සිරුරක ඇති වටිනාකම මොකක්ද?

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හිදී අපි ඒ සැපවේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැසගන්නවා. ඒ සැපවේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතකදි ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙත්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්මයි.

මෙය සටහන් තබන භික්ෂුවගේ භික්ෂු ජීවිතය තුළ කවදාකවත් බිඳවැටුණ බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු බිඳවැටෙන්න නම් බලාපොරොත්තු ඇතිකොට ගන්න ඕනේ. මමත්වයේ දැඩිභාවයෙන් තොරව සංස්කාරයන්ට අදාළව ජීවිතය දකිනකොට සැප, දුක් වේදනාවන්ගෙන් බැහැර වූ ධර්මයේ උපේක්‍ෂාව තුළයි ජීවිතය පවතින්නේ. ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරන ධර්මයේ බොහෝම සුන්දර අර්ථයක් තිබෙනවා. ආහාරය උපයෝගී කොටගෙන ආහාරයෙන් පෝෂණය වන මේ කය නිරෝධය කරන තෘෂ්ණාව උපයෝගී කොටගෙන තෘෂ්ණාව නිරෝධය කරන මාන්නය උපයෝගීකොට ගෙන මාන්නය නිරෝධය කරන ලිංගික ආශාව උපයෝගීකොට ගෙන ලිංගික ආශාව නිරෝධය කරන සුන්දර ධර්මයක් ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා මේ කය ආහාරයෙන් වැඞී තිබෙන්නේ. එම නිසා ආහාර උපයෝගීකොට ගෙන ආහාර කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්නය කියල. වර්තමාන සමාජයේ දිව පිනවීමට ඇති අධික තෘෂ්ණාව නිසාම ආහාර උපයෝගීකොට ගෙන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දොම්නස්සයන්ගේ සිරකරුවන් බවට සමාජය පත්වෙලා තිබෙනවා. දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් නොදකින නිසාම දිවේ ස්පර්ශය හේතුවෙන් ලබන කෙටි සැප වේදනාවන් අනිත්‍ය බව නොදකින නිසාම එකිනෙකට වෙනස් හඳුනාගැනීමේ පසුපස සංස්කාරයන් හඹාගෙන පිට්සා, කොත්තු රොටි, කෙටි කෑම සංස්කෘතිය වේගයෙන් ශක්තිමත් වෙනවා. අවිද්‍යාවේ අවන්හල්, හෝටල්, කඩ කෑම සංස්කෘතිය සමස්ත ජාතියම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගේ සුන්දර සද්ධර්මයේ ඒහිපස්සික ගුණය, සිහිබුද්ධිය ඇති හැමෝටම හොඳින් මතුකොට පෙන්වනවා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා ආහාරයෙන් පෝෂණය වන මේ කය ආහාරය උපයෝගීකොට ගෙන නිරෝධය කරන්නය කියලා. ආහාරය උපයෝගීකොට ගෙන ආහාරය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කරන්නේ කොහොමද? ආහාර කෙරෙහිත්, ආහාරයෙන් පෝෂණය වන මේ කය කෙරෙහිත්, සතිය සිහිය ඇතිකොට ගන්නවා. මේ කය ආහාරයෙන් ඉපදුණා වූ රූපයක්. පිංවත් ඔබේ ඔය සුන්දර රූපය හටගන්නේ ආහාරයෙන්. අතීතයේ යම් දවසක ඔබේ අම්මාගේ ශරීරයේ පැලෝපීය නාළය තුළ අම්මාගේ ඩිම්බයකුත්, තාත්තාගේ ශුක‍්‍රාණුවකුත් එකතු වීමෙනුයි ඔබේ රූපයේ මූල බීජය වන කලල රූපය ඇතිවුණේ. අම්මාගේ ඩිම්බයක් කියන්නේ, තාත්තාගේ ශුක‍්‍රාණුවක් කියන්නේ තමන් අනුභව කළා වූ ආහාරයේ ඕජාවෙන් හටගන්නා වූ ධර්මතාවයන් දෙකක් මයි. ඒ නිසයි ඔබේ රූපය ආහාරයෙන් හටගත්තාය කියලා ධර්මානුකූලව අර්ථ දක්වන්නේ.

පිංවත් ඔබේ ඔය රූපය අයිති පිළීගඳ ගසන ඔබේ මෑණියන්ගේ ශරීරයේ නිපදවෙන ඩිම්බයක, පිළීගඳ ගසන ඔබේ පියාණන්ගේ ශුක‍්‍රාණුවකට. පිංවත් ඔබ දෑස් පියාගෙන දකින්න පිරිමියකුගේ ශරීරයෙන් පිටවී යන ශුක‍්‍රාණුවක ඇති පිළීගඳ, දුගඳ, අපුලභාවය දින විසි අටකට වරක් කාන්තාවකගේ ශරීරයෙන් පිටවී යන මළ ඩිම්බයක ඇති අපුලභාවය, දුගඳ, පිළිකුල්භාවය. පිංවත් ඔබේ මුල් අයිතිය ඒ පිළිකුල්භාවයටමයි. ඒ පිළිකුල්භාවය යටපත් කොටගෙන පඨවි ධාතුවේ තද ස්වභාවයත්, ආපෝ ධාතුවේ මෘදු මෙලෙක් ස්වභාවයත්, තේජෝ ධාතුවේ උණුසුමටත්, වයෝ ධාතුවේ හැඩය, ලාලිත්‍යය, රිද්මයටත් පෙර සංස්කාරයන් හේතුවෙන් සකස්වන වර්ණය, සැපය, බලයටත් අපි ආශ්වාදයෙන් බැඳී යනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය ලක්‍ෂ ගණන් වටිනා සයනයක සතපවන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය සුන්දර මන්දිරයකට ගෙවද්දන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය දහස් ගණන් වටිනා ඇඳුම්, ආභරණ අන්ඳවන්න සුදුසු ශරීරයක් නොවේ. මේ ශරීරය අයිති ජරාවට, ව්‍යාධියට, මරණයටමයි. ඒ නිසා මහණෙනි ආරණ්‍යයත්, ශුන්‍යාගාරයත්, රුක්ඛ මූලයක් ඔබේ නවාතැන බවට පත්කොට ගන්න. වටිනාකමක් නොමැති පාංශකූල චීවරයකින් ලැජ්ජා, භය ඇති තැන් වසාගන්න. අනුන් පූජාකරන පිණ්ඩපාතයකින් යැපෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා.

පිංවත් ඔබ ඔබේ මෑණියන්ගේ මවු කුසේ ගර්භාෂ කුටිය තුළ ස්වභාවධර්මයත් සමග යම් සේ ඔබ වැඩුණා ද ඒ උපත නිරෝධය කිරීමට නම් ඔබ ස්වභාවධර්මය සමග මුහුවිය යුතුමයි. නව මාසයක් කිසිවකුගේ පෞද්ගලික උපකාරයකින් තොරව ස්වභාවධර්මය තුළින්ම වැඩුණ අපි මෙලොව එළිය දුටු මොහොතේ පටන්ම කෘත‍්‍රිම ලෝකයේ සාමාජිකයන් වෙනවා. ස්වභාවධර්මය අවබෝධකොට ගැනීමට නම් අපි අනිවාර්යයෙන්ම ස්වභාවධර්මයේම කොටසක් වෙන්න ඕනෙ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිව රුක්ඛ මූල, ශුන්‍යාගාරයකට, ආරණ්‍යයකට යොමුකරන්නේ.

maharahathun1වර්තමානයේ අපි සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ. මෑණියන්ගේ ගර්භාෂ කුටියේ ලේ, සැරව ගොඬේ හැදෙන රූපය අපි සුවඳ විළවුන් සාප්පුවක් බවට පත්කොටගෙන තිබෙනවා. ඒ නිසාම අපිට ධර්මානුකූලව සැඟවුණ දක්‍ෂභාවයක් මතුකොට ගන්න ප‍්‍රමාද වෙලා තිබෙනවා.

භික්ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය අවුරුදු පනහකට (50) වඩා පැරණි කුටියක්. භික්ෂුව දන්නා පරිදි කුටියේ තිබෙන ලෑලි ඇඳට අවුරුදු පනහකට (50) වැඩි ඉතිහාසයක් තිබෙනවා. මේ කුටියේ මේ ලෑලි ඇඳ මත මීට වසර හතළිහකට පෙරාතුව විදේශීය සුදු ජාතික ස්වාමින් වහන්සේ නමක්, කර්ම රෝගයකින් පීඩා විඳීම නිසා ගෙල වැලලාගෙන අපවත් වෙලා තිබෙනවා. ඊට පසුව තවත් සුදු ජාතික ස්වාමින් වහන්සේ නමක් වැලි පොළෙඟක් දෂ්ට කිරීම නිසා අපවත්වෙලා තිබෙනවා.

අස්ථිර වූ පංචඋපාදානස්කන්ධ ලෝකයක් තුළ ස්ථිර වූ සැප වේදනාවන් සොයාගෙන අයාලේ යන අපිට එම විදේශීය ස්වාමින් වහන්සේලාගේ අපවත්වීම්, සංසාර බිය මතුකොට ගන්න සුන්දර පූර්වාදර්ශයන් වෙනවා.

පිංවත් ඔබට සතර මහා ධාතුවෙන් සෑදුන කයේ යථා ස්වභාවය ගැන ඉහත සටහන තැබුවේ ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනාකොට වදාළ මේ කය ආහාරයෙන් වැඩින. එම නිසා ආහාරයට උපයෝගී කොටගෙන ආහාරය නිරෝධය කළ යුතුයි කියන ධර්මය පහදා දෙන්නයි. ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ සැඟවුණ රාග සිත් ඇතිව සිටි භික්ෂුණින් වහන්සේ නමකටයි. එම භික්ෂුණිය රෝගී බවක් හඟවා උපක‍්‍රමශීලීව ආනන්ද ස්වාමින් වහන්සේව ආරාමයට වඩම්මවා ගන්නේ, ආනන්ද ස්වාමින් වහන්සේ භික්ෂුණියගේ උපක‍්‍රමය හඳුනාගෙන ඇයට දේශනා කරනවා, ඔබ පිණ්ඩපාතය වළඳනකොට ආහාර මිස තෘෂ්ණාව වළඳන්න එපාය කියලා. පිංවත් ඔබ ආහාරය සමග තෘෂ්ණාවත් වැළඳුවොත් ආහාරය මොහොතකින් තේජෝ ධාතුවේ උණුසුමෙන් දිරවා රුධිරය, මළ, මුත‍්‍රා බවට පත්වුණත් ඔබ වළඳන තෘෂ්ණාව නම් ඔබව පටිච්චසමුප්පන්නව දුක කරාම රැගෙන යනවාය කියලා.

වර්තමාන සමාජයේ පිංවතුන්ලා එක ආහාර පිඟානක් අනුභව කරනකොට තෘෂ්ණාව ලොකු බේසමක් පමණ අනුභව කරනවා. ආහාරය තුළින් ශරීරයේ නිරෝගීභාවය, වර්ණය, සැපය, බලය, හැඩය, මස්පිඬු වර්ධනය, කෙට්ටුවීම, මහත්වීම කියන අතුරුපස වලින් පිරුණු තෘෂ්ණාවේ ආහාරත් මදි නොකියන්න අනුභව කරනවා.

දිනක් මහත්වරු දෙදෙනෙක් උදෑසන පිණ්ඩපාත මඩුවට දානය රැගෙන ඇවිත් භික්ෂුවට මහත් ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ අපගේ කොම්පෝස්ට් එළවළු, පලතුරු, පළා වගාවේ මුල්ම කුළුඳුල් අස්වැන්න නෙළලා ඔබවහන්සේට නිරෝගී දානයක් හදාගෙන ආවාය කියලා. ඒ අවස්ථාවේ මහත්වරු දෙදෙනා තමන්ගේ කොම්පෝස්ට් වගාවේ විශේෂත්වය සහ විෂ රහිතභාවය ගැන වර්ණනා කරමින් තමයි දානය බෙදුවේ. ඒ මහත්වරුන්ගේ කොම්පෝස්ට් වර්ණනාව ඇසෙද්දි භික්ෂුවට හදවතින් සිනාවක් ඇතිවුණත් ඒ බව මුහුණෙන් හැෙඟව්වේ නැහැ. රසායනික පොහොර, කෘමිනාශක යොදන වසවිෂ ආහාරයන් අපි ප‍්‍රතික්ෂේප කරන්නේ ඒ වායෙන් අපි ඈත් වෙන්නේ ඒවාට අපි ගැටෙන්නේ රූපය කෙරෙහි, නිරෝගීභාවය කෙරෙහි සක්කායදිට්ඨිය නිසාමයි. වර්තමානයේ අපි රසායනික පොහොර, කෘමිනාශක සමග ගැටිලා කොම්පෝස්ට් සොයාගෙන යන්නේත්, රූපයේ නිරෝගීභාවය කෙරෙහි ඇතිකොට ගන්නා වූ සක්කායදිට්ඨිය නිසාමයි. පංචඋපාදානස්කන්ධ මාරයා රසායනික කෘමිනාශකයන්ට ගැටිලා අපිව කොම්පෝස්ට්වලට ඇලීමට සලස්වලා එකම කාසියේ දෙපැත්ත මාරුකරලා මුලා කරනවා.

පංචඋපාදානස්කන්ධ මාරයා වර්තමානයේ කොම්පෝස්ට් වගාවන් වර්ණනා කරලා අපිට ලබාදීලා තිබෙන සුන්දර ධර්මයේ ප‍්‍රතිඵලය රූපයේ නිරෝගීභාවය කෙරෙහි සක්කායදිට්ඨියයි. ගෞරවනීය පිංවතුනි රසායනික පොහොර බැහැර කරලා කොම්පෝස්ට්වලට මාරුවෙලා මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. ආහාරය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරලයි ආහාරය නිරෝධය කරන්න පුළුවන්. තෘෂ්ණාවෙන් ඔද්දල් වුණ පංචඋපාදානස්කන්ධ මාරයා පිංවත් ඔබට අන්ඳන විකට ඇඳුම් ආශ්වාදයෙන් පළඳින්න එපා.

වර්තමාන සමාජය ආහාරය කෙරෙහි තෘෂ්ණාව සියුම්කොට ගැනීම පැත්තකින් තියලා තළුමර මරා වස විෂ රහිත ආහාරයන් කෙරෙහි ඇලීම් ඇතිකොට ගෙන තිබෙනවා. ඇළෙන ප‍්‍රමාණයටම රසායනික කෙරෙහි ගැටීම වැඩිවන බවත් සිතන්න දක්‍ෂ වෙන්න ඕනේ. ආහාරය නිසා පිංවත් ඔබ සිටින්නේ ඇළීම් සහ ගැටීම් අතර නම් ආහාරය උපයෝගීකොට ගෙන ඔබ ලබන්නේ අධර්ම යයි. පිංවත් ඔබ කොහොමද ආහාරය තුළින් ධර්මය එහෙමත් නැතිනම් උපේක්‍ෂාව මතුකොට ගන්නේ.

පිංවත් ඔබ මෙම ලිපිය කියවන්නේ කැමැත්තෙන් ආශ්වාදයෙන් නම් එසේත් නැතිනම් ඔබ මේ ලිපිය කියවන්නේ ගැටෙන සිතින් නම් මේ දෙතැනදීම ඔබ අනාගතභවය උදෙසා මේ නිමේෂයේදීත් ඇළීම් සහ ගැටීම් හේතුවෙන් සංස්කාරයන් රැස්කොට ගන්නවා. භික්ෂුව පිංවත් ඔබට අනිත්‍ය ගැන විදර්ශනාව ගැන සටහන් තබනකොට පිංවත් ඔබ එම සටහන කියවීමෙන් තෘෂ්ණාවයි ජීවිතයට එකතුකොට ගන්නේ.

එසේ නොවී පිංවත් ඔබ මේ සටහන කියවන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නම් විදර්ශනාත්මක චේතනාවකින් නම් මේ මොහොතේ ඔබ තුළ අනාගත භවයට සංස්කාර රැස්වීමක් නැහැ. නමුත් විදර්ශනාත්මක සිතුවිල්ලකුත්, සප්තබෝජ්ජංගයන්ට මුවාවෙලා ආශ්වාදය බොහෝම සියුම් ආකාරයට බැසගෙන සංස්කාරයන් රැස්වෙන්න පුළුවන්.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ අදාළ භික්ෂුණියට දේශනා කරනවා කෙසේද තෘෂ්ණාව උපයෝගිකොට ගෙන තෘෂ්ණාව නිරෝධය කරන්නේ කියලා. කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ලබන සද්ධර්මය ශ‍්‍රවණය කරන ශ‍්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන පිංවතෙක් සිටිනවා. එම පිංවතා කල්පනා කරනවා කසළ ශෝධනය කරපු සුනීතත් උතුම් රහත් ඵලයට පත්වුණා. මනුෂ්‍ය ඝාතන කරපු අංගුලිමාලත් උතුම් රහත් ඵලයට පත්වුණා. අම්බපාලිය කියන ගණිකාවත් උතුම් රහත් ඵලයට පත්වුණා. පටාචාරා වැනි අසරණභාවයේ පතුලටම වැටුණ කාන්තාවකුත් උතුම් රහත් ඵලයට පත්වුණා. එම නිසා මමත් මේ ජීවිතයේදීම උතුම් රහත් ඵලයට පත්වෙනවාය කියලා. උතුම් රහත්ඵල අවබෝධය ලබාගැනීම කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකොට ගන්නවා.

තවත් ගිහි පිංවතෙක් කල්පනා කරනවා විශාඛා උපාසිකාව අවුරුදු 07 වයසේදී සෝවාන්ඵල අවබෝධය ලබන්නේ ජේත උයන රන් කාසිවලින් අතුරන්න තරම් ධනවතෙක් වූ අනේපිඬු සිටුතුමා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවා. උපතින්ම යාචක ජීවිතයක් ගත කළ ශරීරය දද කුෂ්ඨවලින් රෝගී වූ සුප‍්‍රබුද්ධ උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවා. එම නිසා මමත් මේ ජීවිතයේදීම උතුම් සෝවාන්ඵල අවබෝධය ලබනවාය කියලා තෘෂ්ණාවක් ඇතිකොට ගන්නවා. ආනන්ද මහෝත්තමයන් වහන්සේ දේශනා කරනවා එම පිංවතුන් මේ කය තෘෂ්ණාවෙන් වැඩුණ නිසාම තෘෂ්ණාව උපයෝගීකොට ගෙන තෘෂ්ණාව නිරෝධය කරනවාය කියලා.

පිංවත් ඔබ අනාගතයේ යම් දවසක තෘෂ්ණාව නිරෝධය කරනවා නම් වර්තමානයේ ඔබ තෘෂ්ණාව නිරෝධය කරනවාය කියන තෘෂ්ණාව ඔබ තුළින් ඇතිකොට ගත යුතුමයි. භව නිරෝධය උදෙසා ඔබ ඇතිකොටගන්නා වූ තෘෂ්ණාව, තෘෂ්ණාවේ වර්ධනය උදෙසා නොව තෘෂ්ණාවේ නිරෝධය උදෙසාමයි හේතුවෙන්නේ.

පිංවත් ඔබ මෙම සටහන කියවන මොහොතේ මොහොතක් දෑස් දෙක පියාගෙන මම මේ ජීවිතයේදීම උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත්කොට ගන්නවාය කියන තෘෂ්ණාව ඔබ තුළ ඇතිකොටගන්න. පිංවත් ඔබ ඇතිකොටගත් තෘෂ්ණාවට අදාළ සිතුවිල්ල ඊළඟ සිතුවිල්ලෙන් අනිත්‍ය වශයෙන් දකින්න ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. එවිටයි ඔබ ධර්මානුකූලව තෘෂ්ණාව උපයෝගීකොටගෙන තෘෂ්ණාව මරාදැමීමේ අර්ථවත් මාර්ගයට අවතීරණය වෙන්නේ.

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි