පින්වත කුමන අසනීපයකට බෙහෙත් තිබුණත් අනුවණකමට නම් බෙහෙත් නැහැ. මොක ද අනුවණකම කියන්නේ අසනීපයක් නොවන නිසා. පින්වත මෝඩකම, අනුවණකම කියන්නේ හේතුඵල ධර්මයක්. මෙතරම් දැනුමෙන්, බුද්ධියෙන්, දියුණු ලෝකයක අපි අනුවණකම් දැන දැනම සිදුකරන්නේ, අනුවණ විදියට හැසිරෙන්නේ, අනුවණ කතා කියන්නේ අපි මේ ජීවිතයේ දී හෝ පටිච්චසමුප්පන්න පෙර ජීවිතවල දී උතුම් සද්ධර්මය හාස්‍යයට ලක්කිරීම, ධර්මය අධර්මය කිරීම, විනය අවිනය කිරීම වැනි පාපකාරී ක්‍රියාවන් නිසාමයි. පින්වත උතුම් සද්ධර්මය හාස්‍යයට ලක් කරන්න එපා. උතුම් තෙරුවන්ට අගෞරව කරන්න එපා. ඔබ දැන දැනම තෙරුවන්ට අගෞරව කළොත් ඔබේ නුවණැතිභාවය මැරී ගිහිල්ලා අන්ත මෝඩයින් ලෙස සමාජය ඉදිරියේ හැසිරීමට පෙළඹේවි. පින්වත අනුවණභාවය නිසා ම සමාජගතවෙන සෑම ප්‍රශ්නයක්ම අපි ප්‍රශ්න වැලක් බවට පත්කොට ගන්නේ තෙරුවන්ට අගෞරව කිරීමේ අකුසල් විපාකයන් නිසාමයි. පින්වත අතීතයේ මහා සංඝරත්නයට සාංඝිකව පූජා කළ උතුරු, නැගෙනහිර බෞද්ධ පූජනීය ස්ථාන වර්තමානයේ පටු දේශපාලන හේතූන් මත අන්‍ය ආගමික අන්තවාදී පින්වතුන්ලාට පවරනවා යැයි කියන්නේ සත්‍ය වශයෙන්ම බරපතළ සාංඝික දේපළ සොරකමක්. පින්වත රාජ්‍යයේ භාරකරුවන් වන රාජ්‍ය නායක පින්වතුන් පවා සාංඝික දේපළ සොරකම් කිරීමට පෙළඹෙනවා නම්, හෙට දවසේ අපි ඉදිරියට පැමිණෙන විපාකයන් කිනම් වියරුවක් වේවි ද?
පින්වත සියළු සොරකම්වල විපාකයන් ඉක්මවා යන සොරකම සාංඝික දේපළ සොරකමයි. සාංඝික දේපළ සොරකමේ විපාකයන්ට පුළුවන් ඔබේ ලෞකික ප්‍රඥාවේ කිරුළ උදුරාගෙන අනුවණකම් කිරුළ ඔබට පළන්දන්න. පින්වත මහා සංඝරත්නය තම පන්සලේ, ආරණ්‍යයේ විදුලි බිල ගෙවද්දී, දුරකථන, වතුර බිල ගෙවද්දී රාජ්‍ය භාණ්ඩාගාරයට බදු මුදල් දෙනවා. වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනය මුල්කොටගෙන දිනකට රුපියල් කෝටි ගණනක වෙළඳපොළක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. පින්වත් ඔබ සංඝ සමාජයට පූජා කිරීම උදෙසා අටපිරිකරක්, චීවරයක් හෝ සිවුපසයට අවශ්‍ය පූජාවක් මිල දී ගැනීමේ දී දිනකට මොනතරම් නම් ධනයක් පින්වත් ජනතාව නිසා රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙනවා ද? පින්වත් යමෙක් සිල්වතුන්ගෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබෙන ධනය දූෂණයෙන්, වංචාවෙන් සොරකම් කරයි ද, පින්වත ඒවායේ අකුසල් විපාකයන් දෙවියන්ගේ හාල් කෑවා වගේම වෙනවා. පින්වත ධර්මය ඒහිපස්සිකයි. දෑස් විවෘතකොට සමාජය දෙස බලන්න. සත්‍යකින්ම දෙවියන්ගේ හාල් කැවුණ දේශපාලන ලෝකයක් නේද අපිට තිබෙන්නේ? පින්වත අපේ වංකකම්වලට කරන්න පුළුවන් අපේම පිරිහීමට, විනාශයට පාර කපා ගැනීම පමණක්මයි. එහෙත් අකුසල් නිසාම නුවණ මැරුණ පින්වත් ඇත්තෝ මේ ධර්මයේ ඇත්ත කෙසේ නම් දකින්න ද? පින්වත සාංඝික දේපළ සොරකමට අදාළ අකුසල් වලට පුළුවන් නුවණ මරා දමලා අනුවණකම රජ කරවන්න. පින්වත භික්ෂුව මේ සටහන් තබන්නේ කාගේවත් වරදක් නොවේ, තවමත් ජීවමාන උතුම් සම්මා දිට්ඨියේ වටිනාකමයි. පින්වත අපි ජීවත් වෙන්නේ වරදක් හෝ වරදකරුවෙක් නැති පංච උපාදානස්කන්ධ ලෝකයක. පින්වත අවිද්‍යාව මුල්වුණ තැන අවසානය දක්වාම තිබෙන්නේ හේතුඵල ධර්මයන් පමණක්මයි.
පින්වත කුසල් හෝ අකුසල් සංස්කාරයන්ගේ විපාකයන්ගෙන් බේරෙන්න අපිට බැහැ. සංස්කාර හේතුවෙන්ම සකස්වෙන මායාකාරී විඤ්ඤාණය අපිට පාර කියනවා. අපි සියල්ලෝම අවිද්‍යාවේ නූලෙන් නැටවෙන සංස්කාර රූකඩමයි. පින්වත සංස්කාර ඇස්බැන්දුමෙන් තිරිහන්වෙන විඤ්ඤාණයේ මායාවට තවදුරටත් ඇස් දෙන්න එපා. තමාගේම සම්මා දිට්ඨිය සිඟාකද්දී, තමාගේම මිථ්‍යාදෘෂ්ටියට ප්‍රණීත භෝජන දෙන්න එපා. පින්වත බොරුව වැඩි සමාජයක තවදුරටත් ඔබ මැරි, මැරී ජීවත්වීම නොවේ කළයුත්තේ. ජීවිතයටත්, මරණයටත් වටිනාකමක් දීමයි ඔබ කළයුත්තේ. පින්වත අකුසලය විසින් ගිලගත්ත වර්තමාන සමාජය දිනන්න ක්‍රම දෙකක් තිබෙනවා. ඕනෑම වියරු සමාජයක් ඔබට මෛත්‍රී සංඥාවෙන් හෝ විදර්ශනා සංඥාවෙන් දිනන්න පුළුවන්. මෛත්‍රී සංඥාවෙන් දිනාගන්නා ලෝකය ලෞකික සැපයට මාර්ගය වෙනවා. විදර්ශනා සංඥාවෙන් දිනාගන්නා ලෝකය භව නිරෝධයට මාර්ගය වෙනවා. පින්වත සංස්කාර ඉන්ධන වලින් දුවන ලෝකය තුළ ජය සහ පරාජය ස්ථිර නැහැ. පරාජයමයි ජයග්‍රහණයක අවශ්‍යතාවය අපිට මතුකොට දෙන්නේ. නමුත් පරාජයන් ඉදිරියේ අපි නැවත නැවත බුරුතු පිටින් මතුකොට ගන්නේ පෙරළා පරාජයන්ම නම්, පින්වත පරාජයන්ට හේතුවෙන අපේම වඳ බැහැපු තෘෂ්ණාවන්ට විරේක බෙහෙත් දෙන්නම වෙනවා. පින්වත අකුසලයෙන් ගිනිගන්න මේ මොහොත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් අර්ථයන්ට අට එකට හිඳ පෙරා වළඳන්න තරම් සතිය අපේ ශක්තිමත් නැතිනම්, අපි දක්ෂ වියයුතුයි, සමාජගත සත්‍යයටත්, බොරුවටත් යන දෙකටම සුවපත් වේවා යැයි මෙත් සිතින්ම යහපතේ ආරම්භයට මුල්ගල තියන්න.
පින්වත ජය සහ පරාජය යන අර්ථයන් දෙකම මාරයාගේ එකම කාසියේ දෙපැත්තයි. පින්වත අපි ලබන ජයග්‍රහණයක්මයි කවදා හෝ දවසක පරාජයක් බවට පත්වෙන්නේ. භික්ෂුව මේ සටහනේ ලිව්වොත් භික්ෂුව මේ සටහන් ලියන්නේ සිංහල බෞද්ධ ජනතාවට පමණක්මයි කියලා, පින්වත අන්‍ය ආගමික පින්වතුන්ලා භික්ෂුව සමග ගැටෙන සිත් ඇතිකොට ගනීවි. එයම පරාජයකට හේතුවේවි. පින්වත බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියළු ලෝක සත්ත්වයින්ට මෙත් සිතින්මයි. ජාති, ආගම්, කුල මල භේද සද්ධර්මයේ අර්ථයන් ඉදිරියේ වාෂ්ප වෙලා යන්න ඕනේ. පින්වත සමගියෙන්, පරිත්‍යාගයෙන් අත්වැල් බැඳගෙන දිනාගත යුතු ලෞකික ලෝකයක්, ජයග්‍රහණයන් ඉදිරියේදිත් පරාජයක් බවටම පත්කොට ගන්නේ අපේම මෝඩකමේ, අනුවණකමේ මහත නිසාමයි. පින්වත සමාජය භේදභින්න කළේ, සමාජය විනාශ කළේ පින්වත් ජනතාව විසින් නොවේ. තෘෂ්ණාධික අධර්මිෂ්ඨ දේශපාලනය විසින්මයි. පින්වත සමස්ත ජනතාවම අපි අපිට වෛර කළයුතු නැහැ. අපි ඉදිරියේ ජාති, ආගම් භේද අවුස්සා අපිව භේදකළ අධර්මිෂ්ඨ දේශපාලනයට වෛර කළයුතුත් නැහැ. පින්වත සත්‍යයේ නාමයෙන් සමාජගතවෙන බොරුවට ඔබ සත්‍යයෙන්ම පිළිතුරු දෙන්න. ජාති, ආගම් භේදයන්ගෙන් තොරව ඔබ දකින සැබෑ සත්‍යය නම්, දුකට හේතුව අසීමිත තෘෂ්ණාවයි. පින්වත ඔබත් සමාජය නිවැරදි කිරීමට උත්සාහ කරන්නෙක් නම් කරුණාකර තෘෂ්ණාවට ඔබව පාලනය කරන්න දෙන්න එපා. තෘෂ්ණාව ඔබේ පාලනයට ගන්න. පංච උපාදානස්කන්ධය කෙරෙහි බැඳීගිය පින්වතුන්ලාට තෘෂ්ණාව තේරුම් ගන්න බැහැ. ඔවුන් දුක නිවා දමන්න යන්නෙත් තෘෂ්ණාවේ කිහිලිකරු භාවිතයෙන්මයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක අපිට අවවාද කරනවා, සමාජගතවෙන තෘෂ්ණාවන් සමග අතේ දුරින් ජීවත් වෙන්න කියලා. අනුනගේ තෘෂ්ණාව ඉදිරියේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ වැට ශක්තිමත්කොට ගන්නය කියලා. යම් පින්වතෙක් උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තෙක්ම ඒකපාක්ෂික අවිද්‍යාවේම රූකඩයක් වෙනවා. පින්වත රුදුරු තෘෂ්ණාව ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ අංක “එක” තමාගේ ආරක්ෂාවයි. ශ්‍රාවකයා ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් තමන් ආරක්ෂා වුණොත් පමණක්මයි, තමනුත් උතුම් ශාසනයත්, ආරක්ෂා කළා වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, අධිවේගී තෘෂ්ණාවේ වාහනවල හැපුනත් නොසෙල්වෙන කළු ගලක්ම වියයුතුයි. මෙය සටහන් තබන භික්ෂුව සමීපයේත් තෘෂ්ණාවේ බර වාහන ඕනෑ තරම් දුවනවා. භික්ෂුව මේ විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයන් දෙස තවමත් ධර්මයේ උපේක්ෂාවෙන් දකින්නේ, පින්වත් ජනතාවට සද්ධර්මය දායාදකොටදීම උදෙසා පමණක්මයි. භික්ෂුව මේ සටහන් තබන ලිපි පෙළත් භික්ෂුවගේ සාමීචිපටිපන්න ගුණයේම අර්ථයන් වෙනවා. පින්වත වසර පහළොවක් පුරාවට භික්ෂුවගේ නිදහසට හෝ අයිතීන්ට, එකම සිතුවිල්ලකින් හෝ බාධාවක් නොකොට, “මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” ලිපි පෙළ සමාජගත කළ දිවයින ඉරිදා සංග්‍රහයට චිරාත් කාලයක් ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබේවා කියලා මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් සත්පුරුෂ පාඨක ඔබටත්, ලිපි පෙළේ හොඳ හෝ නරක දැක්ක පින්වතුන් සියළුම දෙනාටත් මෙත් සිතින් පුණ්‍යානුමෝදනා කරනවා.
පින්වත තෘෂ්ණාව හරිම මායාවක්. තෘෂ්ණාවට සැඟවිලා ජාති, ජරා, ව්‍යාධි, මරණ හත්මුතු පරම්පරාවක්ම තිබෙනවා. ඔබේම පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම් නිසාම තෘෂ්ණාව නිරතුරුවම පීලි පනිනවා. ඒ කියන්නේ දුක සහ සැප මාරු වෙනවා. පින්වත සම්මුති ලෝකය කියන්නේ දුක්ඛ සත්‍යයේම පැතිකඩක්. සංස්කාර විවිධත්වයේ සංකීර්ණ ඇස්බැන්දුමක්. ජරා, ව්‍යාධි, මරණ දුකට සුවඳ දුම් අල්ලන දෙවොලක්.
පින්වත සම්මුති ලෝකයෙන් ඔබේ ලෝකය වෙන්කොට ගන්න. විවේකී මනසින් ඔබේ ඵස්සය විදර්ශනාවෙන් නිර්වින්දනය කොටගන්න. දැක්කා කියන තැන නවතින්න. ඇසුනා, දැනුනා කියන තැන නවතින්න. විදර්ශනා නිර්වින්දනයෙන් ඵස්සයේ තෘෂ්ණාවට සිහිය නැති වෙද්දී, ඔබ නවතින්නේ ඔබේම නාමරූප ලෝකය තුළයි. දැන් ඔබට පහසුයි ඔබේ ලෝකය විනිවිද දකින්න. ආයුෂය, උණුසුම, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, මේ ක්‍රියාන්විතයට මැදි වූ අවිදාවෙන් උපන් සළායතනයෝ. පින්වත සරල ලෝකයක නිසල දහම. ගිනිගත් ලෝකයක නිවුණු උපාදානයෝ. පින්වත ලෝකය මොනතරම් නම් ලස්සන ද, සරල ද? ඒ සරලභාවය තිබුණේ ලෝකය තුළ නොව ලෝකය නිවීයන ඔබේ ඵස්සය තුළයි.
පින්වත ලෝකයට වඩා ලෝකයේ නිරෝධය හරිම නිදහස් වෙන්න ඕනේ. එතැන ඉරත්, සඳත්, වලාකුළු, තාරකාත් තිබෙනවා. උදේට එළිය වැටෙනවා. රාත්‍රියට අඳුර එනවා. පෙම්වතුන් සහ පෙම්වතියන් සිටිනවා. ලෝකයා ආදරය කරනවා. හැබැයි ඔබේ ඵස්සයේ තෘෂ්ණාව අවිද්‍යාවත් සමගම නිවී ගිහිල්ලා. පින්වත එවිට ඔබ සම්මුති ලෝකය තුළ අසම්මත චරිතයක් වෙනවා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ
September 24, 2023.