දිනුම සහ පැරදුම, බිදෙන විසිරෙන අනිත්‍ය වු සංස්කාරයක්.

පින්වත, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට වැස්සේ ඉවරයක් නම් නැහැ. දිගටම කඩින් කඩ වහිනවා. පසුගිය කාලයේ නියඟයට බැන්න පින්වත් මනුෂ්‍යයෝ වර්තමානයේ වැස්සට බනිනවා. පින්වත මේ ලෝකයේ බැනුම් නාහන ධර්මතාවයක් නැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පින්වත මේ ලෝක ධාතුවේ උත්තරීතරම අර්ථය වන උතුම් බුදුරජාණන් වහන්සේ සහ උතුම් ධර්ම රත්නයත් අසත්පුරුෂ ලෝකයාගෙන් බැනුම් අහනවා. පින්වත ලෝකය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත කුසල් සහ අකුසල් සංස්කාරයන් කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය පටිච්චසමුප්පන්නව ගලාගෙන යනවා. පින්වත කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයකින් අප කෙසේ නම් නොකැඩෙන, නොබිඳෙන, නොවිසිරෙන හොඳක්, යහපතක්, පැසසුමක් බලාපොරොත්තු වෙන්න ද? පින්වත සංස්කාර ලෝකය හරිම සාධාරණයි. පින්වත් ඔබ සංස්කාර ලෝකයෙන් හොඳ, යහපත සහ පැසසුම් පමණක් බලාපොරොත්තු වෙලා ලෝකයට අසාධාරණයක් කරන්න එපා. පින්වත ලෝකය තිබෙන්නේ දිනන්න හෝ පරදින්න නොවේ. ලෝකය තිබෙන්නේ දිනුම සහ පැරදුම යන දෙකම කැඩෙන, බිඳෙන, විසිරෙන අනිත්‍ය වූ සංස්කාරයක් යැයි අවබෝධකොට ගන්නයි.

පින්වත අවිද්‍යාව උදෑසනින්ම මුහුණ හෝදන්න කැමති පංච නීවරණ වතුරෙන්මයි. ඒ නිසාම අපි දවස පටන් ගන්නේ නොකැඩෙන බලාපොරොත්තු මුල්කොට ගෙනමයි. පින්වත උදෑසනම සති සම්බොජ්ඣඬ්ගයෙන් මුහුණ සෝදන්න. එවිට කැඩෙන, බිඳෙන ලෝකය ඉදිරියේ ඔබට ධම්ම විචය බොජ්ඣඬ්ගයක්ම මතුකොට ගන්න පුළුවන්.

පින්වත සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට තිබෙන ආදරය සඟවාගෙනයි ජීවත් වෙන්නේ. මේ නිසාම දරුවන් සිතනවා, දෙමාපියන් තමන්ට ආදරේ නැහැයි කියලා. මෙම සටහන කියවන පින්වත් දරුවනි, ඔබටත් එවැනි සිතුවිලි ඇතිවෙලා තිබෙනවා ද? පින්වත දෙමාපියන්ගේ ආදරය දරුවන් උදෙසා පිරී ඉතිරී යන්න තිබුණත්, දෙමාපියන් එම ආදරය නොපෙන්වා ජීවත් වෙන්නේ දෙමාපියන්ගේ ආදරය ලබන්න දරුවන් සතු සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසාමයි. ඒ වගේමයි පෙරළා දරුවන්ගේ ආදරය ලැබීමට දෙමාපියන් සතු සංස්කාරයන්ගේ දුර්වලභාවය නිසාමයි. පින්වත මේ අවාසනාවන්ත සංස්කාර ගනුදෙනුව නිසාම දෙමාපියන් සහ දරුවන් අතර මතභේද, අසමගිය ඇති වෙනවා. තරුණ දරුවන් නොමගට යන්න එයම හේතුවක් වෙන්න පුළුවන්. පින්වත සංස්කාර පච්චයා විඤ්ඤාණං. පින්වත සංස්කාරයන්මයි අපේ දැනීම් වලට මුල් වෙන්නේ. පින්වත් දෙමාපියනි සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය හෙවත් දැනීම් යනු මැජික්කරුවෙක්. මේ මැජික්කරුවා තමාව උපයෝගී කොටගන්නේ පෙරළා සංස්කාරයන්ගේ පෝෂණය උදෙසාමයි. පින්වත් දෙමාපියනි ඔබලාගේ ආදරය දරුවන්ගෙන් සඟවාගෙන ජීවත් වෙන්න එපා. ඔබලාගේ ආදරය සීමාව ඉක්මවා දරුවන්ට පෙන්වන්නත් එපා. පින්වත අඩු සහ වැඩි දෙකම පෙරළා සංස්කාරයන්ට හොඳ ගොදුරක් වෙනවා.

පින්වත අඩු සහ වැඩි අන්ත දෙකෙන් බැහැර වෙලා දෙමාපියන් මධ්‍යම ප්‍රතිපදාවට එන්න. දරුවන් ඉදිරියේ දෙමාපියන් ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, සතියෙන් පූර්වාදර්ශී වෙන්න. දරුවන් උදෙසා වියයුතු දෙමාපියන්ගේ යුතුකම් ශක්ති පමණින් ඉටු කරන්න. පින්වත ඉහත කුසල් ධර්මයෝ ම අකුසල් යටපත්කොට දෙමාපිය, දූදරු සමගියට ශක්තියක් වෙනවා. දෙමාපියන් දරුවන්ට සැකය සහ විචිකිච්චාවක් නොව ප්‍රීතියක් සහ පස්සද්ධියක්ම විය යුතුයි. පින්වත විපාකයන්ට කළඑළි බසින අකුසල් ඉදිරියේ මැජික්කාර විඤ්ඤාණයට ආහාර දෙන්න එපා. සමාජය තුළ අප දකින සංස්කාර විවිධත්වය දෙස අනුවණින් බලන්නත් එපා. ඔබේ සංස්කාර ඔබේ ම සැපය සහ දුකයි. අනුන්ගේ සංස්කාර ඔවුනගේ සැපය සහ දුකයි. පින්වත විවිධ වූ සංස්කාර ලෝකය යනු අවිද්‍යාව කිරුළු දරණ රාජධානියයි. අපි ඒ රාජධානියේ යාවජීව සිරකරුවෝය.

පින්වත පසුගිය දිනක උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට අහිංසක අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. වයස අවුරුදු තුනක පමණ පුංචි පිරිමි දරුවෙක් තම දෙමාපියන් සමග දානය හැන්දක් පාත්‍රයට පූජා කරලා භික්ෂුව ඉදිරියේ දෑත් එකතු කොටගෙන වන්දනා කළා. භික්ෂුව එම පුංචි දරුවාට පුතේ සුවපත් වේවා, දීර්ඝායු සැලසේවා, ඔයාගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා යැයි කියලා මෙත් සිතින් ආශීර්වාද කළා. භික්ෂුවගේ ආශීර්වාදය ඉදිරියේ නොසෙල්වී එක එල්ලේම භික්ෂුවගේ මුහුණ දෙස ගෞරවනීය හැඟීමෙන් බලා සිටි මේ පුංචි දරුවා එක ක්ෂණයකින්ම එකතු කොටගෙන සිටි දෑත් දික් කොටගෙන භික්ෂුවට තොත්තුවක් දෙන්න උත්සාහ කළා. භික්ෂුව වහාම දරුවාගේ අහිංසක බැඳීම වළක්වා පුංචි දරුවාට අවවාද කළා පුතේ, ස්වාමීන් වහන්සේලාට තොත්තු දෙන්න හොඳ නැහැ. අම්මා, තාත්තලාට තමයි තොත්තු දෙන්නේ කියලා. පුංචි දරුවාගේ දෙමාපියන්ට දැනුම් දුන්නා දරුවාට ඒ ගැන කියලා දෙන්න කියලා.

පින්වත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී අන්‍ය ආගමික පින්වතුන් බුදුරජාණන් වහන්සේට ලොකු චෝදනාවක් සිදු කළා. එම බරපතළ චෝදනාව තමයි බුදුරජාණන් වහන්සේ සතුව බලගතු මායාකාරී වශියක් තිබෙනවාය කියලා. එම මායාකාරී වශිය උපයෝගී කොටගෙන බුදුරජාණන් වහන්සේ රජවරු, සිටුවරු සහ ජනතාව තම වසඟයට පත්කොට ගන්නවාය, තම පිරිවර බවට පත්කොට ගන්නවාය කියලා. පින්වත වර්තමානයේ මෙම සටහන් තබන භික්ෂුව අත්දැකීමෙන් ම දන්නවා බුදුරජාණන් වහන්සේට අන්‍ය ආගමික පින්වතුන් චෝදනා කළ එම බලගතු මායාකාරී වශිය යනු බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශීලයෙන්, ආර්ය සමාධියෙන්, ආර්ය ප්‍රඥාවෙන්, ආර්ය ඥාන දර්ශනයන්ගෙන්, ආර්ය විමුක්තියෙන් පෝෂණය වුණා වූ, මහා කරුණා ගුණයෙන් තෙත් වුණා වූ ප්‍රිය වචනයම පමණක් යැයි කියලා. පින්වත ශාස්තෘන් වහන්සේ සතු මේ උතුම් ගුණයන් මහා සාගරයේ ජල කඳ වගේමයි. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අපි තුළත් මේ උතුම් ගුණයන් මහා සාගරයේ එක ජල බිඳක් පමණවත් තිබෙන්නට ඕනේ. එවිටයි මේ උතුම් ශාස්තෘ ධර්මය ඕපනයික ගුණයෙන් අපේ ජීවිත වලට බද්ධ වුණා වෙන්නේ. මේ බද්ධවීම තුළයි ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ තව තවත් දීර්ඝායුෂ ලබන්නේ. ගෞරවනීය පින්වත ඕපනයික ගුණයෙන් ධර්මය ජීවිතයට එකතුකොට ගන්න. එවිට ඔබේ ජීවිතයත්, සූත්‍රගත ධර්මයත් යනු දෙකක් නොව, එකම අත්දැකීමක් වෙනවා. එක ධර්මයක් වෙනවා.

පින්වත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් පටිච්චසමුප්පාද ධර්මයන් නොදන්නා කමින් සත්ත්වයා පැටළුන නූල් බෝලයක් සේ අවුල් වෙලාය කියලා. පින්වත මේ අවුල අපි සතුටින් පිළිගන්නවා. මේ අවුල තුළ අපි සතුටින් බැසගෙන සිටිනවා. මේ අවුල අපි යළි සතුටින් නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. පින්වත කුමක් ද මේ නොලිහුන අවුල? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, පංච උපාදානස්කන්ධ දුක. පින්වත පටිච්චසමුප්පාද ධර්මයෝ නොදන්නා නිසාම අපි ජීවිතය කොටගෙන සිටින්නේ ඉහත අවුලම නේ ද? පින්වත අනාගතය උදෙසා ඔබ ප්‍රාර්ථනා කරන්නේත් මේ අවුලම නේ ද? පින්වත අද දවස සුන්දර ඉරිදා සති අන්ත නිවාඩු දිනයක්. අද දවසේ පූජනීය ස්වර්ණමාලී මහ සෑ සමිඳුන් වහන්සේ සිහියට නගා ගන්නකෝ. මේ පූජනීය සෑ සමිඳුන්ට අද දවසේ පිරී ඉතිරී යන්න පූජා කරන සෑම ආමිස පූජාවකම සැඟවුණ අර්ථය, මේ අවුල යළි යළිත් ප්‍රාර්ථනා කිරීම ම නේ ද? පටිච්චසමුප්පාදය නොදත් සක්විති රජතුමාත්, සුජම්පතියත්, ප්‍රභූ ධනවත් මහේශාක්‍ය පින්වතුනුත් මේ අවුල තුළම නේ ද ජීවත් වෙන්නේ. අවුල සතුටින් ප්‍රාර්ථනා කරමින් අවුලේ නිරෝධය ගැනත් සිතන අපි, අපේ නිරෝධයට ඇති කැමැත්තත් තවත් අවුලක් බවට ම නේ ද පත්කොට ගන්නේ? මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංච උපාදානස්කන්ධයට සිත යොමුකොට දකිනවා, පටිච්චසමුප්පන්නව භික්ෂුව සතර අපාය මහ ගෙදරක් බවට පත් කළෙත්, සුගතිය කෙටිකාලීන කුලී නිවසක් බවට පත් කළෙත් මේ අවුල ම නේ ද? පින්වත මේ කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය මේ අවුලට උත්තේජනය සපයද්දී, ඵස්සය තුළ බැසගත්ත අවිද්‍යාව, ඵස්සය යටත් කොටගත් පටිච්චසමුප්පන්න විඤ්ඤාණය යළි යළිත් මේ අවුල ම නේ ද තව තවත් අවුල්කොට දෙන්නේ? පින්වත සක්කාය දිට්ඨිය නොසිඳි සත්ත්වයාට කාම ලෝකය කියන්නේ තරු පහේ හෝටලයක් වගෙයි. තරු පහේ සැපයන්ට මොන කෙලෙස් ධර්මයෝ ද අකමැති වෙන්නේ? පින්වත තරු පහේ සැපය දකින පින්වතා නිවන දකින්නේ වැස්සෙන්, පින්නෙන් පීඩා දෙන අගුපිලක් වගේම අකමැත්තෙන්.

පින්වත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ කාමච්ඡන්දයෝ පිනවීම නොවේ. කාමච්ඡන්දයන් පංච නීවරණ ධර්මයන්ගේ අංක එකේ කොටස්කරුවායි. පින්වත කාමච්ඡන්දයන් යැයි කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා ස්වාමීන් වහන්ස, වස් තුන් මාසයේ තමන් ඇතෙක් බරට පින්කම් සිදුකොට ගත්තාය කියලා. මෙම පින්වත් මහත්මයා දෙස සිහි නුවණින් බලද්දී, මාන්නය ඉහළ ගිය වර්ණය, සැපය, බලයක් භික්ෂුව දැක්කා. භික්ෂුවත් ඇතෙක් බරටම පින් අනුමෝදන් කරලා, මේ පින්වතාව පිටත් කළා. පින්වත අපි ඇතෙක් බරට පින්කම් සිදුකරද්දී, අපි සක්කාය දිට්ඨියේ බරට පටිච්චසමුප්පාද නූල් බෝලය පටලවා ගන්න නරකයි. පින්වත බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්තෘන් වහන්සේ නමක් නැහැ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තරම් සියළු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, ආශ්වාද රහිතයි යැයි කියූ ශාස්තෘන් වහන්සේ නමකුත් මේ ලෝක ධාතුවේ නැහැ. පින්වත කුසල් වේවා, අකුසල් වේවා මේ දෙකම ලෝකයයි. මේ දෙබිඩි ලෝකයේ එකම අර්ථය යනු කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත මේ ලෝක අර්ථයන් ගැන සිතලා නම් ඉවරයක් කරන්න බැහැ. එක සිතුවිල්ලක් සිතුවොත් තවත් විතර්කයක් පැමිණ මුල් සිතුවිල්ල කැඩී, බිඳී, විසිරී යනවා. පින්වත ඔබේ සිතුවිලි, ලෝකය නමැති අවිද්‍යාව ළඟ නොව, ලෝකය මකන චිත්තානුපස්සනාව ළඟ විලංගු දමා ගන්න.

පින්වත උසස් පෙළ අධ්‍යාපනය හොඳින් හමාර කළ පින්වත් දියණියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මම උසස් පෙළ හොඳින් සමත් වුවත් ඉන් එහා උසස් අධ්‍යාපනයක් හෝ රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැය කියලා. පින්වත වර්තමානයේ කෙලෙස් බහුල සමාජයට මේ දියණියගේ කතාව ආගන්තුක කතාවක්. භික්ෂුව ඇයට පැහැදිලි කොටදුන්නේ ඔබ උසස් අධ්‍යාපනයට නොගියොත්, හොඳ රැකියාවක් නොකළොත් එය ඔබේ අනාගත විවාහයට බාධාවක් වේවි කියලා. මොක ද වර්තමානයේ මනාලියකගේ ප්‍රධාන සුදුසුකම් හැටියට නැන්දා, මාමලා සොයන්නේ දෑවැද්ද සහ ඇයගේ මාසික වැටුපයි. භික්ෂුව ඇයගේ දෙමාපියන් ඉදිරියේ ඉහත පැහැදිලි කිරීම සිදුකරද්දී ඇයගේ අධිෂ්ඨානශීලී ප්‍රතිචාරය වුණේ අනාගතයේ විවාහයක් තුළින් තමන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, රැකවරණය මිස, දෑවැද්ද සහ ආදායම සමග කරන ගනුදෙනුවක් නොවේය කියලා. පින්වත භික්ෂුව ඉන් එහාට එම දරුවාට මුකුත්ම කියන්න ගියේ නැහැ. භික්ෂුවට මුකුත්ම කියන්න බැහැ. භික්ෂුවගේ අම්මාත් හොඳ ගෘහිණියක්. ඇයත් රැකියාවකට යොමු වුණා නම් භික්ෂුවත් යහපත් ගිහියෙක් මිස, මෙවන් භික්ෂුවක් නොවෙන්න හොඳටෝම ඉඩ තිබුණා. පින්වත ලෝකය සංස්කාර මංපෙත් ඔස්සේ අකුරටම ඉලක්කගත ගමනකයි යන්නේ. පින්වත ධනය මුල් වූ තැන, එතැන කළඑළි බහින්නේ කාමච්ඡන්දයෝ මයි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023 නොවැම්බර් මස 05 වන ඉරුදින දිවයින පුවත්පත