චීවර මාසය පුරාවටම සිදුකර ගන්නා සෑම පින්කමක්ම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් සිදු කරගන්න.

වස් තුන් මාසය තුළ මහා සංඝරත්නය උතුම් සංඝරත්නයේ ගුණයන් තුළ වැඩසිටිමින් උතුම් ඥානසම්පන්න ගුණය උදෙසා වීර්යය වඩන විට, පින්වත් ගිහි පින්වතුන්ලාට මහා සංඝරත්නය කියන අර්ථය උතුම් පින් කෙතක්ම වෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසලයක් බවට බුදුරජාණන් වහන්සේ පනවන්නේ, මේ උතුම් ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත් වූ පින් කෙතේ සශ‍්‍රීක අස්වැන්නේ ශක්තිය දැකලාමයි.

පින්වත් ගිහි පින්වතුන්ලා මේ උතුම් ශක්තිමත් මහා සංඝරත්නය නමැති පින්කෙතේ, සිව් පසය වපුරා සශ‍්‍රීක අස්වනු ලබනවා වගේමයි, ගිහි පින්වතුන්ලා දක්‍ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැසි තුන්මාසයක් පැනවීම තුළ, ගිහි පිංවතුන්ලාගෙන් බලාපොරොත්තු වුණ වගකීම මතුකොටගන්නට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කඨින චීවර පූජාවෙන් ලැබෙන කුසල් සංස්කාරයනුත් අනිත්‍යවෙලා යනවා. අතීත සංසාරයන් පුරාවට පටිච්චසමුප්පන්නව පින්වත් ඔබත්, මමත්,
ගිජ්ජකුට පර්වතයට වඩා උසට, කඨින චීවර මහා සංඝරත්නයට පූජාකොටගෙන තිබෙනවා. ඒ සැම අටමහා කුසල් සංස්කාරයන්ට සැප විපාකයන් සකස්කොට දී අනිත්‍යභාවයට පත්වුණා. එම නිසා ගිහි පින්වතුන්ලා දක්‍ෂවෙන්න. මෙම වස් තුන්මාසය පුරාවට සහ චීවර මාසය පුරාවට, සිදුකොටගන්නා සෑම පින්කමක්ම අර්්‍ය අෂ්ටාංගිකමාර්ගය වැඩෙන ආකාරයෙන් සිදුකොටගන්න. පින්කම් උදෙසා ඇතිකොටගන්නා තරගකාරී මනෝභාවයෙන් මිදෙන්න. පොඞ්ඩ වැරදුණු තැන, තමන් අවශ්‍ය දෙය සිදුනොවුණ තැන, තමන්ට මුල් තැන නොලැබුණ තැන, ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් ඇතිකොටගෙන සම්මා සංකප්පයන් දුර්වලකොටගන්න එපා.

පින්වත් ගිහි පින්වතුන් දක්‍ෂවුණොත් මේ උතුම් කඨින පින්කම් මාලාව, දශකුසල් ධර්මයන් වැඩෙන පින්කම් මාලාවක් බවට පත්කොටගන්නට, එහි ඵලය වශයෙනුයි පින්වත් ඔබතුළ උතුම් පංචනීවරණ ධර්මයන් තුනීවූ සම්මා සමාධිවත් සිතක් ඇතිවෙන්නේ. මේ උතුම් සම්මා සමාධියෙන් පෝෂණය වූ සිතයි, පින්වත් ඔබට මේ උතුම් අටමහා කුසලයක් වන, කඨින චීවර පූජාවන් අනිත්‍යවූ කුසල් සංස්කාරයන්ගේ කියන විදර්ශන අංග මතුකොට දෙන්නේ – බුදුරජාණන්වහන්සේ පින්වත් ගිහි පින්වතුන්ලාට වත් පින්කම් මාලාව පැනවීම තුළින් බලාපොරොත්තු වුණේ ඉහත අර්ථයයි. එසේ නොමැතිව තරගකාරීව, ආශ්වාදයන් තුළට බැසගනිමින්, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වඩමින් සැරසිලි වලින් පාට පාට විදුලි බුබුඵ වලින්, ආලෝකමත් වන, අස්වාභාවික ආලෝකයන්ගෙන් මොහොතකට මිනිස් සන්තානය ආලෝකවත් කිරීම නොවේ. පින්කම් සිදුකිරීමේදී, විචිත‍්‍රභාවය, ආලෝකමත්භාවය අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නමුත් එම විචිත‍්‍රභාවය, ආශ්වාදය උදෙසා නොව අවබෝධය උදෙසා විය යුතු වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා විසිතුරු විසිතුරු දෙය පූජා කරන්නට පෙරලා පටිච්චසමුප්පන්නව විසිතුරු විසිතුරු දේවල්ම ලැබෙනවාය කියලා. අතීතයේ තැඹිලි කෝම්බයක පොල්තෙල් දමා පන්දම් පත්තු කරපු අපි, බකට් එක ඉටිපන්දමක් පත්තු කරපු අපි, මැටි පහන් වැටියකින් ආලෝක පූජාවන් පවත්වපු අපිට වර්තමානයේ, විසිතුරු විසිතුරු සැරසිලි, නේක වර්ණ විදුලි බුබුඵු, පින්වත් ඔබේ දෑස් ඉදිරියට ආලෝකමත්වන මේ සුන්දර විසිතුරු ලෝකය, අතීතයේ සුන්දර විසිතුරු දේවල් තෙරුවන් සඳහා පූජා කිරීම සිතේ ඵලයයි. පින්කම් සිදුකරන පින්වතුන්ලා ඉහත ධර්මානුකූල යථාර්ථය නිවැරැදිව හඳුනාගන්න ඕනේ. පින්වත් ඔබේ දෑස් දෙක ඉදිරිපිට තිබෙන විසිතුරු, සුන්දර නේක වර්ණ විදුලි ආලෝකයන් බබළන ලෝකය, අතීත සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්ය කියන කාරණය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි අනිත්‍යභාවයට පත්වෙන සංස්කාරයෝ, වංචාවක්, සංස්කාරයෝ ප්‍රෝඩාවක් ඇස්බැන්දුමක්ය කියලා. ඒ නිසාම මේ උතුම් වැසි තුන්මාසය තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන, ආකාරයෙන් පින්කම් සිදුකරගනිමින්, මේ සැම කුසල්, අකුසල් සංස්කාරයන්ට අනිත්‍ය වී යන ධර්මථාවයක් බව එමගින් දක්විණි. අවබෝධයේ විදර්ශනාත්මක ප‍්‍රඥාවේ ආලෝකය පින්වත් ඔබ තුළ ඇතිකොට ගැනීමට දක්‍ෂ වෙන්න. මේ උතුම් අර්ථය තුළ පින්වත් ඔබ නිවැරදිව ස්ථානගතවුණොත් පමණක්මයි, පින්වත් ඔබ තෙරුවන් කෙරෙහි අර්ථවත්ව ශ‍්‍රද්ධාව ඇති උතුම් බෞද්ධ පින්වතෙක් බවට පත්වෙන්නේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, තම නිය සිලට පස් ටිකක් අරගෙන දේශනා කරනවා. මහණෙනි, මැරෙන සත්ත්වයින්ගෙන් ශ‍්‍රද්ධාව අර්ථවත්ව සකස්කොටගෙන මියයන්නේ, මගේ නිය සිලේ තිබෙන පස් ප‍්‍රවාහයටයි කියලා. මහපොළොවේ පස් ප‍්‍රමාණයට, සත්ත්වයා අසද්ධාව තුළ මියගොස්, දුගතිගාමී වෙනවාය කියලා. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව කියන අර්ථයේ ඇති උතුම් ශක්තිමත්භාවය ඉහත උපමාවෙන් පින්වත් ඔබ නිවැරැදිව ඔබ කෙරෙහි අනුකම්පාවෙන්, විතර්කයන්ගෙන් තොරව තේරුම් ගන්න දක්‍ෂවුනොත් පිංවත් ඔබට අර්ථවත්ව තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇතිකොටගත් උතුම් බෞද්ධ පිංවතෙක් වීමේ සියලූම සාධක, මේ උතුම් කඨින පින්කම් මාලාව තුළ සැඟවී තිබෙනවාය කියන කාරණය කරුණාවෙන් සිහිපත් කරනවා.