පින්වත කුටිය අවට පරිසරය නැවතිලා. සුළං බිඳක්වත් හමන්නේ නැහැ. ගස්වැල් නිදාගෙන වගෙයි. පරිසරයම ගල්වෙලා බලා සිටිනවා. ඇත්තටම පරිසරය බිය වෙලා ද? පරිසරය හොඳාකාරව දන්නවා මනුෂ්‍ය අපි පරිසරයට මොනතරම් නම් බොරු කරනවා ද කියලා. පින්වත ලක්ෂයක් ගස් රෝපණය කළාය කියලා කෝටියක් වියදම පෙන්වනවා. අවසානයේ ගස් හිටවලා තිබෙන්නේ තම තමන්ගේ බැංකු ගිණුම්වල. පින්වත මනුෂ්‍ය අපි පිළිබඳව පරිසරයට කිසිම විශ්වාසයක් දැන් නැහැ. ඒ නිසාම එයා ඕනෑවට එපාවටයි අපිත් සමග හැසිරෙන්නේ. වහින වෙලාවට වාන් දොරටු අරින්න වෙන තරමටම වහිනවා. පායන වෙලාවට මහ පොළොව වියළිලා යන්නම පායනවා. පින්වත පරිසරය අපිට බල කරනවා, බොරුවේ සීමාවක් ඇතිකොට ගන්නය කියලා. අපි බොරුවේ සීමාව ඉක්මවා ගිය රාජ්‍යයක්. පින්වත තවදුරටත් පරිසරයට බොරු කරන්න එපා. මෙතෙක් අපි පරිසරයට බොරු කිරීමෙන් පරිසරය රැවටිලා නැහැ. ඍතු විකෘතීන් තුළින් අපිමයි රැවටිලා තිබෙන්නේ. පින්වත ආදරය ගැන නොදන්න මනුෂ්‍යයෝ ද්වේශයට කැමතියි වගේ, අධ්‍යාත්මික විනයක් නැති මනුෂ්‍යයෝ පරිසරයට වඩා මුදල් වලට කැමතියි. පින්වත ජාතියට හෙට දවසේ නිදහසේ හුස්ම ගන්න අවශ්‍යයි. කරුණාකර අද දවසේ ඇත්ත වෙනුවෙන් අප්‍රමාදී වෙන්න.
පින්වත ඇත්ත වශයෙන්ම අපි ඇත්තට මොනතරම් නම් ඈත් වෙලා ද ජීවත් වෙන්නේ? අහිංසක ඇත්ත අපේ ජීවිත වලින් මොනතරම් නම් දුරස් වෙලා ද? පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස නිවන් දකින්න පෙරාතුව ජීවත් වෙන්න ඕනෑය කියලා. භික්ෂුව එම මහත්මයාට දැනුම් දුන්නේ මහත්තයෝ, මහත්තයා මෙතෙක් නිවන් නොදැක්ක නිසාමයි මහත්මයාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙන්නේ කියලා. සෑම මොහොතකම අපි ධර්මයට වරද පටවලා, අධර්මය ජීවිතයට එකතුකොට ගන්නවා. පින්වත අපි ඇත්තට වඩා බොරුවට කැමතියි. බුදුරජාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී මේ ලෝක ධාතුවේ පරම සත්‍යය අවබෝධයෙන්ම මතුකොට දකිනවා. ඒ පරම සත්‍යය තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය. පින්වත ඔබ තවමත් සිතනවා නම් සැපයට හේතුව තෘෂ්ණාව යැයි කියලා, තෘෂ්ණාව ගිලිහුන තැන සැපයයි ගිලිහෙන්නේ කියලා, අපිට නිවන තව කොච්චර නම් දුරස් වෙයි ද? පින්වත එක තැන පල්වෙන්න එපා. කෙලෙස් ගඳ හමනවා. පියවරෙන් පියවර ඉදිරියට යන්න. අපි හැමදාමත් ප්‍රාථමික පන්තිවල සිටිය යුතු නැහැ. අපි ඉහළ පන්ති වලට යන්න ඕනේ. අපි විභාග සමත් වෙන්න ඕනේ. අපි මුහුණදෙන මුල්ම විභාගය තමයි අකුසලය පරදා කුසලය ජයග්‍රහණය කිරීම. පින්වත මේ කඩඉම් විභාගය අපි සමත් වුණා නම්, ඊළඟට අපිට තිබෙනවා සෝවාන්, සකෘදාගාමී ආදී වූ කෙලෙස් අඩු ඉහළ පන්තිවලට යන්න. පින්වත වර්තමානයේ ඉහළ පන්ති කෙලෙස් වවුලන් ලගින පාළු තැන් බවට පත්වෙලා. අපි සියල්ලෝම නෙක්ඛම්මයෙන් තොර දානය, ශීලය, මෛත්‍රිය, සමාධිය නමැති ප්‍රාථමික පන්තිවල සිරකරුවන් වෙලා නේද? පින්වත කරුණාකර ඇත්තට සමීප වෙන්න. තෘෂ්ණාව යම් තැනක ද, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ම බව සිහිනුවණින් තේරුම් ගන්න.
පින්වත සංස්කාර ලෝකය ආයෙ ආයෙත් ගොඩනැගෙනවා. සත්වයා උපදිනවා, මැරෙනවා, පටිච්චසමුප්පන්නව ආයෙ ආයෙත් උපදිනවා. පින්වත සංස්කාර ලෝකය අපි අනිත්‍ය යැයි නොදකින නිසාම, අපේ දක්ෂභාවයන්, අපේම අදක්ෂභාවයන් උදෙසාම අපි යොමුකොට ගන්නවා. පින්වත අපේ කලා ක්ෂේත්‍රයේ මොනතරම් නම් ප්‍රවීණයන් සහ දක්ෂයින් සිටිනවා ද? පින්වත් ගායන ශිල්පියෙක් සංගීත සංදර්ශනයක ගීතයක් ගායනා කරද්දී දහස් ගණනක් එම ගීතයේ රිද්මයට නටනවා. පින්වත් රංගන ශිල්පියෙක් රංගනයක් ඉදිරිපත් කරද්දී ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයින් මනසින්ම එම චරිතය සමග ජීවත් වෙනවා. පින්වත කාමච්ඡන්දයන්ට කැමති ලෝකය කාමච්ඡන්දයන් සතුටින්ම පිළිගන්නවා. පින්වත් ප්‍රේක්ෂකයින් සතුටු කරලා, විනෝද කරලා එක පින්වත් කලාකරුවෙක් මියයනකොට ප්‍රේක්ෂක ජනතාව තවත් අළුත් කලාකරුවෙක්ව ආදරයෙන් වැළඳ ගන්නවා. අපි කවුරුවත්ම සිතන්නේ නැහැ අපිව සතුටු කරපු මියගිය කලාකරුවන් මරණින් පසු කොහේ ඉපදුනා ද කියලා. කාමච්ඡන්දයන් සමග යස අගේට හාද වෙලා ජනතාව සතුටු කළ අතීත පින්වත් කලාකරුවන්ගේ නම් ලැයිස්තුව භික්ෂුවගේ මතකයට නැගෙනවා. මේ පින්වතුන් වර්තමානයේ පටිච්චසමුප්පන්නව කොහේ ඉපදී ඇති ද? වර්තමානයේ ලක්ෂ ගණනින් ජනතාවගේ ප්‍රතිචාර ලබන පින්වත් කලාකරුවන් මේ ඇත්ත ගැන සිහිනුවණින් සිතන්න ඕනේ. පින්වත් ඔබට වර්තමානයේ වඩාත්ම වටින්නේ ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර ද, දක්ෂභාවයට ලැබෙන මිල ද, එසේත් නැතිනම් ඔබේම ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතය ද? සංස්කාර රඟමඩලේ ප්‍රණීත රසවත් කාමච්ඡන්දයන් ජනතාවට ලබා දී පටිච්චසමුප්පන්නව කැලයේ වැලි ගොල්ලක නටන මොනරෙක් වුණොත්, හිරු අවදිවෙන උදෑසන ලස්සනට නාද කරන කුරුල්ලෙක් වුණොත් පින්වත කාමයෝ කාමයන්මයි වඩවලා දෙන්නේ. කාමයෝ පංච නීවරණයෝමයි වඩවලා දෙන්නේ. පින්වත සතුටට කැමති ගිහි පින්වතුන්ලා සතුටු වෙනවාට, විනෝද වෙනවාට බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ නැහැ. කාමයේ කෙටි ආශ්වාදය, රූපයේ කෙටි ආශ්වාදය හේතුවෙන් අපි ලබන දීර්ඝ ආදීනවයටයි බුදුරජාණන් වහන්සේ අකමැති වුණේ.
පින්වත කාමච්ඡන්දයන් ඉදිරියේ පංචශීලයේ වේවැලවත් අතට ගන්න අපි දක්ෂවිය යුතුයි. එවිටයි අනුන් සතුටු කරන ඔබ, තමන්වත් සතුටු කළා වෙන්නේ. පින්වත ඔබ ඔබේ දක්ෂභාවයෙන් කොතෙන් අනුන්ව සතුටු කළත්, සියල්ල අවසානයේ ඔබව සතුටු කරන්න කවුරුවත්ම නැහැ. පින්වත කෙනෙක් මියගියාට පසුව ජනතාවගේ මතකය තුළ ජීවත් වෙනවා. තවත් කෙනෙක් මියගියාට පසුව ඔහු ගැන මතකය මැකිලාම යනවා. පින්වත මේ කාරණා දෙකම සිද්ධ වෙන්නේ මියගිය පින්වතාගේ ශීලයේ ආනිශංස සහ දුශ්ශීලභාවයේ විපාකයන් නිසාමයි.
පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස කායානුපස්සනාව වැඩීම ගිහි ජීවිත වලට බාධාවක් නේද කියලා. පින්වත මේ ප්‍රශ්නය තුළම සැඟවිලා තිබෙන්නේ අශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අනවබෝධයයි. පින්වත බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ගිහි පින්වතුන්ලාට. ගිහි ජීවිත ගතකරන, කාමයන් තුළ හැසිරෙන, වගකීම් සහ යුතුකම් ඉටු කරන ගිහි පින්වතුන්ලාට කායානුපස්සනාව කියන්නේ තමන්ව දුශ්ශීලභාවයෙන් ආරක්ෂා කොටදෙන, අකුසලයෙන් ආරක්ෂා කොටදෙන ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ ගිහි ඔබට අධ්‍යාත්මික සහ බාහිර රූපය දෙතිස් කුණපයක්, සතර මහා ධාතුවක්, ආයතන හයක්, අට්ඨික සංඥාවක්, මරණානුස්සතියක්, ඉරියව් පවත්වන කයක් හැටියට නුවණින් දකින්න යැයි කියන්නේ, ගිහි පින්වත් ඔබට ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන්න යන්න නොවේ. අනිත්‍යයි, අනිත්‍යයි කියලා අන්තවාදීව අතහැරීම් කරන්න ගිහිල්ලා ගිහි ජීවිත අසාර්ථක කරගන්න නොවේ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කායානුපස්සනාව දේශනා කරන්නේ ඔබව දුශ්ශීලභාවයෙන් සහ අකුසලයෙන් මුදවාගෙන කාමයන් තුළ ආරක්ෂිතව ජීවත් කරවන්න. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලා සතුටු වෙනවාට, විනෝද වෙනවාට, ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙනවාට, ලස්සන වාහනයක් පාවිච්චි කරනවාට, සෙල්ලම් කරනවාට, ව්‍යායාම කරනවාට විරුද්ධ නැහැ. මේ සියල්ලම පෙර පටිච්චසමුප්පන්න පිනේ ඵලයන්. වර්ණය, සැපය, බලය තිබෙන පොළොවකයි කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබුණොත් ප්‍රඥාවට මුල් අදින්න ලෙහෙසි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය කෙටියි. මේ කෙටි කාමයේ සහ රූපයේ ආශ්වාදය හේතුවෙන් මනුෂ්‍යයා දීර්ඝ ආදීනවයක් උරුමකොට ගන්නවාය කියලයි.
පින්වත මින් පසුව ඔබ තුළ ලෝභ, ද්වේශ, මෝහ සිත් ඇතිවෙනකොට, රාග සිත් ඇතිවෙනකොට ඔබේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. අපි අනාගතයේ යම් දිනයක කාමරාග, පටිඝයෝ නිරෝධය කරන්නේ උතුම් අනාගාමීඵල අවබෝධයේදියි. එතෙක් ඔබ පෙර පිනට ලැබෙන වර්ණය, සැපය, බලය, කාම සම්පත් සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ආරක්ෂාව තුළ භුක්ති විඳින්න ඔබ දක්ෂවිය යුතුයි. උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝමයි ගිහි ජීවිතයේ දී අකුසලයට වැට බඳිමින් කුසලයට පාර පෙන්වන්නේ. වගකීම් තුළ ජීවත්වෙන ගිහි පින්වතුන්ලාගේ සතර සතිපට්ඨාන ධර්මයෝ පැවිදිභාවය උදෙසා නොව, ගිහි ජීවිතයේ සාර්ථකභාවය උදෙසාමයි.
පින්වත මනුෂ්‍යත්වය මරා දැමූ සමාජයක ඉතිරිය බවට පත්වෙන්නේ සැකය සහ විචිකිච්ඡාව පමණක්මයි. පින්වත අකුසලයට යට නොවී කුසලයෙන් නැගී සිටින්න. පින්වත් ඔබ උපන් මවුබිමේ වහලෙක් හෝ රූකඩයක් නොවේ. ඔබ උපන් මවුබිමේ අයිතිකරුවායි. යහපත් සියළු ධර්මයෝ විනාශකොට දැමීමට මාරයා අළු ගසා නැගිටින මේ ඇස් බැන්දුම් හෝරාවේ සිහිනුවණින් අප්‍රමාදී වෙන්න.
පින්වත වයස අවුරුදු හැටක මහත්මයෙක් සම වයසේ තම බිරිඳට කියනවලු, තාමත් ඔයා ගොඩාක් ලස්සනයි කියලා. පින්වත මේ කතාව ඇත්තක් වෙන්න පුළුවන් ද? සත්‍යකින්ම ධර්මානුකූලව මේ කතාවේ ඇත්තක් තිබෙනවා. පින්වත ලස්සන තිබෙන්නේ රූපය තුළ නොවේ. ලස්සන තිබෙන්නේ, එම රූපය කෙරෙහි ඔබ තුළ සකස්වෙන ඵස්සය තුළ ඇති තෘෂ්ණාව තුළයි. උතුම් සෝවාන්ඵල අවබෝධය තරුණ වියේදීම ලැබූ නකුල පියා, බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ අවසාන ඉල්ලීම වූයේ නකුල මාතාව ඊළඟ ජීවිතයේදිත් බිරිඳ කරගැනීමට මාර්ගය කියලා දෙන ලෙසයි. පින්වත ආදරය කියලා කියන්නේ බාහිර රූපයක ඵස්සය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ඇලීමයි. පින්වත අනාදරය යැයි කියන්නේ බාහිර රූපයක ඵස්සය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ගැටීමයි. පින්වත ආදරයත්, අනාදරයත් යන අර්ථයන් දෙකම අයිති තෘෂ්ණාවටයි. තරුණ සැමියෙකුට තම තරුණ බිරිඳ එපා යැයි සිතෙන්නේත්, වයෝවෘද්ධ පින්වතෙකුට තම වයෝවෘද්ධ බිරිඳ මගේම යැයි සිතෙන්නේත් එකම තෘෂ්ණාවේ කාසියේ ඇලීම් සහ ගැටීම් දෙපැත්ත නිසාමයි. පින්වත ඵස්සයේ තෘෂ්ණාව තිබෙන තාක්කල් ලෝකය ඇලීමක් හෝ ගැටීමක් පමණක්මයි. පින්වත ආදරයට හෝ අනාදරයට තවදුරටත් මෝහයේ ඇස් දෙන්න එපා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2823 සැප්තැම්බර් 17 වන ඉරුදින දිවයින පුවත්පත.