පින්වත, මෙම සටහන කියවන ඔබ සමාජයේ ජීවත් වන ජනප්‍රිය චරිතයක් ද? පින්වත, ඔබ සැබවින් ම ජනප්‍රිය චරිතයක් නම්, කරුණාකර ඔබේ ජනප්‍රියභාවය ‘මම’ ය, ‘මගේ’ ය යැයි දකින්න එපා. පින්වත, ඔබ, ඔබේ ජනප්‍රියභාවය මමය, මගේය යැයි දැක්කොත්, ජනප්‍රියභාවය කෙලෙසන මමත්වයේ දැඩිභාවය ප්‍රණීතභාවයෙන් ඔබ තුළින් හිස ඔසවනවා. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබ ප්‍රගුණ කළ මෛත්‍රියේ සහ ශීලයේ හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ඔබ ලබන ජනප්‍රියභාවය මෛත්‍රියේ සහ ශීලයේ හේතුඵල ධර්මයෝ හැටියට දකිද්දී, පුද්ගල සඤ්ඤාවෝ නිරාහාර කළා වෙනවා. පින්වත, පුද්ගල සඤ්ඤාවෝ මිලින කොට දමා හේතුඵල ධර්මයෝ විකසිත කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, ජනප්‍රියභාවය හේතුවෙන් ඔබ තුළ සකස් වන පුද්ගල සඤ්ඤාවෝ ‘අනිත්‍ය’ යැයි දකිමින්, ඔබේ ජනප්‍රියභාවය පෙරළා මෛත්‍රියේ සහ ශීලයේ ප්‍රවර්ධනය උදෙසා ම ආයෝජනය කොට ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, එවිට ඔබේ ජනප්‍රියභාවය තව තවත් ශක්තිමත් වෙනවා. පින්වත, එවිට ඔබේ ජනප්‍රියභාවය දැකලා සතුටු වෙන සහ ‘සුවපත් වේවා!’ යැයි සිතන බාහිර පින්වතුන්ලාට ලැබෙන පිනට අදාළ ආනිශංසයෝ ගොඩාක් බලවත් වෙනවා. පින්වත, යම් පින්වතෙක් මෛත්‍රියෙන් සහ ශීලයේ ශක්තියෙන් ලබන ජනප්‍රියභාවය හේතුවෙන් තමන්ට පමණක් නොවේ, ඔහු සමාජයටත් පිනේ දන්සලක් ම වෙනවා. පින්වත, රටක රාජ්‍ය නායක පින්වතෙක් “දසදිශාවේ ම සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් සිත පුහුණු කළොත්, තම මෛත්‍රියේ ඵලයෙන් ම ශීලයේ ශක්තිය ජීවිතයට උනනවා. පින්වත, එවැනි සත්පුරුෂ නායකයෝ සමස්ත රටවාසී ජනතාවට ම, පිනේ දන්සලක් ම වෙනවා. පින්වත, එවන් සත්පුරුෂ නායකයෝ රටවාසී ජනතාවට ‘පිනේ ඉඩෝරයක්’ නම් වෙන්නේ නැහැ.
පින්වත, ගෞරවනීය නායක පින්වතුන්ලා පිනේ ඉඩෝරයට හසුවෙද්දී, සමස්ත රටේ ම වර්ණය, සැපය, බලය පිරිහීමේ දිශාවට ම ගමන් කරනවා. පින්වත, එවිට රටේ ආරක්‍ෂාව, ආර්ථිකය සහ නීරෝගීභාවය අභියෝගයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ දේශපාලන විද්‍යාව පිළිබඳව පාඩමක් නොවේ. භික්ෂුව මේ සටහන් තබන්නේ සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝ මයි. පින්වත, ගෞරවනීය පක්‍ෂ සහ විපක්‍ෂ දේශපාලන නායක පින්වතුන්ලා උතුම් පංචශීලයේ අර්ථය අවංකව ම තම ජීවිතවලට එකතු කොටගතහොත්, එම පරිත්‍යාගය තමන් උපන් රටට එම පින්වතුන්ලා දක්වන ශ්‍රේෂ්ඨ ම කල්‍යාණමිත්‍රභාවය වෙනවා. පින්වත, පංචශීලයේ ආනිශංස ධර්මයෝ තුළ ජනප්‍රියභාවය තිබෙනවා; ආරක්‍ෂක, ආර්ථික සහ නීරෝගීභාවයට අදාළ අභියෝගයෝ ජය ගැනීමේ ශක්තිය තිබෙනවා; ජාතියේ භව භෝග සම්පත් ආරක්‍ෂා කොට දීමේ ශක්තිය තිබෙනවා. පින්වත, රටක සෞභාග්‍යයට අවශ්‍ය සියලු ධර්මතාවයෝ පංචශීලයේ ශක්තිය තුළ සැඟවී තිබෙනවා. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ කෙරෙහි විශ්වාසය ඇති වෙන්න නම්, සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ කර්මය කර්මඵල විශ්වාසය තිබෙන්නට ඕනේ. පින්වත, සම්මා දිට්ඨියෙන් බංකොලොත් පින්වතා, ඉහත කාරණාවෝ හාස්‍යයෙන් මයි දකින්නේ. පින්වත, ඔබ තුළින් “ඔබ” දකින්න එපා. පින්වත, ඔබ තුළින් “ධර්මය” දකින්න. පින්වත, ඔබ තුළින් ඔබ දැක්කොත් ‘ඵස්ස පච්චයා වේදනාවෝ’ ඔබව ගිල ගනීවි. පින්වත, එවිට ඔබ එල්ලෙන්නේ උපාදානයන්ට පණ දෙන තෘෂ්ණාව නමැති ඉණිමඟේ මයි.
පින්වත, ඔබ, “ඔබ” උපන් මාතෘභූමියට කල්‍යාණමිත්‍රයෙක් වෙන්න කැමති ද? පින්වත, ඔබ උපන් රටට, ජාතියට, ආගමට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න අවශ්‍ය නම් කරුණාකර පංචශීලය දිවිහිමියෙන් සුරකින පින්වතෙක් වෙන්න. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා තමන් දිවිහිමියෙන් සුරකින උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශක්තියෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට කල්‍යාණ මිත්‍රයෙක් මයි. පින්වත, අපි සම්මා සම්බුද්ධ ශාසනයට අර්ථවත්ව කල්‍යාණ මිත්‍රයෙක් වෙද්දී, පෙරළා සම්මා සම්බුද්ධ ශාසනයත් අපිට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයා හිස නැවිය යුත්තේ, උතුම් තෙරුවන්ට පමණක් මයි. පින්වත, උතුම් තෙරුවන් යැයි කියද්දී සූත්‍ර, විනය, අභිධර්මය යැයි කියන සියලු ධර්මයෝ ඊට අයත් වෙනවා. පින්වත, උතුම් තෙරුවන්ට මෙහා වෙනත් කිසිදු කෙලෙස් බලයකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා යටත් විය යුතු නැහැ. පින්වත, ඉහත අර්ථයයි සංඝ සමාජයේ පෞරුෂත්වයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ. පින්වත, උතුම් සංඝ සමාජයේ පෞරුෂත්වය කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලන්න යන්න එපා. පින්වත, එවිට අපි දකින්නේ ‘විඤ්ඤාණයේ මායාවක්’ පමණක් මයි. පින්වත, උතුම් පැවිදි අපේ ජීවිත දෙස පටිච්චසමුප්පාද කණ්ණාඩිය තුළින් බලන්න පුහුණු වෙමු. පින්වත, ‘අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ’, පින්වත, ‘ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ.’ පින්වත, සංඝ සමාජයේ පෞරුෂත්වයේ හැඩරුව විමුක්තියේ මංගල්‍යයට නිකෙලෙස් පාවඩයක් වෙන්නේ එවිටයි.
පින්වත, ජීවිත ඉදිරියට පැමිණෙන පළිබෝධයෝ ගැන කතා කරලා වැඩක් නැහැ. පින්වත, ජීවිතය කියන්නේ ම පළිබෝධයක්. පින්වත, උපත යම් තැනක ද, එතැන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව සහ පංච උපාදානස්කන්ධ දුකේ පළිබෝධයක් මයි. පින්වත, ජීවිතය වට කොට ගත් පළිබෝධයෝ සතුටෙන් හෝ දුකෙන් පිළිගන්න එපා. පින්වත, එවිට පළිබෝධයෝ තව තවත් පැටව් ගහනවා. පින්වත, ජීවිතය උරුම කොට ගත් ජරා, ව්‍යාධි, මරණ පළිබෝධයෝ, ‘ජාති පච්චයා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ’ හැටියට ම දකින්න. පින්වත, ‘ජාති නිරෝධා ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව නිරෝධෝ’ යැයි දකින්න. පින්වත, එවිට ජීවිතයට වද දෙන පළිබෝධයෝ තුළින් “මම” යැයි කියන සඤ්ඤාව නිරුද්ධ වෙලා යාවි. පින්වත, “මම” යැයි කියන සඤ්ඤාවෝ නිරුද්ධ කොට දැමූ ජරා, ව්‍යාධි, මරණ පළිබෝධයෝ අයිති වෙන්නේ අවිද්‍යාවේ කසළ බඳුනට මයි. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව හොඳ ද, නරක ද යැයි සිතන්න යන්න එපා. පින්වත, මෙය මෙය සටහන් තබන භික්ෂුව සිල්වත් ද, දුසිල්වත් ද යැයි සිතන්න යන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ද, ශ්‍රද්ධානුසාරී ද, ධම්මානුසාරී ද යැයි සිතන්න යන්න එපා. පින්වත, මේ සෑම සිතුවිල්ලක් ම අයිති ලෝකයට, දුකට, ඇලීම් සහ ගැටීම්වලට පමණක් මයි. පින්වත, භික්ෂුව උපයෝගී කොට ගෙන ඔබේ ලෝකය ඔබ අවුළවා ගන්න එපා. පින්වත, භික්ෂුව උපයෝගී කොට ගෙන ඔබේ ලෝකය ඔබ නිවා ගන්න. පින්වත, භික්ෂුව සිහිපත් කොට ගෙන “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින්න. එවිට භික්ෂුව හේතුවෙන් ඔබේ ලෝකය නොඇවිළේවි.
පින්වත, පොසොන් සඳවතිය තවමත් කැලෑ පරිසරය අලෝකවත් කරනවා. පින්වත, සුදු පැහැ අහස් කුසේ, කහ පාටින් බැබළෙන අහිංසකාවිය දකිද්දී, ‘දැක්කා’ ය කියන තැන භික්ෂුවගේ සිත නවතිනවා. පින්වත, තම ප්‍රභාස්වර සඳ රැසින් දඟකාරකම් කරන දඟකාර සඳවතිය රූපයේ කෙටි ආස්වාදය පිළිබඳව ලස්සන ධර්මයක් අපිට කියලා දෙනවා. පින්වත, රූපයේ කෙටි අස්වාදයෝ අකුසල් මූලයන් උපද්දවමින් විඳින්න හොඳ නැහැ. පින්වත, අකුසල් මූලයන්ට පණ දෙමින් අපි රූපයේ කෙටි ආස්වාදයෝ භුක්ති වින්දොත්, එම අකුසල් විපාකයන්ගේ ඵලයෙන් ලස්සන රූපයන් ලෝකයෙන් අතුරුදන් වෙලා යාවි. පින්වත, ක්‍රමානුකූලව අකුසලයේ ඵලයෙන් මනුෂ්‍ය ජීවිතවල ආයුෂය අඩු වෙනවා. පින්වත, මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු දහයට අඩු වන බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ක්‍රමානුකූලව මනුෂ්‍යයා උසෙන් අඩු අඟුටුමිටි මනුෂ්‍යයන් බවට පත් වෙනවා. පින්වත, ලස්සන ලෝකය, එදාට අකුසල් හේතුඵල ධර්මයෝ විසින් ම අවලස්සන කරනවා. පින්වත, අනාගතයේ දී පටිච්චසමුප්පන්නව අපි ලබන පරමායුෂ වසර දහයක් වූ අඟුටුමිටි රූපයත් එදාට අපි රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයෙන් ම විඳිනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම් හෙවත් විඤ්ඤාණයෝ, එදාට අඩු ආයුෂ ඇති අඟුටුමිටි රූපයටත් කඩවසම් පෞරුෂත්වයක් ලබා දෙනවා. පින්වත, රූප තෘෂ්ණාව නිරෝධය කොට දමන්න. එවිට පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට පටිච්චසමුප්පන්නව බැස ගැනීමට තිබෙන “ගෘහය” ඔබ කඩා බිඳ දැම්මා වේවි. පින්වත, එතෙක් පිනේ සක්විති රජ රූපයත් සහ පවේ අල්පායුෂ අඟුටුමිටි රූපයත් යන දෙකම අපි සතුටින් ම පිළිගනීවී.
පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී, විශාලා මහනුවර මහා නියඟයකින් ඇති වූ දුර්භික්ෂයකින් ජනතාව මරණීය දුක් ගොඩකට මුහුණ දුන් බව ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ වැඩසිටිය දී, කාලගුණික විපත්තීන්ගේ කර්කශභාවය ඒ තරම් කටුක වූවා නම්, අනාගතයේ දී ඇති විය හැකි කාලගුණික විපත්තීන් ගැන කිනම් කතාවක් ද? පින්වත, විශාලා මහනුවර ඇති වූ විනාශය තුළින් මහා නියඟය හෝ එහි ඵලයෙන් උපන් මහා දුර්භික්‍ෂය පමණක් දකින්න එපා. පින්වත, එවැනි විනාශකාරී නියඟයකට මුල්වූ විශාලාව “ගිනියම් කළ” හේතුඵල ධර්මයෝ නුවණින් දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, යම් රටක ධනය බෙදී යාමේ දුර්වලභාවයන් හේතුවෙන්, ජනතාව මත පැටවෙන අධික බදු බර හේතුවෙන් සහ පින්වත් ජනතාව පීඩනයෙන් පලා යාම උදෙසා කාමයේ සහ රූපයේ ආස්වාදයට අසීමිත ආකාරයෙන් යොමු වීම හේතුවෙන් පින්වත් මනුෂ්‍ය ජීවිතවල ලෝභ, ද්වේශ, මෝහයෝ පදංග වශයෙන් මෝරා යද්දී, ශීලයේ උතුම් වටිනාකම් පංච නීවරණයෝ විසින් ග්‍රහණයට ගනිද්දී, මනුෂ්‍ය ජීවිතවල පිරිහීමට සාපේක්‍ෂව දෙවියෝත් පිරිහෙනවාය කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, අකුසලයෙන් පිරිහී යන මනුෂ්‍යයෝත් ඊට සාපේක්‍ෂව දෙවියෝත් අකුසලයෙන් ගිනියම් වෙද්දී, පරිසරය ද ගිනියම් වෙනවා හැර වෙන කුමක් නම් සිද්ධ වෙන්න ද? පින්වත, අනාගතයේ ඇති වෙතැයි කියන කාලගුණික විපත්තීන් කෙරෙහි ඇලීම් සහ ගැටීම් ඇති කොට ගෙන, එවැනි විපත්තීන්ට මුල්වෙන හේතුඵල ධර්මයෝ නුවණින් දැක ධර්මයේ උපේක්‍ෂාව ඇති කොට ගන්න. පින්වත, එවිට ඔබේ සිතුවිලි මෛත්‍රියෙන්, ශීලයෙන් සිසිල් වෙනවා සේ ම, පාරිසරික ගිනියම්භාවය ද සිසිල් වෙලා යාවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.