සතිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකයේ කිසි ම තැනකට, කිසි ම කෙනකුට අයිති නැති, එහි වාසය කරන කෙනා ලෝකයෙන් අයින් කරලා නිවන පිණිස ම අරගෙන යන තව එක පොළොවක්.
කාම භූමිය
ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයයි, රූප, ශබ්ද ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම කියන බාහිර ආයතන හයයි කියන දොළොස් ආයතන තුළ හැසිරෙනකමට කියනවා කාමාවචර යි කියලා, කාම භූමිය කියලා. ඔය තුළ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. කාමය කියන ලෝකයට පොළොව ඔය ආයතන දොළහ.
රූප භූමිය
ඇහැත්, කනත්, මනසත් කියන ආධ්‍යාත්මික ආයතන තුනයි; රූපයත්, ශබ්දයත්, ධර්මාරම්මණත් කියන බාහිර ආයතන තුනයි කියන මෙන්න මේ ආයතන හයේ, මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින ඉරියව් පවත්වන, ආයතන හය බලාගෙන හිතීම්, කීම්, කිරීම් කරමින් ජීවත්වෙන එකට තමයි රූප භූමිය/ රූපී බ්‍රහ්ම ලෝකය කියලා කියන්නේ.
අරූප භූමිය
මනායතනය කියන අධ්‍යාත්මික ආයතනයත්, ධම්මායතනය කියන බාහිර ආයතනයත් දෙක බලාගෙන හිතීම්, කීම්, කිරීම් කරමින් ජීවත් වෙනවා නම් ඒකට කියනවා අරූපාවචර යි කියලා. එතන තියෙනවා උපාදානස්කන්ධ වශයෙන් හතරක්.
ආයතන, උපාදානස්කන්ධ කියලා කියන්නේ ඒ ඒ ලෝකවල කෙනාට වාසය කරන්න බිමක්. ඒ වගේ ම සතර සතිපට්ඨානය කියන්නේ නිවන් දකින කෙනා වාසය කටයුතු පොළොවක්. කවදාවත් ම පංච උපාදානස්කන්ධයේවත් ආයතන දොළහෙවත් හැසිරිලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒකයි පංච උපාදානස්කන්ධය, ආයතන දොළහ දුකක් කියලා පෙන්නලා පංච උපාදානස්කන්ධය, ආයතන දොළහ නිසා ඇතිවෙන තණ්හා උපාදාන කියන කෙලේසයක් තියෙනවා නම් ඒකයි දුක ඇතිවෙන හේතුව කියලා ලෝකය පැත්තෙන් පෙන්නුවා; දුකයි, දුක ඇතිවෙන හේතුවයි කියන දෙක.
ඒ පංච උපාදානස්කන්ධය උපදින තැන තණ්හා, උපාදාන කියන කෙලේසය නැති වුණොත් විතරයි භවය හැදෙන්නේ නැත්තේ, ලෝකයක් හැදෙන්නේ නැත්තේ. එහෙම වුණොත් තමයි ඉපදෙන්නේ නැත්තේ කියලා පෙන්නලා මේ දුක් නැති කරන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා පෙන්නන කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ටික තියෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවක් මත පිහිටලා.
ඒ ත්‍රිශිශික්ෂාව හදාගන්න කරුණු කාරණා වෙනම ම තියෙන්නේ. ඒක අයිති නෑ පංච උපාදානස්කන්ධ ලෝකය ඇතුළේ සක්මන් කරන එකට. උදාහරණයක් හැටියට ඇහැත් දුකයි නම් ඇහැ නිසා තණ්හාව ඇති වෙනවා නම් ඒ ඇහැ රූප දෙක පරිහරණය කරමින්, ඒකේ අනිත්‍ය බලනවා කියන සිද්ධියක්වත් නැහැ. ඒ පැත්තට නොයා ම යුතුයි.
නිවන් දකින කෙනා කටයුත්තේ සීලයක පිහිටලා සතිපට්ඨානය තුළ වාසය කරන එක. ඒ බව මම පැහැදිලි කරලා දෙන්නම්. සතිපට්ඨානය කියලා කියන්නේ තව පොළොවක්, තව බිමක්. සතිපට්ඨානය තුළ ඉන්න කොට මාරයාට අහුවෙන්නේ නැතුව, පංච උපාදානස්කන්ධ ලෝකයට යන්නේ නැතුව, පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ නැතුව, ස්පර්ශ ආයතන හය පරිහරණය කරන්නේ නැතුව, සැඟවිලා ජීවත් වෙන්න පුළුවන් තව එක්තරා තැනක් නේද කියලා අපි හඳුනගෙන නැහැ.
ඇහැ, කන, දිව, නාසය, කය, මනස දුකයි කියලා, ඕවා නිසා ම දුක ඇති කරන හේතුව ඇති වෙනවා කියලා අහලා තිබුණත් අපි ඒවා ඇතුළේ ම ජීවත් වෙන්නේ. ඒ වගේ ම; රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම කියන බාහිර ආයතන හයේ ම තමයි අපි ජීවත් වෙන්නේ.
රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම අරමුණු කරගෙන ම ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින හතර ඉරියව් දක්වනවා. ඒවා අරමුණු කරගෙන ම හිතීම්, කීම්, කිරීම් කරනවා. ඕකට තමයි අපි ලෝකයේ ජීවත් වෙනවා කියලා කියන්නේ.
ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, ඵොට්ඨබ්බ, මන, ධම්ම කියලා කියන්නේ ලෝකය. ඇවිදිනවා, ඉඳගන්නවා, හිටගන්නවා, නිදාගන්නවා කියන ඒ කුමන හෝ ඉරියව්වක් පවත්වමින් කුමන හෝ වැඩ කටයුත්තක් කරන එකට තමයි ලෝකයේ ජීවත් වෙනවා කියලා කියන්නේ
මේ මුළු ලෝකයට ම අහුවුනේ නැති, මුළු ලෝකයට ම වැරදුණු තැනක් තියෙනවා. අද සතිපට්ඨානය වඩන ඔක්කොමලා වගේ සතිපට්ඨානය හඳුනගෙන තියෙන්නේ බාහිර ආයතන හයේ, පංච උපාදානස්කන්ධයක් තුළ ජීවත් වෙමින් විටින් විට කුණප වශයෙන් මේ ශරීරය දිහා බලමින්, ධාතු වශයෙන් බලමින්, අනාත්ම වශයෙන් බලමින් ඉන්න එක කියලා.
එතකොට අපි පිහිටලා තියෙන්නේ, පය ගහලා තියෙන්නේ අපිට පොළොව වෙලා තියෙන්නේ කාම භූමිය. අද බොහෝ දෙනා කාම භූමියේ හිඳිමින් කය අනුව බලනවා. ඕකට කියනවා සතිපට්ඨානය ලෞකික යි කියලා. එතකොට අපි නිවන් දැක්කා නම් තමයි පුදුමේ. ලෝකේ ඇතුළේ ලෝකෝත්තර දහම් ප්‍රතිපදාවක් නැහැ.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානය කියන්නේ පින්වතුනි, වෙනම ම පොළොවක් හැටියට අද ඉඳන් හඳුනා ගන්නට ඕන. අවස්ථාවට විතරක් මෙනෙහි කරලා ආපහු ලෝකේ තුළ ජීවත්වෙන ධර්මතාවයක් නෙවෙයි සතිපට්ඨානය තුළ වාසය කරන්න කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.
ඒකෙන් මතක් කළේ වෙනදා වගේ ම අපි රූප, ශබ්ද, ගන්ධ, රස ඵොට්ඨබ්බ පරිහරණය කරමින් ජීවත් වෙමින් කෙලෙස් ටික නැති කර ගන්න කියලා එක මොහොතකට පමණක් කය පැත්ත කුණප කොටස් වශයෙන්, ධාතු වශයෙන්, නවසීවථික වශයෙන්, ආදීනව වශයෙන් බලලා ආයෙත් ඒ භාවනාව අතහැරලා ලෝකයේ ජීවත් වෙනවා කියන සිද්ධියක් එහෙම නෙමෙයි.
අඛණ්ඩව ජීවත් වෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර තුළ. අපි ඒක බලමු කොහොමද කියලා. දැන් අපි සීලයක පිහිටලා සතිපට්ඨානය වඩන්නට යන්නේ. මේ සතිපට්ඨානය කියන එක ගත්තහම පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා “මහණෙනි, සිය පියාගෙන් උරුම වෙච්ච බිම” කියලා.
බුදුරජාණන් වහන්සේ අපේ ශාස්තෘන් වහන්සේ. පැවිදි ස්වාමීන් වහන්සේලාට කියනවා ‘බුද්ධ පුත්‍රයෝ’ කියලා. ඒ හැමෝටම බුදුපියාණන් වහන්සේ. ඒ වගේ ම ගිහි පින්වතුන්ටත් බුදුරජාණන් වහන්සේ කියන්නේ නිවන් දකින්න මඟ කියපු බුදුපියාණන් වහන්සේ. අපි හැමෝටම බුදුපියාණන් වහන්සේගෙන් උරුම වෙච්ච බිම කියන්නේ සතිපට්ඨානය හැටියට හඳුන ගන්න.
කොහොමද අපි සතිපට්ඨානයෙන් ජීවත් වෙන්නේ කියන ඒ කරුණ අපි ලෙහා ගනිමු, අපි ඒ කරුණ නිබර කර ගනිමු. එතකොට අපි මාරයාට අහුවෙන්නේ නැහැ. අර පෙන්නපු සකුණග්ඝි සූත්‍රයේ කැට කුරුල්ලා ගිජුලිහිණියාට හසුවුණේ කැට කුරුල්ලාට අයිති නැති තැන හිටපු හින්දා නේ.
ඒ වගේ බුදුරජාණන් වහන්සේ අහනවා, “මහණෙනි භික්ෂුවට සුදුසු නැති තැන කුමක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ. එතකොට පියාගෙන් උරුම වෙච්ච කොටස සතර සතිපට්ඨානය කියලා පෙන්නුවා.
දැන් හොඳට බලන්න, ඔයගොල්ලො ඇවිදිනවා නම්, ඉඳගන්නවා නම්, හිටගන්නවා නම්, නිදාගන්නවා නම් මේ හතර ඉරියව්වේ ම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ යන කුමන හෝ අරමුණක් ගැන හිතීම්, කීම්, කිරීම් කරමින් ම ඇවිදිනවා හෝ හිටගෙන ඉන්නවා හෝඉඳගෙන ඉන්නවා හෝ නිදාගෙන ඉන්නවා නේද කියලා.
ඒ කියන්නේ බාහිර අගෝචර වූ තමන්ට අයිති නැති තැනක යි ඕගොල්ලෝ ඉරියව් පවත්වලා තියෙන්නේ. ඊට පස්සේ මොනවා ම හරි වැඩක් කරන කොට බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ දිහා බලාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඕකට තමයි අපි ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ.
බුදුරජාණන් වහන්සේ පෙන්නුවා ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින කියන හතර ඉරියව්ව දක්වන්න කය කෙරෙහි පිහිටි සිහියෙන් කියලා. ලෝකෙන් එතෙර වෙන්න කැමති කෙනාට/ නිවන් දකින්න කැමති කෙනාට සතර සතිපට්ඨානය කියලා කියන්නේ ජීවත් වෙන්න පොළොවක් හැටියට දකින්න.
අපි ක්‍රමානුකූලව සතිපට්ඨානය නැමැති භූමියේ වාසය කරන හැටි ඉගෙන ගනිමු. ඇහෙන් රූප බලමින්, කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ ලබලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ ලබලා ඒවා අනුව හිතීම්, කීම්, කිරීම් කරමින් ජීවත්ව ඉන්න ඕගොල්ලන්ට අවස්ථාවට මෙනෙහි කරන්න භාවනාවක් නෙමෙයි, මං අද මේ කියලා දෙන්නේ.
මං අද ඕගොල්ලොන්ට කියලා දෙනවා; ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නහයෙන් ගඳ-සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් ස්පර්ශ ලබනවා කියන ටික පරිහරණයට ම නොගොස්, ඒ පැත්තට යන්නේ ම නැතුව ජීවත්වෙන ක්‍රමයක්.
ආයතන කියන්නේ දුක, ඒ තුළ තියෙනවා දුක ඇති කරන හේතුවත්, ඒක මාරයාට අයිති භූමිය. ඇහැ මාරයා, රූපය මාරයා, කන මාරයා, ශබ්දය මාරයා, නාසය මාරයා, ගන්ධය මාරයා, දිව මාරයා, රස මාරයා, කය මාරයා, ඵොට්ඨබ්බය මාරයා, මනස මාරයා, ධම්මරම්මණ මාරයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ.
ඒවා මාර විෂය. ඒවා අගෝචර ය. ඒවායේ හිටියොත් මාරයාගෙන් බේරෙන්න බැහැ කියලා දැකලා ඒ පැත්තට නොයා ඉන්නේ කොහොමද කියලා ඒ පැත්තට නොයා ජීවත් වෙන්න තමයි සතිපට්ඨානය හඳුනා ගන්නේ. සතිපට්ඨානය හඳුනා ගන්න, ස්පර්ශ ආයතන හය පරිහරණය නොකොට, පංච උපාදානස්කන්ධය පරිහරණය නොකොට ජීවත් වෙන ක්‍රමයක් හැටියට.
මතු සම්බන්ධයි.
පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන ඇසුරෙන් සැකසූ “සෝවාන් වීමට” ධර්ම ග්‍රන්ථයෙන් ඇසුරෙන්