පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න.

පින්වත වැස්ස නැති නිසාම පින්වත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලා ගන්න සූදානම්ව සිටිය දී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. පින්වත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවා ද? ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පින්වත සංස්කාර අධිකරණය සාධාරණත්වයේ කැඩපතයි. සංස්කාර අධිකරණයේ සල්ලි වලට කතා කරන නීතිඥ මහත්වරු නැහැ. ඔබේ නීතිඥයා ඔබේම හෘද සාක්ෂියයි. පින්වත හෙට දිනයේ අස්වැන්න නෙලා ගන්න තිබිය දී පාරිසරික හේතූන්ගෙන් අද දවසේ අස්වැන්න විනාශ වී යන්නේ හේතුවක් නිසාමයි. පින්වත අපි සංසාරයේ පරිසරයට වැරදි කළා. අපි ගස් කැපුවා, කැලෑ විනාශ කළා, පස් කඳු, ගල් කඳු විනාශ කළා. ගංගාවල වැලි ටික හූරලා ගත්තා. ගෙදර වැසිකිළි බටය, කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය බටය ඇළට, දොළට, ගංගාවට යොමු කළා. පින්වත පරිසරයට වැරදි කරන පින්වතුන්ට පරිසරයම පෙරළා දඬුවම් කරනවා. පින්වත මෙය සටහන් තබන භික්ෂුවට දිවැස් ඥානය නැහැ. නමුත් වර්තමානයේ සමාජය තුළ සිදුවෙන, රාජ්‍ය අනුග්‍රහයෙන් නොනිල වශයෙන් ලබන පරිසර විනාශයන් හේතුවෙන් සකස්කොට ගන්නා අකුසල් සංස්කාරයෝ ඉදිරියේ දී විපාකයට පැමිණෙද්දී අපි කාටවත් පරිසරයෙන් අනුකම්පාවක් නම් ලැබෙන එකක් නැහැ. පින්වත් පාලක පින්වතුනි, අහිංසක ජනතාවට පූර්වාදර්ශී වෙන්න. පින්වත් ජනතාවට මාර ධර්මයක් නම් වෙන්න එපා.

පින්වත පංච උපාදානස්කන්ධ ලෝකය දුකක් වුණත්, දශ කුසල් ධර්මයෝ ඉදිරියේ ලෝකය මොනතරම් නම් ලෞකික සැපයට විවෘත ද? දරුවන් වන අපි හැමෝම අපේ අම්මා සහ තාත්තා මහා බ්‍රහ්මයින් හැටියට දකිනවා නම්, සෑම සැමියෙක්ම සෑම බිරිඳක්ම තමන්ගේ සැමියා හෝ බිරිඳ තමන්ගේම අතීත සංස්කාරයන්ට අදාළව තමන්ට ලැබුණ සංස්කාර තෑග්ගක් හැටියට ධර්මයේ උපේක්ෂාවෙන් දකිනවා නම්, අධ්‍යාපනය ලබන සෑම දරුවෙක්ම තමන්ගේ පින්වත් ගුරුවරයා තමන්ට අධ්‍යාපනයේ මවුකිරි පොවන දෙවන අම්මා හැටියට දකිනවා නම්, පින්වත් ගුරුවරුන් තම ශිෂ්‍යයින් අතීතයේ තමන්ගේම ලෙයින් උපන් පටිච්චසමුප්පන්න දරුවන් හැටියට දකිනවා නම්, රටේ සෑම පුරවැසියෙක්ම තමන් උපන් මාතෘභූමියේ පූජනීයභාවය සහ පිනැතිභාවය දකිනවා නම්, රටේ සෑම පාලක පින්වතෙක්ම තමන් රටේ අයිතිකරුවා නොව භාරකරුවෙක් හැටියට දකිනවා නම්, දුශ්ශීලභාවයේ ආදීනවයන් දැක ශිල්වත්භාවයේ වටිනාකම දකිනවා නම්, පින්වත අපේ සමාජය මොනතරම් නම් ලස්සන වෙයි ද? ලෝකයාට පූර්වාදර්ශී වෙයි ද? පින්වත වර්තමානයේ අපි සියල්ලෝම කනපිට පෙරළුන ජාතියක්. සියළු යහපත් ධර්මයෝ ඔළුවෙන් සිටවා තැබූ ජාතියක්. පින්වත සියළු යහපත් ධර්මයෝ කනපිට පෙරලන අකුසල් සංස්කාරයෝ අපිව සිත් සේ පාලනයට අරගෙන තිබෙන්නේ. පින්වත මේ බුර බුරා නැගෙන පවුකාර අකුසල් සංස්කාරයෝ ජාතියට ප්‍රසූත කළේ මේ රටේ සමස්ත අසත්පුරුෂ දේශපාලනයමයි. පින්වත මළ ධර්මයක් මත නොවේ අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ තවමත් ජීවමානව තිබෙන ධර්මයක් මතයි. පින්වත දශ කුසල් ධර්මයෝ සහ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ඒහිපස්සිකව තවමත් ජීවමානයි. පින්වත අකුසලයට යට වෙන්න එපා. එය ඔබ ලැබූ සුන්දර මිනිස්කමට නිගාවක්. අර්ථවත් බෞද්ධකමට අපහාසයක්. පින්වත සියල්ලටම පෙරාතුව විනාශයේ මුදුන් මුලවෙන දුශ්ශීල දේශපාලනය, ආජීව අට්ඨමක ශීලයෙන් පිරිසිදු කොටගන්න. පින්වත ඔන්න ඔතැනයි ජාතියේ පුංචි හෝ යහපත් වෙනසකට ආරම්භය තිබෙන්නේ.

පින්වත ලෝකය කවදත් අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන කුසල් සහ අකුසල් සංස්කාරයෝ මත ගලාගෙන යනවා. කෙනෙක් සද්ධර්මය දේශනා කරනවා, තවත් කෙනෙක් දේවදත්ත බණ දේශනා කරනවා. කෙනෙක් ඇත්ත බොරුවෙන් වහනවා, තවත් කෙනෙක් බොරුව ඇත්තෙන් විවෘතකොට පෙන්වනවා. කෙනෙක් සෝදනවා, තවත් කෙනෙක් නැවත නැවත මඩේ දමනවා. පින්වත මේ ක්‍රියාන්විතයයි ලෝකය කියන්නේ. කැඩෙන, බිඳෙන, විසිරෙන, යළි ගොඩනැගෙන, යළි යළිත් කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයටයි ලෝකය කියන්නේ. පින්වත මේ අපිට මුණගැසී තිබෙන්නේ අහම්බයක් නොවේ, විය යුත්තක්මයි. පින්වත කලබල වෙන්නේ නැතුව පටිච්චසමුප්පන්න ඔබේම පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න. වැඩියෙන්ම තිබෙන්නේ කුසල් ද, එසේත් නැතිනම් අකුසල් ද? පින්වත අපේ සංස්කාර පාර්සලයේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වුණත් අපි තවමත් අවාසනාවන්ත නැහැ. නමුත් අකුසල් සංස්කාරයන් මුල්කොටගෙන එක වෙඩි උණ්ඩයකින් අවාසනාව අපිව සොයාගෙන එන්න පුළුවන්. පින්වත පටිච්චසමුප්පන්න භව ගමනේ කුසල් සහ අකුසල් සංස්කාර ලණු පොටවල් දෙක උපකාරයෙන් අතුරේ යන අපි, ලෝකයට උරුම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ඉදිරියේ බිය නොවේ ඇතිකොට ගතයුත්තේ. මේ සියළු දුකට හේතුව අසීමිත තෘෂ්ණාව යැයි දකින අවබෝධයයි. එවිට වෙඩි උණ්ඩයත් ධර්මතාවයක්ම වෙනවා.

පින්වත රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාප කර්මයක් වෙනවා. නමුත් අනාගාමී පින්වතෙක් මැරීම ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ නැහැ. පින්වත බුදුරජාණන් වහන්සේ ඔබේ අම්මා සහ තාත්තා අනාගාමී උත්තමයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ තැනක තබා තිබෙනවා. පින්වත් දෙමාපියනි, බුදුරජාණන් වහන්සේ ඔබලාගෙන් උතුම් රහත් ගුණයන් බලාපොරොත්තු වුණා. පින්වත් දෙමාපියන් තුළ උතුම් රහත් ගුණයන් තිබෙනවා ද? පින්වත් දෙමාපියන් ධර්මානුකූලව දන්නවා ද, දරුවන් ඉදිරියේ දෙමාපියන්ට රහත් ගුණයන් තිබිය යුතුය කියලා. පින්වත රහතන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨම ගුණය තමයි උන්වහන්සේ සියළු සංස්කාරයෝ අනිත්‍ය බව අවබෝධ ඥානයෙන් අවබෝධ කොටගෙන සිටීම. පින්වත උන්වහන්සේලා කිනම් ප්‍රණීත හෝ අප්‍රණීත සංස්කාරයක්වත් නිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. පින්වත් දෙමාපියනි, ඔබලා බුදුරජාණන් වහන්සේට කීකරු දෙමාපියන් නම්, ඔබලා ඔබේ දරුවන් දෙස බැලිය යුත්තේ සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්ම තුළින්මයි. අද ඔබේ දරුවා මොනතරම් නිරෝගී වුණත් හෙට ඔබේ දරුවා අසනීප වෙන්න පුළුවන්, අනතුරකට පත්වෙන්න පුළුවන්. අද ඔබේ දරුවා මොනතරම් කීකරු වුණත් හෙට ඔබේ දරුවා අකීකරු වෙන්න පුළුවන්. අද ඔබේ දරුවා යහපත් මිතුරන් ඇසුරු කළත්, හෙට ඔබේ දරුවා අයහපත් මිතුරන්ගේ ඇසුරට වැටෙන්න පුළුවන්. මෙතෙක් ඔබේ දරුවා මිතුරන් සමග සංචාරයේ ගොස් සුවසේ පැමිණියත් හෙට ඔබේ දරුවා සමහරවිට නොඑන ගමනක් යන්න පුළුවන්. පින්වත් දෙමාපියන් තම දරුවන්ගේ ක්‍රියාකලාපයන් දෙස සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්මෙන් බැලිය යුතුයි. වර්තමානයේ පින්වත් දෙමාපියන් තුළ මේ දැක්ම නැහැ. ඒ නිසාම දරුවන් අනතුරට යනවා. යම් අම්මා, තාත්තා කෙනෙක් තුළ ඉහත දැක්ම තිබෙනවා නම්, එම දෙමාපියන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තම දරුවන් නිරතුරුවම ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන් ශක්තිමත් කරනවා. තම දරුවාට අයහපතක් වෙනකම් ඉන්නේ නැහැ, යහපතෙහි යෙදෙන්න. තම දරුවාට අයහපතක් වූවාට පසුව නොවේ දෙමාපියන් තම දරුවන් පින්කම් වලට යොමුකළ යුත්තේ. එවිට අයහපත මුල් ඇද්දා වෙන්න පුළුවන්. සියළු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින දෙමාපියන් දක්ෂ වියයුතුයි, කීකරුව, යහපත්ව හැසිරෙන ඔබේ දරුවා පිනට, දහමට යොමුකිරීමට, කල්‍යාණමිත්‍ර ආශ්‍රයට යොමු කිරීමට. එයම දෙමාපියන් සතු අනාගාමී ගුණයට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක් වෙනවා. නිරතුරුවම දෙමාපියන් තම දරුවන් පිනට දහමට යොමු කිරීමේ දී දරුවන්ගේ නිදහසට බාධාවක් නොවන ආකාරයෙන් දරුවන් ගැන විමසිල්ලෙන් සිටීමේ දී, දෙමාපියන්ගේ උපක්‍රමශීලීභාවය ඉදිරියේ දරුවන් කුසලයෙන් ආරක්ෂා වෙනවා. පින්වත සිංහල බෞද්ධකම දවසින් දවස ලිහිල් වෙන සමාජයක, වර්තමාන ළමා පරපුරමයි අනාගත බලාපොරොත්තුව වෙන්නේ. සමස්ත ජාතියටම ලොකු වගකීමක් තිබෙනවා දරුවන් නොමගට නොයවා ආරක්ෂා කොටගන්න.

පුතේ අම්මා තාත්තා ඔබ දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මහා බ්‍රහ්ම ගුණයන් තුළින් කියලා මොන දෙමාපියන් ද තම දරුවන්ට කියලා දෙන්නේ. තම දෙමාපියන් අනාගාමී උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා මොන දෙමාපියන් ද තම දරුවන්ට කියලා දෙන්නේ. සමහර දෙමාපියන් තමන් තුළ තිබෙන මේ ගුණයන් ගැන දන්නෙත් නැහැ. පින්වත විනාශයම කරපින්නාගත් අද වෙනුවට, අළුත් හෙටක් ජාතියට අවශ්‍යයි. ඒ හෙට අපි පටන් ගතයුත්තේ අපේ ළමා, තරුණ පරපුර තුළින්මයි. පින්වත් දරුවන්ගේ ජාතිය ඉල්ලන එම විප්ලවීය වෙනස පටන් ගතයුත්තේ දේශපාලනයෙන් නොව, උතුම් සද්ධර්මයේ අර්ථයන් තුළින්මයි. පින්වත සද්ධර්මයේ අර්ථයන්ගෙන් තොර දේශපාලනය ජාතියට මාරයෙක්මයි.

පින්වත ශ්‍රද්ධාවන්ත පිරිසක් පෝලිම් ගැසී දන් පූජා කරද්දී, යම් පින්වතෙක් පෝලිමෙන් බැහැරව තම කටයුත්ත සිදු කරනවා නම්, එය හරිම පව් සිද්ධවෙන ක්‍රියාවක්. කැපකරුවන්ගේ යාළු හිතවත්කම් මත මෙවැනි වැරදි ක්‍රියාවන්ට අනුග්‍රහය ලැබෙනවා. පින්වත සිය දෙනෙක් පෝලිමේ සිටිය දී ඔබ පෝලිමෙන් බැහැරව පැමිණ දන් පූජා කළා කියන්නේ, ඔබේ වැරදි ක්‍රියාව නිසා පෝලිමේ සිටින සියළු දෙනා තුළම ගැටෙන සිත් ඇති කළාය කියන කාරණයයි. පෝලිමෙන් බැහැරව පැමිණෙන ඔබ නිසා පෝලිම් ගැසී සිටින ශ්‍රද්ධානුසාරී හෝ ධම්මානුසාරී පින්වතුන් සිය දෙනෙක් තුළ ගැටෙන සිත්, කේන්තිය, ද්වේශය ඇති කළොත් එය මොනතරම් නම් අකුසලයක් ද? ඇයි ස්වාමීන් වහන්සේ පෝලිමෙන් පිට අයට දන් පූජා කරන්න දෙන්නේ කියලා, සංඝයා කෙරෙහිත් අප්‍රසාදය ඇති කළා වෙනවා. අවසානයේ මොකක් ද සිද්ධ වෙන්නේ? දන් පූජා කරලා ලබාගත් පින වගේ ලක්ෂ වාරයක් වැඩි අකුසල් මූලයන් රැස්කොටගෙන ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී පින්වතුන්ලාත් අකුසලයට යොමුකොට මම දන් පූජා කළා යැයි සතුටු සිතින් ගෙදර යනවා. පින්වත අනුන් සතුටුකොට තමන් දන් දෙන්න. එවිට ඔබ දාන දෙකක් දුන්නා වෙනවා. ඉහත කාරණය සෑම පෝලිමකටම පොදු බව කරුණාවෙන් තේරුම් ගන්න. යමෙක් ඔබට පෝලිමෙන් බැහැරව පැමිණීමට ඉඩ දෙනවා නම්, ඔහු මිත්‍රයෙක් නොව පාප මිත්‍රයෙක්මයි.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

මහ රහතුන් වැඩි මග ඔස්සේ
September 10, 2023.