චුතූපපාත ඥානයෙන් දුටු වසර 50කට පෙර වැඩසිටි ගෞරවනීය ස්‌වාමීන් වහන්සේකගේ පිරිනිවන් පෑම…

හතර වැනි ධ්‍යාන ඵලය ඔස්‌සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන තැනට සිත පත්කර ගත් භික්‍ෂුව ආකාශය, ආකාශය වශයෙන් ආකාශය අරමුණු කරනවා.

වලා රොදක්‌, වලාකුළක්‌ අරමුණු කොට, ආකාශය තුළම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක්‌ ජීවිතයේ නොලත් අත්දැකීමක්‌ පසුපසයි භික්‍ෂුව හඹා යන්නේ. අරමුණ ඔස්‌සේ වීර්ය බොහෝම ජව සම්පන්නයි. නොපෙනෙන ලෝකය දකින්න, නොලත් අත්දැකීමක්‌ ලැබීම පිණිස උපාදානය බලවත්.

එම භික්‍ෂුව විනාඩි 20 ක්‌ පමණ දිගින් දිගටම ආකාශය අරමුණු කරනවා. එක්‌ සුන්දර නිමේෂයකදී එම භික්‍ෂුවට තමන් මෙතෙක්‌ එරමිණියා ගොතාගෙන සිටි භික්‍ෂුවගේ රූපය මැකිලාම යනවා. දැන් එම භික්‍ෂුවට ආකාශයේ සුදු වලාකුළක්‌ මත සියුම් රූපයක්‌ සහිතව ආකාසානඤ්යතනයේ අරූපාවචර ධ්‍යානයට අදාළ ආශ්වාදය විඳිනවා. එම භික්‍ෂුවට තමාගේ මුල් රූපය ප්‍රකට නැහැ. ආකාශයේ වලාරොදක්‌ මත එරමිණිය ගොතාගෙන සිටින සියුම් රූපයයි ප්‍රකට වෙන්නේ. ජීවිතයේ මෙතෙක්‌ නොලත් අත්දැකීමක්‌ ධර්මයේ ඒහිපස්‌සිකෝ ගුණය තුළින් අත්දකිනවා. දැන් ඒ අත්දැකීමත් අතීතයට එකතු වුණා වූ අත්දැකීමක්‌ම පමණයි.

එම භික්‍ෂුවට මෙතැනදී ‘භික්‍ෂුව’ කියන වචනයට වඩා, නොපෙනෙන ලෝකය පිළිබඳව නොලත් ධර්මයේ අත්දැකීම් පිළිබඳ ස්‌වයංපරීක්‌ෂකයා කියන වචනය හොඳින් ගැලපෙනවා. එම භික්‍ෂුව පංචනීවරණ යටපත් වූ සිතෙන් ගතකරන නිසාම මේ නැවුම් අත්දැකීම් ගැන එම භික්‍ෂුව ලෝකයාට අඬබෙර ගසන්නේ නැහැ. කාමයන් කෙරෙහි ආශ්වාදයක්‌ සකස්‌වූ තැන තම ඉලක්‌කය වැරදෙන බව එම භික්‍ෂුව දන්නවා. ලෝකයාට සොරා ලෝකයාට නොදන්වමින් එම භික්‍ෂුව ලෝකය තතු සේ දකිනවා.

දැන් එම භික්‍ෂුව තවත් ජීවිතයේ නොලත් අත්දැකීමක්‌ පසුපසයි හඹායන්නේ. උන්වහන්සේගේ ඉලක්‌කය දැන් චුතූපපාත ඥානය ඇතිකර ගන්න. චුතූපපාත ඥානය කියන්නේ සත්ත්වයා මැරී උපදින තැන දකිනා ඤාණයයි. එම භික්‍ෂුව එරමිණිය ගොතාගෙන කය සෘජුව තබාගෙන ආනාපානසති භාවනාව ඔස්‌සේ සිත උපේක්‍ෂාව කියන තැනට ඔසවා තබනවා. උපේක්‍ෂාව තුළ සිටිමින් එම භික්‍ෂුව මීට වසර පනහකට පමණ පෙර අපවත්වූ ආසියානු රටක වැඩසිටි ගුණවත්, සිල්වත්, ධුතාංගධාරී, ස්‌වාමීන් වහන්සේ නමක්‌ අරමුණු කරනවා. ඒ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේගේ නමින්, එම ස්‌වාමීන් වහන්සේගේ රුවින්. නැවත උපත අරමුණු කරමින් නැවත උපත, නැවත උපත වශයෙන් මෙනෙහි කරනවා. ‘මෙනෙහි කරනවා’ කියන වචනයට වඩා මෙතැනට ගැලපෙන්නේ ‘දකිනවා’ කියන වචනයයි. ප්‍රතිඵලයට වැයවෙන කාලය ස්‌ථිරව කියන්න බැහැ. සමහර විට විනාඩි පහළොවක්‌ වෙන්න පුළුවන්. සමහර විට පැයක්‌ වෙන්න පුළුවන් සමහර විට අරමුණු නොවෙන්නත් පුළුවන්.

එම භික්‍ෂුවගේ සිත ඇලීම් ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන තැන සිටයි මේ දැකීම සිද්ධ වෙන්නේ. ක්‍ෂණයකින් එම භික්‍ෂුව තමන් නොදැකී යාමක්‌ සිද්ධ වෙනවා. ඒ නිමේෂයේදී එම භික්‍ෂුවගේ නළලට වැටෙන රූපවාහිනි දර්ශනයක්‌ සේ පැහැදිලි නිරවුල් දර්ශනයක්‌ අරමුණු වෙනවා. නළල ආශ්‍රයේමයි මෙම දර්ශන පහළ වෙන්නේ. දැන් එම භික්‍ෂුව චුතුපපාත ඥානය ඔස්‌සේ පෙනෙන දර්ශනය ඉහළ අහසේ හිස්‌ අවකාශයයි. ඒ අවකාශය තුළ දිග අඩි 3 ක්‌ පමණ පළල හැඩයක්‌ එලා තිබෙනවා. එය හරියට වලාකුළක්‌ මත එලා තිබෙන පාවඩයක්‌ වගේ පෙනෙන්නේ. එම පාවඩයේ පටන් ගැනීමත් අවසානයත් හොඳින් එම භික්‍ෂුවට පෙනෙනවා. වෙනත් කිසිම දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය රූප, සටහනක්‌ නැහැ. හිස්‌ අවකාශය තුළ නැවතුණු, වඩින කෙනෙක්‌ නැති පාවඩයක්‌ පමණයි, දර්ශනය වෙන්නේ. උතුම් චුතූපපාත ඥානය ඔස්‌සේ එම භික්‍ෂුව මේ දකින්නේ මීට වසර 50 කට පෙර අපවත් වූ එම ගෞරවනීය ස්‌වාමීන් වහන්සේගේ පිරිනිවන් පෑමයි. තම භව ගමන නිමා කළාය කියන කාරණයයි. එම භික්‍ෂුව තමා තුළින් මෙසේ ධර්මය දකිනවා.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

බෞද්ධ භාවනා https://www.facebook.com/bauddhabhawana/