සල්ලි කොළ මතින් උපදින තණ්හා ධනය.

පිංවත, බුද්ධ විෂය ගැන ඔබ සිතන්න එපා. බුද්ධ විෂය අයිති ලොවුතුරා බුදුරජාණන් වහන්සේලාට පමණක්මයි. බෝධිසත්ත්වයන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පිරූ දස පාරමී ශක්තියෙන් පෝෂණය වූ උතුම් බුද්ධ විෂය ගැන අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නොලැබූ අපි සිතන්නට ගියොත් එම සිතුවිලි අපිට අකුසලයේ ගින්දරමයි සකස්කොට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සෑම ධර්ම කාරණාවක්ම, විනය කාරණාවක්ම අයිති උතුම් බුද්ධ විෂයට. කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අපි, මේ උතුම් බුද්ධ විෂය තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සරණ යන්න ඕනේ. මේ උතුම් බුද්ධ විෂය පිංවත් ගිහි සහ පැවිදි අපේ මෝහයේ සහ තෘෂ්ණාවේ දිග සහ පළලට අදාළව වෙනස් කරන්නට ගියොත්, විකෘති කරන්නට ගියොත් අපි උමතුභාවයට පත්වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පිංවත, සංස්කාර අධිකරණය හරිම සාධාරණයි. සමාජය දෙස බැලීමේ දී මේ සාධාරණ සංස්කාර අධිකරණයේ දී දිට්ඨධම්මවේදනීයව දඬුවම් ලැබූ උමතු රෝගීන් ඕනෑ තරම් පෙනෙන්නට තිබෙනවා. උමතුභාවයේ ආශ්වාදයෙන් සමාජගත වෙන මිච්ඡා වාචාවන්, මිච්ඡා හැසිරීම්, මිච්ඡා ධර්මයන්, මිච්ඡා අධිගමයන්, පිංවත, මේ අපි අත්දකින්නේ උතුම් බුද්ධ විෂය විකෘති කිරීමේ දිට්ඨධම්මවේදනීය උමතුභාවයන්ගේ ඒහිපස්සික ගුණයයි.

පිංවත, මේ උතුම් සද්ධර්මය දේශනාකොට වදාළ බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත්, අපේ ඵස්සය මුල්කොටගෙන සකස්වෙන සංස්කාර අධිකරණය අපි භව ගමනේ කවදාහරි දවසක පිරිනිවී යන තෙක්ම පටිච්චසමුප්පන්නව ජීවමානයි. පිංවත, ඔබ දෙස ඔබ සිහිනුවණින් බලන්න. ඔබ උමතුවෙන් ද පසුවෙන්නේ, එසේත් නැතිනම් ඔබ තෙරුවන්ගේ රැකවරණය තුළ ද පසුවෙන්නේ? සල්ලි පස්සේ අපේ ගිහි සහ පැවිදි ජීවිත දුවනකොට, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හති වැටෙනවා. සල්ලි විසින් අපේ ජීවිත ගිල ගන්නකොට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපෙන් වාෂ්ප වෙලා යනවා. පිංවත, සල්ලි ද වටින්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ද වටින්නේ කියලා ඇසුවොත්, සල්ලි වටිනවා යැයි කියන පිරිස සමාජය තුළ ගොඩාක් වැඩියි. පිංවත, ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. උතුම් ශ්‍රද්ධා ධනය පිංවත් ඔබට ශීල, සමාධි, ප්‍රඥා, ඥාන දර්ශන, විමුක්ති කියන ආර්ය ධනයමයි උරුමකොට දෙන්නේ. උතුම් ආර්ය ධනයේ කල්‍යාණමිත්‍රභාවය පිංවත් ඔබට විමුක්තියේ නික්ලේශී රසයමයි ලබා දෙන්නේ. පිංවත, තෘෂ්ණාවේ සල්ලි කොළ වලින් අපි කුමක් නම් ලබන්න ද? සල්ලි කොළ වලින් අපි ලබන කොන්ක්‍රීට් ගොඩවල්, යකඩ වාහන ගොඩවල්, දෙතිස් කුණප ගොඩවල්, මේවා පරිහරණයේ දී අපි ලබන ලෝභ, ද්වේශ, මෝහයන් සල්ලිවල බරට යට වී බිඳී යන ශීලයේ අර්ථයන්, සල්ලිවල ආශ්වාදයෙන් පටිච්චසමුප්පන්නව උපදින සතර අපා දුක් ආදීනවයන්, පිංවත, ශ්‍රද්ධාවෙන් උපද්දවා දෙන ආර්ය ධනයත්, සල්ලි කොළ මතින් උපදින තෘෂ්ණා ධනයේත් ඇති අයෝමය වෙනස නුවණින් දකින්න.

පිංවත, යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ තම ජීවිතය විසිරුවා දකියි ද, ඔහුයි උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ උරුමය ලබන්නේ. දුක කියන අර්ථය දැකලා, යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල කොටගෙන සැප සොයයි ද, එතැන තිබෙන්නේ අශ්‍රද්ධාවමයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයන් නිසාම අශ්‍රද්ධාව වැඩිවෙන සමාජයක මිච්ඡා ධර්මයන්ට හොඳ වටිනාකමක් ලැබෙනවා. පිංවත, කෘතවේදීභාවය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වගේම දුර්ලභ දෙයක්. පෙර පින නිසාම අපි ලැබූ උතුම් සිංහල බෞද්ධකමට අපි කෘතවේදීභාවය දක්වනවා හුඟාක් අඩුයි. අපි තුළ ලෝභ, ද්වේශ, මෝහයන් වැඩිවෙනකොට අපි අපේම පිනට පයින් ගහනවා. උතුම් සිංහල බෞද්ධකම දුර්වල වෙලා යනවා කියන්නේ අපි අපේම පිනට පයින් ගහනවා කියන අර්ථයමයි. පිංවත, අවම වශයෙන් අවුරුදු අසූවක් වැනි ජීවිතයක් ලෞකික ප්‍රඥාවෙන් නිවැරදිව කළමනාකරණය කර ගැනීමට බැරිව අපි මේ යන්නේ කොයිබට ද? අධර්මානුකූලව කළමනාකරණය කිරීම හේතුවෙන් අවුරුදු අසූවක ජීවිතයක් පටිච්චසමුප්පන්නව කල්ප ගණනාවක් දීර්ඝ වුණොත් අපි මොනතරම් නම් අදක්ෂයෝ ද? අවිද්‍යාව හේතුවෙන්ම රැස්කොටගත් අතීත සංස්කාරයෝ හැර වෙන කාත් කවුරුවත්ම නැති, අසරණ, අනාථ අපේ ජීවිත වලට ආර්ය ශ්‍රද්ධාවේ ආලෝකය හැර වෙන කිනම් ආලෝකයක් ද? පිංවත, සැබෑ කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි. අසත්පුරුෂ ආශ්‍රය, අශ්‍රද්ධාව, දුශ්ශීලභාවය යනු මිච්ඡා ශාසනයමයි. පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වගේම, මේ උතුම් ශාසන ධර්මයන්ට එරෙහිව ගිය මිච්ඡා ශාසනයන් අතීතයේදිත් තිබුණා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේට එරෙහිව යමින් මිච්ඡා ශාසනයට අතීතයේ දී නායකත්වය දුන්නේ තමන් දෙවැනි බුදුන් යැයි සිතාගත් දේවදත්ත හාමුදුරුවෝයි. කෝකාලික හාමුදුරුවෝ ඇතුළු තවත් මිච්ඡා ශ්‍රාවකයෝ දහස් ගණනක් මේ මිච්ඡා ශාසනය පෝෂණය කළා. මේ අතීත දේවදත්ත හාමුදුරුවෝ ඇතුළු මිච්ඡා ශ්‍රාවකයෝ තුන් සිවුර දැරුවා. හිසකෙස් මුඩු කළා. මිච්ඡා ධර්මයන් දේශනා කළා. මේ මිච්ඡා ශ්‍රාවකයින්ටත් රජවරු, සිටුවරු, ගිහි පිංවතුන් අනුග්‍රහයන් දැක්වූවා. පිංවත, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. සංස්කාරයෝ කැඩී, බිඳී, විසිරී යද්දී, අපි ජීවත්වෙන සම්මුති ලෝකය තුළ, අපි කැමති සහ අපි අකමැති අර්ථයන් දෙකම අපිට මුණ ගැසෙනවා. පිංවත, සංස්කාර විසින් මෙහෙයවන ඉරණම් ගමනක් යන ලෝකය දෙස ඉවසීමෙන් බලන්න.

භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ දී ඇසූ අවාසනාවන්තම කතාවක්, පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ නමකගෙන් පසුගියදා අසන්නට ලැබුණා. උන්වහන්සේ කියනවා, පිරිවෙනේ ඉගෙන ගන්න තරුණ හාමුදුරුවෝ කිහිප දෙනෙක් තම හිතවත් ගිහි පිංවතුන්ට කියනවලු බුද්ධ වන්දනාවන්, බෝධි පූජාවන් කරන්න එපා. බුද්ධ පූජාව තියන්න එපා මේවා බොරු වැඩය කියලා. පිංවත, උමතු දේශපාලනයත්, උතුම් භික්ෂූත්වයත් එකට කැකෑරී ඇතිවෙන මෙවන් ශාසන විකෘතීන් ඉදිරියේ දී තව තවත් බලවත් ලෙස ඔඩු දුවනවා. පිංවත, මේ අපි දකින්නේ අපේ අකුසලය ද, එසේත් නැතිනම් අපේ අසාර්ථකභාවය ද? ධර්මානුකුල පිළිතුර වෙන්නේ අපේම අකුසල් හේතුවෙන් සකස්වෙන අසාර්ථකභාවය කියලයි. පිංවත, භව නිරෝධය සොයාගෙන යන අපිට මේවා ගැන සිතීම, මේවා ගැන ලිවීම, මේවා ගැන කතා කිරීම සුදුසු ද? මේ උතුම් ශාසන අර්ථයන් බිඳ වැටීම ගැන කතා කිරීම අවශ්‍ය ද? උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වෙන දෙයක් වෙන්න දීලා අපි අපේ භව නිරෝධයේ ගමන යමු ද? පිංවත, ඉහත ප්‍රශ්නාවලියට ඔබේ පිළිතුර කුමක් ද?

පිංවත, අපි හැමෝගේම ඉන්ද්‍රීය ධර්මයන් සහ බල ධර්මයන් එක හා සමාන නැහැ. ඒ නිසාම ඉහත ප්‍රශ්නයට අපි හැමෝටම තිබෙන්නේ විවිධත්වයෙන් යුත් උත්තර පත්තරයක්. පිංවත, බුද්ධ විෂය වගේම උතුම් අරිහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන්ඵල අවබෝධයන්ට අදාළව වෙන් වෙන් වූ විෂයන් තිබෙනවා. ඒ විෂයන් තීරණය වෙන්නේ උන්වහන්සේලා ලැබූ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අවබෝධයන් තුළින්. උතුම් රහතන් වහන්සේ නමක් අවබෝධයෙන්ම දකින පංච උපාදානස්කන්ධ දුක, සෝවාන්ඵල අවබෝධය ලැබූ උත්තමයා ඒ ආකාරයෙන්ම දකින්නේ නැහැ. අනාගාමී උත්තමයා දකින පංච උපාදානස්කන්ධ දුක සෝවාන්ඵල අවබෝධය ලැබූ පිංවතා ඒ ආකාරයෙන්ම දකින්නේ නැහැ. පිංවත, අපේ දැක්ම අපි ලැබූ අවබෝධයන්ට අදාළව එකිනෙක වෙනස් වෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක, බල ධර්මයන් තම ජීවිතයට එකතුකොටගත් පිංවතා, ලෝකය දකින්නේ ඇලීම් සහ ගැටීම් වලින් බැහැරට හේතුඵල ධර්මයන් දකින ධර්මයේ උපේක්ෂාවෙන්. බල ධර්මයන් තම ජීවිතයට එකතුකොටගත් පිංවතා, ආත්මීය දැඩි දෘෂ්ටිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කරලයි ජීවත් වෙන්නේ. එවැනි පිංවතුන් සමාජගත ප්‍රශ්නයක් දෙස බලන්නේ, එම ප්‍රශ්නයේ අගින් හෝ මැදින් නොවේ. එම ප්‍රශ්නයට හේතු වූ මුලින්මයි. ඊට උපකාර කරන්නේ එම පිංවතුන්ලා තුළ වැඩෙන ආර්ය සමාධියයි.

පිංවත, ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනාගේ විෂය මීට හාත්පසින්ම වෙනස්. මේ දෙදෙනා පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවය දකිමිනුයි ජීවත් වෙන්නේ. මේ දෙදෙනා තුළ වැඩෙන්නේ විදර්ශනාවේ පහස නොලැබූ ඉන්ද්‍රීය ධර්මයන්මයි. මමත්වයේ දැඩිභාවය නොසිඳ ඇති නිසාම, මේ දෙදෙනා ඇලීම් සහ ගැටීම් තුළිනුයි ප්‍රශ්නයක් දෙස බලන්නේ. ඒ නිසාම ප්‍රශ්නයක මුල මතුකොට ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා, ප්‍රශ්නයයි අල්ලා ගන්නේ. මේ හේතුඵල ධර්මයන් නොමතුකොට ගන්නා දුර්වලභාවය නිසාම, මේ දෙදෙනා සමාජගත වෙන ප්‍රශ්නයක්, තවත් ප්‍රශ්නාවලියක් දෙසටමයි අරගෙන යන්නේ. ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ගෙන් පෝෂණය ලැබූ මේ ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පිංවතුන් දෙදෙනා හේතුඵල ධර්මයන්ට අදාළ ධර්මයන් සද්ධර්ම ශ්‍රවණය තුළින් දැන සිටියත් පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්ම ඇලීම් සහ ගැටීම් තුළින් ආත්මීය දෘෂ්ටිය මුල්කොට ගෙනයි ප්‍රශ්නයක් දෙස බලන්න යොමු වෙන්නේ. නමුත් මේ දෙදෙනා දක්ෂයි තමන් තුළ වැඩෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සමාජගතවෙන ප්‍රශ්න වලට අකුසලයෙන් ප්‍රතිචාර නොදක්වා එම ප්‍රශ්න දරාගෙන ජීවත් වෙන්න. පිංවත, ශ්‍රද්ධා ඉන්ද්‍රිය නොමැති පෘථග්ජන පිංවතාගේ විෂය ඉහත සියල්ලටම වඩා වෙනස්. කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් එම පිංවතා, සමාජගතවෙන ප්‍රශ්න ඇලීම් සහ ගැටීම් තුළින් යොමුකොට ගන්නේ අකුසලයේ ගින්දර දිශාවටමයි.

පිංවත් ඔබට වැටහෙනවා නේද ඉන්ද්‍රීය ධර්මයන් සහ බල ධර්මයන් විවිධ වූ සමාජයක එකම ප්‍රශ්නය පැති කිහිපයකින්ම දකිනවාය කියන කාරණය. මේවා පිංවත් ඔබේ හෝ අපේ වැරදි නොවේ. සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්මයි. පිංවත අවිද්‍යාව දෝරෙ ගලාගෙන යන සමාජයක තෘෂ්ණාවේ සැඩ පහර ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය සෝදා පාළුවට ලක් කරනවා. පිංවත, ලබන්නා වූ නව වසරේ දී උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේත්, මිච්ඡා ශාසනයේත් ඇති වෙනස නුවණින් විමසා තේරුම් ගන්න. මේ වෙනස සමාජය තුළ අදත් ජීවමානයි.

පිංවත, මේ උතුම් ධර්ම දානමය පිංකම් ශක්තියෙන් ලබන්නා වූ 2023 නව වසර ‘දිවයින’ පිංවත් සභාපතිතුමන් ඇතුළු පවුලේ සියලූම පිංවතුන්ලාටත්, දිවයින කාර්ය මණ්ඩලයේ සියලූම පිංවතුන්ලාටත්, ගෞරවනීය උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලූම මහා සංඝරත්නයටත්, රටවාසී සියලූම පිංවතුන්ලාටත් නිදුක්, නීරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ, ධර්මයේ අර්ථයන් තව තවත් වැඩෙන ශිල්වත්භාවයටම මුල් තැන ලැබෙන සුභ නව වසරක් ම වේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

පල කරන ලද්දේ: 2023.01.01