පින්වත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පින්වත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලද පින්වතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත් ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පම්කරුවන් නිසා පීඩාවට පත්වෙන පින්වතෙක් නම්, ඊට පටිච්චසමුප්පන්න හේතුව වෙන්නේ, ඔබ පෙර ජීවිතයේ දී දානය පූජා කළත්, ඔබ සමාජයේ ධනවත්භාවයට සහ දුප්පත්භාවය සමග ගැටෙන සිතෙන් කටයුතු කරලා තිබෙනවා. වර්තමානයේදීත් පින්වත් ඔබ දැකලා ඇති දන් පූජා කරන දුප්පත් සහ මධ්‍යම පාන්තික පින්වතුන් අනුනගේ ධනවත්භාවයට ගරු කරන්නේ නැහැ. ධනවත්භාවයට ධර්මානුකූල හේතුඵල ධර්මයක් දකින්නේ නැහැ. අනුනගේ වර්ණය, සැපය, බලයට ගැටෙමින් තමන් වර්ණය, සැපය, බලය ප්‍රාර්ථනා කරනවා. පින්වත කරුණාකර මේ දෙය කරන්න එපා. අනාගතයේ ඔබ ලබන සැපය ඔබටම හිසරදයක් වේවි. පින්වත් ඔබ සෑම රාත්‍රියකම සමාජයේ ජීවත්වෙන සෑම ධනවත් සහ දුප්පත් පින්වතුන්ලා සිහියට නගාගෙන “සුවපත් වේවා” යැයි මෙත් වඩන්න. එයමයි ඔබේ ධනවත්භාවය සුවසේ භුක්ති විඳින්න මාර්ගය වෙන්නේ. ඔබ ධනවත්භාවයට වෛර කරමින් දන් පූජා කළොත්, ඔබ ධනවතෙක් වෙච්ච දවසක ඔබේ ධනවත්භාවය පසුපස ලෙඩරෝග, සොර සතුරු බිය පමණක් නොව ඔබට විරුද්ධව ධනපති පන්තිය භංග වේවා යැයි නැගෙන අධර්මයේ සටන් පාඨත් ඔබව පීඩාවට පත්කරන්න පුළුවන්.
පින්වත බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දිවා රාත්‍රී නොබලා දේශනා කරද්දී, එම ධර්මය ශ්‍රවණය කළ පින්වතුන්, පින්වතියන් එම ධර්මය තමා තුළින් දරා ගැනීමෙන්, තමා තුළින් පුහුණු කිරීමෙන්, තමා තුළින් අවබෝධ කිරීමෙන් සිදුකළා වූ කැපවීම නිසාම, වර්තමානයේදිත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවමානව වැඩ සිටිනවා. පින්වත අනාගතයේ යම් දවසක අපි උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, කියවීමෙන් පමණක් සෑහීමකට පත් වී එම ධර්මය තමා තුළින් පුහුණු කිරීමෙන්, තමා තුළින් දරා ගැනීමෙන්, අවබෝධ කිරීමෙන් බැහැර වුණොත් එදාට මේ උතුම් සද්ධර්මයෝ අතුරුදහන් වෙලා යන්න පුළුවන්. මහා සංඝරත්නය වෙහෙස මහන්සි වී සද්ධර්මය දේශනා කරද්දී, යම් පින්වතෙක් එම සද්ධර්මය ශ්‍රවණය කරන්නේ හුදු සද්ධර්මයේ ආශ්වාදය උදෙසා පමණක්ම නම්, සැබැවින්ම ඔබ සද්ධර්මයට ණයකාරයෙක් වෙන්න පුළුවන්. පින්වත උතුම් සද්ධර්මය තිබිය යුත්තේ පුස්තකාලවල හෝ සමාජ මාධ්‍යවල නොවේ. සද්ධර්මය තිබිය යුත්තේ පුහුණු කළ, අවබෝධ කළ අපේ ජීවිත තුළයි. පින්වත සද්ධර්මයේ ආශ්වාදය කෙටියි. තම මුහුණු පොත්වල සහ යූ ටියුබ් නාලිකාවල ධර්ම කාරණා පුරවාගෙන සිටියත්, පුස්තකාල රාක්කවල ධර්මපුස්තක අට්ටි ගසාගෙන සිටියත් තම ජීවිතවල ධර්මයේ අර්ථයන් දුර්වල නම්, සද්ධර්මයේ කෙටි ආශ්වාදය දීර්ඝ මෝහයට අදාළ ආදීනවයන් උරුමකොට දෙන්න පුළුවන්. පින්වත දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානයයි. නමුත් ධර්ම දානයක් අවබෝධයට මුල් අදින සැබෑ දානයක් බවට පත්වෙන්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය ධර්ම දානයේ අරටුව බවට පත්වුණොත් පමණක්මයි. ප්‍රණීතභාවය සහ සියතින් සකසා පූජා කිරීමත් අරටුවේ සුගන්ධයටම හේතු වෙනවා. පින්වත මෙය සටහන් තබන භික්ෂුවට ධර්ම දානය ගැන කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැ. භික්ෂුව අතීතයේ දන් දුන්නේ ධර්මපුස්තක නොවේ, ධර්ම කැසට්පටි නොවේ. භික්ෂුව දන් දුන්නේ භික්ෂුවගේ සතුටයි, භික්ෂුවගේ නිදහසයි, භික්ෂුවගේ ආත්මගරුත්වයයි. අවසානයේ භික්ෂුව දන්දීලා තිබෙන්නේ පටිච්චසමුප්පන්නව අතීතයේ භික්ෂුව රැස්කොටගත් කුසල් සංස්කාරයි. පින්වත ජීවිතය ළඟ නැවතිලා ලෝකය දෙස බලද්දී, භික්ෂුවට තවත් ලබන්න කිසිවක්ම නැහැ. ඒ වගේමයි භික්ෂුවට ඔබ උදෙසා දෙන්න දෙයකුත් නැහැ. භික්ෂුව සියල්ල පටිච්චසමුප්පාද ධර්මය තුළ විසිරුවා දමලයි වැඩ සිටින්නේ.
පින්වත ඔබ තවමත් ධර්මයෙන් ප්‍රමාද නම්, කාලයට බණින්න එපා. ප්‍රශ්නය තිබෙන්නේ ඔබේ දුර්වල සංස්කාරයන්ගේ. විවේකීව කාලය අරගෙන කුසල් සංස්කාරයන්ගෙන් ශක්තිමත් වෙන්න. පින්වත සංස්කාර අයිතිත් මාරයාටයි. සංස්කාර මාරයාගේ සුවච කීකරු ලේ උරුමය වන විඤ්ඤාණය නමැති මායාකරුවා, නිරතුරුවම සංස්කාරයෝ අපයෝජනයට ලක් කරනවා. පින්වත් ඔබ කුමන පින්කමක් සිදු කළත්, පිනෙන් ජීවිතය පුරවා ගත්තත්, ඔබ පින කෙරෙහි ඇතිකොට ගන්නා ලෝභ සිත වර්ණය, සැපය, බලය කෙරෙහි තෘෂ්ණාව කාය කර්මයන්ට වඩා බලවත් අකුසල් මනෝ කර්මයන් ඔබට අයිතිකොට දෙනවා. පින්වත නිදහස් වෙන්න හැදුවත් නිදහස් වෙන්න දෙන්නේ නැති ලෝකයක් ඵස්සයේ සැඟවුණ තෘෂ්ණාව ඉදිරියේ තිබෙන්නේ. පින්වත ඔබ උතුම් සෝවාන්ඵලයට පත්වෙනවා යැයි සිතුවොත්, ඒ සිතත් ඔබ අල්ලා ගන්නේ තෘෂ්ණාවෙන්ම නේද? පින්වත අතහැරීම ඉදිරියේ තෘෂ්ණාව තිබෙන්න බැහැ. අතහැරීම ඉදිරියේ තිබිය යුත්තේ චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව හෝ ධම්මානුපස්සනාවයි. පින්වත යමෙක් සිතනවා නම්, අතහැරීම ලේසියි කියලා, ඔහු අතහැරීමත් තෘෂ්ණාවෙන් අල්ලා ගත්ත කෙනෙක් වෙනවා. යම් පින්වතෙක් සිතනවා නම්, අතහැරීම අමාරුයි කියලා, ඔහු ලෝකය තෘෂ්ණාවෙන් අල්ලා ගත්ත කෙනෙක් වෙනවා. පින්වත අතහැරීම කියන සිතුවිල්ල, අතහැරීම කියන වචනය අනිත්‍ය වූ වචී සංස්කාරයක් යැයි දකිද්දී ඒ දැක්ක සිත අයිති වෙන්නේත් ධම්මානුපස්සනාවටමයි. පින්වත ඔබේ අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්සයෙන් සකස්වෙන වචී සංස්කාරයෝ අයිති ධම්මානුපස්සනාවටමයි. පින්වත මැරුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න විසඳෙන්න නම් තෘෂ්ණාව මරා දමන්න ඕනේ. ලෝකය පටන් ගන්නේ අවිද්‍යාවේ රස ගුණ තිබෙන ඵස්සය ළඟින්. අපි අනාගතයේ යම් දවසක ලෝකය අවසන් කරන්නේත් ඵස්සය අසලින්මයි.
පසුගිය සතියේ මේ ප්‍රදේශයට හොඳටෝම වැස්ස. අදත් වරින් වර වැස්ස එනවා, යනවා. වැස්ස දවස්වලට තම පිල් කළඹේ මඩ තැවරෙයි කියලා බියටදෝ මොනරු ගස් වලින් බහින්නේ නැහැ. දවස පුරාම ගස් උඩට වෙලා කෑ ගසමින් සිටිනවා. බඩගින්න කෙරෙහි තිබෙන තෘෂ්ණාවට වඩා තම පිල් කළඹ කෙරෙහි තෘෂ්ණාව වැඩියි. සත්තුන්ගේ ලෝකයත් සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්මයි. භික්ෂුව මුල් වතාවට කුටියක් අසල මීමින්නෝ ජෝඩුවක් අද සවස දැක්කා. වැස්ස වැටිලා, තණපත් දළු දමලා, පරිසරය කොළ පාටින් නවයොවුන් වෙද්දී, සතුට වැඩිකමට දෝ මීමින්නෝ ජෝඩුව ආදරේ කරනවා. සත්තුන්ගේ ආදරය, මිනිසුන්ගේ ආදරය කියලා වෙනසක් නැහැ. ආදරය යම් තැනක ද එතැන තෘෂ්ණාව දෝරෙ ගලා යනවා. පින්වත ඇයගේ නෙතින් ගලන කඳුළක්, ඔබගේ නෙතින් ගලන කඳුළක් සේ දකින්න ඔබ අකමැති නම්, ඔබ තවම ආදරයට සුදුස්සෙක් වෙන්නේ නැහැ. ආදරය නමැති හෝඩි පොතේ මුල්ම වචනය මනුෂ්‍යත්වයයි. පින්වත මේ සවස් යාමේ වැහි අඳුර නොතකා ගමේ පිණ්ඩපාත මඩුව දෙසින් ශ්‍රමදානයක හඬ ඇසෙනවා. සොඳුරු වස්සානය නිසා සමාජය පිබිදෙනවා. මිනිස් හදවත් කුසලයෙන් තිරිහන් වෙනවා. සත්‍යකින්ම ධර්ම විනය නමැති ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ නිමේෂයේදිත් ජීවමානව වැඩ සිටිනවා. භික්ෂුව උන්වහන්සේව මේ නිමේෂයේදිත් මනසින් දකිනවා. ඒත් භික්ෂුව උන්වහන්සේට සාධුකාර දෙන්නේ නැහැ. උතුම් ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ මේ මොහොතේ ජීවමානව දැක්කා වූ සිත, චිත්තානුපස්සනාවෙන්ම දකිනවා. එවිට මුළු ලෝකයම අනිත්‍ය වූ ධම්මානුපස්සනාවක්ම වෙනවා. පින්වත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගාගෙන එම සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකයේ දී පූජනීය අළු ගොඩක්, පූජනීය ධාතූන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න. උතුම් දශපාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකයේ දී අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකින්න. පින්වත පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේ තුළින් මෝහයට නොව, සතර සතිපට්ඨාන ධර්මයන්ට පණ දෙන්න. එවිටයි අපි හැමෝම ධර්ම විනය නමැති වර්තමානයේ ජීවමාන ශාස්තෘන් වහන්සේට දීර්ඝායුෂ ලබා දුන්නා වෙන්නේ. පින්වත උතුම් ධර්ම විනය නමැති වර්තමානයේ ජීවමාන ශාස්තෘන් වහන්සේව අපයෝජනයට ලක්කරමින්, පිරිනිවී ගිය බුදුරජාණන් වහන්සේට සාධුකාරදීම නම් ගෞතම බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ.
පින්වත පැවිදි අපිව පන්සලට, ආරණ්‍යයට, කුටියට විනයානුකූලව සීමාකොට තැබූ සුන්දර වස්සානයෙන් දෙමසක්ම ගෙවී ගියා. ඇත්තටම අපේ ජීවිත වලට අපි මොනවා ද එකතුකොට ගත්තේ? අපේ ජීවිත වැළඳ ගන්නේ පංච නීවරණයන් ද, එසේත් නැතිනම් සප්ත බොජ්ඣඬ්ගයන් ද? අපි ගෙවී යන දෙමසක් ගතකළේ පංච ඉන්ද්‍රියන් සතුටු කරන කාමච්ඡන්දයන් තුළ නම්, ලෝභ සිත් මුල්කොටගත් විසිරුණු සිතින් නම් ඇත්තෙන්ම අපේ ගෙවීගිය වස් දෙමස අයිති පංච නීවරණයන්ට. ගෞරවනීය පින්වත ඔබ රූපය කෙරෙහි සතිය සිහිය ඇතිකොට ගත්තා ද? ඔබ රූපය උපයෝගී කොටගෙන විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ගයන් ඇතිකොට ගත්තා ද? රූපය ඇසුරෙන් සකස්වෙන ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් මොහොතක් හෝ විනිවිද දැක්කා ද? පින්වත ජාති, ජරා, ව්‍යාධි දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි ඔබ මෙනෙහි කළා ද? ඔබේම දුකට විපක්ෂව ඔබේම තෘෂ්ණාවට පුංචි හෝ විවේකයක් ලබා දුන්නා ද? පින්වත තෘෂ්ණාව නිරෝධය කරන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බඹ කීයක් නම් ඔබ ගමන් කරා ද? භික්ෂුව මේ විවේකී රාත්‍රියේ භික්ෂුවගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරනවා. භික්ෂුවට තමා තුළින්ම ලැබෙන්නේ සතුටුදායක පිළිතුරක්. ඒ සතුටුදායක පිළිතුරට භික්ෂුව බැඳෙන්නේ නැහැ. ඒ සතුටත් වේදනානුපස්සනාවෙන්ම පිරිසිදුකොට ධම්මානුපස්සනාවටම භාර දෙනවා.
පින්වත බුදුරජාණන් වහන්සේගේ ධර්මය වරද නිවැරදිකොට ගැනීමට මිසක්, වරද විවේචනය කිරීමට නොවේ. අපි හැමෝම සත්‍යය ඉදිරියේ තවමත් වැරදිකරුවෝ. සති සම්බොජ්ඣඬ්ගයෙන් පෝෂණය වූ සම්මා වීර්යයෙන් නැගී සිටින්න. අපි හැමෝම අතීත සම්මා සම්බුද්ධ ශාසනවල පැවිදි වෙලා වස් කෝටි ගාණක් ගෙවා දමා තිබෙනවා. මෙය භික්ෂුවගේ දහසය වැනි වස්සානය යැයි සිතෙද්දී භික්ෂුව හදවතින් සිනාසෙනවා. එම සිනහාවත් භික්ෂුව වේදනානුපස්සනාවට භාර දෙද්දී, විදර්ශනාමය උපේක්ෂා සම්බොජ්ඣඬ්ගයට එයම පාඩයක් වෙනවා. පින්වත ඔබ සිතන, සිතන සිතුවිල්ල චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ අර්ථය තුළ දකින්න. එවිට ඔබ තබන, තබන පියවරට ඔබ තුළින්ම ඔබට විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ගයන්ගේ පාවඩ එළාවි. පින්වත බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයා තමා තුළින් තමාට පාවඩ එළා ගන්නෙක් වියයුතුයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ
උපුටා ගැනීම – 2023 ඔක්තෝබර් 01 ඉරුදින දිවයින පුවත්පත.