පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, අපි හැමෝම කාම, රූපී සහ අරූපී භව සිර ගෙවල්වල රැඳවියන් බවට පත් කරලයි තිබෙන්නේ. පින්වත, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ යැයි කියන ධර්මතාවය හේතුවෙන් වර්තමානයේ කාම භවය නමැති සතර අපායේ සහ මනුෂ්‍ය ලෝකයේ සිර ගෙවල් පිරී ඉතිරී ගිහින් තිබෙන්නේ. පින්වත, අපේ පින්වත් පර පණ නොනසන රාජ්‍ය නායකතුමන්ලා මරණ දඬුවමට එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට හැමදාමත් බිය වුවත්, සිහිනුවණින් බලන්නකෝ, කාම භවයේ ළදරු සිර ගෙවල්වල හැමදාමත් මිනී මරා ගැනීම් සිද්ධ වෙන අපූරුව. පින්වත, එල්ලුම් ගසේ පවෙන් පින්වත් රාජ්‍ය නායකයෝ අත සෝදා ගත්තත්, තම යටත් වැසියෝ මිනී මරා ගනිද්දී, එම ප්‍රාණඝාත අකුසලයෙන් කොටසක් පින්වත් රාජ්‍ය නායකවරුන්ටත් අයිති වන බව අපි සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. පින්වත, රටේ ජනතාවගේ ආරක්‍ෂකයා වෙන්නේ පින්වත් රාජ්‍ය නායකයෝයි. පින්වත, පින සහ පව විසින් කාම ලෝකයේ මහා පන්ති භේදයක් ඇති කොට තිබෙනවා. පින්වත, පින සහ පව විසින් ඇති කරන මෙම පන්ති භේදය දෙපාර්ශ්වයේ ම පින උදෙසා කළමනාකරණය කොට ගන්නයි, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය යැයි කියන සත්පුරුෂ ධර්මයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ. පින්වත, ඇති සහ හැකි ඇත්තෝ, නැති සහ බැරි පින්වතුන්ලාව මනුෂ්‍යත්වයෙන් යුතුව පෝෂණය කිරීමට මෛත්‍රිය, ශීලය සහ ත්‍යාගය සත්පුරුෂභාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දෙනවා. පින්වත, රජවරුන් සහ ධනවතුන් මේවා මෙසේ නොකරද්දී, ද්වේශය, වෛරය, පළිගැනීම, ප්‍රචණ්ඩත්වය සමාජගත වීම අපි බලාපොරොත්තු විය යුතු හේතුඵල ධර්මයෝ ම වෙනවා.
පින්වත, දුකට හේතු දෙකක් නැහැ. පින්වත, දුකට එකම හේතුව ‘තෘෂ්ණාවයි.’ පින්වත තෘෂ්ණාව වැඩි වෙන්න, වැඩි වෙන්න සැප බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, තෘෂ්ණාව වැඩි වෙද්දී ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක මයි දෝරේ ගලා එන්නේ. පින්වත, මේවා සමාජය තුළ හැමදාමත් බබළන ඒහිපස්සික ධර්මයන් වෙනවා. පින්වත, බලය කෙරෙහි තෘෂ්ණාව සමාජය ම දුකෙන් ගිනියම් කරනවා. පින්වත, අපි කවුරුවත් ම ලැබුණ බලය අහිමි කොට ගන්න කැමති නැහැ. පින්වත, එම නිසා ම, බලවතුන් තම බලය ඉදිරියේ බියෙන් සහ සැකයෙන් මයි පසුවෙන්නේ. පින්වත, බලය අහිමි වේ යැයි ඇති කොට ගන්නා බිය සහ සැකය නිසා ම, විසඳාගත හැකිව තිබෙන ප්‍රශ්න අපි මහා යුද්ධ බවට පත් කොට ගන්නවා. පින්වත, බලය සහ තෘෂ්ණාව යැයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත නිසා ම, මේ දෙපැත්ත ම හේතුඵල ධර්මයෝ හඳුනන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය සහ බලය යැයි කියන්නේ මෛත්‍රියේ, ශීලයේ සහ ත්‍යාගයේ සුන්දර හේතුඵල ධර්මයෝ වෙනවා. පින්වත, ඔබේ බලය තුළින් ධර්මය දකින්න. පින්වත, ඔබ ලැබූ බලයෙන් මත් නොවී, ඔබේ බලය මෛත්‍රියෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් පෙරළා මොනවට පෝෂණය කොට ගෙන “මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකිද්දී, ඔබට පුළුවන් ඔබේ බලය ආර්ය බලයක් බවට පත් කොට ගන්න. පින්වත, අනේපිඬු සිටුතුමා, විශාකා උපාසිකාව, බිම්බිසාර රජතුමා තම බලය ආර්ය බලයක් හෙවත් තෘෂ්ණාවෙන් උපන් බලය, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා උපකාරක ධර්මයන් සකස් කොට දෙන ආර්ය බලයක් උදෙසා ම යොමු කොට ගත්ත උත්තමයන් වෙනවා.
පින්වත් මහත්මියක් භික්ෂුවගෙන් විමසුවා, තමන් වාහනය පදවද්දී අකීකරු රියදුරු මහත්වරුන්ගේ නොමනා රිය පැදවීම් හේතුවෙන් නිතරම කේන්තිය ඇති වෙනවාය කියලා. පින්වත, තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම්වලට පින් සිද්ධ වෙන්න, හැමදාමත් අකීකරුකම් ලෝකයේ තිබුණා. පින්වත, අනුනගේ අකීකරුකම්වලින් තොරව ලෝකයක් බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ මහානාම ශාක්‍යයා වරක් බුදුරජාණන් වහන්සේට කියනවා, “භාග්‍යවතුන් වහන්ස, සවස රජගහ නුවරට යද්දී, නොසන්සුන් මනුෂ්‍යයෝ, වේගයෙන් එහා මෙහා යන අශ්ව කරත්ත, ගොන් කරත්ත දැකලා මගේ සිත චංචල වෙනවා” ය කියලා. පින්වත, සෝවාන්ඵල අවබෝධය ලැබූ මහානාම ශාක්‍යයාත් මහ පාරේ අනුනගේ අකීකරුභාවයන් හේතුවෙන් චංචල සිතුවිලි ඇති කොට ගත්තා. පින්වත, රිය පදවන හැමෝගේ ම ඉන්ද්‍රිය ධර්මයන් එක හා සමානව වැඩිලා නැහැ. පින්වත, එම නිසා ම, මහ පාරේ දී ඔබේ විනයගරුකභාවය හැම රියදුරු මහත්මයෙක්ගෙන් ම බලාපොරොත්තු වෙන්න එපා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයන්ගේ විවිධත්වය මුල්වී ඇති වන දැනීම් හරිම සංකීර්ණයි. පින්වත, මෙම සංකීර්ණ දැනීම්, ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ ධර්මතාවයෙන් යළි පණ ලබද්දී, මහ පාර අවිද්‍යාවට ජරා, ව්‍යාධි, මරණ ගොදුරු සොයා දෙන මාර රඟමඬලක් ම වෙනවා. පින්වත, අපරික්‍ෂාකාරීව රිය පදවන අකීකරු රියදුරු මහතා තුළින් ඔහුගේ නීතිවිරෝධීභාවය නොව, ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නොදියුණුභාවය ම දකින්න. එවිට ඔබට පුළුවන් අකීකරු රියදුරු මහත්වරුන් තුළින් ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තව තව දියුණු කොට ගන්න. පින්වත, මහ පාර මාරයාගේ ගොදුරු බිමක් නිසා ම, මහ පාරේ රිය පදවන ඔබ සතිමත් වෙන්න.
පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය බොහෝම වේගයෙන් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය යනු රූපය ඇසුරෙන් සකස් වන ඵස්ස, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකයයි. පින්වත, ඔබේ ආධ්‍යාත්මික රූපයත්, ඊට අරමුණු වෙන සෑම බාහිර රූපයනුත් කැඩෙන, බිඳෙන, විසිරෙන අපූරුව පින්වත් ඔබට හොඳින් ම පෙනෙනවා නේද? පින්වත, පසුගිය සතියේ මීගමුව සිර ගෙදර දී මනුෂ්‍ය රූප විසිගණනක් කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. පින්වත, ඩෙංගු රෝගය නිසා මනුෂ්‍ය රූප තිස්ගණනක් ම කැඩිලා, බිඳිලා, විසිරිලා ගියා. පින්වත, දිනකට ජරා, ව්‍යාධි, මරණ හේතුවෙන් කැඩී, බිඳී, විසිරී යන මනුෂ්‍ය ජීවිත මොනතරම් තිබෙනවා ද? පින්වත, ආධ්‍යාත්මික රූපයෝ කැඩී, බිඳී, විසිරී යද්දී සකස් වන ඵස්ස, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩී, බිඳී, විසිරී යාම සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයක් මයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය අපිට නොකැඩී, නොබිඳී, නොවිසිරී තබා ගන්න බැහැ. පින්වත, මේ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට ඔබ ඔරොත්තුදෙන්නෙක් වෙන්න. පින්වත, දෙවනුව ඔබ මේ ලෝකයෙන් නිදහස් වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව මෙම සටහන තබන්නේත් සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකිමින් මයි. පින්වත, සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි දකින සිතත් උතුම් ධම්මානුපස්සනාවෙන් ම, චිත්තානුපස්සනාවෙන් ම සෝදා හරිනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි අවබෝධාත්මක කලකිරීම හැර වෙන කිසිම කිලුටක් එවිට ඵස්සය තුළ ඉතිරි වෙන්නේ නැහැ.
පින්වත, ඔබේ ජීවිතය ‘භව නිරෝධය’ උදෙසා ඔබට ලැබුණ පෙර පටිච්චසමුප්පන්න පිනේ භව සම්පතක් හැටියට ම දකින්න. පින්වත, භවය යනු ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට රාජකීය තෝතැන්නයි. පින්වත, භවය දුකේ උල්පත වුව ද, භවයෙන් නිදහස් වීමට නම් භවයේ උපදින්න ම සිද්ධ වෙනවා. පින්වත, අපි සියල්ලෝ ම භවයෙන් නිදහස් වීමට අදාළ ධර්මානුකූල උපකාරක ධර්මයන් වන ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ ආශීර්වාදය ලබමිනුයි ජීවත් වෙන්නේ. පින්වත, අපි ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේගේ ආශීර්වාදය ලැබුවත්, තාමත් අපි කාරණා තුනකින් ප්‍රමාදීවයි පසුවෙන්නේ. පින්වත, එම කාරණා තුන වෙන්නේ තෙරුවන් කෙරෙහි අවබෝධාත්මක ශ්‍රද්ධාව, වීර්යය සහ දසඅකුසල් ධර්මයෝ කෙරෙහි ලජ්ජාව සහ බිය ඇති කර නොගැනීමයි. පින්වත, ප්‍රමාදීභාවය අනුනගේ නොව, ඔබේ ම දුකට මුලයි. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයට ආදරය කරන්න එපා; වෛර කරන්නත් එපා. පින්වත, ආදරයත්, වෛරයත් යන දෙකම අයිති දුකේ ලෝකයට මයි. පින්වත, මේ ජීවිතයේ දී ඔබට ලැබුණ සියල්ලෝ ම සහ සියල්ල ම අවිද්‍යාවෙන් උපදින සංස්කාරයන්ගේ ම හේතුඵල ධර්මයන් හැටියට දකිමින්, ලෝකය, ලෝකයේ නිරෝධය උදෙසා කමටහනක් කොට ගන්න. පින්වත, “නිවන උදෙසා ඔබේ ජීවිතය දන් දෙන්න.” පින්වත, එවිට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කෙරෙහි තෘෂ්ණාව මැරිලා යාවි. පින්වත, ඊට මාර්ගය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයෝ මයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 ජුලි 19 ඉරිදා දිවයින පුවත්පතින්.