ආධ්‍යාත්මික ලෝකය දෙස සිහිනුවණින් බලන්න.

පින්වත, ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ගොඩාක් ඉහළ ගිහින් නේද? පින්වත, ඩෙංගු මාරයා මනුෂ්‍ය ජීවිත පනහක් පමණ බිලි අරගෙන නේද? පින්වත, අපි නොසිතන සැඟවුණ අකුසලයක් ඩෙංගු රෝගය සමාජයට බෝ කරනවා. පින්වත, ඩෙංගු මර්දන ක්‍රියාන්විතයේ දී මදුරු කීටයන් ලක්‍ෂ කීයක් නම් අපි මරා දමන්නට ඇති ද? පින්වත, ඔය මදුරු කීටයෙක් යැයි කියන්නේ පටිච්චසමුප්පන්න අතීත භවයේ මනුෂ්‍ය සහ දිව්‍ය ජීවිත ගත කළ සත්ත්වයන් මයි. පින්වත, වර්තමානයේ මදුරු කීටයන් විනාශ නොකළොත් අහිංසක මනුෂ්‍ය ජීවිත තව කොතෙක් නම් නැති වෙයි ද? පින්වත, ඩෙංගු රෝගයත්, ඉන් අහිංසක ජනතාව මිය යෑමත්, මදුරු කීටයන් ලක්‍ෂ ගණනින් මරා දැමීමත් අපගේ ම වගකීම් විරහිතභාවය හේතුවෙන් සකස් වුණ හේතුඵල ධර්මයෝ යැයි අපිට වැටහෙන්නේ නැහැ. පින්වත, අපගේ වගකීම් සහ යුතුකම් කෙරෙහි ලජ්ජාව සහ බිය බොහෝම වේගයකින් දුර්වල වෙන සමාජයක අපි විශ්වාසයකින් යුතුව ම ලබන වසරේත් ඩෙංගු රෝගය බලාපොරොත්තු වීමෙන් සිදු වන්නේ තවත් මනුෂ්‍ය මරණ සහ මදුරු කීටයන් ලක්‍ෂ ගණනක් මරා දැමීම තුළින් ඇති වන ප්‍රාණඝාත අකුසලය ජාතියට උරුම කොට දීම පමණක් මයි. පින්වත, ඔබ ජීවත් වන පරිසරයේ මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යාමෙන් සිදු වන ඩෙංගු මරණ මුල්කොට ගෙන සහ මදුරු කීටයන් ලක්‍ෂ ගණනින් මරා දැමීම හේතුවෙන් සමාජය ම සත්ත්ව ඝාතන සහ සත්ත්ව හිංසනය සිල් පදය දුර්වල කොට දැමීමේ පාපකාරී ක්‍රියාවේ දායකයෙක් බවට ඔබ පත් වෙනවා. පින්වත, ඔබ පරිසරය පිරිසිදුව තබා ගන්නෙක් නම්, ඔබ සෑම නිමේෂයක දී ම, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩන්නෙක් ම වෙනවා. පින්වත් ඔබ නොදන්නවාට මනුෂ්‍යයාටත්, මදුරුවාටත් ඔබේ මෙත් සිත පැතිරෙනවා.

පින්වත, බාහිර ලෝකයට නිදහසේ යන්න දෙන්න. පින්වත, ඔබ, ඔබේ ආධ්‍යාත්මික ලෝකය දෙස සිහිනුවණින් බලන්න. පින්වත, බාහිර ලෝකය ඔබට අතහැරෙද්දී, ඔබේ ආධ්‍යාත්මික ලෝකයේ කෙලෙස් බර සංසිඳී යනවා. පින්වත, ජීවිතය ඵස්සය ළඟ නැවතී සිටින්න ගොඩාක් කැමතියි. පින්වත, ඒත් එම කැමැත්තට ‘තෘෂ්ණාව’ බාධා කරනවා. පින්වත, එම කැමැත්ත තුළත් අපේ සිංසිදුණ ඵස්සයට හොරා තෘෂ්ණාව බැසගෙන සිටිනවා. පින්වත, කැමැත්ත යැයි කියන්නේ ඵස්සය හේතුවෙන් සකස් වන අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න අපිට අමතක වෙනවා. පින්වත, කැමැත්තට වහල් වූ අපේ නොසන්සුන් සිත, පුංචි සැපයක් උදෙසා, අපිට මහා සැපයන් අහිමි කොට දමනවා. පින්වත, අපි ඇති කොට ගන්නා වූ ලෝභ, ද්වේශ, මෝහ සිතක් තුළ පුංචි සැපයක් තිබෙනවා. පින්වත, සිල් පද දුර්වල කොට ගන්නා මොහොතක පුංචි සැපයක් තිබෙනවා. පින්වත, අකුසල් හේතුවෙන් සකස් වන පුංචි සැපය ඉදිරියේ අපිට අහිමි වී යන අනාගත පටිච්චසමුප්පන්න සුගතියේ මහා සැපය අපිට අමතක වෙලා යනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “අකුසලයෙන් ලබන පුංචි සැපය, සුගතියේ මහා සැපයේ මළ ගම හැටියට දකින්න” ය කියලා. පින්වත, ඔබ ළඟ බලන්න එපා. පින්වත, ඔබ ළඟ බලද්දී, ඔබට පෙනෙන්නේ, ‘ඵස්ස පච්චයා වේදනා’ යැයි කියන පුංචි සැපය මයි. පින්වත, කරුණාකර දුර බලන්න. එවිට තෘෂ්ණාවෙන් ඔබ්බට උපාදානයෝ, භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ සියල්ල ම පෙනෙනවා. පින්වත, සිතට තැන්පත් වෙන්න ඉඩ දෙන්න. පින්වත, එවිට අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා දුර යස අගේට පෙනේවි.

පින්වත, ඔබ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය සමග නවතින්න එපා. පින්වත, කැමති කෙනෙක් ලෝකය සමග නැවතුනාවේ. පින්වත් ඔබ ලෝකය ළඟ නොනැවතී සම්මා විමුක්තිය දිශාවට යන්න. පින්වත, කාම, රූපී, අරූපී භව බරෙන් ලෝකය හොඳටෝම හෙම්බත් වෙලා. පින්වත, අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධයෝ, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය සමග හුරතල් වෙනවා, දීර්ඝ ආදීනවයෝ අමතක කරලා. පින්වත, “හිස ගිනිගත්තෙක් එම ගින්න නිවා ගන්න යම් වීර්යයක් ගනී ද, ඊටත් වැඩි සම්මා වීර්යයක් ගෙන භව ගින්දර නිවා ගන්න” කියලයි බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළේ. පින්වත, භවය යම් තැනක ද එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ ගිනි උපදිනවා. පින්වත, වතුර තිබෙන තාක් කල් ගිනි අවම කොට ගන්න පහසුයි වගේ ම, පින් තිබෙන තාක් කල් භවයේ කෙටි කාමයේ සහ රූපයේ ආස්වාදයෝ අත්විඳින්න පහසුකම් තිබෙනවා. පින්වත, “සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා.” පින්වත, කුසල් ධර්මයෝ ලෝකයෙන් මැකී යන දවසක් එනවා. පින්වත, එදාට අකුසලය ලෝකය තුළ ඒකපාර්ශ්විකව රජ වෙනවා. පින්වත, අකුසලය රජ වෙන කල්ප විනාශයක දී, මුලින් ම කුඩා දිය උල්පත් දෙවෙනිව මහා දිය උල්පත් සිඳී යනවා. එහි ඵලයෙන් පංච මහා ගංගාවෝ, පංච මහා විල් සහ මහ සාගරය ද සිඳී වැලි තලාවෝ බවට පත් වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, කල්ප විනාශයක දී මුලින් ම සත්ත්වයාගේ පිනත් දෙවැනිව මහ පොළොවේ වතුරත් යන දෙකම සිඳී යනවා. පින්වත, ඉන් පසුවයි මහා ගිනි ජාලාවෝ ලෝකය දවා හළු කරන්නේ. පින්වත, සත්ත්වයාගේ පිනත්, මහ පොළොවේ වතුරත් නැති ලෝකයක, ලෝකයේ එකම උරුමය බවට පත් වෙන්නේ ගිනි ජාලාවෝ පමණක් මයි. පින්වත, අකුසල් දහම් ජීවිතවලින් බැහැර කරන්න. පින්වත, කුසල් දහම් ජීවිතය තුළින් පුහුණු කරන්න. පින්වත, මෙම දෙධර්මයන්ගේ ම අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත, වර්තමානයේ ගිනි නිවන්න ජලය තිබුණත්, අනාගතයේ දී අසත්පුරුෂ අකුසල් සංස්කාරයෝ මුලින් ම ජලය ලෝකයෙන් අතුරුදන් කොට දමා ලෝකය ම ගිනි තියනවා. පින්වත, එහෙව් ලෝකයක් සමග සතුටෙන් නවතින්න එපා. පින්වත, ලෝකය මකා දමා සම්මා විමුක්තිය දිශාවට යන්න.

පින්වත, හොඳ සහ නරක යන දෙකම ලෝකය තුළ තිබෙනවා. පින්වත, ශ්‍රද්ධාව සහ අශ්‍රද්ධාවත් ලෝකය තුළ තිබෙනවා. පින්වත, මේවා කවදත් ලෝකයේ ස්වභාවයන් වෙනවා. පින්වත, ලෝකය යැයි කියන්නේ අවිද්‍යාව. පින්වත, ලෝකය යැයි කියන්නේ තෘෂ්ණාව. පින්වත, ලෝකය නිරතුරුව ම එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා. පින්වත, ඉහත ක්‍රියාන්විතය තමයි ලෝකයේ රැකියාව. පින්වත, මෙම රැකියාවෙන් ලෝකය සංස්කාර වැටුප් සොයනවා, ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය නඩත්තු කරන්න. පින්වත, යම් පින්වතෙක් ඔබෙන් විමසුවොත් ඔබ කියන්න පුළුවන් මහා උජාරුවෙන්, මම ඉහළ වෘත්තිකයෙක් එසේත් නැතිනම් මහා ව්‍යාපාරිකයෙක්ය කියලා. පින්වත, එසේත් නැතිනම් ඔබ කියන්න පුළුවන් මම එදා වේල සොයා ගන්නා අහිංසකයෙක්ය කියලා. පින්වත, අපි හැමෝගේ ම ප්‍රඥාවේ ඇස වහලා, අපේ සැබෑ හාම්පුතා වන අවිද්‍යාව අපි හැමෝම රැකියාවේ යොදවලා, ඇලීම් සහ ගැටීම් සංස්කාර ලාභ සොයනවා. පින්වත, ලෝකයේ ලොකුම ධනවතාගේත්, ලෝකයේ ඉහළම වෘත්තිකයාගේත්, අහිංසක දුප්පතාගේත් මස් ඇසට නොපෙනෙන සැබෑ ම හාම්පුතා වෙන්නේ අවිද්‍යාවයි. පින්වත, ඔබ ආස්වාදයෙන් මෙම සටහන කියවන මොහොතේත්, අවිද්‍යාවේ හාම්පුතා ඔබෙන් ඇලීම් හෝ ගැටීම් තුළින් සංස්කාර ලාභ සොයනවා. පින්වත, ඔබ කවදා ද අවිද්‍යාවේ ජාති, ජරා, ව්‍යාධි, මරණ හාම්පුතාගෙන් නිදහස් වෙන්නේ? පින්වත, ඔබ කවදා ද අවම වශයෙන් ඔබව භව වදයට පත් කරන, මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ හාම්පුතාට එරෙහිව ඇලීම් සහ ගැටීම් වර්ජනය කරන්නේ? පින්වත, ප්‍රඥාවේ ඇස අන්ධ අපි, පිකටින් නාමයෙන් සහ වැඩ වර්ජන නාමයෙන් සිදු කරන්නේත්, අවිද්‍යා හාම්පුතාගේ සංස්කාර ගිණුම තර කිරීමයි.

පින්වත, වර්තමාන සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝ හොඳටෝ ම සක්‍රිය වෙලා. කාම, රාග, පටිඝයෝ මනුෂ්‍ය ජීවිතවල හරිම කාර්යබහුල වෙලා. පින්වත, මනුෂ්‍ය ජීවිත හරිම වේගයෙන් ප්‍රමාදීභාවයට පත් වෙනවා. පින්වත, ප්‍රමාදී ජීවිත ඉදිරියේ සති සම්බොජ්ඣංගයට දෙපයින් නැගී සිටින්න බැහැ. පින්වත, සති සම්බොජ්ඣංගයෝ බෙලහීන වෙද්දී, පංච නීවරණයෝ නවයොවුන් වෙනවා. පින්වත, නවයොවුන් පංච නීවරණයෝ දවසින් දවස, උණු උණුවේ ම, අලුත් අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ලෝකයේ යුද ගිනි ඇවිළෙද්දී, අපේ ජීවිතත් ගිනි ගන්නවා. පින්වත, අපේ ජීවිත ගිනි ගන්නේ පෙට්රල්, ඩීසල්වලින් නොවේ. අපේ ජීවිත ගිනි ගන්නේ පෙට්රල්, ඩීසල් හේතුවෙන් සකස් වන ඇලීම් සහ ගැටීම් මුල්කොට ගෙන මයි. පින්වත, මොහොතක් දෑස් පියාගෙන, අද උදෑසන පටන් ඔබ තුළ සකස් වූ සෑම සිතුවිල්ලක් ම ‘අනිත්‍ය’ යැයි දකින්න. පින්වත, එවිට ඔබට දැනේවි, දුක පමණක් නොවේ, සතුටත් ඔබ තුළ ම තිබෙනවාය කියලා. පින්වත, සිත නිවා ගන්න, එවිට ලෝකයේ ප්‍රශ්න, ඔබේ ජීවිතය තුළින් නිවි යාවි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 ජුලි 26 ඉරිදා දිවයින පුවත්පතින්.