චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන … (චූලසෙට්ඨි ජාතකය)

තෙරුවන් සරනයි !!!

චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන ඔබ කලින් අසා ඇති. එක් ගාථාවක් පාඩම් කරගන්න බැරිව ගොඩාක් අපහසුතාවන්ට පත්වුනේ උන්වහන්සේ තමා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ චූලපන්ථකයන්ට පිහිට වුනා. ඒ නිසා අගතනතුරු ලාභී මහා රහතන් වහන්සේ නමක් වුනා. උන්වහන්සේ ගේ ජීවිතය ගැන කියැවෙන ලස්සන කථාවයි අපි දැන් ඉගෙන ගන්නේ.

රජගහ නුවර ධනවත් සිටුපවුලක ලස්සන සිටු දුවක් හිටියා. ඈ ගොඩාක් හිතුවක්කාරයි. ඈත් පටාචාරා වගේ යොවුන් කාලේ සමනල ජීවිතයක් ගත කළේ. ඈත් ඒ සිටුමැදුරේ සේවය කළ දාසයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් හදාගත්තා. සෑහෙන කාලයකට ජීවත් වෙන්න පුළුවන් විදිහට වටිනා බඩුත් අරගෙන අර දාසයත් සමග සිටුමැදුරෙන් පැනල ගියා. ඈත පළාතකට ගොහින් පැල් කොටයක් හදාගෙන ජීවත් වුනා.

කලක් ගත වෙද්දි සිටු කුමාරිට දරු ගැබක් හටගත්තා. එතකොට ඈ ගොඩාක් අසරණ වුනා. තනි වුනා. ආයෙමත් රජගහ නුවර සිටුමැදුරට යමු කියල සිය සැමියාට යෝජනා කළා. ඔහු හොඳට ම භය වුනා. බැරි වෙලාවත් සිටුතුමා තමාව අල්ලා ගත්තොත් මරා දමාවි කියල කිව්වා. ඈ අහන්නෙම නෑ. ඈ දැන් ගෙදර යන්න ඕන කියලා රණ්ඩු කරනවා. සැමියා ඒකට කොහෙත්ම කැමති නෑ.

දවසක් සැමියා කුලී වැඩට ගිය වෙලාවේ ඈ ගෙදරින් පැනලා ගියා. සැමියා ගෙදර එද්දී ඈ ගෙදර නෑ. අසල්වාසීන්ගෙන් තොරතුරු දැනගෙන සැමියා ඈ ගිය පාරේ එක පිම්මේ දිව්වා. ඈ මහ පාරේ ගහක් යටට වෙලා කෙඳිරි ගගා ඉන්නවා. සැමියා ඈ සොයාගෙන ආවා. ඈට අමාරුයි. මහපාරේම දරුවා ලැබුනා.

“දැන් මහගෙදර යන්ට වුවමනාව නෑ නොවැ. බබා ලැබුනානේ. අපි හෙමිහිට ආපසු ගෙදර යමු” කියල සැමියා ඈවත් බබාවත් රැගෙන ගෙදර ගියා. මහපාරේ සිඟිත්තා ලැබුණු නිසා ඔහුට පන්ථක යන නම ලැබුනා. පන්ථ කියන්නේ පාරට යි.

කලක් යද්දි තවත් දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුනා. කලින් වගේම ඈට සිටුගෙදරට යන්ට ඕනා කියල සැමියාට ඇවිටිලි කළා. ඒ වතාවෙත් සැමියාගෙන් අවසර නොලැබුන නිසා සැමියා නැති වේලේ පොඩි පුතාවත් අරගෙන මහගෙදර යන්න පිටත් වුනා. ඒ වතාවෙත් සැමියා ඈව සොයාගෙන ආවා. අතරමග මහපාරේ දෙවෙනි පුතාත් හම්බ වුනා. මහගෙදර ගමන වැළකුනා. ආපහු ගෙදර ආවා. ඉතින් ඔවුන් තමන්ගේ ලොකු පුතාට මහාපන්ථක කියන නම දැම්මා. පොඩි පුතාට චූලපන්ථක කියල නම දැම්මා. දැන් මේ දරු දෙන්නා සුවසේ වැඩෙනවා. අහල පහල ළමයි සෙල්ලම් කරද්දී ඒ ළමයි තම තමන්ගේ මාමල, බාප්පලා, ආච්චිලා, සීයලා ගැන කථා කරනවා. මේ ළමයින්ට එහෙම නෑදෑයෝ කවුරුත් නෑ. ඉතින් මේ දරු දෙන්නා ගෙන් තමන් ගෙ නෑදෑයන් ගැන අසද්දී කියන්ට දෙයක් නැති වුනා. දවසක් දරු දෙන්නා අම්මා ගෙන් මෙහෙම ඇහැව්වා.

“අම්මේ…… ඇයි අම්මේ අපට නෑදෑයෝ නැත්තේ….. අනිත් ළමයි හැමෝට ම නෑදෑයෝ ඉන්නවා. එයාලා බලන්න නෑදෑයෝ එනවා. එයාලා නෑදෑ ගෙවල්වල යනවා….. අනේ….. අම්මේ….. අපට කාත් කවුරුවත් නැද්ද…..?”

“ඉන්නවා පුතේ….. ඔයාලට මහා ධන සම්පත් තියෙන, ගොඩාක් දේපල වස්තුව තියෙන නෑදෑයෝ ඉන්නවා.”

“අම්මා බොරු කියනවා….. එහෙමනම් අපි මොකටද මේ පැල්පතේ ඉන්නේ….. අම්ම ගේ ඔය නෑදෑයෝ කොහේද ඉන්නේ?”

“පුතේ….. රජගහ නුවර ධන සිටුතුමා ඔයාගේ සීයා. ඒ සිටුදේවි ඔයාගේ ආච්චි….. නමුත් පුතේ අපට දැන් එහෙ යාගන්ට විදිහක් නෑ නොවැ.”

“අනේ…. ඇයි අම්මේ….. අපට එහෙම වුනේ.”

“මෙහෙමනේ මයෙ පුතේ….. ඔයාලගේ තාත්තාගෙයි මගෙයි කසාදෙට අපේ දෙමව්පියෝ කැමති නෑ. ඒ නිසා අපි එයාලගෙ අකමැත්තෙන්, එයාල විරුද්ධ වෙද්දි තමයි මේ වගේ ඈත පළාතකට ආවේ…… දැන් අපට එහෙ යන්ට බැහැ පුතේ.”

එතකොට ඒ දරුවන් ආයෙ ආයෙම රජගහනුවර යමු කියල අම්මාට බල කරන්න පටන් ගත්තා. නෑදෑයන් බලන්න ඕනාම කියලා කිව්වා. දරුවන් ගේ ඇවිටිල්ලෙන් බේරෙන්න බැරි තැන අම්මාත් සිටු ගෙදර යන අදහස සැමියාට කිව්වා.
“අනේ හිමියනි…. අපි නිකමට යමු. මෙච්චර ලස්සන පුතාල දෙන්නෙක් දැක්කට පස්සේ…. මොකෝ එයාල අපේ මස් කාවිද…?”

“හප්පේ…. මට නම් යන්ට බැහැ. ඔයා කියනවා නම් මං තුන්දෙනාව ම ගිහින් ඇරලවන්නම්.”

“ඒත් කමක් නැහැ අනේ…. මේ දරුවන්ටත් අනාගතේ කලදසාවක් තියෙන්ට එපායැ.”

ඉතින් ඔවුන් පුතුන් දෙන්නත් රැගෙන අනුපිළිවෙළින් රජගහනුවරට ආවා. එක් නවාතැන් පොළක නැවතුනා. පුතුන් ගේ අම්මා දරුවනුත් රැගෙන සිටුගෙදරට ගියා. තමන් මව්පියන් දකින්න ආ බවත්, පුතුන් දෙදෙනෙකුත් ඉන්නා බවත් දැනුම් දුන්නා.

පණිවිඩය ගෙන ගිය සේවකයා ටික වේලාවකින් පැමිණියා.

“නැගණියනි….. සිටුතුමා මෙහෙම කිව්වා. සසර සැරිසරා යද්දි මුණ ගැසෙන දූලාගෙත් පුතාලාගෙත් කෙළවරක් නෑ. එහෙම එකේ අපට ඉතා බලවත් වරදක් කළ ඔබලා ඇසින් දකින්න කැමති නෑ කිව්වා. මේන්න මේ ධනය දුන්නා….. ගිහින් සුවසේ ජීවත් වෙන්න කිව්වා….. දරු දෙදෙනාව සිටු මැදුර ඇතුළට කැඳවාගෙන එන්න කිව්වා. දරු දෙන්නාව ඇති දැඩි කරන්නම් කිව්වා.”

එතකොට සිටු කුමරිය තම පියා එවූ ධනය ගත්තා. දරු දෙදෙනා සිටුමැදුරට පිටත් කළා. කඳුළු වැකුණු නෙතින් සිටුමැදුර දෙස බලා ඉඳලා ආපසු පිටත් වෙලා ගියා.

දැන් මේ දරු දෙදෙනා සිටුමැදුරේ සුවසේ වැඩෙනවා. චූලපන්ථක තවම සිඟිති යි. මහාපන්ථක සීයා සමග නිතර බණ අසන්ට වේළුවනාරාමයට යනවා. එහිදී ශාස්තෘන් වහන්සේව ඇසුරු කරන්ටත් ලැබෙනවා. මනෝභාවනීය භික්ෂූන් ඇසුරු කරන්ටත් ලැබෙනවා. දවසක් මහාපන්ථක පුතු සීයාගෙන් මෙහෙම ඇහුවා.

“සීයේ…. මේ සංසාර ගමන හරීම භයානක දෙයක් නේද සීයේ….. සම්බුදු කෙනෙක් මුණ ගැසුන මෙවැනි අවස්ථාවක් නම් අපට ලැබෙන්නෙ නෑ නේද සීයේ….”

“ඒක ඇත්ත පුතේ….. බුදු සසුනක් මුණ ගැසීම කියන්නේ අතිදුර්ලභ දෙයක් නොවැ….. පුතා සිතන විදිහ බොහොම හොඳා…..”

“ඉතින් සීයේ….. සීයා මට අවසර දෙනවා නම් මාත් උතුම් බුදු සසුනේ පැවිදි වෙන්නද සීයේ.”

එතකොට සීයා සාධුකාර දුන්නා. “සාදු… සාදු… මයෙ පුතේ…. මේ කාලෙ පැවිදි වෙනවා කියන්නේ මොනතරම් උතුම් දෙයක් ද….! පැවිදි වෙයන් මයෙ පුතේ…! මේ බිහිසුනු සසරෙන් එතෙර වෙන්ට බලාපන්…”

මහාපන්ථකට සීයාගේ අවසර ලැබුනා. සීයා මේ දරුවා රැගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට ගියා.

“මහා සිටුවරය….. මේ පුතා කවුද…?”

“ස්වාමීනී…. මේ මගේ ලොකු මුණුපුරා….. භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕනා කියනවා. ඒකයි මං මේ එක්කරගෙන ආවේ….. මං නොවැ මේ දරුවාගේ භාරකාරයා….. මං කැමතියි ස්වාමීනී….. පැවිදි වෙන එක මොනතරම් දෙයක් ද….!”

එතකොට භාග්‍යවතුන් වහන්සේ සංඝයා ලවා මහාපන්ථකයන් පැවිදි කරවා වදාළා. ඒ මහාපන්ථකයන් ඉතා උත්සාහයෙන් ධර්මය ඉගෙන ගත්තා. විසි වයස් පිරුන විට උපසම්පදා වුනා. ටික කලකින් රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. දිනක් මහාපන්ථක භික්ෂුව මෙහෙම හිතුවා.

“උතුම් බුදු සසුනක පැවිදි වෙන්ට ලැබුන නිසා මට මේ සසර දුකින් එතෙර වෙන්ට වාසනාව උදාවුනා. අනේ….. අපේ මල්ලීටත් මේ උතුම් නිර්වාණ සුඛය දෙන්නට ඇත්නම් කොතරම් අගේ ද….” කියලා. ඉතින් මහාපන්ථක භික්ෂුව තම සිටු සීයා ළඟට ගිහින් මෙය පැවසුවා.

“සිටුතුමනි…. මං මේ කල්පනා කළේ අපේ මල්ලීවත් පැවිදි කරගන්නයි. ඔබ කැමැති නම් මං චූලපන්ථක එක්කරගෙන ගිහින් පැවිදි කරවන්ට ද…..?”

“අනේ…. හොඳා ස්වාමීනී…… මගේ මුනුබුරන් දෙන්නෙක් ම බුදු සසුනේ මහණදම් පුරනවා දකින්න ලැබීම මොනතරම් වාසනාවක් ද?”

චූලපන්ථකත් පැවිදි වුනා. තම සහෝදර ස්වාමීන් වහන්සේ යටතේ දැන් ධර්මය ඉගෙන ගන්නවා. හැබැයි එක බණ පදයක් මතක හිටින්නෙ නෑ. ඒ තරම් දුර්වලයි. දවසක් මහාපන්ථක තෙරුන් පොඩි නමට මේන්න මේ ගාථාව කියල දුන්නා. කටපාඩම් කරගන්න කිව්වා.

“පදුමං යථා කෝකනදං සුගන්ධං
පාතෝ සියා ඵුල්ලමවීත ගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපන්තමාදිච්චමිවන්තලික්ඛේ”ති.

උදයෙ පිපී සුවඳ හමන රතු පියුමක් වැන්නේ
සරත් කලට අහසෙ දිලෙන හිරු මඬලක් වැන්නේ
සිල් සමාධි ගුණ නුවණින් හැම විට බබළන්නේ
අන්න බලන් අංගීරස සමිඳුය වැඩ ඉන්නේ

අනේ… මාස හතරක් ම පොඩිනම මහන්සි වෙනවා…. උඩ පදය මතක තියාගෙන දෙවැනි පදය කියද්දි ආයෙමත් අමතක වෙනවා. කොහෙත්ම බැහැ. කටපාඩම් හිටින්නෙ ම නෑ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, කර්ම විපාක කියන්නේ අපට සිතින් සිතා අවසන් කරන්ට බැරි දෙයක්. කාශ්‍යප සම්මා සම්බුදුරජුන් ගේ කාලේ චූලපන්ථක ඒ කාශ්‍යප බුදු සසුනේ පැවිදි වෙලා හිටියා. ඒ කාලේ හරීම ප්‍රඥාවන්තයි. මොහොතකින් පාඩම් හිටිනවා. ඒ කාලේ කටපාඩම් හිටින්නෙ නැති භික්ෂුවකට මේ භික්ෂුව විහිලු කළා. ගැරහුවා. එතකොට අර භික්ෂුව ලැජ්ජාවට පත්වුනා. කටපාඩම් කිරීම නැවැත්තුවා. බලන්න කර්මය පස්සෙන් එන හැටි. මේ ආත්මේ තමන්ට කටපාඩම් හිටින්නෙ නෑ. තම සහෝදර මහාපන්ථක තෙරුන් ටිකාක් සැරට කතා කළා.

“චූලපන්ථක….. දැන් හාරමාසයක් ගෙවුනා. කෝ….. මේ…. එක…ම ගාථාව පාඩම් කරගන්න බැහැ….. මේ වගේ සුළු දෙයක් කරගන්න බැරි ඔබ මහණකමේ ප්‍රතිඵල කොහොම ලබන්ට ද….? මෙහෙ සිටීමෙන් ඵලක් නෑ…… යනවා යන්න.”

එතකොට චූලපන්ථක පොඩිනම මහාපන්ථක තෙරුන්ට වන්දනා කළා. හඬ හඬා කුටියට ගියා. ඒ දවස්වල දානය සඳහා සංඝයාට දැනුම් දෙන්නේ මහාපන්ථක තෙරුන් විසිනුයි. ජීවක කෝමාරභච්චයන් ගේ නිවසේ දානයක් යෙදිලා තිබුනා. ඒ පන්සියයක් භික්ෂූන් උදෙසා. දානය මතක් කරන්ට ආ ජීවකයන් හට මහාපන්ථක තෙරුන් මෙහෙම කිව්වා.

“උපාසක, අපේ චූලපන්ථක හැර අනෙක් භික්ෂූන් සියලු දෙනාම හෙට දානයට වඩීවි. චුල්ලපන්ථකගෙන් වැඩක් නැහැ….. බුදු සසුනේ දියුණුවක් ලබාගන්නට බැරි කෙනෙක් නොවැ….. ඒ නිසා ඔහු ඇර අනික් හැමෝම වඩීවි.”

චූලපන්ථක පොඩිනමට මේ කතාව ඇහුනා. මහත් කම්පාවට පත්වුනා. “අනේ….. අපේ සහෝදර ස්වාමීන් වහන්සේ ගේ සිත බිඳිලා. අයියෝ…. මං දැන් මොකද කරන්නේ…. මං හරීම ආසයි දිගටම පැවිදි ජීවිතේ ඉන්න. අනේ…. ඒත්…. මං දැන් කොහොමද මෙහෙ ඉන්නේ….. අනික මං කොහොමද ආයෙමත් ගෙදර යන්නේ….”

චූලපන්ථක පොඩිනම එදා රෑ පුරා හඬ හඬා හිටියා. පසුවදා පාන්දර ගෙදර යන්න කියල යන්න ගියාට යාගන්න බෑ. විහාරයේ දොරටුව ළඟ වාඩි වුනා. ආයෙමත් හඬන්න පටන් ගත්තා. ටික වේලාවකින් කවුදෝ කෙනෙක් ඇවිත් ආදරයෙන් හිස අතාගානවා තේරුනා. චුල්ලපන්ථක පොඩිනම හිස ඔසොවා බැලුවා. “අනේ… අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩලා” චුල්ලපන්ථක වහා නැගිට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා.

“ඇයි…… චුල්ලපන්ථක…. මොකද මේ හඬ හඬා…. මොකද වුනේ…..?”

“අනේ…. ස්වාමීනී…. අපේ මහාපන්ථකයන් වහන්සේ මට ගෙදර යන්ට කිව්වා. මට හාරමාසයක් ම ගාථාවක් පාඩම් කරගන්ට බැරිවුනා.”

එතකොට මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ චුල්ලපන්ථකගේ අතින් අල්ලාගෙන ආදරයෙන් කතා කළා.

“එහෙම කොහොමද කරන්නේ…. චූලපන්ථක පැවිදි වුනේ මං උදෙසා නේ. ඉතිං කෙලින්ම ඇවිදින් මට කියන්ට තිබුනා නොවැ….. හා!…. දැන් ඉතින් කමක් නෑ. ගෙදර යන්ට ඕන නෑ. අපි දැන් විහාරෙට යමු…. චූලපන්ථක භය වෙන්ට කාරි නෑ…… මං කියන විදිහට කටයුතු කරන්ට. ඒ අඩුපාඩු හැමදෙයක් ම සම්පූර්ණ වෙලා යාවි.”

ඉතින් භාග්‍යවතුන් වහන්සේ චූලපන්ථක ගේ අතින් අල්ලා ගෙන සුගන්ධ කුටිය ඉදිරියට වැඩියා. ඉර අව්ව හොඳින් වැටෙන තැනක වාඩි කෙරෙව්වා.

“හා… දැන් මේ අළුත් සුදු රෙදිකඩ ගන්න. ‘කිළිටි අත්හැරීම… කිළිටි අත්හැරීම…’ කියල හොඳින් සිහි කරමින් අනිත් අතින් පිරිමදිමින් ඉන්න.”

භික්ෂු සංඝයාට දානය පිණිස කල් දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ජීවක ගේ නිවසට වැඩියා. පනවන ලද ආසනවල වැඩ සිටියා.

චූලපන්ථක පොඩිනම තවම රෙදි කඩ පිරිමදිමින් ඉන්නවා. ඉර අව්වට දාඩිය දැම්මා. අර අලුත් සුදු රෙදි කඩ ටිකෙන් ටික කිළිටි වෙන්න පටන් ගත්තා. චූලපන්ථක සසරේ පුරුදු කළ විදර්ශනා ප්‍රඥාව මතුවෙන්න පටන් ගත්තා.

“හැබෑට ම…. භාග්‍යවතුන් වහන්සේ මගේ අතට දුන්නේ මොනතරම් අලුත් සුදු රෙදිකඩක් ද… නමුත් මේ කුණු සරීරයේ තැවරීම නිසා කිළිටි වෙලා යනවා නොවැ…. හටගත්තු හැම දෙයක් ම හරි වේගයෙන් වෙනස් වෙනවා නොවැ.”
එතකොට ම චූලපන්ථකට භාග්‍යවතුන් වහන්සේ ගේ මිහිරි ස්වරය ඇහෙන්න පටන් ගත්තා.

“චූලපන්ථක…… දැන් ඔබට අතේ තිබුන සුදු රෙදි කඩ කිළිටි වෙලා යන හැටි පෙනෙනවා….. ඔය කිලුට බලවත් කිලුටක් නොවේ. ඔබේ සිත තුළ තිබෙන රාගය තමයි බලවත්ම කිලුට. අන්න ඒ රාග කිලුටයි අත්හරින්ට ඕනා. එය බැහැර කරන්ට ඕනා” කියල භාග්‍යවතුන් වහන්සේ මියුරු සරින් මේ ගාථා තුන වදාළා.

රාග කෙලෙස් ම ය ලොව සැබෑ කිලුට
අනිකුත් කිලුටු නම් නොවේ
රාගයට ම යි කිලුට කියන්නේ
මැනැවින් දුරු කොට මේ රාග කිලුට
රාග කිලිටි නොමැති සසුනෙහි
ඒ භික්ෂූහු වසත් ම ය සුවසේ

ද්වේෂ කෙලෙස් ම ය ලොව සැබෑ කිලුට
අනිකුත් කිලුටු නම් නොවේ
ද්වේෂයට ම යි කිලුට කියන්නේ
මැනැවින් දුරු කොට මේ ද්වේෂ කිලුට
ද්වේෂ කිලිටි නොමැති සසුනෙහි
ඒ භික්ෂූහු වසත් ම ය සුවසේ

මෝහ කෙලෙස් ම ය ලොව සැබෑ කිලුට
අනිකුත් කිලුටු නම් නොවේ
මෝහයට ම යි කිලුට කියන්නේ
මැනැවින් දුරු කොට මේ මෝහ කිලුට
මෝහ කිලිටි නොමැති සසුනෙහි
ඒ භික්ෂූහු වසත් ම ය සුවසේ

මේ ගාථාවන් වදාරා අවසන් වෙනවාත් සමඟම චූලපන්ථක පොඩිනම පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත්වුනා. පටිසම්භිදා ඤාණ ලබන කොට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මැනවින් ධාරණයෙහි පිහිටා අමතක වීමේ දෝෂය සම්පූර්ණයෙන් ම නැති වුනා.

ඒ චූලපන්ථක භික්ෂුව පෙර ආත්මයක රජෙක් වෙලා හිටියා. දවසක් මේ රජු නගරය ප්‍රදක්ෂිණා කරද්දි අව් රස්නෙට නළලින් දහඩිය වැගිරුනා. එතකොට ඔහු තමන් ගේ පිරිසිදු සුදු සළුවෙන් නළල පිසදැම්මා. මුහුණ පිසදැම්මා. සැණෙකින් සළුව කිළුටු වුනා. ‘මේ සරීරයේ අපවිත්‍ර බව නිසා නේද මේ සළුව කිලිටි වුනේ. හටගත් හැම දෙයක් ම අනිත්‍ය වෙලා යනවා නේද කියලා එදා ඒ රජුට සිතුනා. භාග්‍යවතුන් වහන්සේ චූලපන්ථකයන් එදා රජෙකුව සිටියදී මෙනෙහි කළ අනිත්‍ය සඤ්ඤාවට උපකාරී වීම පිණිසයි මේ අයුරින් සුදු රෙදි කඩ දුන්නේ.

ජීවක කෝමාරභච්චයන් අපේ භාග්‍යවතුන් වහන්සේට දන් පිළිගැන්වීම පිණිස පැන් බඳුන අරගෙන ඇවිත් පාත්‍රයට පැන් දමන්න සූදානම් වුනා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අතින් පාත්‍රය වසා මෙහෙම වදාළා.

“ජීවක… විහාරේ භික්ෂුවක් ඉන්නවා.”

මහාපන්ථකයන් වහන්සේ මෙහෙම කිව්වා. “නෑ ස්වාමීනී…. විහාරේ භික්ෂූන් නැහැ. හැමෝම වැඩියා නොවැ.”

“ජීවකය, විහාරේ භික්ෂුවක් ඉන්නවා” කියලා ආයෙමත් වදාළා. එතකොට ජීවකයන් සේවකයෙකුව ඇමතුවා.

“අනේ කොලුවෝ…. හනික ගොහින් බලාගෙන වරෙන් විහාරේ භික්ෂූන් ඉන්නවා ද නැද්ද කියලා.”

ඒ සේවකයා විහාරයට දුවගෙන ගියා. මුළු ජීවක අඹවන විහාරය පුරාම භික්ෂූන් ඉන්නවා. ඇතැම් භික්ෂූන් අමදිනවා. ඇතැම් භික්ෂූන් සිවුරු මසනවා. ඇතැම් භික්ෂූන් සිවුරු පඬු පොවනවා. ඇතැම් භික්ෂූන් සක්මන් කරනවා. තව භික්ෂූන් භාවනා කරනවා.

සේවකයා කලබල වුනා. ආපහු දුවගෙන ගියා. ජීවක ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අනේ…… පින්වත් හිමියනි, හරි වැඬේ නොවැ….. අඹවනයේ දහස් ගණන් භික්ෂූන් ඉන්නවා කියලයි මට හිතෙන්නේ. ගණනකට ගන්ට බැරි තරම්.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“පුරුෂය…. ආයෙමත් ඔබ යන්න. ගිහින් ‘චූලපන්ථක භික්ෂුව ශාස්තෘන් වහන්සේ කැඳවන සේක’ කියල කියන්න.

එතකොට ඒ පුරුෂයා ආයෙමත් දුවගෙන ගියා. “ස්වාමීනී…. චූලපන්ථක කියන්නේ කවුද….?” කියලා ඇහැව්වා.

‘මම යි චූලපන්ථක’ කියල එක් භික්ෂුවක් කියද්දි හැමෝම ඒක කිව්වා. කොලුවා ආයෙමත් කලබල වුනා. හරි වැඩක් නොවැ වුනේ කියල ආයෙමත් ජීවකගේ නිවසට දුවගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේට කරුණ සැළකළා.

“අනේ… ස්වාමීනී…. ඒක මහා පුදුම දෙයක්…. මං ඇහැව්වා චුල්ලපන්ථක කියන්නේ කවුද කියලා…. මේන්න එතකොට හැමෝම කිව්වා නොවැ මම යි චූලපන්ථක කියන්නේ කියල…. හප්පේ මං කොහොමෙයි උන්වහන්සේව සොයා ගන්නේ….?”

“පුරුෂය…. ඔබ ආයෙමත් යන්න. ගිහින් ආයෙමත් ඒකම අහන්න. මුලින් ම කතා කරන භික්ෂුව ගේ අතින් අල්ලන්න. එතකොට අනිත් භික්ෂූන් නොපෙනී යාවි.”

කොලුවා ආයෙමත් දුවගෙන ගියා. ආයෙමත් ඇහැව්වා. එතකොට ළඟම හිටිය භික්ෂුව මම යි චූලපන්ථක කියන කොටම අතින් අල්ලා ගත්තා. අනිත් සියලු භික්ෂූන් නොපෙනී ගියා.

“අනේ…. ස්වාමීනී…. ඉක්මනින් වඩිමු. භාග්‍යවතුන් වහන්සේ කතා කරනවා” “හොඳයි පින්වත… ඔබ යන්න…. මං එන්නම්” කියල චූලපන්ථක භික්ෂුව ඉර්ධියෙන් වැඩියා. එදා දානයෙන් පස්සෙ භුත්තානුමෝදනාව පිණිස චූලපන්ථක භික්ෂුවට පැවරුනා. හරි පුදුමයි…. එක් ගාථාවක් පාඩම් නොසිටිය භික්ෂුව ගඟුලැල්ලකින් ගලා හැලෙන සුනිල දිය දහරක් සෙයින් මිහිරි සරින් ධර්මය කිව්වා.

එදා සවස් වරුවේ රැස් වූ භික්ෂූන් මේ අසිරිමත් සිද්ධිය ගැන කතා කරමින් හිටියා.

“ඇවැත්නි…. තමන් ගේ ම සහෝදර මහාපන්ථකයන්ට චූලපන්ථක තේරුම් ගන්ට බැරිවුනා නොවැ. හාර මාසයක් ම ගාථාවක් පාඩම් කොරගන්ට බැරිව හිටියා කියල විහාරයෙන් බැහැර කළා නොවැ…. හප්පේ…. බලන්ට…. අපේ භාග්‍යවතුන් වහන්සේ හරීම ලස්සනට ඒ සියලු දොස් නැති කරලා පිහිට වූ හැටි…. සම්බුදු බලය නම් මහා පුදුම සහගතයි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩියා. ඒ භික්ෂූන් තමන් කතා කරමින් සිටි කාරණාව භාග්‍යවතුන් වහන්සේට සැළකළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“මහණෙනි, ඔය චූලපන්ථක මේ ආත්මයේ මං නිසා ධර්මය තුළ මහත් ආනුභාවයට පත් වුනා. මනෝමය ශරීරයන් මවා පාන්ට අතිශයින් ම දක්ෂ වුනා. මහත් ධර්ම බලයට පත්වුනා.