යහපත් වෙනසකට සුභ මොහොත.

පින්වත පරිසරයට හිටපු ගමන් වැහි අඳුරක් පහත් වුණා. මෙතෙක් තිබූ තද අව්ව නිමිලා, පරිසරය සිසිල් වුණා. මැලවිලා අඩ නින්දේ තිබුණු කොළ, අතු සිසිල් පරිසරයෙන් පුංචි ආශ්වාදයක් ලබනවා. හැඟීම්, දැනීම් නැති වුණත් ගස් කොළන් වලටත් උවමනා එපාකම් තිබෙනවා. පින්වත දැන් නම් පුංචි වැහි පොදයකුත් වැටෙනවා. හුඟ දවසකින් වැස්සේ නොතෙමුණු කුරුල්ලෝ උවමනාවෙන්ම වැස්සේ තෙමෙන්නේ පුදුමාකාර සතුටකින්. පිංවත ආශ්වාදය කියන්නේ හරිම මිරිඟුවක්. කොහෙන්දෝ පැමිණි සුළඟක් පුංචි පොද වැස්ස පමණක් නොවේ, වැසි වලාකුළුත් ඈතටම අරගෙන ගියා. පින්වත එක බලාපොරොත්තුවක් බිඳී යනකොට අපි තවත් බලාපොරොත්තුවක් ඇතිකොට ගන්නවා, අද වැස්සේ නැති වුණත් හෙට වහීවි කියලා. සත්‍යකින්ම හෙට වහීවි. ඒත් වැස්සේ ආශ්වාදය කෙටියි. අපි හැමෝම අතීත භව ගමනේ අවසාන කල්ප විනාශයට කොටු වී වතුර නැතුව, ආහාර නැතුව, හාමතේ අව්කාෂ්ඨකයේ පණ අදිද්දී, අපි අඩ සිහියෙන් බලාපොරොත්තුවක් ඇතිකොට ගන්න ඇති, හෙට වහීවි කියලා. පින්වත ඉරවල් හතක් පායලා මුළු පෘථිවියම ගිනිගෙන අළු දූවිලි වෙලා යනතෙක්ම ආයෙමත් වැස්ස නම් ආවේ නැහැ. පින්වත අකුසලයට, කුසලයේ වැසි වස්සවන්න වැසි පිරිතටවත් පුළුවන් කමක් නැහැ. පරිසරයේ අව්ව, වැස්ස සමතුලිත වෙන්න නම් පරිසරය ආරක්ෂාකොටගන්න, කපන ගසක් වෙනුවට ගසක් සිටුවන්න. පරිසරයට මෙත් සිතින් මෛත්‍රිය මුදා හරින්න.

පින්වත ගහකොළ දකිද්දී අපිට සුවපත් වේවා යැයි සිතෙන්නට ඕනේ. පරිසරයත්, බුදු දහමත් මොනතරම් ඥාතිත්වයකින් බැඳිලා ද කියලා කියනවා නම්, උපසම්පදා භික්ෂු අපිට ගසක කොළයක් කැඩීමත් විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. පින්වත කොන්ක්‍රීට් වනාන්තරයක, වැලි කාන්තාරයක බුදු දහම රඳන්නේ නැහැ. බුදු දහම රඳන්නේ ආරණ්‍යක, රුක්ඛ මූලයක, නිහඬ, නිසල ශූන්‍යාගාරයක. අපේ පන්සල්, ආරණ්‍ය පවා කොන්ක්‍රීට් ගොඩවල් වෙද්දී චතුරාර්ය සත්‍යය අපෙන් ප්‍රශ්න කරනවා, ඔබලා ඔය සොයාගෙන යන්නේ දුක ද, එසේත් නැතිනම් සැපයේ මිරිඟුව ද කියලා. පින්වත දස දිශාවටම පංච නීවරණ සුළං රැලි හමායන සම්මුති ලෝකය තුළ අපිට පමණක් ධර්මානුකූල වෙන්න බැහැ. පින්වත ශාසන අර්ථයන් දෝතින් දරාගන්න අපි දක්ෂ වෙන්න ඕනේ, සමස්ත ලෝකයටම පූර්වාදර්ශී වෙන්න. පින්වත වර්තමානයේ අපි ලෝකයට දෙන්නේ පාවාදීමේ සහ හිඟමනේ පූර්වාදර්ශයන් පමණක්මයි.

පින්වත අපි දිනෙන් දින අවරට යන ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. අපි කවදා ද අපේම හෙටක් කියලා දවසක් ගැන සිතන්නේ? නැති බැරි ජනතාව තුළ හෙටක් ගැන තිබෙන බලාපොරොත්තු උගසට තියලා, නිලබල තිබෙන පින්වතුන් පරම්පරා ගණනාවක් ඈතට සිහින දකින සමාජයකයි අපි ජීවත් වෙන්නේ. පින්වත වර්තමානයේ අපිව පාලනය කරන්නේ අපි විසින් නොවේ. පින්වත අපේම පාලනයෙන් අපිව ගිලගන්න, අපේම පින්වත් නායකයෝ රූකඩ බවට පත්වෙන්න, අතීතයේ අපි දේශපාලනයේ නාමයෙන් මොනතරම් නම් අකුසල් සිදුකොටගෙන තිබෙන්න ඕනෙ ද? පින්වත කවදා ද අපි දේශපාලනය තුළ කුසල් ධර්මයන් වැඩුවේ? කවදා ද අපි දේශපාලනය තුළ පංචශීලය රැක්කේ? පින්වත දේශපාලනය සමාජ සේවයක් නොවී දේශපාලනය ව්‍යාපාරයක්වීම නිසාම, අපි මෙතෙක් සෙව්වේ මනුෂ්‍යකම් නොවේ. අපි සෙව්වේ ලාභය පමණක්මයි. පින්වත දේශපාලනයේ නාමයෙන් අපි සිදුකොට ගත්තා වූ දශ අකුසල් වර්තමානයේ දිට්ඨධම්මවේදනීයව අපි හැමෝගේම පසුපසින් සෙවනැල්ල සේම එනවා. පින්වත අකුසල් විපාකයෝ, අපේ පාලනය අපෙන් උදුරාගෙන තිබෙනවා. අපේකමට අයිති නැති ආගන්තුකයින් විසින් අපිව පාලනය කරනවා.

පින්වත ජාතියට ජයග්‍රහණයක් අත්‍යාවශ්‍යයි. නමුත් ජයග්‍රහණය කියන අර්ථය අපිට හරිම අමිහිරි අපේ බලාපොරොත්තු බිඳ දැමූ අර්ථයක්. අතීතයේ ජාතියක් වශයෙන් අපි ලැබූ සෑම ජයග්‍රහණයකදීම අපි ලබලා තිබෙන්නේ අදක්ෂයින් පිරිසක්. පින්වත හෙට ජාතියට අවශ්‍ය දක්ෂයින් පිරිසක් තුළින් ලබන ජයග්‍රහණයක්. පින්වත දක්ෂයාගේ දක්ෂභාවය දෙපැත්තෙන්ම දැනෙන්න ඕනේ. දැනුමෙන්, බුද්ධියෙන්, අත්දැකීමෙන් වගේම, අධ්‍යාත්මික ගුණාත්මකභාවයත් දක්ෂයාගේ දක්ෂභාවය මුවහත්කොට දෙනවා. පින්වත අධ්‍යාත්මික ගුණාත්මකභාවයක් නැති දක්ෂයා තෘෂ්ණාවට වහලෙක් වෙන්නේ, අවිද්‍යාවේ දුර්ගන්ධයෙන් මුළු සමාජයම ඔත්පල කරලයි. පින්වත පින් කරන මනුෂ්‍යයින්ගෙන් පිරුණු මේ මාතෘභූමිය පිනේම ඵලයෙන් උපදින ගුණාත්මක දක්ෂයින්ගෙන් පිරිලයි තිබෙන්නේ. පින්වත අදක්ෂයින්ගේ මුසාවාදයන්ට තවදුරටත් නොරැවටී අධ්‍යාත්මික ගුණයෙන් ශක්තිමත්, දැනුමෙන්, බුද්ධියෙන්, පළපුරුද්දෙන් ශක්තිමත් දක්ෂයින් සොයාගෙන යන මෙහෙයුමක් අරඹන්න. පින්වත මෙයයි ජාතියේ පින මුකුළු කරන යහපත් වෙනසකට සුභ මොහොත. පින්වත සියළු සංස්කාරයෝ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධ ලෝකයක, අවිද්‍යාව වියරුවෙන් තෘෂ්ණාවටම ඔටුණු පලන්දවන ලෝකයක අධ්‍යාත්මික ගුණාත්මකභාවයෙන් යුත් දක්ෂයාට පමණක්මයි තමනුත් ආරක්ෂා වී සමාජයත් ආරක්ෂාකොටදීමේ හැකියාව තිබෙන්නේ. පින්වත මනුෂ්‍යයෙක්ගේ හොඳ සහ නරක මනින උපකරණයක් නොමැති ලෝකය තුළ තම සිතින්, කයින්, වචනයෙන් සිදුකරන යහපත් හැසිරීමමයි, මනුෂ්‍යයෙකුගේ යහපත මනින ස්වයං උපකරණය වෙන්නේ.

පින්වත ලෝකය අයිති අවිද්‍යාවටයි. ඒ නිසාම සියයට සියයක් හොඳ දෙයම සොයන්න බැහැ. පින්වත නරක සංස්කාර බැහැර කරලා හොඳ සංස්කාරයන් කෙරෙහි විශ්වාසය තැබීම පමණක්මයි අපිට කළ හැක්කේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබූ බිම්බිසාර රජතුමා මගධ රාජ්‍යයට සාධාරණයක් වුවත්, තම පුත් කුමරුන්ගේ මෙහෙයවීමෙනුයි ඝාතනයට ලක්වෙන්නේ. පින්වත අවිද්‍යාවෙන් උපදින සංස්කාරයෝ හොඳ මරා දමන්න, නරක මෙහෙයවනවා. පින්වත සංස්කාර කාසියේ දෙපැත්ත හොඳ සහ නරක යන දෙකම නියෝජනය කරන නිසාම, භව සෙල්ලමේ නැවතීමක් නැහැ. පින්වත භව සෙල්ලමේ නැවතීමක් නැති හොඳ සහ නරක දෙකම අවිද්‍යාවටම සේවය කරන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ, අපේ ඉලක්කය විය යුත්තේ මුල් අදියරේ දී අකුසලයට වැට බඳින සමාජයක්මයි. පින්වත අකුසලයට වැට බඳින්න නම් අවිද්‍යාවේ අර්ථය හඳුනන දක්ෂයින් අපේ නායකයින් වෙන්න ඕනේ. අවිද්‍යාවේ අර්ථය නොහඳුනන අදක්ෂයින් නායකයින් වුණොත් රූපය මම ය, මගේ ය, මගේ ආත්මය යැයි දකිනවා. ඔහු රූපය තුළ මම දකිනවා. මම තුළ රූපය දකිනවා. ඔහු රජ කරන්න උත්සාහ ගන්නේ රූපයමයි, රූපය ඇසුරෙන් සකස්වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝමයි. පින්වත අසත්‍යය ඉදිරියේ සත්‍යය පලා යනවා. පෙර පින නිසාම අවිද්‍යාව අපිව ගෞරවනීය මැජික්කරුවන් බවට පත්කරනවා. විඤ්ඤාණය නමැති මැජික්කරුවා සතු පටිච්චසමුප්පන්නව පුහුණු කරපු අවිද්‍යා සහගත සංස්කාරයෝ නිසාම බොරුව ඉදිරියේ ලැජ්ජාව, බිය පහව යනවා. පින්වත අවිද්‍යාව රජ කරන සමාජයක ඔබ අවිද්‍යාවට එරෙහිවයි පෙළ ගැසෙන්න ඕනේ. අවිද්‍යාවට එරෙහි මාර්ගය වෙන්නේ අරගල, ද්වේශය, වෛරය, පළිගැනීම නොවේ. අවිද්‍යාවට එරෙහි එකම විශ්වාසනීය මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සමාජය මරා නොදමා සමාජය යළි ජීවත් කරවීමට ඔබට අවශ්‍ය නම් ඉහත ඇත්ත නුවණින් තේරුම් ගන්න. පින්වත අවිද්‍යාවේ ධාතු ස්වභාවය ප්‍රශ්න විසඳීම නොව, ප්‍රශ්න ඇති කිරීමයි. අවිද්‍යාව ප්‍රශ්නයක් විසඳුවත්, එම විසඳුම තවත් ප්‍රශ්න ගොඩකට මුලක්මයි. පින්වත ප්‍රශ්න වැඩි සමාජයක් යනු අවිද්‍යාවට රජ මඟුලක්මයි. කෑදර තෘෂ්ණාවට මඟුල් කෑම මේසයක්මයි. තෘෂ්ණාවේ රසයෙන් උපදින ඇලීම් සහ ගැටීම් වලට අවිද්‍යාව එළි නොවන මධුසමයක්මයි.

පින්වත පරාජය ලෝක ධර්මතාවයක් බව ඇත්ත. නමුත් අපි දියුණු, සිතීමේ ශක්තියක් ඇති මනුෂ්‍යයෝ. අපි අවිද්‍යාවේ හැඩරුව තේරුම් ගත්ත මනුෂ්‍යයෝ. අපේ අද දවස අපි කැපකළ යුත්තේ එක්කෝ යහපත් හෙට දවසක් උදෙසා, එසේත් නැතිනම් අවිද්‍යාවේම නිරෝධය උදෙසායි. වර්තමානයේ අපේ සමාජය මේ දෙඅර්ථයෙන්ම ප්‍රතික්ෂේප වෙලා. වර්තමානයේ සමාජයට සිද්ධ වෙලා තිබෙන්නේ විඤ්ඤාණ මැජික්කරුවන්ගේ අළුත් අළුත් මැජික් සංදර්ශන දකිමින් ඇලීම් සහ ගැටීම් ඇතිකොටගෙන අකුසලයෙන් විනාශය දෙසට ගමන් කිරීම පමණක්මයි. පින්වත මේ සමාජගත වෙන විජ්ජාකාරී මැජික් සෙල්ලම කරුණාකර මෙත් සිතින් ප්‍රතික්ෂේප කරන්න. සමාජගත වෙන අවිද්‍යාවේ විජ්ජාවන්ට අත්පොළසන් දුන්නා, ගැටුනා හොඳටෝම ඇති. එකිනෙකට සම ධාතු එකට සැසඳීයාම ලෝක ස්වභාවයක්. පින්වත නරක ලෝකය තුළ තිබුණ දෙන්, ඔබ හොඳින් තේරුම් ගන්න දක්ෂ වෙන්න. පින්වත අපි මේ කතා කරන්නේ අවිද්‍යාවට. ඒ නිසාම මේ කතාවන් ප්‍රතික්ෂේප කිරීම සහ පිළිගැනීම කියන කාරණා දෙකම ලෝකය තුළ තිබෙනවා. පින්වත තවම සමාජයේ මෛත්‍රිය සහ ශීලය ශක්තිමත්. ඒ නිසාම අයහපතින්, යහපත අපි දිනාගත යුතුයි. පින්වත් ඔබේ ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ ශක්තිය සමග තවදුරටත් අවිද්‍යාවට සෙල්ලම් කරන්න දෙන්න එපා. කරුණාකර අවිද්‍යාවෙන්ම උපන් අකුසලයට එරෙහිව අවිද්‍යාවෙන්ම උපන් කුසල් ධර්මයෝ වෙනුවෙන් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්නේ, සමාජගත වෙන මේ වියරු අවිද්‍යාවේ අකුසල් ධර්මයෝ මේ විනාශකොට දමන්නේ හෙට දවසට උරුම සියළුම යහපත් ධර්මයෝමයි.

පින්වත ඔබ පිනෙන් උපන් ජාතියක්. පින්වත ඔබ පිනේ අර්ථයන් ලෝකයාට උගන්වපු ජාතියක්. පින්වත ඔබ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය ලෝකයට බෙදා දුන්න ජාතියක්. ඔබ පිනෙන් උපන් ස්වභාවික පරිසරයක උපන් ජාතියක්. ඔබ මවුපිය ගුණයන් හඳුනන ජාතියක්. පින්වත ඔබ බතල දණ්ඩක් පසට යට කළත් පැළවෙන අත්ගුණයක් තිබෙන ජාතියක්. එහෙව් ඔබ ලෝකයා ඉදිරියේ පුලන්නන් වියයුතු නැහැ. ලෝකයා ඉදිරියේ ණයකාරයන් වියයුතු නැහැ. ණයකාර මානසිකත්වය අවිද්‍යාවට කප් රුකක් වූවාට, ණයකාර මානසිකත්වය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමට මර උගුලක්ම වෙනවා. පින්වත අභියෝග අයිති ඔබට නොවේ. අභියෝග අයිති අකුසලයටයි. පින්වත අභියෝගයන් ජයගැනීම අයිතිත් ඔබට නොවේ, ඔබේ කුසල් ධර්මයන්ටමයි. පින්වත සමාජගතවෙන වියරු අවිද්‍යා දේශපාලනය ආත්මීය සංඥාවෙන් ගන්න එපා. පුද්ගල සංඥාවෙන් ගන්න එපා. සමාජගතවෙන දේශපාලන වියරුව චපල අවිද්‍යාව හැටියටම දකින්න. ඔබ පුද්ගල සංඥාවට ගියොත් ඔබේ ඉරණමත් අකුසල් මූලයන් විසින්ම විසඳාවි. පින්වත අභියෝග දිනන සෙන්පතියා ඔබ නොව, ඔබේ දස කුසල් සංස්කාරයෝ ම ය.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

මහ රහතුන් වැඩි මග ඔස්සේ,
August 27, 2023.