පිංවත, ඔබ අත්දැකීම් බහුල උගතෙක් වෙන්න පුළුවන්. දන්න මායම් සියල්ලම දමලා ජය කණුව මත සිටින කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ මොන දේවල් තිබුණත්, ශිල්වත්භාවයේ ආනිශංසයන් සහ දුශිල්වත්භාවයේ විපාකයන් ගැන ඔබ නොදන්නවා නම්, පිංවත් ඔබ දන්නා සියල්ලම යම් දවසක, බිංදුවටම වැටෙන බව ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත, ජාතියක් හැටියට අපි දුශ්ශීලභාවයේ ආදීනවයන් තුළ කරවටක් ගිලිලයි සිටින්නේ. නමුත් අපි ආදීනවයත්, ආශ්වාදයක් කොටගන්නවා. පිංවත, දුශ්ශීලභාවයේ ආදීනවය, දුශ්ශීලභාවයේ නිස්සරණය උදෙසායි අපි යොදාගත යුත්තේ. පිංවත, අවිද්‍යාව නිරතුරුවම තෘෂ්ණාව ප්‍රවර්ධනය කරනවා. පෙරළා තෘෂ්ණාව ප්‍රවර්ධනය කරන්නේත් අවිද්‍යාවමයි. පිංවත, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ මේ අවිද්‍යාවේ සහ තෘෂ්ණාවේ ද්වීපාක්ෂික එකමුතුව නිසාම, මේ මාර ධර්මයෝ අපිව අසිහියෙන්ම කළමනාකරණය කරනවා. පිංවත, අපි අවිද්‍යාව නිරෝධය කරනතෙක් තෘෂ්ණාව සමග සිහි නුවණින් දීග කන්න වෙනවා. පිංවත, මේ පටිච්චසමුප්පන්න දීගයේ දී අපි දක්ෂවිය යුතුයි අවිද්‍යාවේ නිරෝධය උදෙසාම තෘෂ්ණාව ප්‍රයෝජනයට ගන්න. පිංවත, ඔබ වරදට බිය වෙන්න. ඔබ වරදට බිය නොවුණොත්, අතීතයේ කළ වැරදි වසා ගන්න වර්තමානයේ තව තවත් වැරදි කරනවා.
පිංවත, ඔබට මේවා ගැන සිතන්නට විවේකයක් තිබෙනවා ද? ඔබේ විවේකයත් පංච නීවරණ විසින් බලහත්කාරයෙන්ම ඔබෙන් උදුරා ගන්නවා ද? පිංවත, විවේකයට සිත නැමෙන්න නම්, තෘෂ්ණාවේ අතුවලට ශීලයේ සැහැල්ලු බර එල්ලන්නම ඕනේ. තෘෂ්ණාවේ අතු වලට ශීලයේ සැහැල්ලු බර එල්ලද්දී, පංච නීවරණ සුළං වලට ඔබේ ඵස්සය ඇලීම් සහ ගැටීම දෙදිශාවටම පැද්දෙන්නේ නැහැ. සිත නැවතිලයි තිබෙන්නේ. බැටරිය ගලවපු ඔරලෝසුවේ, ඔරලෝසු කටුව වගේ. අන්න එහෙම සිතකට තමයි සම්මා සතිය ආදරයෙන් තුරුල් වෙන්නේ. පිංවත, සත්‍යකින්ම ඔබ ආදරණීයව තුරුල් කොටගෙන සිටින්නේ සම්මා සතිය ද, එසේත් නැතිනම් මාර මුදලාලිගේ සුපිරි වෙළඳසැල්වල ලාභයට තොග ගණනින් විකිණෙන, පංච නීවරණ තුළ විසිතුරුව දැවටූ මිච්ඡා සතිය ද? පිංවත, ලැජ්ජා වෙන්න එපා. මේ ගැන සිතන්න. ඔබ මේ ගැන සිතන්න ලැජ්ජා වුණොත්, එතැනත් තිබෙන්නේ මිච්ඡා සතියේම පංච නීවරණයක් බව තේරුම් ගන්න ඕනේ. පිංවත, අපි රටේ, ලෝකයේ දේවල් ගැන මොනතරම් අවිවේකයෙන් සිතුවත්, අපි සිත ගැන සිතන්නේ නැහැ. පිංවත, සිතේ පටිච්චසමුප්පන්න උපත ගැන සිතන්න.
පිංවත, පටිච්චසමුප්පන්න සිත, අවිද්‍යාව හේතුවෙන් සකස්වුණ අධ්‍යාත්මික සහ බාහිර රූපයත්, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත් එකතුවෙනුයි සකස් වෙන්නේ. ධර්මානුකූලව අපි එය හඳුන්වන්නේ කාරණා තුනක එකතුව ඵස්සය කියලා. පිංවත, ඇසෙන් රූපයක් දැක්කා, කනට ශබ්දයක් ඇසුනා, නාසයට, දිවට, ශරීරයට, මනසට යමක් දැනුනා. පිංවත, මෙයයි ඵස්සය කියලා කියන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පන්න සිතක ආරම්භය. පිංවත, අපි දැක්ක දෙය, අපිට ඇසුන දෙය, අපිට දැනුන දෙය අපි අපේ තෘෂ්ණාවට අදාළව තෘෂ්ණාවෙන් තෙත් කරනවා. ඒ කියන්නේ විඳීම් හෙවත් ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන් හැටියට සිත රස විඳිනවා. ඒ කියන්නේ සිතක ආරම්භය වන ඵස්සය, අපි අවිද්‍යාවෙන් ඉඳුල් කරනවා. පිංවත, විඳීම් යම් තැනක ද එතැන තෘෂ්ණාව තිබෙනවා. තෘෂ්ණාව යම් තැනක ද එතැන උපාදානයෝ තිබෙනවා. උපාදානය යම් තැනක ද එතැන භව, ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තිබෙනවා. පිංවත, පටිච්චසමුප්පන්න සිතක ආරම්භය වන ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ ඵලය ඒ කියන්නේ ඵස්සය දෙස අවිද්‍යාවෙන් බැලීමේ ඵලය පටිච්චසමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්වාම මිච්ඡා සතියේ පිහිටෙන් ගලාගෙන යනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, ස්වාමීන් වහන්ස, සිත හරිම වේගවත් නේද කියලා. පිංවත, ලෝකයේ භෞතික දියුණුව, වර්තමානයේ අශ්ව වේගයෙන් ජවාධික වෙන තාක්ෂණික දියුණුව සහ ලෝකය තුළ වර්ධනය වෙන අර්බුද, ගැටුම්, යුද්ධ යනු මනුෂ්‍ය ප්‍රජාවගේ සිතේ වේගවත්භාවය දකින කැඩපතයි. අපේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන තෘෂ්ණාවමයි සිතට වේගය සහ ජවය පොම්ප කරන්නේ. පිංවත, අවිද්‍යාව ඉදිරියේ සිත කොතෙක් වේගවත් වුවත්, අවිද්‍යාව නිරෝධය කළ සිත, ඉද්ද ගැසුවා වගේ ඵස්සය ළඟ නැවතිලයි තිබෙන්නේ.
පිංවත, භික්ෂුව ඔබට තේරෙන භාෂාවෙනුයි මේ ධර්ම කාරණා සටහන් තබන්නේ. භික්ෂුව ළඟ බරපතළ ලොකු වචන සහ අර්ථයන් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩසිටිය කාලයේ රහතන් වහන්සේ නමක් කැලයේ වැඩසිටියා. උන්වහන්සේ දැනගෙන සිටියේ අනිත්‍යයි කියන අර්ථය විතරයි. උන්වහන්සේ අනිත්‍යයි කියලා ශබ්ද නගලා කියද්දී, දෙවියෝ සාධුකාර දුන්නා. පිංවත, අනිත්‍යයි කියන අර්ථයත් තෘෂ්ණාවෙන් අල්ලා ගන්නා ලෝකයක, උන්වහන්සේ අනිත්‍ය කියන අර්ථය කෙරෙහිත් තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටියේ. පිංවත, ඔබ ගැඹුරු වෙන්න එපා, නොගැඹුරු වෙන්න. පිංවත, ඔබ සංකීර්ණ වෙන්න එපා, සරල වෙන්න. එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ සමාජයට පංච නීවරණයක් නොවී සමාජයට සප්ත බොජ්ඣඬ්ඟයක්ම වෙන්න. පිංවත, යමෙක් ඔබේ යහපත් අප්‍රමාදී හැසිරීම් දැකලා ප්‍රීතියක්, පස්සද්ධියක් ඇතිකොට ගත්තොත් ඔබ ඔහුට සමාධිය සහ උපේක්ෂාව දන් දුන්නා වෙනවා. පිංවත, ඔබ සිවුපසය පමණක් දන් දීලා සෑහීමකට පත්වෙන්න එපා. සමාජයට නොමිලයේම සප්ත බොජ්ඣඬ්ඟ දන්දෙන දානපතියෙක් වෙන්න. අපේ සමාජයේ මොනතරම් නම් රනින් සම්මාන දිනූ පංච නීවරණ දානපතියෝ සිටිනවා ද? අපේ රටේ දේශපාලන පිංවතුන්ලා කියන්නේ අංක එකේ රනින් සම්මාන දිනූ පංච නීවරණ දානපතියෝ. මේ පිංවතුන් කටක් ඇරියොත් සමාජයට පංච නීවරණයක්මයි දන් දෙන්නේ. අවිචාරයෙන් දිග හැරෙන සමාජ මාධ්‍ය ජාලා විසි හතර පැයේම සමාජයට පංච නීවරණයන්මයි දන් දෙන්නේ. මගතොට ප්‍රසිද්ධ ස්ථානවල නොගැලපෙන ඇඳුම් පැලඳගෙන සහ නොමනා හැසිරීම්වල යෙදෙන පංච නීවරණ දානපතියෝ වැහි වැහැලා නේ ද? පිංවත, යමක් ලස්සනයි කියලා දකිද්දී එතැනදීම ධර්මයේ උපේක්ෂාවෙන් සිත නැමෙන්න ඕනේ. ලස්සන ඉදිරියේ දී සිත ඇලෙනවා නම් ඒ ලස්සන පංච නීවරණයක්මයි. පිංවත, ඔබේ රූපය අනුනට පංච නීවරණයක් කරන්න එපා. ඉන්ද්‍රීය සංවරභාවය උපයෝගී කොටගෙන ඔබේ රූපය අනුනට සප්ත බොජ්ඣඬ්ඟයක්ම කරන්න.
පිංවත, අනුනට ණය නොවී ජීවත්වීම මොනතරම් නම් සතුටක් ද, නිදහසක් ද? අපේ වැඩිහිටියෝ අපට අවවාද කළේ අනුනට ණය නොවී ජීවත් වෙන්නය කියලා. බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට තමන් හම්බකරන ධනයෙන් එක කොටසක් ඉතිරි කරන්න යැයි අනුශාසනා කොට තිබෙන්නේ, මුදල් අගහිඟ වෙලාවට අනුනට ණය නොවී ප්‍රයෝජනයට ගන්න. පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අපි නිරතුරුවම ශ්‍රද්ධාව, ශීලය, සමාධිය, මෛත්‍රිය, ප්‍රඥාව කියන ධනය හම්බ කරමින් තමයි වැඩසිටින්නේ. අපි ළඟ ඉහත ධනය දුර්වල වුණොත්, ශ්‍රද්ධාවන්ත ගිහි දායක පිංවතුන්ලාගේ සිවුපසය ඉදිරියේ අපි ණයකාරයෝ වෙන්න පුළුවන්. අපි කවදාහරි දවසක අනුනගේ ණයකාරීත්වයෙන් මිදෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් පසුවයි. පිංවත, එතෙක් අපි හැමෝම අවිද්‍යාවේ ණයකාරයෝ. ඒ නිසාම අපි තෘෂ්ණාවෙන් ණය ඉල්ලනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ පොලිය ගැන සිතන්නේම නැහැ. පිංවත, මහන්සි වෙලා හම්බ කරලා ජීවත් වෙන්න. ණය ඉල්ලාගෙන කෑමට ලැජ්ජා වෙන්න.
පිංවත් ඔබ ණය මුදලක් ගන්නවා නම්, එම ණය මුදල යහපත් ආයෝජනයක්, නිෂ්පාදනයක් උදෙසා යොමු කරන්න. අපේ රටේ පිංවත් නායකයෝ රටේ ධනය පමණක් නොවේ ජනතාවගේ ලැජ්ජා, බිය දෙකත් සොරකම් කරලා. අපි මහත් අභිමානයෙන් ජාත්‍යන්තර යාචක පෝලිමේ මුලටම සිටිනවා. ජාත්‍යන්තරයෙන් ණය ලැබීමේ “යාචක සතුට” මහා ඉහළින් සමරණ අපි, රටේ පිංවත් ජනතාවට උරුම කොටදෙන්නේ ණයකට මානසිකත්වයක්ම නේ ද?
පිංවත, අශ්ව වේගයෙන් ජවසම්පන්න වෙන අවිද්‍යාව දිනෙන් දින අපිව ප්‍රමාදී කරනවා. තෘෂ්ණාවෙන් ණයට කාලා, බීලා අකුසල් සංස්කාරයන්ගේ ණය කාරයෝ කරනවා. බුදුරජාණන් වහන්සේ පාලක පිංවතුන්ලාට දේශනාකොට තිබෙන්නේ ජනතාවට අවශ්‍ය බීජ, පොහොර, කෘෂි උපකරණ පහසු මිලට ලබා දෙන්න කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය උදෙසා අවශ්‍ය ණය පහසුකම් ජනතාවට ලබා දෙන්නය කියලා. කෘෂි, වැවිලි, සත්ත්ව පාලන, කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටක් සංවර්ධනය කිරීමේ මාර්ගය ධර්මයේ සඳහන් වෙනවා. පිංවත් පාලක පිංවතුනි, රටේ ආත්මගරුත්වය උගසට තියලා, ණයට ගන්න ණය මුදල් නොමනා ලෙස නොවේ ධර්මානුකූලව ආයෝජනය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අපිට යුතුකමක් තිබෙනවා, අපිට සිවුපසය සපයන පිංවත් ගිහි ජනතාව තවදුරටත් අනාගත ජාති ණයකාරයෝ නොකරන්නය කියලා මතක්කොට දෙන්න. පිංවත, සමාජගත දුශ්ශීල දේශපාලනය ඉදිරියේ මෙවැනි මතක් කිරීම් වක්කඩේ හකුරු හැංගීමක්ම වෙනවා. පිංවත, බල කාමයට ලැජ්ජාව සහ බිය නැහැ. බල කාමයට තිබෙන්නේ තෘෂ්ණාවේ වේගය පමණක්මයි. මෙය සටහන් තබන භික්ෂුව අනුනගෙන් පැන් වීදුරුවක්වත් ණයට නම් පිළිගන්නේ නැහැ. යම් පිංවතෙක් පැන් වීදුරුවක් පූජා කළත් සිත පිරෙන්න පිං අනුමෝදන් කරලා ණයකාරීත්වයෙන් මිදෙනවා වගේම, එම පූර්වාදර්ශය සමාජගත කරනවා. ණයවීමේ ආදීනවයන් අනාගත භව ගමනේ බර ඇදීමෙන්, අනුනට මෙහෙකාරකම් කිරීමෙන් ගෙවන්න වෙන බව භික්ෂුව දන්නවා.
පිංවත, මේ දවස්වල ජාත්‍යන්තරයෙන් ණය හම්බ වෙලා හැමෝම සතුටින් නේද සිටින්නේ? ණය ලැබීමේ පුරාජේරු කතා, උපමා කතා නම් ඇතෙක් බරට ඇසෙනවා. මේවාට ධර්මානුකූලව කියන්නේ ණය ලැබීමේ ආශ්වාදය කියලා. කෙටි ආශ්වාදය යම් තැනක ද, එතැන දීර්ඝ වූ ආදීනවයක් තිබෙනවා. ණය මුදල් ලැබීම නිසා ලබන සතුට ආශ්වාදයයි. එම ණය මුදල් නොමනා කටයුතු වලට යොදවලා අනාගතයේ ඇතිකොට ගන්නා බංකොලොත්භාවය එහි දීර්ඝ ආදීනවයයි. පිංවත, ඔය සංදර්ශන සියල්ලටම පෙරාතුව අවංක චේතනාවෙන් පංචශීලය සමාදන් වෙන්න. ඉන් පසුව ණය මුදලට අත තියන්න. එතැනයි ණය ලැබීමේ ආශ්වාදය තුළින් ලබන සැබෑම ලෞකික නිස්සරණය තිබෙන්නේ.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2023/04/02 වන ඉරුදින දිවයින පුවත්පත.