත්පුරුෂ දානය වෙනවා. පින්වත, ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා විවේකීව අහන්නකෝ, ඔබත් මෙවැනි අසත්පුරුෂ දානයන් දීලා තිබෙනවා ද කියලා. පින්වත, අසත්පුරුෂ දානයේ ප්‍රධාන ම විපාකය බවට පත් වෙන්නේ තම වර්ණය, සැපය, බලය දුර්වල වීමයි.
පින්වත, උතුම් ධර්ම දානයේ ආනිශංසයෝ තුළ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්මයෝ ම විකසිත කොට දෙනවා. පින්වත, උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී, ශ්‍රවණය කරද්දී, සාකච්ඡා කරද්දී සත්පුරුෂ දිව්‍ය, බ්‍රහ්ම සහ මනුෂ්‍යයන්ට චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධ කොට ගැනීමේ හැකියාව තිබෙනවා. පින්වත, යම් ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා නම්, තමන් වහන්සේ දේශනා කරන ධර්මය හැර වෙනත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න එපාය කියලා, එම ප්‍රකාශය සද්ධර්මයේ විකෘතියක් බවටයි පත් වෙන්නේ. පින්වත, එම විකෘති දේශනය උතුම් සාමීචිපටිපන්න ගුණයෙන් තොර දහමක් බවටයි පත් වෙන්නේ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දේශනා කරන සෑම බණ පදයක් ම උතුම් සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන් සහ ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වෙන්න ඕනේ. පින්වත, මහා සංඝ රත්නයේ ඉහත ගුණයන්ගෙන් පෝෂණය වූ සාමීචිපටිපන්න ගුණයයි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආලෝකය බවට පත් වෙන්නේ. පින්වත, උතුම් සූත්‍ර, අභිධර්ම සහ විනය ඇසුරෙන් නිවැරදිව ඕනෑම ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරන සද්ධර්මය උතුම් සාමීචිපටිපන්න ගුණයෙන් පෝෂණය වූ දහමක් බවටයි පත් වෙන්නේ. පින්වත, උතුම් තෙරුවන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය වැඩි වෙන කොට, “මම මයි නිවැරදි, අනෙක් සියල්ලෝ ම වැරදියි” යැයි ආත්මීය දෘෂ්ටියේ නිරුවත කල එළි බහිනවා. පින්වත, සිහිනුවණින් සමාජය පරිහරණය කරන්න, මාර ධර්මයෝ සද්ධර්මයේ වේශයෙන් ඔබ ඉදිරියට එන්න පුළුවන්. පින්වත, යම් ගිහි හෝ පැවිදි පින්වතෙකුගේ ‘ඝන සක්කාය දිට්ඨිය’ ඔබ, ඔහුගේ ඥාන දර්ශනයෝ සහ විමුක්තිය හැටියට නම් දකින්න එපා. පින්වත, ඕනෑම ජීවිතයක් ඔබ චතුරාර්ය සත්‍යය ධර්මයෝ තුළ බහා බලන්න. එවිට විඳීමේ ආස්වාදයෝ යස අගේට ඔබට දකින්න ලැබේවි.
පින්වත, මරණයට නිශ්චිත වේලාවක් නැහැ. පින්වත, සංස්කාරයෝ අඬගහද්දී, ජීවිතය මරණයට ගොදුරක් වෙනවා. පින්වත, ජීවත්ව සිටින තාක් කල් අපි, අපේ නිවස තෘෂ්ණාවෙන් උපාදානය කොට ගෙන ජීවත් වුවත්, දැන් දැන් අපි මැරුණාට පසුව අපේ දේහය නිවසට ගන්නෙත් නැහැ. පින්වත, කුලියට ගත්ත මල් ශාලාවක දේහය බුහුමන් ලබනවා. පින්වත, ගෙවී ගිය සතියේ ධර්ම දේශනාවක් අවසානයේ දී තරුණ අම්මා කෙනෙක් ඇඬූ කඳුළින් භික්ෂුවට කියනවා, “ස්වාමීන් වහන්ස, මගේ පාසල් වයසේ දියණියන් දෙදෙනා අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මිය ගියා. එම දරුවන් දෙදෙනා සිහිපත් වෙද්දී හැමදාමත් මට දරාගන්න බැරි දුකක්” ය කියලා. පින්වත, මිය ගිය ඔබේ දරුවන් සිහිපත් කොට ගෙන, ඔබ ශෝක, පරිදේවයන්ට පත් වෙන මොහොතක් පාසා, ඔබ අනාගතයේ දී පටිච්චසමුප්පන්නව නැවත නැවතත් දරුවන් ලැබීමට අදාළ සංස්කාරයෝ රැස්කොට ගන්නවා. පින්වත, අඬලා ඉවරයක් නැති අපේ දරු කැක්කුම අවිද්‍යාවේ ප්‍රණීත ම ගොදුරු බිමක් වෙනවා. පින්වත, ඔබේ මිය ගිය දරුවා සිහිපත් වෙද්දී, ඔබේ මිය ගිය ඥාතියා සිහිපත් වෙද්දී සශ්‍රීක දිව්‍ය තලයක දෙවියෙක් සිහියට නගා ගන්න. පින්වත, දිව්‍යාංගනාවක් සිහියට නගා ගන්න. පින්වත, ඔබේ මිය ගිය දරුවා සශ්‍රීක දෙවියෙක්, දිව්‍යාංගනාවක් වෙලාය කියලා දකිද්දී, එය ඔබට සතුටක් මයි, දුකක් නම් නොවේ. පින්වත, ඉනුත් ඉදිරියට ගිහිල්ලා ඔබේ මිය ගිය දරුවා, ඥාතියා සිහිපත් වෙන කොට, කරුණාකර “සුවපත් වේවා!” යැයි සිතන්න. පින්වත, එවිට මෛත්‍රියට අදාළ ආනිශංස එකොළහකින් ඔබේ ජීවිතය පිනෙන් පිරෙනවා. පින්වත, ඔබේ මිය ගිය ඥාතියාට පින් අවශ්‍ය නම් එය ඥාතියාට ද පිනේ උල්පතක් ම වෙනවා. පින්වත, ඉනුත් ඉදිරියට ගිහිල්ලා ඔබේ මිය ගිය ඥාතියා සිහිපත් වන විට “අනිත්‍යයි” කියලා දකින්න. පින්වත, එවිට ඔබේ මිය ගිය ඥාතියා තුළින් උතුම් ධම්මානුපස්සනාවේ අයෝමය විදර්ශනාමය කුසලයයි ඔබ තුළ උපදින්නේ. පින්වත, ඔබ තුළ උපදින උතුම් ධම්මානුපස්සනාව, අයෝමය විදර්ශනාමය කුසලයෝ ඔබට අයිති කොට දෙනවා වගේ ම, දරුවා යැයි කියන අර්ථය කෙරෙහි ‘තෘෂ්ණාව’ ඔබෙන් දුරස් කරනවා. පින්වත, උතුම් ධම්මානුපස්සනාව දරුවා කියන අර්ථයේ පැවැත්ම උදෙසා නොව, දරුවා කියන අර්ථයේ නිරෝධයට ඔබව මෙහෙයවනවා. පින්වත, ඔබේ මිය ගිය දරුවා තුළින්, ඥාතියා තුළින් අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. පින්වත, අනිත්‍ය වී ගිය දහමක් මුල්කොට ගෙන, අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයට තව තවත් දුකේ ජවය දෙන්න එපා.
පින්වත, ඔබේ ජීවිතය කාත්කවුරුවත් ඇති ජීවිතයක් ද? පින්වත, ඔබේ ජීවිතය කාත්කවුරුවත් නැති ජීවිතයක් ද? පින්වත, ඉහත අර්ථයන් දෙකම අවිද්‍යාවට ප්‍රණීත ආහාරයෝ ම වෙනවා. පින්වත, ‘අවිද්‍යා පච්චයා සංඛාරා’, පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ.’ පින්වත, ‘සංස්කාර නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ.’ පින්වත, ඔබේ ජීවිතයෙන් අවිද්‍යාවට නොව ධර්මයට පණ දෙන්න. පින්වත, ජීවිතයට දුවන්න දෙන්න එපා. ජීවිතයට දුවන්න දුන්නොත්, ජීවිතය දුක්ඛ දෝමනස්සයන්ගෙන් හති වැටේවි. පින්වත, ඵස්සය ළඟින් ජීවිතයට නවාතැන් දෙන්න බලන්න. පින්වත, ලෝකය යැයි කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ අවුල් ගොඩක්. පින්වත, අවිද්‍යාවේ ප්‍රණීත ම ආහාරය වන ‘මමත්වයේ දැඩිභාවය’ නවයොවුන් වෙන සමාජයක අපි හැමෝගේ ම දැක්ම තෘෂ්ණාවෙන් දූෂණය කරනවා. පින්වත, එහි ඵලය අපගේ පටිච්චසමුප්පාද නූල් බෝලය තව තවත් පැටලීම පමණක් මයි. පින්වත, පටිච්චසමුප්පාද නූල් බෝලය පැටලෙද්දී, අපි, අපේ සල්ලිවලින් උතුම් තෙරුවනුත් මිල දී ගන්නයි අපිට දැනීම් සකස් වෙන්නේ. පින්වත, උතුම් තෙරුවන්ගේ ප්‍රණීත විපාකයන්ගෙන් ම වර්ණය, සැපය, බලය ලබලා, එම වර්ණය, සැපය, බලය උපයෝගී කොට ගෙන පෙරළා උතුම් තෙරුවනුත් යටත් කොට ගන්නට යෑම, ආත්මීය දෘෂ්ටියේ අසත්පුරුෂ හැඩරුව වෙනවා. පින්වත, අනාගතයේ දී තවත් බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක් පහළ වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ලෝකයේ නැවතීමක්, නිමාවක් නැහැ. පින්වත, එම නිසා ම, ලෝකය උතුම් තෙරුවන්ට අවංකව ම කීකරු වෙන්නෙත් නැහැ. ලෝකයට නොනවතින ගමනක් යන්න තිබෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 අගෝස්තු 02 ඉරිදා දිවයින පුවත්පතින්.