ජීවිතය හරි මඟට.

පිංවත ලස්සන රෝස මලක් පිපී තිබෙන රෝස මල් ගසක් දැක, පිංවත් ඔබට සිතෙන්නේ නැති ද අනේ මටත් මේ වගේ නිදහසේ පිපී විකසිත වෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. හැමෝම දැක සතුටුවෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. පිංවත ඔබටත්, මටත් කවදාකවත් රෝස මලක් වෙලා පිපෙන්නට බැහැ. රෝස මලක් කියන්නේ බීජ නියාමයන්ගෙන් උපන් හුදු සතර මහා ධාතුවක් පමණක්මයි. පිංවත සතර මහා ධාතුවේත් කෙටි ආස්වාදයක් සහ දීර්ඝ ආදීනවයක් තිබෙනවා. අහිංසක, නිරහංකාර අජීවී රෝස මලටත් ඉහත ධර්මතාවය පොදුයි. පිංවත සජීවී ඔබ අජීවී රෝස මලක් වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා. රෝස මලක් වෙනුවට මෝහයයි ඔබේ ජීවිතයට එකතු වෙන්නේ. පිංවත ඔබටත් පුළුවන් අවිද්‍යාවෙන් උපන් පටිච්චසමුප්පාද මල් පඳුරේ උපාදාන පච්චයා භවය කියන අතු අග ලස්සන අහිංසක මිනිස්, දිව්‍ය, බ්‍රහ්ම මලක් වෙලා උපදින්න. පිංවත සත්‍යකින්ම ඔබත් අවිද්‍යාවෙන් ඉපදුන සංස්කාර පොහොරින් යැපෙන ලස්සන අහිංසක රෝස මලක්. පිංවත ඔබට ඔබගේ ජීවිතය හැමෝම ප්‍රියකරන ලස්සන අහිංසක රෝස මලක් යැයි ඔබට හැඟෙන්නේ නැතිනම් කරුණාකර ඔබේ ජීවිතයට තව තවත් ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ, සතියේ, සමාධියේ සංස්කාර පොහොර සිහිනුවණින් එකතු කොටගන්න. ඔබේ ජීවිතයට ඉහත සංස්කාර පොහොර භාවිතයට ගනිද්දී නෙක්ඛම්මයේ පෙරහන්කඩින් ආත්මීය දෘෂ්ටියේ ඝන අපද්‍රව්‍ය හොඳින් පෙරා භාවිතයට ගන්න. එවිට පිංවත් ඔබටත් පුළුවන් අවිද්‍යාවෙන් උපන් පටිච්චසමුප්පාද මල් පඳුරේ උපාදාන පච්චයා භව අතු අග හැමෝම ප්‍රියකරන, හැමෝම දැකලා සතුටුවෙන අහිංසක, නිරහංකාර රෝස මලක් වෙන්න.

පිංවත කුසල් සංස්කාරයන්ගේ පොහොර හොඳින් ලැබුණත් නෙක්ඛම්මයේ පෙරහන්කඩ සිදුරු සහිත නම් මොනතරම් ලස්සන ජීවිතයක වුව ද, ගොඩාක් අවලස්සන දේවල් සැඟවී තිබෙන්නට පුළුවන්. පිංවත් ඔබ දැකලා තිබෙනවා ද රෝස මල් වගේ ලස්සන ජීවිත තුළ සැඟවිලා තිබෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසයන්, කාමරාග, පටිඝයන්? පිංවත ලස්සන ජීවිතවල සැඟවුණ අකුසල් සංස්කාර විෂ ලස්සන පමණක් නොවේ, මේ සුන්දර සුගතියත් අපිට අහිමිකොට දෙන්න පුළුවන්. පිංවත ඔබ ලැබූ ලස්සන ජීවිතයට කෘතවේදී වෙන්න. ලස්සන ජීවිතයට කෘතවේදී වෙනවා කියන්නේ, ලස්සන ඉදිරියේ නිහතමානී වෙන්න. ලස්සන ජීවිතයකට මුල්වෙන හේතුඵල ධර්මයන් දකිමින් ශීලයට, මෛත්‍රියට, ත්‍යාගයට ඔබේ ලස්සන ජීවිතය පූජා කරන්න. පිංවත ලෝකය ඉදිරියේ අපි සියල්ලෝම තවම වැරදිකරුවෝ. ලෝකය නිවැරදි කරන්න නම් අපි චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථයන්ගෙන් නිවැරදි වෙන්න ඕනේ. තවම අපේ ජීවිත පොතේ පිටු පෙරළෙන්නේ සැපයට එකම හේතුව තෘෂ්ණාව කියන අර්ථයෙන්මයි. සැපයට එකම හේතුව කෙටි ආස්වාදය කියන අර්ථයෙන්මයි. පිංවත රූපයේ සහ කාමයේ කෙටි ආස්වාදයන් තුළින් රංචු ගැසෙන දීර්ඝ ආදීනවයන් අපේම පින තුළ සඟවමින් අපිට නොපෙනෙන අකුසල් මූලයෝ අපිව ගිලගන්නවා. පිංවත ලෝකය කියන අර්ථය නිවැරදි වෙන්නේ නැහැ. ලෝකය කියන්නේ ඇලීම් සහ ගැටීම් පමණක්මයි. පිංවත නිවැරදි නොවන ලෝකය දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලන්න. එවිටයි සම්මා දිට්ඨිය උපදින්නේ. එවිටයි කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින්නේ. එතෙක් අපි ළඟ ශීලය, දානය තිබුණත් සම්මා දිට්ඨිය අපෙන් ඈතට යනවා. මෝදුවෙන අකුසල් නිසාම ඇලීම් සහ ගැටීම් අපේ ජීවිත ගිල ගන්නවා. පිංවත ඔබ තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් ප්‍රවේශමෙන් පරිහණය කරන්න. ඔබ ඇලීම් සහ ගැටීම් ඉදිරියේ අපරික්ෂාකාරී වුණොත්, ඔබේ පින අකුසල් මූලයන් ඉදිරියේ වාෂ්ප වෙලා යාවි.

පිංවත තවදුරටත් අනාගත සිහින දකින්න එපා. සිහින ලෝකවල තනිවෙන්න හදන්නත් එපා. අපි ඉදිරියේ තිබෙන කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය ඒ තරමටම මිරිඟුවක්. අපේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා සේදී යන්නේ අනෝරා වැස්සකට හසු වූ වැලි ගොඩක් වගේමයි. පිංවත අපේම අතීත අකුසල්, අපේම සැප වේදනාවෝ දංගෙඩියට යවන්නේ, අපිව දුක් වේදනාවන්ගේ සිරකරුවන් බවට පත්කරලයි. තරුණ අඹුසැමි යුවලක් සිඟිති දරු පැටියෙක් වඩාගෙන ඇවිත් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, බලාපොරොත්තු කන්දක් ගොඩගසාගෙන දරු පැටියෙක් බිහි කළා. එම දරු පැටියා රෝගී දරුවෙක්ය කියලා. පිංවත අකුසලය විසින් අපිව පාලනය කරන සමාජයක, වස විස විසින් අපිව ජීවත් කරවන සමාජයක, මිල මුදල් විසින් අපිව තීරණය කරන සමාජයක අපේ ධර්මයට අදාළ සිහිනුවණ අපෙන් ගිලිහුනොත් අපේ සෑම බලාපොරොත්තුවක්ම අයිති වෙන්නේ මාරයාටමයි. පිංවත වර්තමාන සමහරක් තරුණ දරුවෝ තැන නොතැන නොබලා සිත් සේ කාමච්ඡන්දයන් වඩනවා. විවාහයට පෙර විවාහයේ රස විඳිනවා. යහපත් ශීලාචාර ධර්මයන්ට පිටුපානවා. විවාහයක් යනු යහපත් ගුණාත්මක තවත් පරම්පරාවක ආරම්භයක් යැයි නොසිතා, විවාහය යනු හුදු කාමයේ සහ රූපයේ ආස්වාදයක්ම යැයි සිතලා අකුසල් මූලයන්ගේ පෝරුව මත ආස්වාදයේ අත පැන් වත්කොට විවාහ ගිවිසගෙන කාමච්ඡන්දයෝම මුල්කොටගෙන දරුවන් හැදීම වර්තමානයේ ඉතාමත් අවදානම් සහගතයි. පිංවත් විවාහක දරුවෙනි, විවාහ වෙන්න බලාපොරොත්තුවෙන දරුවෙනි ඔබලා පිංවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්න ඕනේ කාමච්ඡන්දයන් තුළින් නොවේ. විසිරුණු සිතක රැඩිකල් ආස්වාදයෙන් නොවේ. දරුවෙක් හැදුනොත් මාර වැඩක් වෙන්නේ යැයි සිතන සැකයෙන්, විචිකිච්ඡාවෙන් නොවේ. පිංවතුනි ඔබලා දරු සම්පත් බලාපොරොත්තු වියයුත්තේ පංච නීවරණ ධර්මයෝ බැහැර කළ මනා සිහිනුවණින්මයි.

දරු සම්පත් බලාපොරොත්තුවෙන දෙමාපියන් ඉදිරියේ නිරෝගී දරු උපතක්, පිනැති දරු උපතක්, තම දෙමාපියන්ගේ කුල පරම්පරාව ඉදිරියට අරගෙන යෑමට ශක්තිය ඇති දරු උපතක්, සිංහල බෞද්ධකමට ආලෝකයක් වෙන දරු උපතක් වැනි අවශ්‍යතාවයන් දකින සිහිනුවණ තිබෙන්නට ඕනේ. වර්තමාන කෙලෙස් බහුල, කාම වෙළඳ පොළක් සහ රාග වෙළඳ පොළක් බවට පත්කොට ඇති අකුසලයෙන් ඉඳුල් වූ තරඟකාරී සමාජයක් තුළ යහපත් දරු උපතක් බලාපොරොත්තුවීම අභියෝගයක් බවට පත්වෙමින් තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ භික්ෂුව ඉදිරියට තරුණ දෙමාපියන් අරගෙන පැමිණි රෝගීභාවයන්ට පත් වූ කුඩා අත දරුවන් සිහිපත් වෙද්දී, පිංවත් තරුණ දෙමාපියන් තම දරු සම්පත් බලාපොරොත්තුවීමේ දී ධර්මානුකූලව සිහිනුවණින් කටයුතු කරන්නය කියලා කරුණාවෙන් සටහන් තබනවා. වර්තමානයේ විවාහ වීමට බලාපොරොත්තුව සිටින පිංවත් තරුණියන් සහ විවාහ වූ කාන්තා පක්ෂය මත්වතුර පාවිච්චි කිරීම අළුත් මෝස්තරයක් බවට පත්වෙලා තිබෙනවා. පිංවත රෝගී පරපුරක අළුත් ආරම්භයක් කාන්තා පක්ෂයේ මත්වතුර ඇබ්බැහිය තුළ මාරාවේශයෙන් සැඟවී තිබෙනවා.

පිංවත අධර්මයෝ අධර්මයන්මයි ශක්තිමත්කොට දෙන්නේ. පිංවත් තරුණ, මධ්‍යම කාන්තා පක්ෂයේ මත්වතුර උන්මාදය හේතුවෙන් ස්නායු රෝග සහිත දරු පරම්පරාවක් ඉදිරියේ දී බිහි වෙන්න පුළුවන්. පිංවත් තරුණ දරුවනි ඔබලා කෙටි කාමයේ සහ රූපයේ ආස්වාදයට යට වී, පංචශීලය දුර්වලකොට ගත්තොත් පෙර ජීවිතයේ පංචශීලය දුර්වලකොටගත් මනුෂ්‍යයෝමයි ඔබලාගේ මවුකුසට පටිච්චසමුප්පන්නව බැස ගන්නේ. පිංවත අකුසලයට, අකුසලයමයි ඇදී එන්නේ.

පිංවත රූපය අයිති මාරයාට නම්, රූපය ඇසුරෙන් සකස්වෙන කාමයෝ අයිති මාරයාටමයි. ඒ කියන්නේ දුකටමයි. පිංවත ඔබ ඉදිරියේ තිබෙන්නේ කුසල් ධර්මයෝ විසින් සකස්කොට දුන් සමාජයක් නොවේ. අකුසල් සංස්කාරයෝ විසින් සකස්කොට දුන් සමාජයක්. පිංවත් පාලකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී සමාජයටම අධාර්මිෂ්ඨ විෂ බීජය බෝ වෙනවා. පාලක පිංවතුන්ලාගේ තෘෂ්ණාවේ මාරාවේශයෙන් බෝවෙන මේ විෂ බීජයට පිංවත් ඔබ ගොදුරු වෙන්න එපා. පිංවත අපේ රටේ දේශපාලනයේ මනුෂ්‍යත්වය මැරී ගිහින්, ඔවුනගේ චේතනාවන් සකස් වෙන්නේ මනුෂ්‍ය හිංසනයෙන් සහ පළිගැනීමේ මනෝභාවයන්ගෙන්මයි. පිංවත ඔබ මේ වියරු එකමුතු පක්ෂ විපක්ෂ දේශපාලනයේ අහිංසක ගොදුරක් වෙන්න එපා. පිංවත පාලකයෝ අධාර්මිෂ්ඨ නම්, ඔබ ඔබේ පාලකයා වෙන්න. ඔබ ඔබේ නායකයා වෙන්න. තමන් උපන් රටෙන්, ජාතියෙන්, සම්මා සම්බුද්ධ ශාසනයෙන් පළිගන්නා දේශපාලනයක් යැයි කියන්නේ අකුසල් සංස්කාරයෝ විසින්ම නිර්මාණය කළ මායාකාරී මැජික් සංදර්ශනයක්. අපේ රටේ දේශපාලන සංස්කෘතිය කියන්නේ මගහැර යායුතු, දුරුකළ යුතු ධර්මතාවයක්. මාරාවේශයේ රතු කට්ට පැනපු, පිංවත් ජනතාවත් මාරාවේශයට පත්කරන ධර්මතාවයක්. පිංවත අකුසලය ඉදිරියේ ඔබ සටන් කරන්න යන්න එපා. අකුසලය ඉදිරියේ පිංවත් ඔබ කුසලයෙන් නිවැරදි වෙන්න.

පිංවත උවමනාවෙන්ම තෘෂ්ණාවෙන් මාරාවේශයට පත්කළ මෙවන් සමාජයක, පිංවත් ඔබ යහපත් දරු සම්පත් බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා ධර්මානුකූල නිවැරදි සූදානමක් ඇතිකොට ගන්න. හදන්නන් වාලේ ඉක්මන් දරු සම්පත් හදා ගන්න එපා. අවම වශයෙන් දරුවෙක් බලාපොරොත්තුවීමට තුන් මාසයකට පෙරාතුව පටන් ශ්‍රද්ධාවෙන්, මෛත්‍රියෙන්, ශීලයෙන් හොඳින් සූදානම් වෙන්න. තම දෙමාපියන්ට, වැඩිහිටියන්ට හොඳින් උපස්ථානය කරන්න. පංච නීවරණ ධර්මයෝ අවමකොට ගන්න. අඹුසැමි දෙපළ දෙදෙනෙක් නොවී එක් කෙනෙක් වෙන්න බලන්න. වස විස කෘතිම ආහාර වලින් හැකිතාක් වළකින්න. පිංවත දරු සම්පත් බලාපොරොත්තු වෙන ඔබ මෛත්‍රියෙන් සන්සුන් වෙන්න. ඔබ නොසන්සුන් වුණොත් අකුසලයෙන් නොසන්සුන් වූ පටිච්චසමුප්පන්න දරු උපතක් ඔබේ මවුකුසට බැසගන්න පුළුවන්. පිංවත ඔබේ මවුකුස පිනැති දරුවෙකුට පටිච්චසමුප්පන්නව ආකර්ෂණීය තැනක් බවට පත්කොට ගන්න. පිංවත පින ඇදී එන්නේ පින දිශාවටමයි. දේශපාලන මාරාවේශයෙන් ඔත්පල වූ සමාජයක පිංවත් ඔබ ධර්මානුකූල වෙන්න.

පිංවත් තරුණ මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, තම හිතවතෙකුගේ මඟුල් ගෙදරක දී තරුණ ගැහැනු ළමයි කණ්ඩායමක් මත්වතුර පානය කරලා නටපු හැටි දැක්කම තමාට ලැජ්ජා හිතුණාය කියලා. පිංවත අනුනගේ බීමත්කම ඉදිරියේ ඔබ ලැජ්ජා වියයුතු නැහැ. දේශපාලන පිංවතුන්ලාගේ මාරාවේශයෙන් සමාජගතවෙන දුශ්ශීල සමාජ වියරුවට අදාළව හේතුඵල ධර්මයන් නුවණින් දකින්න. මොනම හේතුවක් නිසාවත් මත්වතුර සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට වෛර කරන්න, ද්වේශ කරන්න එපා. පිංවත් ඔබ එහෙම කළොත් මේ විනාශයට සැබෑ වගකිවයුත්තෝ ඔබ නිදහස් කළා වෙනවා. පිංවත් දරුවෙනි ලෝකය දිනන්න ඉපදුන ඔබ, ලෝකයා ඉදිරියේ පරාජිතයෙක් වෙන්න එපා. පිංවත් දරුවෙනි මේ ඔබලා ඔබලාගේ උවමනාවෙන්ම විනාශ වෙනවා නොවේ. සමාජගත මාරාවේශ වූ දේශපාලනය ඔබලාව උපක්‍රමශීලීව විනාශ කරනවා. ඔබලා අසිහියට පත්වුණොත් පමණක්මයි, මාරාවේශ වූ දේශපාලනයට තව, තවත් වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. පිංවත් දරුවෙනි අකුසලය යටපත්කොට දැමිය යුත්තේ කුසලයෙන් මිස මත්වීමෙන් නොවේ. පිංවත් බුද්ධිමත් වැඩිහිටියනි, මම ශිල්වත්, ඔබලා බේබද්දෝ කියන අසත්පුරුෂභාවයන්ගෙන් මිදිලා, මේ විනාශ වී යන්නේ අපේම ජාතියේ අනාගත පරපුරයි කියන මෙත් සිතින් අපි සියල්ලෝම එකම අම්මාගේ දරුවෝ යැයි දකිමින් මතට නොව, මතේ උල්පත වන දේශපාලන මාරාවේශයට වහ වහා පිළියම් සොයා ගන්න සිහිනුවණින් නැගී සිටින්න. එසේ නොවන තාක්කල් වැඩිහිටි අපි සියල්ලෝ ම උපන් රටට ණයකාරයෝ වෙනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

උපුටා ගැනීම – 2023/11/26 වන ඉරිදා දිවයින පුවත්පත.