පින්වත, ලෝකය යැයි ධර්මයේ සඳහන් වෙන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩිලා, බිඳිලා, විසිරිලා යන අපූරුව සමාජය තුළින් ඔබ දකිනවා නේද? පින්වත, මෙම සටහන ලියන මොහොතේ භික්ෂුව සිහිනුවණින් දකිනවා, අනාගතයේ යම් දිනක භික්ෂුවගේ රූපයත් කැඩිලා, බිඳිලා, විසිරිලා කොහේ හෝ සුසාන භූමියක බාහිර සතර මහා ධාතුවට මුහුවෙලා යන අපූරුව. පින්වත, ලෝකය ආස්වාදය උදෙසා ගන්න එපා. පින්වත, ලෝකය, ‘ලෝකයේ නිරෝධය’ උදෙසා උපයෝගී කොට ගන්න. පින්වත, ජීවිතය යැයි කියන්නේ ආස්වාදයේ රඟමඬලක් නොවේ. පින්වත, දුක්ඛ සත්‍යයේ සැබෑම හැඩරුව වෙන ප්‍රියයන්ගෙන් වෙන් වීම සහ අප්‍රියයන් හා එක් වීම අපේ ජීවිතවල කොටසක් වෙලා. පින්වත, රටම ආදරය කරපු ගෞරවනීය, ආදරණීය ප්‍රියයන් කාටවත් නොකියාම කැඩිලා, බිඳිලා, විසිරිලා යනවා. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ, අපේ ලෝකය අපිට නොදී ඒකපාක්‍ෂිකව පාලනය කරනවා. පින්වත, සියල්ල අවසානයේ දී අපි, අපේ ප්‍රියයන්ගේ ආයුෂය මළ රූපය, පාළු කනත්තට භාර දීලා, පංච නීවරණයන්ගෙන් විඳීම් පුරවා ගෙන ආපසු ගෙදර එනවා. පින්වත, අපේ ආදරණීය ප්‍රියයන් අහිමි කොට ගෙන පංච නීවරණයන් සහිතව ගෙදර ඇවිත් අපි ආයෙත් කරන්නේ, කන්න හිතුණා ම කබරයාත්, තලගොයා කර ගන්නා සේ ම, දුකේ ම රජ කිරුළ වන රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය යළි යළිත් ‘මගේ’ ම කොට ගෙන රස බැලීම මයි. පින්වත, ඔබේ ආදරණීය ප්‍රියයන් ඔබේ ලෝකයට අහිමි වෙද්දී, කරුණාකර ඔබ ප්‍රිය මනුෂ්‍ය ධර්මයන්ගෙන් ශක්තිමත් වෙන්න. පින්වත, එසේ නොවුණොත් අප්‍රිය ධර්මයන්ගේ නීරස ම අනාගතයේ අපිට රස බලන්න සිද්ධ වේවි.
පින්වත, මනුෂ්‍ය ජීවිතවල අවිද්‍යාව බලවත් වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන දැනීම්, නොසැලෙන කළු ගල් වෙන්න බලනවා. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින පුංචි පාඩම, අපි හැමෝම දන්නවා වුවත්, කියවා, ශ්‍රවණය කොට තිබුණත් ප්‍රායෝගික ජීවිතයේ දී මේ පාඩම් ‘තෘෂ්ණාවේ රස්නයට’ අපේ ජීවිතවලින් වාෂ්ප වෙලා යනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයෙන් උපදින, පින්වත, ඒ කියන්නේ ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සතියේ ඉඩෝරයෙන් ඇවිළෙන තෘෂ්ණාවේ ළැව් ගිනි සමග අසිහියෙන් සෙල්ලම් කරන්න හොඳ නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය නොදන්නාභාවයෙන් උපදින තෘෂ්ණාවේ ළැව් ගිනි සියලු යහපත් ධර්මයෝ දවා අළු කොට දමන්න පුළුවන්. පින්වත, මනුෂ්‍යයා වෙනස් වෙන්නේ නැහැ. මනුෂ්‍යයාගේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන උපාදානයෝ බලවත් වෙද්දී, සමාජය දේවත්වයෙන් දැකපු පින්වත් මනුෂ්‍යයෝ අන්ත ප්‍රේතයන්, යක්‍ෂයන් වෙනවා. පින්වත, ජීවමාන බුදුරජාණන් වහන්සේ උතුම් සංඝ සමාජයේ අසූමහා ශ්‍රාවක තනතුරු පැවරුවේ කෙලෙස් ප්‍රහීණය කළ උතුම් රහතන් වහන්සේලාට පමණක් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ පින්වත් ගිහි උපාසක, උපාසිකාවන්ට ශාසනික තනතුරු පැවරුවේ අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ උපාසක, උපාසිකාවන්ට පමණක් මයි. පින්වත, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යය දැක්ක පින්වතා, පින්වතිය මයි, තෘෂ්ණාවේ සංස්කාර කුණු කන්දට යට නොවී, තම ජීවිතය සහ තනතුරු නමැති ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කුණු කන්ද පරිහරණය කරන්නේ. පින්වත, අචල ශ්‍රද්ධාව තබා අමූලිකා ශ්‍රද්ධාවවත් නැති පින්වත් මනුෂ්‍යයන්ගෙන් අපි කෙසේ නම් තෘෂ්ණාවේ මධ්‍යස්ථභාවයෙන් උපදින ප්‍රිය මනුෂ්‍ය ධර්මයෝ බලාපොරොත්තු වෙන්න ද?
පින්වත, මෛත්‍රියට ආනිශංස ධර්මයෝ එකොළහක් තිබෙනවා. පින්වත, ඔබේ ශීලයට සහ දානයට පිනේ ජවය දෙන්නේ මෛත්‍රිය විසින් මයි. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩද්දී, ජාති, ආගම්, කුල භේදයෝ වාෂ්ප වෙලා යනවා. පින්වත් ඔබ මේ නිසල රාත්‍රියේ “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩන්න. පින්වත, කාම, රූපී සහ අරූපී භවාත්‍රය ම, ඔබේ මෙත් සිත දිගේ, දිගේලි කරන්න. පින්වත, “සියලු සත්ත්වයෝ සුවපත් වේවා!” යැයි මෙත් වඩද්දී, ඔබ ළඟ ඉතිරි වෙන්නේ භවාත්‍රය යටපත් වී ගිය සමාධිමත් සිතක් පමණක් මයි. පින්වත, එම සමාධිමත් සිත ලෞකික ඥාන සහ විදර්ශනා ඥාන යන දෙදිශාවට ම නවා ගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, මෛත්‍රිය අපිට මෙවන් උත්තරීතර ආනිශංසයෝ ලබා දෙද්දී, වෛරය, පළිගැනීම සමාජය තුළ ජනප්‍රිය වෙන්නේ කාගෙ කාගේත් ‘මෛත්‍රියේ නිරුවත’ පංච නීවරණ සළුපිළිවලින් වසාගෙන මයි. පින්වත, පංච නීවරණයන්ගේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, එම කෙටි ආස්වාදයේ දීර්ඝ ආදීනවය සතර අපාය තරමට ම දීර්ඝයි. පින්වත, වර්තමාන සමාජයේ වැඩිම තරගකාරීත්වය තිබෙන්නේ විභාග සමත් වන්න හෝ විදේශගත වන්න නොවේ, සතර අපායට යාමටයි. පින්වත, කරුමෙක මහත යැයි කියන්නේ, මේ තරගකරුවන් කවුරුවත් ම සතර අපායක් ගැන සිතන්නේ ම නැහැ. පින්වත, තමන් මැරෙනවා යැයි නොසිතන පින්වතා, කෙසේ නම් සතර අපායක් ගැන දැන ගන්න ද? පින්වත, ජනතාවගේ කාමයන් අවුස්සලා, රූපය දේවත්වයෙන් දකින, රූපයට වඳින පුදන සමාජයක සෙනෙහසේ මෛත්‍රිය මරාගෙන මේ උපදින්නේ ආත්මීය දෘෂ්ටියේ දුර්ගන්ධය හමන ‘සක්කාය දිට්ඨියේ කුණු හැවයි.’ පින්වත, කරුණාකර ඉවසීම පුහුණු කරන්න, එසේ නොවුණොත් අනාගතයේ දී, සමාජගත වන පංච නීවරණ විකෘතීන් ඔබට දරාගන්නට බැරි වේවි.
පින්වත, ඔබේ ඇස අයිති ලෝකයට. පින්වත, ඔබේ ඇසේ ඵස්සය අයිතිත් ලෝකයට. පින්වත, ලෝකය යැයි කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට. පින්වත, ඇස ඇතුළු සළායතනයෝ අයිති ලෝකයට නිසා ම, සළායතනයන්ගේ ඵස්සය ලෝකය දිශාවට මයි සංස්කාර ගොදුරු සොයන්නේ. පින්වත, සළායතනයන්ගේ “ඵස්සය” ලෝකයෙන් ගලවා ගන්න. පින්වත, මේ ලෝක ධාතුවේ ජයග්‍රහණය දුර්ලභ ම යුද්ධය, සළායතනයන්ගේ ඵස්සය ලෝකයෙන් ගලවා ගැනීමේ යුද්ධයයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය ලෝකයේ ජයග්‍රහණය උදෙසා යුද්ධ කරන්නේ, ඇලීම්, ගැටීම් සහ උපේක්‍ෂාව යැයි කියන තෘෂ්ණාවේ ආයුධවලින් සන්නද්ධවයි. පින්වත, ඇමෙරිකා ඉරාන යුද්ධය වේවා, වෙනත් කිනම් යුද බිමක වේවා මෙම යුද්ධයන්ගේ ආරම්භය, පැවැත්ම සහ අවසානය තීන්දු කරන්නේ, අදාළ යුද නායකයන්ගේ ‘ඵස්ස පච්චයා වේදනා’ යැයි කියන පංච උපාදානස්කන්ධ යුද බිමේදී මයි. පින්වත, යුද උමතුවෙන් පෙළෙන ලෝක නායකයන්ගේ ඵස්සයේ තෘෂ්ණාවට පුළුවන්, අනාගතයේ දී තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති කරන්න. පින්වත, ඵස්සයේ තෘෂ්ණාව හේතුවෙන් සකස් වන ආයුධ සන්නද්ධ යුද්ධවලින්, ධනයෙන්, තාක්‍ෂණයෙන් සහ ආයුධවලින් බලවත් කණ්ඩායම ජයග්‍රහණය කළත්, ඵස්සයේ තෘෂ්ණාව නිරෝධය කිරීමේ දුර්ලභ මහා යුද්ධයෙන් ජය ගැනීමට නම් ඔබට අවශ්‍ය වෙන්නේ සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ සම්මා සමාධිමත් සිතින් මතු කොට ගන්නා සම්මා ඥාන නමැති අවබෝධයෙන් අතහැරීමේ විදර්ශනා නුවණ පමණක් මයි. පින්වත, සළායතනයන්ගේ ඵස්සය, තෘෂ්ණාවෙන් ගලවා ගත්ත පින්වතාට සමරන්න ජයග්‍රහණයක් නැහැ. පින්වත, එම පින්වතා ජයග්‍රහණය සහ පරාජය යන දෙකම තම ජීවිතයෙන් උදුරා දැමුව, අප්‍රමාදීභාවයට පූර්වාදර්ශී, පටිච්චසමුප්පාද දහමේ නිරෝධයක් ම වෙනවා. පින්වත, ඔහුට මංමුළා වෙන්න තවදුරටත් ලෝකයක් නැහැ, හැබැයි ඔහුට ජීවිතයක් තිබෙනවා.
පින්වත, ඔබ ‘අන්තිමයා’ වෙන්න කැමති ද? පින්වත, ඔබේ නිහඬ විවේකී හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්නකෝ, ඔබ ලෝකයා ඉදිරියේ අන්තිමයා වෙන්න කැමති ද කියලා. පින්වත, ඔබේ හෘද සාක්‍ෂිය කෑ ගසා කියාවි, “මට නම් අවශ්‍ය පළවෙනියා ම වෙන්න” ය කියලා. පින්වත, තරගකාරීත්වය වර්තමාන සමාජයේ අංක එකේ මිතුරා වුණත්, තරගකාරීත්වය යැයි කියන්නේ තෘෂ්ණාවේ ඇස්බැන්දුමක් මයි. පින්වත, සම්මා ඥානයන්ගෙන් අන්ධ අවිද්‍යාව මෙම ඇස්බැන්දුමේ ‘මහ මොළකරු’ වෙනවා. පින්වත, මේ දවස්වල තරගකාරීත්වයෙන් මිදී පහේ ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට පෙනී සිටි පින්වත් දරුවෝ තාවකාලික පුංචි නිදහසක් භුක්ති විඳිනවා. පින්වත, තෘෂ්ණාවට කොහේ ද, නැවතීමක්? පින්වත, තෘෂ්ණාව හති දමාගෙන අනාගත වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ පසුපස පටිච්චසමුප්පන්නව දුවනවා. පින්වත, තෘෂ්ණාව උපක්‍රමශීලීව නැවතුණා වගේ සිටින්නේ, ඉදිරි පිම්මට අඩි කිහිපයක ජවයක් අරගෙන මයි. පින්වත, තෘෂ්ණාවේ ඇලීම් සහ ගැටීම් හැඩරුව උතුම් සම්මා ඥානයෝ තුළින් විනිවිද දකින බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ තරගකාරීත්වය නමැති තෘෂ්ණාවේ ජවයෙන් උපදින මාර ධර්මයන්ට ගොදුරු වෙන්නේ නැහැ. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ තරගකාරීත්වයෙන් මිදී, ජාති, ජරා, ව්‍යාධි, මරණ ලෝකය ඉදිරියේ අන්තිමයාටයි වැඩසිටින්නේ. පින්වත, අන්තිමයා වෙන්න කැමති ආර්ය ශ්‍රාවකයෝ තුළ තෘෂ්ණාව හිඟ වුවත්, ඥාන දර්ශනයෝ එළිපිටම තිබෙනවා. පින්වත, යම් ආර්ය ශ්‍රාවකයෙක් ලෝකය ඉදිරියේ අන්තිමයා වුණොත්, එම ආර්ය ශ්‍රාවකයා තමන්ට ඉදිරියෙන් හෝ පසුපසින් වෙන කවුරුවත් ම දකින්නේ නැහැ. පින්වත, එම ආර්ය ශ්‍රාවකයාට තරගයක් හෝ තරගකරුවෙක් නැහැ. පින්වත, ‘තෘෂ්ණා නිරෝධා උපාදාන නිරෝධෝ’, පින්වත, හේතුව සහ ඵලය නිවී ගිය තැන, කෙසේ නම් ලෝකයක් හෝ තෘෂ්ණාවේ මුලක්, මැදක් හෝ අගක් පවතින්න ද?
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ.
උපුටා ගැනීම – 2026 සැප්තැම්බර් 06 ඉරිදා දිවයින පුවත්පතින්.