පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට හැර ඔබ ලෝකයෙන් නිදහස් වෙලා යන්න. පින්වත මේ දහම ලෝකය හැදීම උදෙසා නොවේ. ඔබ හැදී ලෝකයෙන් නිදහස්වීම උදෙසාමයි. පින්වත මේ රාත්‍රිය බොහෝම විවේකී රාත්‍රියක්. පසළොස්වක සඳවතිය තවම මැකී ගිහින් නැහැ. ඇය තවමත් අඳුරට ආලෝකය දෙනවා. මේ විවේකී රාත්‍රියේ සිතුවිලි ගලාගෙන එනවා. මේ විවේකී රාත්‍රිය ජීවිතය අමතක කරලා, ධර්මය ජීවත් කරවනවා. පින්වත තනිවෙච්ච ජීවිතයක තනිය මකාගෙන උපදින සතර සතිපට්ඨාන ධර්මයෝ සිතුවිල්ලෙන් සිතුවිල්ල මලක පෙති සේ, එකිනෙකට යා වෙද්දී, විවේකයට නීරස වූ පංච උපාදානස්කන්ධ ධර්මයෝ ජීවිතයෙන් නොපෙනී යන්නේ සඳුගේ ප්‍රභාෂ්වර ආලෝකය ඉදිරියේ මැකී යන තරු පන්තියක් වගේමයි. පින්වත ඔබේ ජීවිතය විදර්ශනාව අසල නතර වෙද්දී ජීවිතය සැහැල්ලු වෙලා යනවා. විදර්ශනාව ඉපදුන ජීවිතයක් තුළින්, තවමත් නොමළ දහමක නිකෙලෙස් පහස දැනෙද්දී, සාධු… සාධු… යැයි කියලා ආස්වාදයක් නොවේ ඔබට දැනෙන්නේ. සාධු, සාධු යන හඬට මුල් වූ ඵස්සය අනිත්‍යයි දකින ධම්මානුපස්සනාවේ ම අර්ථයයි.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, ධම්මානුපස්සනාව කියන්නේ කුමක් ද කියලා. පින්වත ඔබව ජීවත් කරවන කාය සංස්කාරයෝ අනිත්‍යයි. ඔබව කතා කරවන වචී සංස්කාරයෝ අනිත්‍යයි. ඔබට සිතන්න සලස්වන මනෝ සංස්කාරයෝ අනිත්‍යයි. පින්වත මේ සියළු අනිත්‍ය ධර්මතාවයන්ට මුල වෙන අවිද්‍යාවේ පටන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වා අනිත්‍ය වූ ධර්මතාවයන්. පින්වත ලෝකය ලෝකය තුළම බහා තබන ඵස්ස පච්චයා වේදනා සංස්කාර ලෝකයම අනිත්‍ය වූ ධර්මතාවයන්. මේ සියල්ල ම ලෝකයාට දේශනා කොට වදාළ ලොවුතුරා බුදුරජාණන් වහන්සේත්, මේ උතුම් ධර්මරත්නයත්, මේ උතුම් ධර්මරත්නය ජීවත් කරවන මහා සංඝරත්නයත් අනිත්‍ය වූ ධර්මතාවයන්මයි. පින්වත මේ සටහන කියවද්දී ඔබ තුළ විකසිත වෙන සති සම්බොජ්ඣඬ්ගයන්, ඉන් ඉක්බිති පැන නගින උපේක්ෂා බොජ්ඣඬ්ගය දක්වාත් අනිත්‍ය වූ ධර්මතාවයන්මයි. පින්වත ධර්මයට උකටලී සිත ඉදිරියේ හොරගල් අහුලන පංච නීවරණයෝ ද අනිත්‍ය වූ ධර්මතාවයන්මයි. පින්වත මේ සියළු ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. එයම උතුම් ධම්මානුපස්සනාව වෙනවා. පින්වත මේ සියළු ධර්මතාවයෝ අනිත්‍ය යැයි ධම්මානුපස්සනාවෙන් දකිද්දී, ඒ ධම්මානුපස්සනාවෙන් දැක්කා වූ සිතත් අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවෙන්ම දකින්න ඕනේ. එසේ නොවුණොත් ඔබේ ධම්මානුපස්සනාව තවත් විඳීමකට මුලක් වෙනවා. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම ධම්මානුපස්සනාව වඩනවා. මම දැන් හරිම සතුටින් සිටින්නේ කියලා. පින්වත මෙම ප්‍රකාශය තුළ පංච නීවරණයක් වන කාමච්ඡන්දයෝ සැඟවී තිබෙනවා. පින්වත ඔබ තුළ ධම්මානුපස්සනාව නිවැරදිව වැඩුණා නම්, ඔබ පසුවෙන්න ඕනේ විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ගයන් තුළයි. පින්වත ඔබේ ධම්මානුපස්සනාව සැප සහ දුක් විඳීම් ඉදිරියේ වේදනානුපස්සනාවෙන් පෝෂණය කරගන්න. ඔබ සතුටට බැඳී යන්නේ සතුටට හේතු වූ ඵස්සය ධම්මානුපස්සනාවෙන් නොදකින නිසාමයි.
පින්වත මේ දවස්වල ලොකු, කුඩා පාසල් දරුවෝ, තරුණ දරුවෝ ගොඩාක් පිණ්ඩපාත මඩුවට එනවා. මේ දරුවන්ගේ හැසිරීම් දෙස සිහිනුවණින් දකිද්දී, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය චිත්‍රයක් වගේ භික්ෂුවට පෙනෙනවා. පෙර ජීවිතයේ පින් කරපු, දන් පූජා කරපු, ශිල් ආරක්ෂා කරපු දරුවෝ පින්වත් දරුවෙක්ගේ හැසිරීම් තුළින් ධර්මයක් දකින්න තරම් අපේ සද්ධර්මය හරිම පොහොසත්. මේ පින්වත් ළමා, තරුණ පරපුර අපි කුසල් ධර්මයන්ගෙන් ශක්තිමත් කරන්න ඕනේ. එම දරුවන්ට ගුණ දහම් කියලා දෙන්න ඕනේ. ගෙදර තිබෙන කුසල් නිධිය වන දෙමාපියන් ගැන ධර්මානුකූලව දරුවන් දැනුවත් වෙන්න ඕනේ. පින්වත් දරුවන් තේරුම් ගන්න ඕනේ අම්මලා, තාත්තලා කෝටි ගණනක් සිටින ලෝකය තුළ ඔබ වෙනුවෙන් රුධිරය මවුකිරි බවට පත්වුණේ ඔබේ අම්මා තුළ පමණක් ය කියන කාරණය. අම්මලා, තාත්තලාගේ මේ උතුම් බ්‍රහ්ම ගුණයන් ගැන දෙමාපියන් දරුවන්ට කියලා දියයුතුයි. පින්වත් දරුවෙනි, සිංහල බෞද්ධකම මරාගෙන බොහෝම වේගයෙන් අසිංහල, අබෞද්ධකම් සමාජගත වෙනවා. නාමික සිංහල බෞද්ධ දේශපාලන නායක පින්වතුන්ලාගෙන් මේ ජාතික විනාශයන්ට විසඳුම් බලාපොරොත්තු වෙන්න බැහැ. සිංහල බෞද්ධ යැයි හඳුන්වාගත් සංවිධානත් මිථ්‍යාදෘෂ්ටිය තුළයි තවමත් පැටලිලා සිටින්නේ. එම ගෞරවනීය පින්වතුන්ලාත් දුශ්ශීල දේශපාලනයක් තුළින් තවදුරටත් සිංහල බෞද්ධකමේ මිථ්‍යා ආරක්ෂාවක් සොයනවා. පින්වත මේවා වඳ බැහැපු අවිද්‍යාවෙන් උපන්, තෘෂ්ණාවේ හේතුඵල ධර්මයන්. පින්වත ඔබ උපන් මාතෘභූමිය වන ශ්‍රී ලංකාව ලෝක සිතියම තුළ තියලා සිංහල බෞද්ධකම මරා දමන්න එපා. පින්වත් දරුවෙනි ඔබලාගේ වැඩිහිටියන්ගේ කැපවීමෙන්, පරිත්‍යාගයන්ගෙන් මේ උතුම් සිංහල බෞද්ධකම පින්වත් දරුවන්ට රැකදුන්නා. පින්වත් තරුණ ළමා පරපුරේ වගකීමක් තිබෙනවා වැඩිහිටි අපෙන් පසුව මේ උතුම් සිංහල බෞද්ධකම අනාගත පරපුරට ආරක්ෂාකොට දෙන්න. පින්වත් තරුණ සහ ළමා දරුවෙනි, ඔබ එය පටන්ගත යුත්තේ ඔබේ ගෙදරින්. ඔබේ ගෙදර සිටින මහා බ්‍රහ්ම ගුණයෙන් සහ උතුම් අරිහත් ගුණයෙන් යුත් ඔබේ අම්මා, තාත්තා තුළින්. දෙමාපියන්ට කීකරු වෙන්න. දෙමාපියන්ට ගරු කරන්න. දෙමාපියන් සතුටු කරන්න. දෙමාපියන්ට උපස්ථාන කරන්න. පින්වත් දරුවෙනි විසිහතර පැයේම ගෙදර තිබෙන කුසල් නිධි දෙක සුවසේ ගරන්න. එවිට ඔබ බුදුරජාණන් වහන්සේට කීකරු දරුවෙක් වෙනවා. පින්වත් තරුණ සහ ළමා පරපුර බුදුරජාණන් වහන්සේට කීකරු වෙද්දී, අනිවාර්යයෙන්ම එම දරුවා සිංහල බෞද්ධකමේ ආරක්ෂකයෙක් වෙනවා. පින්වත් දරුවෙනි, මේ සමාජගතවෙන උමතු අවිද්‍යාව ඉදිරියේ ඔබත් අනතුරට බිලි නොවී ඔබේ ධර්මානුකූල වගකීම ඉටු කරන්න.
පින්වත සිංහල බෞද්ධයා කියලා කියන්නේ උතුම් තෙරුවන්ට කීකරුභාවයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන පිංවතාටයි. එම පින්වතා අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව තුළ සිටින කෙනෙක් විය යුතුයි. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත සත්‍යකින්ම අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ද ගමන් කරන්නේ? පින්වත අපේ අසීමිත තෘෂ්ණාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙසේ නම් ඔරොත්තු දෙන්න ද? පින්වත අපි කොතැනින් පටන් ගත්තත් බැඳී යන්නේ ආස්වාදයේ උපාදානයන්ටමයි. පින්වත සිංහල බෞද්ධකමේ අර්ථයන් ශක්තිමත් වෙන්න නම්, රටට අවශ්‍ය අසීමිත ලෙස සීමාකළ ආර්ථිකයක් නොවේ, අසීමිත ලෙස විවෘත කළ ආර්ථිකයකුත් නොවේ. මේ අන්ත දෙකම යහපත් ධර්මයන් විනාශකොට දමන අන්ත දෙකක්. පින්වත මධ්‍යස්ථ ආර්ථිකයකින් පමණක්මයි යහපත් ධර්මයන්ට පණ ලැබෙන්නේ. පින්වත තෘෂ්ණාවට සීමාවක් අවශ්‍යයි. තෘෂ්ණාවට සීමාවක් නොතිබ්බොත් උපාදානයෝ අන්තයටම යන්න යනවා. පින්වත අතීතයේ යම් දවසක අපේ රටේ ආර්ථිකය විවෘත වුණා ද, තෘෂ්ණාව රජ වුණා, උපාදානයෝ සිංහාසනාරූඪ වුණා, මධ්‍යම ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තෘෂ්ණාවේ සිරකරුවෙක් වුණා. පින්වත අතීත දේශපාලන අසත්පුරුෂ ධර්මයන්ට පින් සිද්ධ වෙන්න, වර්තමානයේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේම තෘෂ්ණාවේ සිරකරුවෙක් වෙලා නේද? ගෞරවනීය පින්වත, අවංකව කොතනින් හෝ අපි නැගිටින්න නම්, කරුණාකර තෘෂ්ණාව බිමින් තියන්න. පින්වත තෘෂ්ණාව බිමින් තියන්න නම්, අපි මුලින්ම තෘෂ්ණාව හඳුනගන්න ඕනේ. ඇත්තටම ඔබ තෘෂ්ණාව හඳුනනව ද? තෘෂ්ණාව හඳුන ගන්න නම් ඔබට නෙක්ඛම්මයේ ඇස් තිබෙන්නටම ඕනේ. පින්වත නෙක්ඛම්මයේ ඇස් ලබන්න නම් සම්මා දිට්ඨිය තිබෙන්නට අවශ්‍යයි.
පින්වත මෙය සටහන් තබන භික්ෂුව, පින්වත් ඔබට පූර්වාදර්ශීව අතහැරීම ගැන කියලා දුන්න භික්ෂුවක්. භික්ෂුවට අතීතයේ සිදුවීම් මේ මොහොතේ මතකයට එනවා. භික්ෂුව තුළ අතීතයේ සිතුවිල්ලක් ඇතිවුණා, තවදුරටත් ජීවත් වෙනව ද, අපවත් වෙනව ද කියලා. භික්ෂුව තීරණය කළේ ජීවත් වෙන්නවත්, අපවත් වෙන්නවත් නොවේ. මේ සිතුවිල්ලට මුල් වූ මනෝ සම්ඵස්සය ධම්මානුපස්සනාවෙන් දැකීමටයි. මනෝ සම්ඵස්සය ධම්මානුපස්සනාවෙන් දකිද්දී අධ්‍යාත්මික රූපයේත්, බාහිර රූපයේත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේත් සැබෑ නිරුවතයි භික්ෂුවට අරමුණු වෙන්නේ. පින්වත ජීවත්වීමටත්, අපවත්වීමටත් වඩා මෙම අර්ථයන් දෙක සක්‍රීය කරන ඵස්සයේ අවිද්‍යාව අවබෝධ කොට ගැනීමයි වැදගත් වෙන්නේ. අපි ඵස්සයේ අවිද්‍යාව අවබෝධ නොකොට අපවත් වුණොත් අයෙ ආයෙමත් ඉපදීමත්, අපවත්වීමත් පමණක්මයි සිද්ධ වෙන්නේ. පින්වත් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්න කළා ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ සිවුරු පොරවන්නේ ඇයි කියලා. පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රවකයින් සිවුරු පොරවන්නේ ශරීරයේ ලැජ්ජා, භය ඇති තැන් වසාගෙන අව්, වැසි, පින්නෙන් ආරක්ෂා, වෙලා මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරලා සුවසේ දුකෙන් මිදීමටයි. පින්වත් දරුවනේ අපි පොරවන සිවුර ශාස්තෘන් වහන්සේව ලැජ්ජාවට පත්කිරීම නොවේ. චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවත් කරවීම උදෙසා පමණක්මයි. ඒ වගේම පින්වත් දරුවන් තේරුම් ගතයුතුයි, ඔබලාගේ පින්වත් දෙමාපියන් ඔබලාට ලස්සන, ලස්සන ඇඳුම් පැලඳුම් ගෙනත් දෙන්නේ ඔබලාගේ ශරීරයේ ලැජ්ජා, බිය දැනෙන තැන් වසාගෙන, මහා බ්‍රහ්මයින් වන ඔබලාගේ දෙමාපියන්ට කීකරු වෙලා ඔබලාත් අනාගතයේ ගුණාත්මක මහා බ්‍රහ්මයින් බවට පත්වීමට බව දරුවන් ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පින්වත් දරුවෙනි ඔබ ඉහත අර්ථයෙන් බැහැර වෙලා, ඔබ ලස්සන ලස්සන ඇඳුම් පලඳින්නේ රූපයේ ආස්වාදය, කාමයේ ආස්වාදය උදෙසා පමණක් නම් පින්වත් දරුවන් මොනතරම් වටිනා ලස්සන ඇඳුම් ඇන්දත්, ඔබලා සද්ධර්මයෙන් නිරුවත් දරුවන් වෙනවා.
පින්වත් දරුවෙනි, අනාගතය ඔබගෙයි. ඒ අනාගතය අසත්පුරුෂ ධර්මයෝ වැසි වසින අනාගතයක්. පින්වත් ඔබව ආරක්ෂා කරන්න පින්වත් නායකයෝ, පාලකයෝ නැහැ. ඔබේ ආරක්ෂකයා වියයුත්තේ ඔබමයි. වැඩිහිටියන්ගේ වඳ බැහැපු තෘෂ්ණාව ඉදිරියේ සමාජය නිවැරදි වෙන්නේ නැහැ. පින්වත් දරුවෙනි, ඔබලාගේ අනාගතයට ඔබලාගේ ම කුසල් ධර්මයන්ගේ සරණයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ
October 15, 2023.