සද්ධර්මයේ භාග්‍යය උරුමකර ගැනීම.

පිංවත, අපවත් වී වදාළ මාගේ උපාධ්‍යායන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින් පරලොව ජීවිතයේ සැපය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධය පිණිසම හේතු වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

පිංවත, අපේ පිංවතුන්ලා පිංකම් කරන්න, දන් පූජා කරන්න නම් ගොඩාක්ම කැමතියි. මේ කැමැත්ත තුළ බැසගෙන තිබෙන්නේ තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවයයි. මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය කෙරෙහි බැඳියාව පසුපස තිබෙන්නේ, පංච නීවරණයන්ගෙන් පෝෂණය වෙන අවිද්‍යාවේ හැඩරුවමයි. පිංවත, උතුම් අරිහත් මාර්ගයේ ගමන් කරන අනාගාමී පිංවතා තුළත් කාමරාග, පටිඝයන් නිරෝධය වූ අනුශය අවිද්‍යාවේ හැඩරුව තිබෙනවා. එම නිසා පිංකම් කරන, දන් පූජා කරන පිංවතුන්ලා අවිද්‍යාව ගැන කලබල වෙන්න එපා. අවිද්‍යාව ගැන කලබල වුණොත්, එම නොසන්සුන්භාවයම අවිද්‍යාවට හොඳ පංච නීවරණ ආහාරයක් වෙනවා. යම් ජීවිතයක උතුම් සෝවාන්ඵල අවබෝධය නොලැබූ මමත්වයේ දැඩිභාවය තිබෙනවා නම්, එම ජීවිත සද්ධර්මය නුවණින් ගළපා ගැනීමට ඇති නොහැකියාව නිසාම, ඇත්ත ඉදිරියේදීත් පංච නීවරණ අවි අතට ගන්න අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. පිංවත, පිංකම් කිරීමත්, දන් පූජා කිරීමත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම කොටසක් වෙනවා. සම්මා වායාමයෝ මේ වගකීම නියෝජනය කරනවා. මේ නියෝජනය ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් පෝෂණය වෙන්න ඕනේ. ගිහි පිංවතුන්ලා පිංකම් සහ දානය ඉදිරියේ ප්‍රමාදී නොවිය යුතුවා වගේම, පැවිදි අපි ද ලැබෙන සිවුපසය ඉදිරියේ ප්‍රමාදී නොවිය යුතුයි. පිංවත් ගිහි සහ පැවිදි අපි සැවොම, ලොවට සඟවාගත්, එහෙත් අපිට උපාදානය වූ එකිනෙකට වෙනස් අරමුණු උදෙසායි ගමන් කරන්නේ. නමුත් අපි සියල්ලෝම සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක, ශ්‍රාවිකාවන්මයි.

පිංවත, ආදරය කියන්නේ බැඳීමක් නොවේ. ආදරය කියන්නේ සත්ත්ව ප්‍රජාවටම පොදු ධර්මතාවයක්. ආදරය බැඳීමක් බවට පත්වෙන්නේ දෙදෙනා තුළ ඇතිවෙන ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවයයි. පිංවත, විවාහයට තබන අත්සන තුළ, මඟුල් මුදුව තුළ, මධුසමය තුළ ආදරය සොයන්න එපා. ආදරය ඔබේම ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම තුළයි උපදින්නේ. පිංවත, ඵස්සය අයිති අවිද්‍යාවට. ඒ නිසාම සංස්කාර හේතුවෙන් සකස්වෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, ඵස්සය තුළ බැසගෙන සිටිනවා. පිංවත, ආදරයේ නාමයෙන් අපි සමාජය තුළ මොනතරම් නම් සංදර්ශන දකිනවා ද? සමාජය තුළ අපි දකින හුඟාක් ආදරයේ සංදර්ශනයන් සදාචාරය, ලැජ්ජාව, බිය පහව ගිය සංදර්ශනයන්. මනුෂ්‍ය ධර්මයන් නොතකන සංදර්ශනයන්. මේ සෑම එකිනෙකට වෙනස් ආදරයේ සංදර්ශනයන් මෙහෙයවන්නේ සංස්කාර හේතුවෙන් සකස් වූ විඤ්ඤාණය නමැති මැජික්කරුවා විසින්මයි. පිංවත, මෛත්‍රියේ, ශීලයේ ශක්තියෙන් මනුෂ්‍ය සංඥාවන් ඉක්මවා යත්දි අපි තුළ දිව්‍ය සංඥාවන් විකසිත වෙනවා. එවිට අපේ ආදරය එකිනෙකා අවබෝධයෙන් හඳුනාගත් දිව්‍ය ආදරයක්ම වෙනවා. දිව්‍ය ආදරයේ පරිත්‍යාගශීලී දිව්‍ය බැඳීම් සමව පිහිටි තරාදියක් වගේමයි. පිංවත, දුශ්ශීලභාවයන්, වංකභාවයන් ඉදිරියේ මනුෂ්‍ය සංඥාවන් අපෙන් ගිලිහී යද්දී අපේ සිත පිහිටන්නේ තිරිසන් සංඥාවන් තුළ, සත්ත්ව, අමනුෂ්‍ය සංඥාවන් තුළයි. මිනිස් සංඥාවන් දුර්වල වී තිරිසන් සංඥාවන් දරාගත්ත මනුෂ්‍යයෝ අම්මා, තාත්තා, නංගී, මල්ලී, දුව, පුතා හඳුනන්නේ නැහැ. ආදරයේ සමබර තරාදිය විකෘතියක්ම වෙනවා. පිංවත, මේ ධර්මතාවයෝ සියල්ලම අපේම අතින් පටිච්චසමුප්පන්න කුසල් සහ අකුසල් සංස්කාරයෝ හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේ මැජික් සංදර්ශනයන්මයි. පිංවත, ඔබේ ආදරයට සම්මා දිට්ඨියේ ඇස් දෙන්න. එවිට ඔබට පුළුවන් දිව්‍ය, මනුෂ්‍ය සහ තිරිසන් ආදරයේ අයෝමය වෙනස හඳුනා ගන්න. පිංවත, ඵස්ස පච්චයා වේදනා ආදරයේ උපතයි. පිංවත, ඵස්ස නිරෝධා වේදනා නිරෝධෝ ආදරයේ නිරෝධයයි. පිංවත, ආදරයේ උපතත්, ආදරයේ නිරෝධයත් ධර්මතාවයන්මයි. අතීතයේ පිප්ඵලි, භද්‍රකාපිලානි තරුණ දෙපළ තම මධුසමය බ්‍රහ්මචාරීව ගතකළෙත් ආදරයේ නිරෝධයේ අරුත ජීවිත තුළ දරාගෙනමයි. පිංවත, මනුෂ්‍යත්වයේ තෙතක් නැති සිතක්, කෙසේ නම් ආදරයේ ලතෙන් බව තුළ සැඟවුණ, ආදරයේ නිරෝධය හඳුනා ගන්න ද?

පිංවත, සති සම්බොජ්ඣඬ්ඟයන්ගෙන් පෝෂණය වූ වීර්යය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් පසු බසිනවා. ජීවිතයෙන් ඇලීම් සහ ගැටීම් පසුබැස්ස තැන ජීවිතය ලස්සන වෙනවා. ජීවිතයට කාන්දුවෙන ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව සුගතියට අදාළව, විදර්ශනාවට අදාළව අර්ථවත් කතා කියලා දෙනවා. ඒ සෑම කතාවක්ම චතුරාර්ය සත්‍යය ධර්මයෝ පෝෂණය වෙන කතාවක්, තෘෂ්ණාවට වැට බඳින කතාවක්. ධර්මයේ ගුණයන් සමග ජීවත්වෙන කතාවක්. සැබෑම සම්මා වාචාවක්. පිංවත, මේ ලෝකයේ තිබෙන සැබෑම ඇත්ත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝමයි. මේ සත්‍යය ඔබව ලෝකයෙන් නිදහස් කරනවා. පිංවත, ඔබ කැමති ලෝකයෙන් නිදහස් වෙන්න ද, එසේත් නැතිනම් ලෝකයෙහි තැවරෙන්න ද? පිංවත, ඵස්සය ඉදිරියේ ඔබ අවිද්‍යාවට පෙරළිය නොහැකි කළු ගලක් වෙන්න. පිංවත් ඔබේ ඵස්සයේ සීමාව අවිද්‍යාව ඉක්මවා ගියොත් ඔබ ලෝකයේ තැවරෙනවා. පිංවත, තෘෂ්ණාවෙන් තෙත් වූ එක සිතුවිල්ලක් තුළ ලෝකයම තිබෙනවා. පිංවත, ඔබ සිතන්න එපා, ඔබේ සිතුවිලි චිත්තානුපස්සනාවට බාර දෙන්න. එවිට ඔබේ ඵස්සය පංච උපාදානස්කන්ධ ලෝකයෙහි තැවරෙන්නේ නැහැ. ඒ නොතැවරුණු සිත අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවෙන් දකින්න. පිංවත, ලෝකය අසරණයි. ලෝකයෙහි නොතැවරුණු ඵස්සය තුළ පමණක්මයි ඔබට සරණක් තිබෙන්නේ. සරණක් සොයාගෙන භික්ෂුව ළඟට කවුරුන් ආවත්, ඒ සෑම කෙනෙක්ම ලෝකයෙහි තැවරිලයි එන්නේ. පිංවත, ඔබේ සරණ, ලෝකයෙහි නොතැවරුණු ඔබේම ඵස්සයයි. ඊට එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊට ශක්තිය ලෞකික ප්‍රඥාවෙන්, ශීලයෙන් මතුකොට ගන්නා ඔබේම අතීත කුසල් සංස්කාරයයි.

පිංවත, මේ උදාවෙලා තිබෙන්නේ මාරයාගේ හෝරාවක්. ඒ කියන්නේ දුකට අයිති හෝරාවක්. අකුසල් ජවසම්පන්න වෙන හෝරාවක්. රටට, ජාතියට, ශාසනයට කණකොකා හඬන හෝරාවක්. ජාතික, ආගමික සමගියට වස දෙන හෝරාවක්. පිංවත, මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම්, චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍යය ධර්මයෝ ආරක්ෂා වෙන්න නම් මනුෂ්‍ය ජීවිත ශ්‍රද්ධාවට, ශීලයට, මෛත්‍රියට නැඹුරු වෙන්න ඕනේ. පිංවත, මනුෂ්‍ය ජීවිත ශ්‍රද්ධාවට, ශීලයට, මෛත්‍රියට නැඹුරු වෙන්න නම්, රටේ පිංවත් පාලක පිංවතුන්ලා ධාර්මිෂ්ට වෙන්න ඕනේ. පිංවත, සිතේ ඇස්බැන්දුම් කෙටි ආශ්වාදයෙන් මත් වී අපි මේ යන්නේ විනාශය දෙසට. අපේම අකුසල් සංස්කාරයෝ අපිව දිගට හරහට රවට්ටනවා. අපි පිනේ ආශ්වාදයෙන් මත් වී, සමාජගත අධාර්මිෂ්ටභාවයන්ට අත්තටු දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, වරද ඉදිරියේ මෙත් සිතින් ඇත්ත පහදා දෙන්නය කියලා. වරද ඉදිරියේ ඇත්ත කතා නොකළොත් වරද විසින් ඔබව ගිල ගනීවි. පිංවත, අප්‍රමාදී වෙන්න. ඔබ ප්‍රමාදී වුණොත් යහපත් ධර්මයෝ සියල්ලම අකුසලය විසින්ම ගිල ගනීවි. මාරයා මේ මොහොතේ ඔබට ආශ්වාදයෙන් කප්පම් දෙනවා, ඇත්ත ඇති සැටියෙන් නොදැක ඉන්න. පිංවත, අප්‍රමාදීව මෙත් සිතින් ඉදිරිපත් වෙන්න, තවත් අනාගත පරපුරකට ඔබ ලැබූ සද්ධර්මයේ භාග්‍යය උරුමකොට දෙන්න. අවංක පිංවත් මනුෂ්‍යයෝ රට හැර යන්න එපා. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. උතුම් තෙරුවන්ගේ සරණ, දෙවියන්ගේ සහ සත්පුරුෂ මනුෂ්‍යයන්ගේ ආශීර්වාදය ඔබලාට ලැබෙනවා. පිංවත, පිනේ කෙටි ආශ්වාදයමයි කවදාහරි දවසක ශාසනය අපිට අහිමි කරන්නේ. මෙය සටහන් තබන භික්ෂුවට ලැබෙන ජනතාවගේ ප්‍රතිචාර සහ සිවුපසය ඉදිරියේ භික්ෂුවට අවශ්‍ය නම් පුළුවන්, පිනේ කෙටි ආශ්වාදය තුළ කිමිදෙන්න. භික්ෂුව මේ කිළුටු මාර ධර්මයෝ ශත පහකට මායිම් කරන්නේ නැහැ. පිනේ ආශ්වාදය ඉදිරියේ ඔබ පංච නීවරණ නිද්‍රාශීලීභාවයට පත්වුණත් භික්ෂුව විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ඟයන්ගෙන් අවදිවයි සිටින්නේ. භික්ෂුවගේ මේ උත්සාහය පිනේ ආශ්වාදය ඉදිරියේ පිංවත් ඔබවත් සති සම්බොජ්ඣඬ්ඟයෙන් අවදි කරන්නයි. පිංවත, ධාර්මිෂ්ට දේශපාලනයක් උදෙසා නොබියව පෙරට එන්න. සියළු සත්පුරුෂ ධර්මයෝ ඔබලා පසුපස සිටිනවා.

පිංවත, ඔබේ දෙනෙතට කඳුළක් නැගෙද්දී, ඇයගේ දෙනෙතටත් කඳුළක් උනනවා ද? ඇයගේ දෙනෙතට කඳුළක් නැගෙද්දී ඔබේ දෙනෙතටත් කඳුළක් උනනවා ද? එතැන සැබෑ ආදරයක් තිබෙනවා. පිංවත, ඔබේ හෝ ඇයගේ දෙනෙතට කඳුළක් නැගෙද්දී, ඔබේ හෝ ඇයගේ සිත කළු ගලක් නම්, එතැන ආදරය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. පිංවත, කඳුළක් උණුසුම් වෙන්නේ තෘෂ්ණාවෙන්. ඒත් මේ උණුසුම් කඳුළ ලෞකික ගිහි ජීවිතයකට වටිනාකමක් වෙනවා. ගිහි සෝවාන්ඵල අවබෝධයේ දී විවෘතව පවතින කාමරාග, පටිඝයෝ ගිහි සකෘදාගාමීඵල අවබෝධයේ දී අනුශය වශයෙන් පවතිනවා. ඒ නිසාම ගිහි සෝවාන්ඵල අවබෝධය තුළත්, ගිහි සකෘදාගාමීඵල අවබෝධය තුළත් ආදරයේ නාමයෙන් තෘෂ්ණාවේ උණුසුම අඩු කඳුළක් උනන්න පුළුවන්. හැබැයි ආදරයේ නාමයෙන් එම සිත් කළු ගලක් නම් වෙන්නේ නැහැ. පිංවත, ආදරය කියන අකුරු හතර ලෝකය ජීවත් කරවනවා. චතුරාර්ය සත්‍යය කියන එකම වචනය ලෝකය නිරෝධය කරනවා. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසාම, අපි ලෝකයේ නිරෝධය මගහැර ලෝකයටම, දුකටම ආදරය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, අතීත පංච උපාදානස්කන්ධය දෙස ආපසු හැරී බලන්නය කියලා. ඒ අතීතය තුළ ආදරයේ නාමයෙන් හෙලූ දුක් කඳුළු මහා සාගරයේ ජලයට වඩා තිබෙනවා. පිංවත, ඔබේ ආදරණීය ආදරය ඉදිරියේ සති සම්බොජ්ඣඬ්ඟයෙන් අවදි වෙන්න. ඔබේ ආදරය තුළම ආදරයේ නිරෝධයත් තිබෙනවා. පිංවත, ආදරය කියන්නේ සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේ මායාවක්. ඒ මායාව ආදරයේ කෙටි ආශ්වාදය උදෙසා පටිච්චසමුප්පන්නව මහමෙරක්වන් දුක් ගොඩක් උදේ හවා තවමත් ඔබලාට දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ආදරය නිසා දුකක් හෝ සැපක් නැහැ. ශ්‍රාවකයා අත්දකින්නේ ආදරයේ නිරෝධයයි.

මේ දිනවල සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන පිංවත් දරුවෝ A (ඒ) නවයේ බර, සීමාව ඉක්මවා පුංචි සිත් වලට ගන්න එපා. සංසිඳුණු සිතින් විභාගයට වාඩි වෙන්න. සෑම උදෑසනකම සියළුම සහෝදර විභාග අපේක්ෂක, අපේක්ෂිකාවන් සිහියට නගාගෙන, තමා සේම ඒ සියළුම දෙනාම සුවපත් වේවා යැයි සිතන්න. සියල්ලෝම උපයෝගී කොටගෙන ඔබ සුවපත් වෙන්න. එතැනයි පිනෙන් පිරුණු, සංසිඳුණු මනසකින් ප්‍රශ්න පත්‍රය අතට ගැනීමේ මාර්ගය තිබෙන්නේ.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.