පින්වත, පුරා තුන් මාසයක් මහා සංඝරත්නය සිතෙන්, කයෙන් සහ වචනයෙන් එක්තැන් වී සිටි තවත් වස්සානයක අවසාන හෝරා කිහිපයයි මේ ගත වෙන්නේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් විදර්ශනාවේ රස සහ ගුණ තැවරුණ පුණ්‍ය මංගල්‍යයක ගෙවී යන විසිතුරු මතකයන් අනිත්‍ය වූ අතීත පංච උපාදානස්කන්ධයන් යැයි දකිද්දි, තවමත් නොනිමි වස්සානය තුළ නිමි අතීතය ධම්මානුපස්සනාවටම නිකෙලෙස් ආහාරයක් වෙනවා. පින්වත ලෝකයේ නිස්සාර බව දැක යම් ජීවිතයක් නැවතුණොත් එම ජීවිතය තවකෙකු තල්ලු කළත් දුවන්නේ නැහැ. පින්වත ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ ජවයෙන් සංස්කාරයන්ගේ පදමට එහා මෙහා වෙන සතර මහා ධාතුව නමැති ඔබේ රූපය ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් නිතර කලබල කළත් සිත නොකලබල වෙන්න නම් සතර සතිපට්ඨාන ධර්මයන්ටමයි පණ දෙන්න ඕනේ. පින්වත ගෙවීයාමට ආසන්න මේ වස්සානය ඔබේ ජීවිතයෙන් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන්ට පණ දුන්නා ද? පින්වත ඔබේ ජීවිතයෙන් සතර සතිපට්ඨාන ධර්මයන්ට පණ දෙද්දී ඔබේ ජීවිතය සූත්‍රගත ධර්මයක් බවට පත්වෙනවා. එවිට ඔබේ නිහඬ ජීවිතය කියවා බලද්දී සූත්‍රගත ධර්මයක්ම සිහියට නැගෙනවා. පින්වත ගෙවීයන වස්සානයේ දී ඔබේ ජීවිතයෙන් එකම සූත්‍රගත ධර්මයක හෝ අර්ථයක් ඔබ දැක්කා ද? පින්වත ඔබේම පුණ්‍යවන්ත අප්‍රමාදී ජීවිතය තුළින් ඔබට සද්ධර්මය දකින්න, කියවන්න පුළුවන් වෙන්න ඕනේ. පින්වත කොළ, අතු, රිකිළි වගේ නොවේ අරටුව සවියෙන් සහ ගුණයෙන් හුඟාක් වැඩියි. පින්වත අපි හැමෝගේම ඒකායන වීර්යය විදර්ශනා සවියෙන් වැඩි අරටුවම විය යුතුයි. ගෙවී යන “පින්වත් වස්සානය” ඔබ, අපි රැස්කොටගත් කුසල් ශක්තියෙන් ඊළඟ වස්සානය තෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා වේවා!
පින්වත චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා වෙන්න නම්, කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ, තව තව සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. පින්වත ඉහත පූජනීය අර්ථයන් තුන චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා කොටදෙන කුසල් සංස්කාර ධර්මයන්. පින්වත අපි කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබිය යුත්තේ තමන්ගේ ව්‍යාපාරික, දේශපාලන සහ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා නොවේ. ධර්මය, ධර්මය උදෙසාම විය යුතුයි. ධර්මය අධර්මය උදෙසා නොවේ. පින්වත අපි කල්‍යාණමිත්‍ර ධර්මයෝ අධර්මය උදෙසා යොමුකර ගන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය හේතුවෙනුයි. පින්වත හේතුඵල ධර්මයක් පුද්ගල සංඥාවෙන් දකින්න අපි පෙළඹිය යුතු නැහැ. නමුත් ඇලීම්, ගැටීම් හේතුවෙන් සකස්වෙන තෘෂ්ණාව වියරුවක්. තෘෂ්ණාව පසුපස උපාදානයෝ සැඟවී සිටින්නේ අනුනට හොරා උපක්‍රමශීලීභාවයෙන්මයි. පින්වත කල්‍යාණ මිත්‍රයා අවිද්‍යාව මුල්කොටගෙන ලෝකය දකින්නෙක්. ඔහු තමා තුළිනුත්, අනුන් තුළිනුත් ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට මග අවුරන්නෙක් වෙනවා. ඔහු දන්නවා තෘෂ්ණාවට බඩගිනි වෙද්දි කල්‍යාණ මිත්‍රයාවත් ආහාරයට ගන්න පුළුවන් ය කියන අවිද්‍යාවේ සැබෑ හැඩරුව. පින්වත අවිද්‍යාවේ ලෝකය කියන්නේ ලෙහෙසි, පහසු දෙයක් නොවේ. වර්තමාන අවිද්‍යාවේ ලෝකය තුළ පටිච්චසමුප්පන්නව කල්ප ගාණක දුරක් සැඟවී තිබෙන්න පුළුවන්. අජාසත්ත රජතුමා රජකම් කළත්, එම ජීවිතය තුළ ආනන්තරිය පාපකර්මයට අදාළ පටිච්චසමුප්පන්න කල්ප ගාණක නියත දුකක් සැඟවී තිබුණා. පින්වත ලෞකික සැපය උදෙසා තෘෂ්ණාව තිබිය යුතුයි. එහෙත් තෘෂ්ණාවේ සීමාව තීරණය කළයුත්තේ අවිද්‍යාවේ පංච නීවරණ නොවේ. අවිද්‍යාවේම රුවගුණ තැවරුණ සති සම්බොජ්ඣඬ්ගයෝ විසින්ම ය. පින්වත චතුරාර්ය සත්‍යය ධර්මයන් යැයි කියන්නේත්, කල්‍යාණ මිත්‍රයා කියන්නේත් එකම අර්ථයක්මයි. මේ උතුම් අර්ථය අපි ආරක්ෂාකොට ගතයුත්තේ අපේම තෘෂ්ණාවෙන්මයි.
පින්වත ඔබ ලස්සන වෙන්න කැමති ද? ලස්සන වෙන්න හැමෝටම බැහැ. ලස්සන වෙන්න ධර්මානුකූල අර්ථයක් තිබෙනවා. පින්වත ඔබ සිතුවොත් ඔබේ රූපය ලස්සනයි කියලා, සැබවින්ම ඒ ලස්සන මොන ලස්සනක් ද? පින්වත මේ මනුෂ්‍ය ලෝකයේ ලස්සන රූපයක් ලබන උත්තමයින් දෙදෙනෙක් සිටිනවා. ඒ උත්තමයින් දෙදෙනා තමයි ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සහ සක්විති රජතුමා යැයි කියන්නේ. උන්වහන්සේලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලබනවා. පින්වත අතීත දශපාරමී කුසල් ශක්තිය නිසාම බුදුරජාණන් වහන්සේගේ රූපය රන්වන් පැහැයෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ රන්වන් පැහැ රූපයටත්, රූපයේ කෙටි ආශ්වාදය පොදුයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ රන්වන් පැහැ රූපය, රූපයේ ආදීනවයන් වන ජාති, ජරා, ව්‍යාධි ධර්මයන්ටත් පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුදුරජාණන් වහන්සේලාට රන්වන් පැහැ රූපයක් ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි කියලා. පින්වත බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව අවධියේදි යමෙකුට යම් ඇඳුම්, සළුපිළි, ඇතිරිලි, බුමුතුරුණු දන් දුන්නා නම් ඉතාමත් සියුම්, සිනිඳු, මටසිළුටු සළුපිළිමයි, ඇතිරිලිමයි, බුමුතුරුණුමයි දන් දුන්නේ, මනා පැහැයෙන් යුත් සළුපිළිමයි දන් දුන්නේ. දුර්වර්ණ දෙය දුන්නේ නැහැ. ඒ විතරක් නොවේ දෙන දෙය පිරී ඉතිරී යන්නම දන් දුන්නා. පින්වත බුදුරජාණන් වහන්සේ රන්වන් පැහැ රූපයක් ලැබුවේ රන් වගේම විසිතුරු පැහැයෙන් යුත් දෙය දන් දුන්න නිසාමයි. පින්වත අපේ රූපයන්ගේ මොන රන්වන් පැහැයක් ද? පින්වත අපි දෙන්න කැමති නැහැ. අපි ගන්න විතරයි කැමති. අපි යමක් දුන්නත් ඊට වැඩි කෙලෙස් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නොවේ දෙනවා ය කියලා පෙන්නුවාට අපි කරන්නේ පෙරළා ගැනීමක්මයි. පින්වත ඒ නිසා ම අපේ රූප දවසින් දවස අවපැහැ වෙනවා. අපේ රූපය ආරණවා, නෙරනවා, විකෘති වෙනවා, අවලස්සන වෙනවා. පින්වත මේවා සුන්දර හේතුඵල ධර්මයන්. පින්වත අපේ නොමනා ගති පැවතුම් අපිව අවලස්සන කරද්දි, උතුම් බුදුරජාණන් වහන්සේගේ දශපාරමී පුණ්‍ය ශක්තියට, උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අපි ගරු කරන්න ඕනේ. මේ උතුම් ධර්මයෝ සමාජයට අපි කියලා දෙන්න ඕනේ. පින්වත් ඔබත් භව ගමනේ ලෞකික කාම සැපයන් බලාපොරොත්තු වෙනවා නම්, රන්වන් පැහැ සිරුරක් බලාපොරොත්තු වෙනවා නම් සියුම්, සිනිඳු, මටසිළුටු සළුපිළි, බුමුතුරුණු, ඇතිරිලිම දන් දෙන්න. පිරී ඉතිරී යන්නම දන් දෙන්න. මේවා ලබන අය ගැන ඔබ සිතන්න අවශ්‍ය නැහැ. ලෝකය සුගතියත්, දුගතියත් අතර දෝලනය වෙමින් තව කල්ප කෝටි ගාණක් පටිච්චසමුප්පන්නව ඈතට ගලාගෙන යනවා. පින්වත ලෝකය ගොඩනගන සහ නිරෝධය කරන දෙපාර්ශ්වයටම විවෘතයි. පින්වත විවේචන පසෙක තබා ඔබ කැමති දෙය තෝරා ගන්න. මිථ්‍යාදෘෂ්ටිය ඔඩුදුවන සමාජයක ඔබේ වගකීම වියයුත්තේ අධර්මයට බියවීම නොවේ, උතුම් ධර්මය නිවැරදිව සමාජගත කිරීමයි. පින්වත කර්මය කර්මඵලය විශ්වාස නොකිරීම සහ මේ උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් විවේචනය කිරීම මිථ්‍යාදෘෂ්ටියේ ප්‍රධාන ලක්ෂණයයි.
පින්වත මේ දවස්වල පිණ්ඩපාත මඩුවට දෙමාපියන් සමග පුංචි දරුවන් ගොඩාක් පැමිණෙනවා. මේ සෑම දරුවෙක්ගේම එකිනෙකට වෙනස් හැසිරීම් භික්ෂුව දකිනවා. මේ සෑම විවිධත්වයෙන් යුත් දරුවන්ගේ හැසිරීම් අයිති වෙන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයටයි. සමහර පුංචි දරුවෝ දෙමාපියන්ටත් වඩා උද්‍යෝගයෙන් පිණ්ඩපාතය බෙදනවා. සමහර දරුවෝ එක හැන්දක් බෙදලා සෑහීමකට පත්වෙන්නේ නැහැ. එයාට තවත් බෙදන්න ඕනේ. පින්වත මෙවැනි දරුවන් තුළින් භික්ෂුව දකින්නේ පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේ දී හොඳින් දානය පූජා කිරීමේ පුහුණුවයි. සමහර පින්වත් දරුවන් සිටිනවා දෙමාපියන් බල කළත් දානය පූජා කරන්නේ නැහැ. එවැනි දරුවන් තුළින් පෙර ජීවිතයේ දානය පූජා කිරීමේ දුර්වලභාවයන් දකින්න පුළුවන්. දෙමාපියන් දක්ෂ වියයුතුයි දන් පූජා කිරීමට අකමැති තම පින්වත් දරුවන්ට හේතුඵල දකිමින් උපකාර කරන්න. එය එසේ නොවුණොත් එම දානයේ දුර්වලභාවය දරුවාගේ අනාගත වර්ණය, සැපය, බලයට අවහිරයක් වෙන්න පුළුවන්. ඔබේ පින්වත් දරුවාගේ අනාගත වර්ණය, සැපය, බලය උදෙසා වර්තමානයේ ඔබේ නිවැරදි ආයෝජනය වියයුත්තේ තම දරුවා දන්දීම උදෙසා අර්ථවත්ව යොමු කිරීමයි. පින්වත පසුගිය දවසක පිණ්ඩපාත මඩුවට පැමිණි වයස අවුරුදු හතරක පමණ දරුවෙක් බොහෝම ප්‍රියමනාපව දානය බෙදලා භික්ෂුවගේ මුහුණ දෙස එක එල්ලේම බලාගෙන සිටියා. එයා භික්ෂුව අසලින් යන්නම කැමති වුණේ නැහැ. භික්ෂුව එම දරුවා තුළින් තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයමයි දැක්කේ. පින්වත මේ ජීවිතයේ දී පරම්පරාව, පෙළපත වෙනස් වුණත් මකන්න බැරි පටිච්චසමුප්පන්න බැඳීම් අපි එකිනෙකා තුළ නොමැකී තවමත් තිබෙන්නට පුළුවන්. පින්වත පරම්පරාව වෙනස් වුණත් වර්තමානයේ අතීත පටිච්චසමුප්පන්න උපාදානයෝ මතකයට එනවා. පින්වත සම්මා දිට්ඨියේ අර්ථයන් ඉදිරියේ ලෝකය භවයෙන් භවය පටිච්චසමුප්පන්නව පරම්පරාව, පෙළපත සංස්කාරයන්ට අදාළව වෙනස්කොට ගන්නා එකම පවුලක් යැයි කීවොත් එය වරදක් නැහැ.
පින්වත උදෑසන පිණ්ඩපාත මඩුවට රෝගී ළමා, තරුණ, වැඩිහිටි පින්වතුන්ලාගේ පැමිණීමේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතිනවා. සමහර පින්වතුන්ලාට මානසික රෝග, තවත් පින්වතුන්ලාට කායික රෝග. හැමෝම බලාපොරොත්තු වෙන්නේ නිරෝගීභාවයක්. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ට රෝග සුව කරන්න බැහැ. කායික සහ මානසික සුවයක් නොමැති ලෝකයෙන් නිදහස් වෙන මාර්ගයයි අපි සාමීචිපටිපන්න ගුණයෙන් සමාජගත කරන්නේ. අකුසල් අවමකොටගෙන ලෞකික සැපයට මාර්ගයයි අපි දේශනා කරන්නේ. පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආගම් භේදයකින් තොරව සියළුම සත්ත්වයා කර්මය දායාද කොටගෙන, කර්මය ඥාතියා කොටගෙන උපදිනවාය කියලා. පින්වත අපි නිරෝගී වුවත්, අපි රෝගී වුවත්, අපෙන් කාටවත් වරදක් හෝ අසාධාරණයක් වෙලා නැහැ. අපි අපේම අතීත යහපත් සහ අයහපත් කර්මයන් අපි භුක්ති විඳිනවා. පින්වත අවිද්‍යාවේ ජවයෙන් තිරිහන් වෙන සංස්කාර ලෝකය අකුරට නිවැරදි ගමනක් යන්නේ. පින්වත ලෝකය ඔබට පීඩාවක් නම් කරුණාකර මුල, මැද, අග නිවැරදිව දේශනාකොට ඇති ධර්මයට එන්න. පින්වත මුල අවිද්‍යාවයි. මැද ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීමයි. පින්වත අග වෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයි. මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය සක්‍රීයවෙන තාක්කල් රෝගීභාවයත්, නිරෝගීභාවයත් ලෝකයට පොදු ධර්මතාවයක්මයි.
පින්වත ඉහත ඇත්ත ධර්මානුකූලව තේරුම් ගත්තා ය කියලා පින්වත් ඔබටත්, සංඝයා වන අපිටත් මේ ප්‍රශ්නයට පුංචි හෝ සාර්ථක පිළියමක් සොයා ගන්න බැහැ. පින්වත පක්ෂ දේශපාලනය කුමක් වුවත් රටේ පාලක පින්වතුන්ලායි, සත්ත්වයා කර්මය දායාද කොටගෙන උපදියි කියන සත්‍යය පිළිගන්න ඕනේ. අපේ රටේ පින්වත් පාලක පින්වතුන්ලා ඉහත සත්‍යය ධර්මානුකූලව පිළිගන්නේ නැහැ. ඒ නිසාම පින්වත් මනුෂ්‍ය ප්‍රජාවම අකුසලයෙන් අකුසලය දිශාවටම මෙහෙය වනවා. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කුසලයෙනුයි අකුසලය යටපත් කිරීමට මාර්ගය කියන්නේ. නමුත් රටේ අකාරුණික දේශපාලනය කුමක් ද මේ කරන්නේ? බල කාමය සහ කපටි වංචක ධර්මයන් උපයෝගී කොටගෙන සමස්ත සමාජයටම වෛරය, ක්‍රෝධය, පළිගැනීම, පංච නීවරණයෝම යළි යළිත් උගන්වනවා. සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා මේ වියරු ධර්මයෝ ජීවිතගත කරගන්නා අහිසංක ජනතාවට කාගේ පිහිටක් ද? අවසානයේ අපිට ඉතිරි වෙන්නේ අසත්පුරුෂභාවයෙන් විකෘති වූ දේශපාලනයක් සහ කර්ම රෝගයන්ගෙන් පීඩිත ගිහි සහ පැවිදි සමාජයක දුක් සහ කඳුළු පමණක්ම ය. පින්වත සම්මා දිට්ඨියේ ඇස් ඇත්තෝ ධර්මය වෙනුවෙන් අවදි වේවා!
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ
උපුටා ගැනීම – 2023 ඔක්තෝබර් 29 වන ඉරුදින දිවයින පුවත්පත.