පින්වත සුන්දර වස්සානය අවසන් කරලා උදාවුණ චීවර මාසය ගෙවී යන්න තවත් සතියක කාලයයි ඉතිරි වෙලා තිබෙන්නේ. වසරේ පිනෙන් පිරුණ මාසයයි චීවර මාසය යැයි කියන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් සකසා මහා සංඝ රත්නය උදෙසා පූජා කොටගන්නා කඨින චීවරයක් තුළින් චේතනාන්විතව ඔබ අයිතිකොට ගන්නා, පවේ අභියෝගයන් හමුවේ නොකැඩෙන පින, පින් කැමති සියළු සත්වයින්ටම චීවර මාසය පිනෙන් පුරවා දෙනවා. පින්වත ලෞකික ප්‍රඥාව සහ ශීලය දුර්වල වෙන සමාජයක ඔබේ පින ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන්ගෙන් දුර්වල වෙලා යන්න පුළුවන්. පින්වත ජරා, ව්‍යාධි දුකෙන් පිරි ලෝකය දෙස බලන්න. අකුසල් සංස්කාර වියරුව හරිම දැඩියි.
ලෝකය පුරා යුද උමතුව, රටවල් පුරා සූරාකෑමේ උමතුව, රෝගී දරු උපත්, විකෘති දරු උපත්, පින්වත් දෙමාපියන් සතු මහා බ්‍රහ්ම ගුණයන්ගේ පිරිහීම්, පින්වත් ගුරු දෙවිවරුන් දේවත්වයෙන් සමුගැනීමේ විකෘතීන්, ගෞරවනීය මහණ බමුණන් ශීලය දෙස මන්දගාමීව බලමින්, සිවුපසය දෙස ප්‍රවේගකාරීව බැලීමේ විකෘතීන්. පින්වත භික්ෂුව මේ සටහන් තබන්නේ කාගේවත් වැරදි නොවේ. අපි හැමෝගේම පිනට මුවාවී සක්‍රීය වෙන අකුසල් මූලයන් අපේ ලෞකික ප්‍රඥාවේ ඇස් අන්ධ කරන ස්වභාවයයි. පින්වත ජීවත්වීම ගැන වරක් සිතනකොට, කරුණාකර මරණය ගැන දහස් වරක් සිතන්න පුරුදු වෙන්න. මරණය ගැන නොසිතා, ජීවත්වීම ගැන පමණක් අපි සිතුවොත් මරණින් පසු පටිච්චසමුප්පන්න උපත දුකෙන් පිරි විකෘතියක්ම වේවි.
පින්වත පිනෙන් උපන් මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතිය කාමයන්ගේ ආශ්වාදයට, රූපයේ ආශ්වාදයට කැමති ලෝකයාට හරිම හිසරදයක්. මිථ්‍යාදෘෂ්ටියට ශීලය මහමෙරක් වගේ බරක්. කාම වෙළඳපොළට, රූප වෙළඳපොළට ශීලය හරිම තිත්ත කසායක්. ජාත්‍යන්තර අවි වෙළෙන්දන්ට, යුද්ධය විකුණාගෙන කන පින්වතුන්ලාට මෛත්‍රිය හරිම කුණුහරුපයක්. පින්වත ධනය, බලය මුල් වෙච්ච සමාජයට නෙක්ඛම්මය තහනම් වචනයක්. පින්වත මේ අවිද්‍යා ලෝකයේ හැඩරුවයි. මේ හැඩරුවට අපි හැමෝම කැමති වුණොත්, මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතියට අනාගතයේ දී කුමක් වෙයි ද? පින්වත අනාගතයේ දී මේ උතුම් සිංහල බෞද්ධ සංස්කෘතිය මරා දැමීමට මිථ්‍යාදෘෂ්ටික ජාත්‍යන්තරය ගොඩාක් උපක්‍රමයන් යොදන්න පුළුවන්. එම වියරු අරමුණ උදෙසා ඩොලර් කෝටි ගණන් වියදම් කරන්න පුළුවන්. මේ උතුම් සිංහල බෞද්ධකමට ආදරය කරන, ගරුකරන තරුණ පිරිස් භාවනාවේ නාමයෙන්, නිවනේ නාමයෙන් තම පැවිදි ඒජන්තවරු හරහා කොටුකරගෙන එම අහිංසකයින්ට සැබෑ නිවන් මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, සිංහල බෞද්ධකම පිළිබඳ ඇල්මත් යන දෙකම විනාශකොට දැමීමට අදාළ සැලසුම් සකස් වෙන්න පුළුවන්. පසුගිය දවසක වනවාසීව භාවනා කරනවා යැයි කියන ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට කියනවා, ඔබවහන්සේ ධර්ම දේශනා පැවැත්වීම, මාධ්‍ය වලට ලිපි ලිවීම වනවාසී අනෙක් භික්ෂූන් වහන්සේලාට ලබාදෙන වැරදි පූර්වාදර්ශයක්ය කියලා. ලෞකික ප්‍රඥාව වල් වැදුන මෙවැනි හඬවල් භික්ෂුව හොඳින් හඳුනනවා. මෙම හඬ සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධ හඬක් නේද? මෙය සටහන් තබන භික්ෂුව ගිහි පින්වතුන්ලාට කරන මුල්ම අවවාදය අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුළ හිඳිමින්, සිංහල බෞද්ධකම ශක්තිමත්කොට ගන්න කියන කාරණයයි. මෙය අසිංහල අබෞද්ධ රටක් බවට පත්වුණොත් පින්වත් ඔබට නිවන තබා පැවිද්ද ගැනවත් කතා කරන්න අවස්ථාව නොලැබේවි. සියළු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකයක මහා සංඝ රත්නය වන අපි සංඝයාගේ ගුණයන් වන සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන් මොනවාට ශක්තිමත් වෙනවා වගේම, ඉහත ගුණයන්ගෙන් පෝෂණය වූ උතුම් සාමීචිපටිපන්න ගුණයෙන් ගිහි සමාජයට සද්ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ. සූත්‍රගත ධර්මයන්ට අදාළව සමාජයේ නිවැරදිභාවය උදෙසා හරි, වැරැද්ද කියලා දෙන්න ඕනේ. සංඝ සමාජයේ එක් එක් සාමාජිකයාගේ ක්‍රියාකාරකම් තීරණය වෙන්නේ අතීත උපාදානයන්ට අදාළවයි.
පින්වත ගිහි වේවා, පැවිදි වේවා යම් පින්වතෙක් උතුම් සම්මා දිට්ඨිය ඇතිකොට ගත්තා නම් එම පින්වතා කර්මය කර්මඵල විශ්වාසය තුළිනුයි ලෝකය දකින්නේ. තමන් මේ ජීවිතයේ දී සිංහල බෞද්ධයෙක්ව ඉපදුනේ ඇයි? තමන්ට මේ දෙමාපියන් දෙපළ, සහෝදර, සහෝදරියන් ලැබුණේ ඇයි? තමන්ට මෙවැනි අධ්‍යාපනයක්, ව්‍යාපාරයක්, රැකියාවක්, සමාජ තත්වයක් ලැබුණේ ඇයි? පින්වත මෙය සටහන් තබන භික්ෂුවට නම් ගිහි දිවියේ ලැබුණ සියල්ලම ලැබුණේ මගේම පැවිද්ද උදෙසා උපකාරක ධර්මයන් හැටියටමයි. භික්ෂුවගේ ජීවිතයේ දුක් වැඩි සහ සැප අඩු, බලාපොරොත්තු බිඳවැටීම් වැඩි සහ බලාපොරොත්තු සඵලවීම් අඩු භික්ෂුවගේ ගිහි ජීවිතයේ ලැබුණ සංස්කාර ධර්මයෝමයි භික්ෂුවට නිවැරදි පැවිද්ද උදෙසා කමටහනක් වුණේ. භික්ෂුව වර්තමානයේ සිට අතීතය දෙස දකිත්දී, භික්ෂුව දකින්නේ අවිද්‍යා පච්චයා සංඛාරා කියන සුන්දර පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අර්ථය පමණක්මයි. පින්වත උතුම් සම්මා දිට්ඨිය ඉදිරියේ ජීවිතය නිවැරදි ධර්මයක්ම වූ කල්හි, අපි එම ධර්මයට කෘතවේදී වියයුතුයි. එම කෘතවේදීභාවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් මොනවාට පෝෂණය වියයුතුයි. නෙක්ඛම්ම සංකප්පය අර්ථවත්ව ක්‍රියාත්මක වියයුතුයි. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ තමන් පිරිනිවන්පාන අවසාන රාත්‍රිය තම මෑණියන් වන, මිථ්‍යාදෘෂ්ටිකභාවය තුළ සිටි සාරී බැමිණියගේ නිවසට වැඩම කොට සාරී බැමිණිය උතුම් සම්මා දිට්ඨියට පත්කොට පිරිනිවී යන්නේ, සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේගේ උතුම් අරිහත්වය සම්මා දිට්ඨියෙන් පෝෂණය වී තිබීම නිසාමයි. විඩූඩභ කුමාරයා ශෘක්‍ය වංශිකයන් සමූල ඝාතනය කිරීමට යද්දී දෙවරක්ම බුදුරජාණන් වහන්සේ විඩූඩභ කුමාරයාව වළක්වන්නේ, තමන් උපන් ජාතියට දක්වන්නා වූ කෘතවේදීභාවය නිසාමයි. පින්වත සම්මා දිට්ඨිය ශක්තිමත් වූ තැන අම්මා කියන්නේත්, තමන් උපන් රට ජාතිය කියන්නේත් කෙලෙස් ගොඩක් නොව කෘතවේදීභාවයෙන් දැකිය යුතු ධර්මතාවයෝමයි.
පින්වත අපි ජීවත් වෙන්නේ, විවිධත්වයෙන් යුත් සංස්කාර ලෝකයක. අපි එකිනෙකාගේ ඉන්ද්‍රීය ධර්මයන් විවිධයි. අපි එකිනෙකාගේ අතීත උපාදානයෝ එකිනෙකට වෙනස් වෙනවා. යම් පින්වතෙක් කියනවා නම් සංඝ සමාජයේ අපි හැමෝම එක වගේම ශීලයෙන් ශක්තිමත් වියයුතුයි කියලා, එම පින්වතාගේ සම්මා දිට්ඨිය හොඳටෝම දුර්වලයි. යමෙකුගේ හැසිරීම, යමෙකුගේ ශීලය, යමෙකුගේ ප්‍රතිපදාව තීරණය කෙරෙන්නේ එම පින්වතාගේ අතීත සංස්කාර සහ අතීත උපාදානයන්ට අදාළවයි. පින්වත කරුණාකර එක වගේ දෙදෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා. අපි සමාජය තුළ දකින එකිනෙකා අතර වෙනස සුන්දර ධර්මයක්මයි. මේ ධර්මය නිවැරදිව දකින්න නම් සම්මා දිට්ඨියේ ඇස තිබෙන්නම ඕනේ. සම්මා දිට්ඨියේ ඇස අවිද්‍යාවේ සුදෙන් වැසී ගියකල, පින්වත් ගිහි සහ පැවිදි සමහරු සිතනවා, හැමෝම තමන් වගේම හැසිරිය යුතුයි කියලා. පින්වත ළඟ බලන්න එපා, පටිච්චසමුප්පන්න අතීතය දෙස සිහිනුවණින් බලන්න. එවිට ඔබට පෙනේවි අපේ අතීත සංස්කාර පොදිය අහසයි, පොළොවයි වගේ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්ය කියලා. පින්වත මෙය සටහන් තබන භික්ෂුව වනයේ ජීවත් වෙන්නේ “වනය” කියන සංඥාවෙන්. ගමේ ජීවත් වෙන්නේ “ගම” කියන සංඥාවෙන්. නගරයේ ජීවත් වෙන්නේ “නගරය” කියන සංඥාවෙන්. පින්වත අපි තුළ සකස්වෙන සංඥා, චේතනා අයිති වෙන්නේ මනෝ සංස්කාරයන්ට. පින්වත මනෝ සංස්කාරයන්ට හේතුවෙන අධ්‍යාත්මික සහ බාහිර රූපයත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් අනිත්‍ය වූ ධර්මතාවයන් නිසාම, අපි තුළ සකස්වෙන මනෝ සංස්කාරයෝ අයිති අනිත්‍ය වූ ධම්මානුපස්සනාවටයි. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි විසඳාගත යුතු වෙන්නේ වනය ද, ගම ද, නගරය ද කියන ප්‍රශ්නය නොවේ. මේ සියළු විතර්කයන්ට මුල්වෙන කාය, වචී, මනෝ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වත වනය ද, ගම ද, නගරය ද යනු අනිත්‍ය වූ ඵස්සයක් පමණක්මයි. අනිත්‍ය වූ ඵස්සය අපි ආහාරයක් කොටදිය යුත්තේ තෘෂ්ණාවට නොව උතුම් ධම්මානුපස්සනාවටයි. පින්වත ඉහත නිරවුල් ධර්මයෝ අවබෝධ කොටගන්න නම් රුක්ඛ මූලයක, ශූන්‍යාගාරයක, ආරණ්‍යයක විවේකීභාවය අතිශය උපකාරී වෙනවා. හැබැයි එම විවේකය අත්‍යවශ්‍ය වෙන්නේ විතර්කයන්ගේ සිරකරුවෙක් බවට පත්වීමට නොව විතර්කයන්ට හේතුවෙන කාය, වචී, මනෝ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක් යැයි අවබෝධකොට ගැනීම උදෙසාමයි. පින්වත පැවිදි අපි වර්ණනා කළ යුත්තේ වනවාසීව වැඩසිටීම නොවේ. වනවාසීව වැඩසිටින ගෞරවනීය සංඝ රත්නයේ ඒකවිහාරීභාවයයි. ඒකවිහාරීභාවය යනු තෘෂ්ණාව නමැති දෙවෙනියෙක්ගෙන් තොරව වැඩ සිටීමයි.
පින්වත මේ සටහන කියවීම මොහොතකට නවතා දෑස් පියා ගන්න. ඔබේ ලෝකය තාවකාලිකව ඵස්සය ළඟ නවත්වා ගන්න. දෑස් පියාගත්ත ඔබ, ඔබට ඇසෙන, දැනෙන සිතුවිලි චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි යැයි දකින්න. ඔබේ ඵස්සය හේතුවෙන් ඇලීම්, ගැටීම් සහ උපේක්ෂා විඳීමේ ලෝකය ගොඩ නගන්න දෙන්න එපා. මේ නිමේෂයේ දී ඔබ තාවකාලිකව ඒකවිහාරී ජීවිතයක අත්දැකීමයි ලබන්නේ. තෘෂ්ණාවේ දෙවෙනියෙක්ගෙන් තොරවයි ඔබ ජීවත් වෙන්නේ. තෘෂ්ණාවේ දෙවෙනියාව ඔබ, ඔබේ විදර්ශනාව තුළ සිරගත කරද්දී, ඔබ තුළ සකස්වෙන කාය සංස්කාරයන්ට අයිති ආශ්වාස ප්‍රශ්වාසයෝ ඔබට හොඳින් අරමුණු වෙනවා නේද? ආශ්වාස ප්‍රශ්වාසයේ ඇතිවීම සහ නැතිවීම දකිමින් ධම්මානුපස්සනාවටම මොහොතක් ජීවිතය බාර දෙන්න. පින්වත විතර්ක වලින් පිරි ජීවිතයක් යැයි කියන්නේ ගැනලා ඉවර කරන්න බැරි සංස්කාර මල්ලක්. පින්වත ඔබේ අධ්‍යාත්මික රූපය මම ය, මගේ යැයි දකින්න එපා. රූපය, රූපය ලෙස දකින්න. එම රූපය, රූපය ලෙස දකින සිතත් අනිත්‍ය වූ ඵස්සයක් යැයි උතුම් ධම්මානුපස්සනාවෙන්ම දකින්න. ධම්මානුපස්සනාව තුළ නැවතුන ජීවිතය සංස්කාරයන් ප්‍රසූත කිරීම තාවකාලිකව අඩපණ කරනවා. පින්වත දුක වැඩි, සතුට අඩු අපේ ජීවිත වලට වගකිව යුත්තා අපිමයි. අපේම අවිද්‍යාව හේතුවෙන් සකස්කොටගත් සංස්කාරයි. පින්වත කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් ඔබ ලබනා පුංචි විදර්ශනාමය සිතකින් අකුසලයෝ යටපත් කොටගෙන නැගී සිටින්න. එතැනම ඔබේ පින්වන්ත ජීවිතයට සතුට තිබෙනවා.
පින්වත ඔබත්, මමත් යහපත් වැඩිහිටියන් හැටියට හැදුනේ, අපේ දෙමාපියන් යහපත් විදියට හැදුන නිසාමයි. අපේ දෙමාපියන් ඇඳුමෙන්, පැලඳුමෙන්, හැසිරීමෙන්, ශීලාචාර ධර්ම, ගුණ ධර්මයන්ගෙන් අපිට පූර්වාදර්ශයන් දුන්න නිසාමයි. පින්වත දියුණුව යැයි සම්මත සමාජය තුළ තෘෂ්ණාව වැඩිවෙන්න, වැඩිවෙන්න දෙතිස් කුණපයක් වන රූපයට නොවටිනා වටිනාකමක් දෙනවා. මනුෂ්‍යත්වයට දේවත්වයෙන් සලකපු සමාජයක්, වර්තමානයේ රූපයට දේවත්වයෙන් සලකන්න පෙළඹෙනවා. මරණානුස්සතියක් වෙන රූපයට දේවත්වයෙන් සලකද්දී, රූප තෘෂ්ණාව හේතුවෙන් සකස්වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයෝ ද දේවත්වයෙන්මයි දකින්නේ. පින්වත තෘෂ්ණාවේ පෙරේත ධර්මයන් දේව ධර්මයන් හැටියට දකින සමාජයක හෙට දවස කුමක් වේවි ද? පින්වත සුළි සුළඟක් සේ වේගවත්ව සමාජය තුළ නැගෙන රූප තෘෂ්ණාව අඩුකොට ගන්න. එසේ නොවුණොත් වර්තමානයේ හැඩබලන අපේ මිනිස් රූපය වෙනුවට අනාගතයේ දී සතර අපා රූපයක හැඩ බලන්න අපිට සිද්ධ වේවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023 නොවැම්බර් මස 19 වන ඉරුදින දිවයින පුවත්පත.