පින්වත, සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ නිහඬ වුණොත්, ඔබේ නිදහසට විලංගු වැටෙනවා. පින්වත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ ආවේගශීලී වුණොත් ඔබ තුළ වැඩෙන දශ අකුසල් නිසාම, ඔබගේ කුසල් යටපත් වී තිබෙන නිදහසත් අහිමිකොට ගන්නවා. පින්වත ආවේගශීලීභාවයමයි නැවතත් ඔබේ නිදහසට විලංගු වැටෙන නිහඬතාවයකට අත්පැන් වත් කරන්නේ. පින්වත අවිද්‍යාවේ ජවයෙන් ලෝකය, ලෝකයට සුපුරුදු ගමනක් යන්නේ. පින්වත ලෝකය වෙනස් කරන්න නම්, මේ සුපුරුදු අකුසල් ගමන ඔබ වෙනස් කරන්න ඕනේ. පින්වත සමාජගතවෙන සමාජ අසාධාරණයන් ඉදිරියේ විඳීමේ කාසියේ දෙපැත්ත වන නිහඬභාවයත්, ආවේගශීලීභාවයත් වෙනුවට මධ්‍යස්ථ ප්‍රතිපදාවට එන්න ඕනේ. ජාති, ආගම් භේදයකින් තොරව මධ්‍යස්ථ ප්‍රතිපදාව යැයි කියන්නේ, මෛත්‍රියෙන් සහ ශීලයෙන් පෝෂණය වූ සිහි නුවණින්, හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් සමාජගතවෙන අසාධාරණයන්ට විසඳුම් සෙවීමයි. අපි හැමදාමත් ප්‍රශ්න ඉදිරියේ හැසිරුනේ එක්කො නිහඬ වෙලා, එක්කො ආවේගශීලී වෙලා. පින්වත යළි යළිත් ප්‍රශ්න ගොඩ ගැසෙද්දී ආයෙමත් අපි අසිහියෙන්ම යොමු වෙන්නේ ආවේගශීලීභාවයෙන් යළිත් නිහඬභාවයටමයි. පින්වත ප්‍රශ්න ඉතිරිකර ලෝකය අකුසලයෙන් දුවනවා. පින්වත සමාජ සාධාරණත්වයේ වර්තමානයක් නැති අපිට සමාජ සාධාරණත්වයේ හෙටක් හෝ තිබෙන්න ඕනේ. සියළු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකයක බලාපොරොත්තු අකුසල් සුළඟේ ගසාගෙන යන බව ඇත්ත. පින්වත සමාජගත අසාධාරණයට හේතුඵල ධර්මයන් නුවණින් දකිමින් කුසලයෙන් නැගී සිටින්න. මධ්‍යස්ථ ප්‍රතිපදාවට යළි ජීවය දෙන්න.
පින්වත දැන් වෙලාව රාත්‍රී දහයත් පසු වෙලා. උදෑසන පටන් තාමත් මේ ප්‍රදේශයට වහිනවා. අද දවස ආපෝ ධාතුවට අයිති දවසක්. වැස්ස නිසාම මේ දවස්වල තේජෝ ධාතුවට පුංචි විවේකයක් ලැබිලා තිබෙනවා. මේ වැසිබර රාත්‍රියේ ඔබ නින්දට සූදානම් වෙනවා ඇති. පින්වත ශීතල මැද්දේ උණුසුම සොයන යෞවන රාත්‍රියක පංච නීවරණයෝ ඔබව ඉක්මවා යන්න පුළුවන්. පින්වත මේ වැසිබර රාත්‍රියේ සප්ත බොජ්ඣඬ්ගයෝ තුරුළුකොට ගන්න. එවිට විදර්ශනාමය නින්දකට ඔබේ නිවුනු දෑස් පියවේවි. දැන් සිහින නොදැක සුවසේ නිදා ගන්න. පින්වත් ඔබට යහපත් රාත්‍රියක්. පින්වත අතීත භව ගමනේ කොතෙක් නම් අපි නිදාගෙන ඇති ද? පින්වත නිදාගත් කාලය ගැන සිතන්න සිතට ඉඩ දෙන්න එපා. ඒ සිත චිත්තානුපස්සනාවෙන් දකින්න. එවිට අතීතයම තාවකාලිකව මැකිලා යනවා. පින්වත නින්ද නැති රැයක, සිතට නොමැකුණු මතකයන් අවදිකොට දෙන මනෝ විඤ්ඤාණය රූපය මුල්කොටගෙනයි සක්‍රීය වෙන්නේ. රූපය කෙරෙහි තෘෂ්ණාව තිබෙන තාක්කල් මනෝ විඤ්ඤාණය අතීත මතකයන් මතකයට ගෙනෙනවා. පින්වත දවසින් දවස දින ගැලවෙන කැලැන්ඩරයේ අතීත, වර්තමාන සහ අනාගතය අයිති ධම්මානුපස්සනාවට. ගෙවී යන සහ උදාවෙන කාලය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. අතීත මතකයන්ට වර්තමාන විතර්ක තුළින් ඔබ සුදු සහ කළු තීන්ත තවරද්දී, මනෝ විඤ්ඤාණය උපකාර කරන්නේ නාමරූප ධර්මයන්ගේ පෝෂණය උදෙසාමයි.
පින්වත ඔබ ධනවතෙක් වෙන්න, ඉහළ වෘත්තිකයෙක් වෙන්න, ඔබේ ලෞකික ජීවිතය ජයගන්න ඔබ මොනතරම් නම් කැපවීමක්, වීර්යයක් කරනවා ද? ලෞකික ජීවිතය ධනයෙන් ජයගන්න හුඟාක් දෙනෙක්ගේ ජීවිත අතීතයේ කඳුළින් ලියවිලා තිබෙන්නේ. පින්වත ලෞකික ජීවිතයේ ජයග්‍රහණය උදෙසා ඔබ ගන්නා වූ වීර්යය අයිති වෙන්නේ මිච්ඡා වීර්යයටයි. සම්මා වීර්යය කියලා කියලා කියන්නේ භව නිරෝධය උදෙසා ගන්නා වීර්යයට. සම්මා වීර්යය උතුම් සති සම්බොජ්ඣඬ්ගයෙන් සහ ධම්ම විචය බොජ්ඣඬ්ගයෙන් පෝෂණය වෙන්න ඕනේ. අද උදෑසන බොහෝම වීර්යයෙන් අධ්‍යාපනය හදාරලා වෛද්‍ය උපාධිය ලබාගත් තරුණ මහත්මයෙක් භික්ෂුව හමුවෙන්න පැමිණියා. භික්ෂුව එම මහත්මයාට කිව්වේ ඔබ වෛද්‍ය උපාධිය වෙනුවෙන් වසර පහක් කරපු කැපවීම සහ වීර්යය උතුම් සෝවාන්ඵල අවබෝධය උදෙසා සිදු කළා නම් ඔබ වර්තමානයේ සතර අපායෙන් නිදහස් වූ කෙනෙක් වෙන්න තිබුණා ය කියලා. පින්වත සම්මා වීර්යයත්, මිච්ඡා වීර්යයත් අතර පරතරය අවුරුදු කල්ප ගණනක් වෙන්න පුළුවන්. පින්වත සෝවාන්ඵලය උදෙසා හැදෙන ජීවිතය දෙපැත්තෙන්ම දැනෙනවා. එක පැත්තකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි අර්ථයත්, ජීවිතයේ අනිත් පැත්තෙන් අල්පේච්ඡ ජීවිතයත්, ලද දෙයින් සතුටුවෙන ජීවිතයත් ප්‍රකට වෙනවා. වර්තමානයේ සෝවාන්ඵල අවබෝධය උදෙසා ඡන්දය ඇතිකොටගත් සමහර පින්වතුන්ගේ ජීවිත ශීලයෙන් සහ දානයෙන් පිරී ගියත්, පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ ප්‍රවේගය නම් අසීමාන්තිකයි. තෘෂ්ණාවේ තරඟකාරී ජවයෙන් උපදින මිච්ඡා වීර්යය පංච නීවරණයන්ට අයිති වෙද්දී, සම්මා වීර්යය සප්ත බොජ්ඣඬ්ගයන් තුළින්මයි පෝෂණය වෙන්නේ.
පින්වත හුඟ කාලයකට පස්සේ ගෝනි කරත්තයක් පාරේ යනවා දැක්කා. වී මලු ගොඩාක් පුරවලා තිබුන කරත්තය ඇදගෙන යන ගොනා බොහෝම වෙහෙසකර ගමනකයි යෙදිලා සිටියේ. මේ බර අදින අහිංසක සතා දකිද්දී භික්ෂුවට අනුවණ සත්ත්ව කරුණාව නම් නොවේ සිහියට නැගෙන්නේ. කර්මය කර්මඵල විශ්වාසය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා නූතන සත්ත්ව හිංසාව වෙනුවෙන් කතා කරන නෝනා මහත්වරුන්ට මේ සිදුවීම තම විඳීම් වලට රසවත් කට ගැස්මක් වුව ද, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නම් බර අදින සතෙක් කියන්නේ සුන්දර හේතුඵල ධර්මයක්මයි. පින්වත සත්තකින්ම කවු ද මේ බර අදින සතා කියන්නේ? පින්වත මේ බර අදින සතා පෙර ජීවිතයක ජනතාවගේ පොරොන්දු ඉටු නොකළ දේශපාලන පින්වතෙක් වෙන්න පුළුවන්. දේශපාලන පින්වතුන් බලයට පැමිණීමට පෙර ජනතාවට මොනතරම් නම් පොරොන්දු දෙනවා ද? කාට ද මේ පොරොන්දු දෙන්නේ? මහා සංඝ රත්නයට, අන්‍ය ආගමික පූජකතුමන්ලාට, රටේ ජීවත්වෙන වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, ශිල්වතුන්ට, ගුණවතුන්ට. පින්වත මෙවන් ගුණාත්මක පිරිසකට යම් පින්වතෙක් බොරු කළොත්, වංචා කළොත් ඔහුට සංසාරයේ ගොනෙක් වෙලා බර ඇදලා, එළදෙනෙක් වෙලා කිරි ටික දීලා, කිකිළියෙක් වෙලා බිත්තර දමලා, මෙහෙකරුවෙක් වෙලා මෙහෙකාරකම් කරලා, නාටාමි කෙනෙක් වෙලා බර ඇදලා මේ ණය ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. පින්වත ඇත්ත තිත්ත වුවත් ඒ ඇත්ත පටිච්චසමුප්පන්නව අපිව සොයාගෙන එනවාමයි. එදාට යමෙක් සත්ත්ව හිංසනය වෙනුවෙන් කෑමොර දෙනවා නම් එය අසුන්දර මිථ්‍යාදෘෂ්ටියේ ලක්ෂණයක්මයි. පින්වත උතුම් සංඝ සමාජයේ අපිත් දක්ෂ වෙන්න ඕනේ පින්වත් ශ්‍රද්ධාවන්ත ජනතාවගෙන් ලැබෙන සිවුපසයට අපි ආරක්ෂාකොට ගන්නා උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් පෙරළා කළගුණ දක්වන්න. අපේ ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල වුණොත් අපිත් ශ්‍රද්ධාවන්ත ජනතාවට සාංසාරිකව ණයකාරයෝ වෙන්න පුළුවන්. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකිනවා. භික්ෂුව අතීත සංසාරයේ කරත්තේ බඳින ගොනෙක්ව ඉපදිලා හපුතලේ කන්ද ගුටි කකා කොච්චර නම් අදින්නට ඇති ද? අතීතයේ භික්ෂුව එළදෙනෙක් වෙලා ඔබලාට කිරි ටික දීලා මොනතරම් නම් ණය ගෙවන්නට ඇති ද? ධනවත් නෝනා, මහත්තයලාගෙන් ගුටි කකා, අතපය පුච්චාගෙන මොනතරම් මෙහෙකාරකම් කරන්නට ඇති ද? භික්ෂුව අතීතයේ සුනඛයෙක් වෙලා මොනතරම් නම් ඔබේ ගෙදර මුර කරන්න ඇති ද? පින්වත මේ අතීත ණයකාර ඉතිහාසය ආයෙමත් පටිච්චසමුප්පන්න අනාගතය නම් භික්ෂුවට එපා. භික්ෂුව නැවත ලෝකයාට ණයකාරයෙක් නම් වෙන්නේ නැහැ. භික්ෂුව වළඳන සෑම බත් කටකටම භික්ෂුව උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන්, උජුපටිපන්න ගුණයෙන් මිල ගෙවනවා. පින්වත අපි වළඳන දානේ වේලක් අපිව දෙවියෙක්, බ්‍රහ්මයෙක් කරන්න පුළුවන් වගේම, බර අදින ගොනෙක් කරන්නත් පුළුවන්. පින්වත වියරු සංස්කාර ලෝකයක් මැද පෙර පිනට අපිට ලැබෙන සිවුපසය හේතුවෙන් අපි දුශිල්වත්භාවයට, ප්‍රමාදීභාවයට පත්වුණොත් පටිච්චසමුප්පන්න ලෝකයේ මුල වෙන අවිද්‍යාවත් ලෝකයේ අග වන ජාති, ජරා, ව්‍යාධි, මරණත් අතර සරණක් නොමැති අසරණයෙක් වෙන්න පුළුවන්.
පින්වත සමාජයේ මොන දිශාව බැලුවත් අපි දකින්නේ පිරිහීමක්මයි. පින්වත සිංහල බෞද්ධකම පිරිහීමට පත්වෙද්දී සියළු යහපත් ධර්මයෝ පිරිහීමට පත්වෙනවා. සිංහල බෞද්ධකමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියන්නේ එකම අර්ථයයි. පින්වත අපි මොනතරම් පින්කම් සිදුකළත් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තෘෂ්ණාව විසින් ගිලගෙනයි තිබෙන්නේ. අපේ සංස්කාර කෙරෙහි ලෝභ සිත්, නෙක්ඛම්මය අමතක කරලා සක්කාය දිට්ඨියයි කළගුණ සලකන්නේ. පින්වත අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය සතුටින් පිළිඅරගෙන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට බොරු කරනවා. පින්වත බිඳවැටෙන සිංහල බෞද්ධකම ඉදිරියේ අනුනගේ වැරදි දකින්න එපා. එවිට අපි කර්මය කර්මඵල විශ්වාසයට පිටුපෑවා වෙනවා. පින්වත වරදකරුවා ඔබ නොවේ, වරදකරුවා දුක සහ සැප පටලවා පෙන්වන අවිද්‍යාවයි. පින්වත අවිද්‍යාව කියන්නේ ලෝකයයි. අවිද්‍යාවෙන් තොරව අපිට ලෝකය දකින්නට බැහැ. අපි තවමත් අවිද්‍යාවේ යාවජීව සාමාජිකයෝ. පින්වත අවිද්‍යාව ශක්තිමත් වෙද්දී සිංහල බෞද්ධකම පිරිහිලා යනවා. මේ උතුම් සිංහල බෞද්ධකම පින්වත් ඔබටවත්, භික්ෂුවටවත් අයිති දෙයක් නොවේ. මේ සිංහල බෞද්ධකම අයිති වෙන්නේ අපි සියල්ලන්ගේම යහපත් සංස්කාර ධර්මයන්ටයි. අපි සියල්ලන්ගේම අයහපත් සංස්කාර වැඩිවෙද්දී සිංහල බෞද්ධකම පිරිහිලා යනවා. පින්වත මේ උතුම් සිංහල බෞද්ධකම කියන්නේ පිනෙන් උපන් ධර්මතාවයක්. උතුම් සම්මා දිට්ඨියෙන් පණ ලබන ධර්මතාවයක්. පින්වත මේ සිංහල බෞද්ධකම වෛර කරලා, සණ්ඩු කරලා, ආවේගශීලී වෙලා, අරගල කරලා රැකගන්න බැහැ. මේ අකුසල් ධර්මයෝ සිංහල බෞද්ධකමේ විනාශය උදෙසාමයි.
පින්වත අපි සියල්ලන්ම පටිච්චසමුප්පන්නව එකම අම්මාගේ දරුවෝ. අවිද්‍යාවේ දම්වැල මත දිගහැරෙන අපේ පටිච්චසමුප්පන්න ඥාතිත්වය අපිට බල කරන්නේ තවදුරටත් අසිහියෙන් භේදබින්න වෙන්න නොවේ. සමගියෙන් අවිද්‍යාව ජයගන්නයි. පින්වත තෘෂ්ණාවේ අසිහියෙන් සිංහල බෞද්ධකම විනාශකොට දමලා අපි ලබන ජය මිථ්‍යාදෘෂ්ටියේ ජයක්මයි. මේ උතුම් සිංහල බෞද්ධකම රැකගන්න ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව අපිට උදවු කරන්නේ නැහැ. පින්වත අපේ පිනට උපන් සිංහල බෞද්ධකම අපිමයි රැකගත යුත්තේ. පින්වත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන් මත කැඩෙන, බිඳෙන, විසිරෙන මේ සංස්කාර ලෝකය තුළ ඇත්ත ඇති සැටියෙන් අපිට කියලා දෙන සිංහල බෞද්ධකම රැකුනොත් පමණක්මයි, සියළු යහපත් ධර්මයෝ රැකුණා වෙන්නේ. පින්වත ඔබේ ජීවිත තුළින් අසීමිත තෘෂ්ණාවට පුංචි විවේකයක් දීලා, උතුම් නෙක්ඛම්ම සංකප්පයට පුංචි ඉඩක් දෙන්න. පින්වත මේ උතුම් සිංහල බෞද්ධකම ආරක්ෂා කොටගත්ත පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. සිංහල බෞද්ධකමේ යෂ්ටිය ඔබේ අතින් ගිලිහෙන්න දෙන්න එපා. පින්වත පුරුෂ ධෛර්යයෙන් නැගී සිටින්න. ඔබේ යෂ්ටිය සුරැකිව ඊළඟ පරපුරට භාර දෙන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023 ඔක්තෝබර් 22 ඉරුදින දිවයින පුවත්පත.