පින්වත අපේ ජීවිත හසුරුවන පටිච්චසමුප්පන්න ධර්මතාවයක් තිබෙනවා. එම ධර්මතාවය තමයි අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය. පින්වත අපේ අතීත සංස්කාර ගිණුමේ තිබෙන්නේ අපිම රැස්කොට ගත්තා වූ කුසල් සහ අකුසල් සංස්කාරයෝමයි. පින්වත පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට පණදෙන මෙහෙයවන්නා අපේම අතීත සංස්කාර වූ කල්හි, අපේ ජීවිත ඉදිරියට පැමිණෙන හොඳ සහ නරක අපි ධර්මයේ උපේක්ෂාවෙන්මයි පිළිගන්න ඕනේ. අද උදෑසන පිණ්ඩපාත මඩුවට දානය බෙදන්න සියයකට වැඩි පිරිසක් පැමිණ සිටියා. ලොකු, කුඩා හැමෝම පෝලිම් ගැහිලා භික්ෂුව වඩින මග ශබ්ද නගලා සුපටිපන්න ගාථාව සජ්ඣායනය කරද්දී, භික්ෂුව තුළ සකස් වුණේ “සුවපත් වේවා” කියන චිත්තය පමණක්මයි. ඒ සකස්වුණ “සුවපත් වේවා” යැයි කියන චිත්තයත් භික්ෂුව සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් විදර්ශනාත්මකව සෝදා හැරියා. දැන් භික්ෂුව පසුවෙන්නේ දැක්කා, ඇසුනා, දැනුනා කියන ධර්මතාවයන් තුළයි. පින්වත මේ නැගෙන සාධුකාර හඬට භික්ෂුව වශීවෙලා තේරුමක් නැහැ. මේ නැගෙන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයේ ශක්තිය උදෙසා ලැබෙන දිට්ඨධම්මවේදනීය කුසල් සංස්කාරයන්ගේ ඵලයක්. මේ ලැබෙන පිරිවර සම්පත් කියන්නේ භික්ෂුව ගිහි ජීවිතයේ දී සහ පෙර ජීවිතවල දී හවුලේ සිදුකරන ලද දාන, ශීල, භාවනාවන්ගේ විපාකයන්ගේ ඵලයක්. පින්වත මේ සියළු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. පින්වත මේ අනිත්‍ය වී යන සංස්කාරයන් ඉදිරියේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයෝමයි භව දික්කසාදය උදෙසා එකම උපකාරක ධර්මය වෙන්නේ.
පින්වත භව දික්කසාදය උදෙසා පින්වත් ගිහි ඔබ, ඔබේ බිරිඳ, ස්වාමිපුරුෂයා දික්කසාද කරන්න අවශ්‍ය නැහැ. අපි සෝවාන් වෙලා කියලා දෙන්නා කාමර දෙකක නිදාගන්න අවශ්‍ය නැහැ. පින්වත ඔබ දක්ෂ වෙන්න අනවශ්‍ය අන්තයන්ගෙන් බැහැර වී ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා ධර්මයක් කොට දකින්න. ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මම ය, මගේ ය, මගේ ආත්මය යැයි නොදැක බිරිඳ තුළ මා සිටිනවා, මා තුළ බිරිඳ සිටිනවා යැයි ආත්ම දෘෂ්ටියෙන් නොදැක, ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. අවිද්‍යාවේ මුල සිට ජාති, ජරා, ව්‍යාධි, මරණ පටිච්චසමුප්පන්න කොන දක්වා ආදරයෙන්ම බලන්න. ඵස්සය සමග පටිච්චසමුප්පන්න නොකැඩෙන දීගයක බැඳී සිටින අවිද්‍යාව, සතර සතිපට්ඨාන ධර්මයෝ උපහාසයට ලක්කරමින් විඳීම් සමග පෙම්සුව විඳින හැටි අදරණීයව දකින්න. පින්වත ලෞකික ජීවිතයේ තිබෙන සුන්දරම අර්ථය ආදරයයි. නිකෙලෙස් ජීවිතයේ නිවුනු අර්ථය නිරෝධය වෙන්නා සේම, කෙලෙස් සහිත ජීවිතයේ සුන්දරම අර්ථය ආදරයයි. පින්වත ඔබට පුළුවන් නම්, ඔබේ ආදරය, ආදරයේ නිරෝධය උදෙසා යොමුකොට ගන්න, සත්‍යකින්ම නිරෝධයට මෙපිට තිබෙන සුන්දරම අර්ථය බවට ආදරය පත්වේවි. පින්වත ඔබේ ආදරණීය ආදරය ඉදිරියේ රාගයේ ඇස් වහලා ඔබට පුළුවන් නම් සතර සතිපට්ඨාන ධර්මයන්ට ඇස් දෙන්න, නිරෝධයට මුතුකුඩ අල්ලන පූජනීය ආදරයක නිකෙලෙස් රසය ඔබටම දැනේවි.
පින්වත ආදරය ඉදිරියේ සක්කාය දිට්ඨිය හරිම පළිබෝධයක්. ඔහු හෝ ඇය මම ය, මගේ ම යැයි කියලාමයි සක්කාය දිට්ඨිය රූපය අල්ලා ගන්නේ. පින්වත දැක්ම වැරදුන තැන විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ, දැනීම් වැරදිලාම යනවා. ඔබ ඉදිරියේ තිබෙන ආදරණීය රූපය ඉදිරියේ හොඳින් සිහිනුවණ ඇතිකොට ගන්න. පින්වත ආදරණීය වදන්, ආදරණීය හැඟීම් අඩු නොකොට ඔබ ඉදිරියේ තිබෙන රූපය ලෝකයාට හොරෙන් ලෝකය තුළ ලිහා බලන්න. එවිටයි ආදරය තව තවත් ගොඩාක් වැඩි වෙන්නේ. එවිටයි ආදරයේ නිරෝධයට ආදරය පහන් වැටක් වෙන්නේ. පින්වත ආදරය කෙරෙහි සති සම්බොජ්ඣඬ්ගය ඉදිරියෙහි ඔබ දෙසට නැවී එන්නේ ධම්ම විචය බොජ්ඣඬ්ගයයි. පින්වත ඔබ ඔබේ ආදරණීය ආදරය තුළින් මෙතෙක් නොදැක්කා වූ ධර්මයක් දකිනවා. අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබට අඹුසැමියන් ලක්ෂ ගණනක් සිටියා. ඒ කිසිවෙක්ගෙන් නොදැක්ක දහමක් ඔබ ඔබේ ආදරණීය ආදරය තුළින් වර්තමානයේ දකිනවා. පින්වත ධම්ම විචය බොජ්ඣඬ්ගය ඉදිරියේ වීර්යය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව දැන් ඔබේ කල්‍යාණ මිත්‍රයෝ. පින්වත ඔබේ ආදරණීය බිරිඳ හෝ ස්වාමි පුරුෂයාගේ ජීවිතය ඔහුගේ ලෝකයට හොරා ඔබ පටිච්චසමුප්පාද ධර්මයන් තුළ විසිරුවා දකින්න. අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස්වෙන එකිනෙකට වෙනස් වූ දැනීම්. පින්වත මේ ඔබ අත්දකින්නේ ආදරණීය ආදරය තුළින් ධර්මයේ උපේක්ෂාවයි. පින්වත ඔබේ ආදරය සතුටක් වුවත්, ඔබේ ආදරය කඳුළක් වුවත් එම සතුටත්, එම කඳුළත් අයිති ඔබේම අතීත සංස්කාරයන්ම යැයි දකිනා ධර්මයේ උපේක්ෂාව පමණක්මයි, ඇලීම් සහ ගැටීම් ගින්නෙන් ඔබව මුදවා දෙන්නේ.
පින්වත ආදරය ගැන සටහන ලියන මොහොතේ ගිරා ජෝඩුවක් ඇවිත් කුටිය ඉදිරිපිට සියඹලා ගසේ අත්තක වැසුවා. කිසිම ලැජ්ජා භයකින් තොරවම දෙදෙනා එකට තුරුළු වෙලා මොන මොනවදෝ කියනවා. ආදරය සත්ත්ව ප්‍රජාවටම පොදු ධර්මතාවයක්. ආදරයේ නාමයෙන් හැමෝම සිහින දකිනවා. සමහර සිහින ඉටු වෙද්දී, සමහර සිහින බොඳ වෙලාම යනවා. එවිට අපි ආයෙත් සිහින ඇතිකොට ගන්නවා. පින්වත අපේ අසිහියෙන් එකම දෙය නැවත නැවත සිද්ධ වෙනවා. එයට අපි ජීවිතය යැයි කියනවා. ගිරා ජෝඩුවගේ කතාබහ තවමත් නැවතිලා නැහැ. සමහරවිට ගිරවා කියනවා ඇති මේ පාර දුවෙක් හම්බ වුණොත් මට, පුතෙක් හම්බ වුණොත් ඔයාට කියලා. හැබැයි ඉතින් මේ පාර ඔයා බිත්තර දෙකක්ම දමලා දුවෙකුයි, පුතෙකුයි දෙදෙනෙක් ලැබුණොත් මම ඔයාට ලස්සන තෑග්ගක් දෙනවාය කියලා මාල ගිරවා අපිට නොතේරෙන භාෂාවෙන් ගිරවියට කියනවා ඇති. පින්වත ආදරය හරිම අහිංසකයි. ආදරය හරිම බලාපොරොත්තු සහගතයි. ඒත් අතීත අකුසල් සංස්කාරයෝ ආදරයේ හරහට හිටියොත් ආදරය කළ සිතටම පුළුවන් වෛරයක් බවට පෙරළෙන්න. පින්වත ආදරය ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන් පුරවා ගන්න. එවිටයි ආදරය පංච නීවරණයක් නොවී සප්ත බොජ්ඣඬ්ගයන් දිශාවට නැමී යන්නේ. ගිරා ජෝඩුවට ගොඩාක් පින්, භික්ෂුවගේ පටිච්චසමුප්පන්න අතීත ගිරා ජීවිත ගැන මතක්කොට දුන්නාට. පින්වත අතීතයේ යම් දවසක පටිච්චසමුප්පන්නව ගිරවෙක්ව ඉපදිලා, සතර අපාය අභිබවලා, මිථ්‍යාදෘෂ්ටිකභාවයන් පරාජය කරලා අකුසල් කාන්තාර මැදින් පංච උපාදානස්කන්ධ දුක් සාගර තරණය කරලා වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන තැනට එන්නට භික්ෂුව මොන සා නම් දුක් සාගරයක් විඳින්නට ඇති ද? පින්වත ගිරා ජෝඩුවගේ අහිංසක ආදරය තුළ මොනතරම් නම් වියරු මෝහයක්, අනාගත පංච උපාදානස්කන්ධ දුකක් සැඟවී තිබෙනවා ද?
අපි අතීතයට බණ කියලා වැඩක් නැහැ. අපි ධර්මය දේශනා කරන්න ඕනේ වර්තමානයට සහ අනාගතයට. අනාගත සමාජය ශ්‍රද්ධාව හීන, දැනුමෙන් ශක්තිමත් සමාජයක්. වර්තමානයේ අපි ධර්මයක් විග්‍රහ කිරීමේ දී එය ධර්මානුකූල වෙන්න ඕනේ. අපේ ඕනෑ එපාකම් මත අපි ධර්මය විග්‍රහ කරන්න ගියොත් උතුම් තෙරුවන්ම විවේචනයන්ට ලක්වෙන්න පුළුවන්. මේ සටහන තබන මොහොතේ භික්ෂුවගේ ශරීරය දහඩියෙන් තෙමිලයි තිබෙන්නේ. ඒ තරමටම මේ ප්‍රදේශයට ඉඩෝරය. ඒත් ඉතින් මොනවා නම් කරන්න ද? සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ධර්මයේ උපේක්ෂාවෙන් වැඩ සිටිනවා. පින්වත යම් රටක අව්ව සහ වැස්ස විකෘති වෙනවා යැයි කියන්නේ හේතුඵල ධර්මයක්. පාලක පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දි සියල්ලම අධාර්මිෂ්ඨ වෙලා යනවා. වහිනකොට දෙගොඩතලා යන්නම වහිනවා. පායනකොට මහ පොළොව ඉරිතලා යන්නම නියඟය එනවා. පින්වත මනුෂ්‍යයා මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව අන්තවාදී දිශාවන්ට යනකොට පරිසරයත් මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරව අන්තවාදී වෙනවා. පින්වත මුලින්ම අන්තවාදී වුණේ පරිසරය නොව මනුෂ්‍යයා බව කරුණාවෙන් තේරුම් ගන්න. පින්වත ආත්මාර්ථකාමීභාවය මුල්කොටගත්ත අකුසල් සංස්කාරයෝ මනුෂ්‍ය ජීවිතවල ඝනව මණ්ඩි බැඳිලා. පින්වත උතුම් පිරිත් සූත්‍ර දේශනා කරලා කෙසේ නම් වැසි වස්සවන්න ද? පින්වත වැසි පිරිත කියලා පිරිතක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවක් භික්ෂුව අහලා නැහැ. අවම වශයෙන් උතුම් සෝවාන්ඵලයටවත් පත් නොවූ, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් අතින් සක්කාය දිට්ඨිය වැඩෙන මෙවැනි පිරිත් සමාජගත වෙන්න පුළුවන්.
පින්වත බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර නියඟයෙන් විනාශ වී දුර්භික්ෂයෙන් පීඩා විඳිද්දී, ජනතාවගේ අකුසල් බුර බුරා නැගෙද්දී විශාලාවට වැස්සේ නැහැ. දුර්භික්ෂයෙන් විශාලාව විනාශ වූ පසුවයි පන්සියයක් මහ රහතන් වහන්සේලා සමග විශාලාවට වැඩමකොට උතුම් රතන සූත්‍රය දේශනා කරන්නේ. ඉන් පසුවයි මහ වැසි ඇද හැලෙන්නේ. වර්තමානයේ අපි පන්සියයක් ස්වාමීන් වහන්සේලාත්, මහ රහතන් වහන්සේලා පන්සිය නමක් වහන්සේලාත් අතර ඇති අධ්‍යාත්මික වෙනස නිහතමානීව අපි තේරුම් ගන්න ඕනේ.
පින්වත අපේ ජීවිතවල සද්ධර්මයේ වැසි විකෘති නිසාමයි පාරිසරික අව් සහ වැසිවල විකෘතිභාවයන් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උතුම් උතුම් ධර්මරත්නය යනු වැසි වස්සවන ධර්මයක් නොව, අව්ව සහ වැස්ස විකෘති නොකරගෙන ජීවත්වීමට කියාදෙන ධර්මයකි. පින්වත උතුම් පිරිත් සූත්‍රයන්ගේ අර්ථය ඔබේ ජීවිතය බවට පත්කොට ගන්න. අපි හැමෝම ජීවත්වෙන පිරිත් සූත්‍ර බවට පත්වුණොත් සමාජයට මොනතරම් නම් යහපතක් වේවි ද? පින්වත පරිසරයට මෙත් වඩන්න. තණකොළ ගසක් පෑගුණත් “සුවපත් වේවා” යැයි සිතන්න. තණකොළ ගස ආත්මීය දෘෂ්ටියෙන් නොගෙන, කෘතවේදීභාවයෙන් දකින්න. හදවතින් හදවත, සිතුවිල්ලෙන් සිතුවිල්ල මෛත්‍රිය සමාජයට මුදා හරින්න. පරිසරය මනුෂ්‍යයා ජීවත් කරවන නිසාම, පරිසරය විනාශ කිරීම මනුෂ්‍ය ඝාතනයකට වඩා බරපතළ අපරාධයක් බව නුවණින් දකින්න.
අධාර්මිෂ්ඨභාවයේ දුගඳ මකා දමා මෛත්‍රියේ සහ ශීලයේ සුවඳ නිවැරදි සම්මා සතියට පාවඩයක් කොටගන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023 සැප්තැම්බර් 03 වන ඉරුදින දිවයින පුවත්පත.