පිංවත, අපි දකින්නට අකමැති ගොරහැඬි සිහින වගේම, අපි දකින්නට කැමති පාට පාට සිහින අපි කොතෙක් නම් දැක තිබෙනවා ද? පිංවත, අපි කොතෙක් නම් අනාගත පාට පාට සිහින දකින්න බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා ද? පිංවත, සිහින කියන්නේ විඤ්ඤාණයේ මායාවක්. ගොරහැඬි වේවා, පාට පාට වේවා, සිහිනයක් උපදින්නේ මනෝසම්ඵස්සයෙන්. පිංවත, මනෝසම්ඵස්සය යැයි කියන්නේ ඔබගේ අධ්‍යාත්මික රූපය, බාහිර රූපය සහ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයේ එකතුවටයි. පිංවත, රූපය අනිත්‍ය වූ සතර මහා ධාතුවක් වෙද්දී, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අනිත්‍ය වූ සංස්කාරයන්ගේ ඵලයක් වෙද්දී, මේ ධර්මතාවයන් තුනෙන් උපදින මනෝසම්ඵස්සය හෙවත් සිහින කෙසේ නම් ඇත්තක් වෙන්න ද? පිංවත, විඤ්ඤාණයේ මායාකාරී සිහින වලින් මිදී ඇත්තත් සමග ජීවත් වෙන්න. සිහින වලට මුල් වෙන්නා වූ අධ්‍යාත්මික සහ බාහිර රූපයන් තෘෂ්ණාවෙන් උපන්, ආහාරයෙන් යැපෙන සතර මහා ධාතුවක් යැයි කායානුපස්සනාවෙන් දකින්න. සිහින වලට මුල් වෙන්නා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණය, අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන්නා වූ අනිත්‍ය වූ සංස්කාරයන්ගේ මායාවක් බව ධම්මානුපස්සනාවෙන්ම අනිත්‍ය වශයෙන් දකින්න. පිංවත, ඔබ දකින විඤ්ඤාණයේ මායාකාරී සිහින විඳින්න එපා. සිහින ඉදිරියේ ඇතිවෙන සැප සහ දුක් විඳීම් අනිත්‍ය වූ වේදනානුපස්සනාවෙන්ම දකින්න. පිංවත, විඤ්ඤාණයේ මායාකාරී සිහින ධර්මයේ ඇත්ත තුළින් විනිවිද දකින්න. එවිට සිහින ඔබෙන් මග හැරිලා යාවි.
පිංවත, ජීවිතය ධර්ම මාර්ගයට යොමුකොට ගැනීමට නම්, ඔබ මගහැර යායුතු ආශ්‍රවයන් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මගහැර යන්නය කියලා. අකීකරු අමනුෂ්‍යයින් සහ කාම සිත් වැඩෙන ස්ත්‍රී, පුරුෂ, නපුංසක මනුෂ්‍යයින් මගහැර යන්නය කියලා. අනතුරුදායක පාරිසරික තත්ත්වයන්, අප්‍රියජනක පාරිසරික තත්ත්වයන් මගහැර යන්නය කියලා. පිංවත, ඔබ තුළ සකස්වෙන කැමැත්ත සහ අකමැත්ත අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීමක් යැයි ධර්මයේ උපේක්ෂාවෙන් දකින්න ඔබ අදක්ෂ නම්, අදාළ රූපයන් මගහැර යෑමෙන්මයි පංච උපාදානස්කන්ධයෝ නොඇවිළෙන්නේ. පිංවත, අපේ ඵස්සය අවිද්‍යාව විසින් සින්නක්කරම අයිතිකොට ගෙනයි තිබෙන්නේ. එවන් ඵස්සයක් කෙසේ නම් රූපය ඉදිරියේ තෘෂ්ණාව මගහැර යන්න ද? පිංවත, ප්‍රත්‍යවේක්ෂා ධර්මයෝ උපයෝගී කොටගෙන ඉන්ද්‍රීය සංවරශීලය බල ගන්වා ගෙන, වර්ණය, සැපය, බලය කෙරෙහි ආශ්වාදය මගහැර යන්න. වර්ණය, සැපය, බලයෙන් දඟකාර ඔබේ සිතුවිලි සහ හැසිරීම් අනිත්‍ය වූ දානයේ ආනිශංශ ධර්මයන්ම බව නුවණින් දකින්න. පිංවත, පිනෙන් දඟකාර වූ, සද්ධර්මයේ දෙමාපියන්ට අකීකරු වූ වර්ණය, සැපය, බලයෙන් පිනා යන ජීවිත අපි ඉදිරියේ මොනතරම් නම් තිබෙනවා ද? පිංවත, පිනෙන් උපන් වර්ණය, සැපය, බලය පෙරළා යළි පිනට ගරු නොකරන, කෘතවේදී නොවන අවස්ථා කොතෙක් නම් අපි දකිනවා ද? පිංවත, මැණික් ව්‍යාපාරයෙන් කෝටිපතියෙක් වෙච්ච මහත්මයෙක් සිටිනවා. එම පිංවත් මහත්මයා දානයට, පිංකම් වලට කිසිම ප්‍රියභාවයක් නැහැ. නමුත් සංගීත සංදර්ශනයක් කිව්වොත් ලක්ෂ ගණන් වියදම් කරනවා. පිංවත, මෙවන් පිංවතුන් පිනෙන් ඉපදිලා පින මගහැර යනවා. පිංවත, මිථ්‍යාදෘෂ්ටිය අළු ගසා නැගිටින සමාජයක පිනෙන් උපන් ඔබ පින මගහැර යන්න එපා. අනාගත භව ගමනේ “පව” ඔබට ආදරයෙන් තුරුල් වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මනුෂ්‍යයාටත්, දෙවියාටත්, පැවිදි පක්ෂයටත් පින අවශ්‍යයි කියලා. පිංවත, පින අපිට අත්‍යවශ්‍ය වෙන්නේ වර්ණය, සැපය, බලය හුරතල් කිරීමට නොව පිනත්, පවත් යන දෙකම අනිත්‍ය වී යන සංස්කාරයෝම බව අවබෝධකොට ගැනීම උදෙසාමයි. පිංවත, අපි පිනෙන් ඉපදිලා පින මගහැරලා යනවා වගේම, පිනෙන් උපදිලා, අපේ පිනට ලස්සන ලස්සන පිංවන්ත ඇඳුම් අන්දවලා අකුසල් මූලයන්ගෙන් හැඩ බැලීමත් අනතුරුදායක බව අපි තේරුම්ගත යුතුයි.
පිංවත, ඔබත් ආදරය ගැන දන්න කෙනෙක් ද? ඔබත් ආදරය කරන කෙනෙක් ද? ඔබත් ආදරය ලබන කෙනෙක් ද? ඔබ ආදරයෙන් පාරාජිත කෙනෙක් ද? පිංවත, මේ විවිධාකාරී ආදරය ඔබට අයිති දෙයක් නොවේ. ආදරය අයිති අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ට. ආදරය ඔබට අයිති නම්, පිංවත් ඔබලා හැමෝම තුළ එක වගේම ආදරණීය සිතුවිලි තිබෙන්නට ඕනේ. ඔබලා හැමෝම තුළ එක වගේම ආදරණීය බැඳීම් තිබෙන්නට ඕනේ. ඒ බැඳීම් සැබවින්ම ආදරණීය වෙන්න ඕනේ. නමුත් ආදරයේ නාමයෙන් අපි සමාජය තුළ සතුටත්, දුකත් යන අර්ථයන් දෙකම දකිනවා. පිංවත, විවිධ වූ අතීත සංස්කාරයන්ගේ හැඩතල ඔබේ ආදරය කඳුලින් සහ සිනාවෙන් යන අර්ථයන් දෙකෙන්ම පිළිගන්නවා. පිංවත, විවාහ වී වසර අටක් ගතකරපු එක්දරු තරුණ බිරිඳක් තම දෙමාපියන්ට කියනවා, තම සැමියා ගෙවීගිය වසර අට පුරාවට තමාට හෝ තම දරුවාට එකම ඇඳුම් කට්ටලයක්වත් අරගෙන දීලා නැහැය කියලා. පිංවත, හැමෝම ආදරණීය යැයි සිතූ මේ සැමියාගේ අනාදරණීය හැසිරීම බිරිඳ ලෝකයාටම රහසක් කොටගෙනයි වසර අටක්ම ජීවත් වෙලා තිබෙන්නේ. මේ දෙපල දැන් දික්කසාද වෙලා. පිංවත, ආදරයේ පූජාසනය ඔබලාගේම අතීත අකුසල් සංස්කාරයෝ විසින් කෙලෙසන අපූරුව පෙනෙනවා නේද? පිංවත, රෝස මල් වලින්, චොක්ලට් වලින්, හාදු වලින්, නොමනා බැඳීම් වලින් ආදරය කියන අර්ථය ලෝකය තුළ ජීවත් කරවන්න බැහැ. මේ සියල්ල තුළ තිබෙන්නේ ආදරයේ කෙටි ආශ්වාදයයි. පිංවත් ඔබට අනාගත ලෝකය උදෙසා ආදරය ජීවත් කරවන්න අවශ්‍ය නම්, කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වූ මෛත්‍රිය සහ ශීලයමයි ආදරණීය උපකාරක ධර්මය බවට පත්වෙන්නේ. පිංවත, දිනෙන් දින කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ ආදරය අතුරුදන් වී යනවා. අනාගත මෘග සංඥාව කියන්නේ ආදරය කියන අර්ථය අකුසලය විසින් සහමුලින්ම ගිනිගත්ත ලෝකයක්. එදාට ආදරයේ මනුෂ්‍යකම අතුරුදන් වී ද්වේශයට, වෛරයට හැමෝම ආදරය කරනවා. බිරිඳගේ උණුසුමෙන් නොව බිරිඳගේ මසින්, ලෙයින් සතුටුවෙන සැමියන් එදාට බිහි වෙනවා. තම ලෙයින් උපන් දරුවාගේ මස උයාගෙන කන දෙමාපියන් එදාට බිහි වෙනවා. පිංවත, ඔබ කැමති ද අනාගත මෘග සංඥා ලෝකයේ දී එවන් අකුසලයෙන් වියරු වැටුණ සැමියෙක්, බිරිඳක්, දරුවෙක් වෙන්න. පිංවත් ඔබ ආදරය, ද්වේශය, වෛරය විසින් බිලි ගන්න එවන් මෘග සංඥා ලෝකයේ උපතකට අනාගතයේ දී අකමැති නම්, කරුණාකර වර්තමානයේ ඔබේ ආදරණීය බැඳීම ශීලයෙන් සහ මෛත්‍රියෙන් පෝෂණයකොට ගන්න. ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය, ඔබේ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා අවිද්‍යාව හේතුවෙන් ලැබුණු සංස්කාරයක්සේම දකින්න. තෘෂ්ණාව නිසාම බැඳුණු උපාදානයක්සේම දකින්න. පිංවත, ඔබේ බිරිඳට හෝ සැමියාට දුක්, කඳුළු, විරහ වේදනාවන් දී ඉහත ධර්මයන්ට අගෞරව කරන්න එපා. ඔබ ඉහත ධර්මයන්ට අගෞරව කළොත් ඔබේ මිච්ඡා සතිය හේතුවෙන් ඔබ රැස්කොට ගන්නේ අනාගත මෘග සංඥාවන්ට අදාළ අකුසල් සංස්කාරයෝමයි.
පිංවත, වර්තමාන සමාජයේ කාමයේ වරදවා හැසිරීමේ රැල්ලක් බොහෝම වේගයෙන් පැතිරිලා යනවා. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් ගැන මළපොතේ අකුරක්වත් නොදන්න පාලක පිංවතුන් තම තෘෂ්ණාධික පැවැත්ම උදෙසා, පිංවත් ජනතාවගේ සති සම්බොජ්ඣඬ්ඟයේ දෑස් අන්ධකොට දමනවා. පිංවත, සති සම්බොජ්ඣඬ්ඟයේ දෑස් අන්ධකොට දමද්දී, ඔහු ලෝකය හඳුනා ගන්නා සුදු සැරයටිය වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. පිංවත, ඔබ ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ගෙන් බැහැරට යද්දී, ශීලයේ දුර්වලභාවයෙන් ඔඩුදුවන අකුසල් නිසාම, ඔබ කුසල් සංස්කාරයන්ගේ පාලනයෙන් බැහැරට යනවා. එවිට ඔබේ පාලකයා වෙන්නේ අකුසල් සංස්කාරයෝමයි. පිංවත, ඔබේ පාලනය ඔබ අවිද්‍යාවට දෙන්න එපා. ඔබේ පාලනය ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගන්න. පිංවත, මේ උදාවෙන වෙසක් මංගල්‍යය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලයේ ශක්තියෙන් අධිෂ්ඨානශීලීව පිළිගන්න.
පිංවත, මේ වෙසක් සතියේ පරිසරයේ ගහකොළ පවා පිනෙන් පිරිලා. පරිසරයේ අතු, කොළ, දළු, ඵල වර්ණයෙන්, සැපයෙන් පිනා ගිහිල්ලා. පිංවත, පුණ්‍යවන්ත පරිසරය අපේ පින ගැන අපිට නිහඬව කතා කියනවා. වංචාව, දූෂණය, හොරකම, බොරුව ගැන අල්පමාත්‍රයක්වත් නොදන්න පරිසරය ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් අපිව ජීවත් කරවනවා. අපිට ඔක්සිජන් ටික දෙනවා. අපිට සෙවන, සිසිල දෙනවා. අපිට මල්, ඵල දෙනවා. පිංවත, පරිසරය මොනතරම් නම් මනුෂ්‍ය අපිට කෘතවේදී ද? පිංවත, මේ පුණ්‍යවන්ත පරිසරය දකිද්දී අපේ පින්වන්තභාවය ගැනමයි භික්ෂුවට සිහිපත් වෙන්නේ. ඒත් ඒ පුණ්‍යවන්තභාවය ගැන සතුටු වෙන්න අපිට පුළුවන් ද? පිංවත, මේ පුණ්‍යවන්ත වෙසක් සමයේ ගහකොළ ඵල බරින් පිරී ගියත්, අපේ ජීවිත බලාපොරොත්තු කඩවීම් වලින් පිරී ගිහිල්ලා. පිංවත, අපේ පුණ්‍යවන්තභාවය අපේම අකුසල් සංස්කාරයෝ විසින් අපෙන් උදුරාගෙන. පිංවත, භික්ෂුව මේ මොහොතේ වැඩසිටින ගම්මානයේ පසුගිය මාස තුන තුළ පුද්ගලයින් දහ දෙනෙක් මිය ගිහිල්ලා. පිංවත, වෙසක් සමයේ පරිසරය සහ ගහකොළ අපේ පුණ්‍යවන්තභාවය ගැන පූර්වාදර්ශීව අපිට පෙන්වා දුන්නත්, සැබවින්ම අපි හරිම අවාසනාවන්තයෝ. අපේ දෑස් ඉදිරිපිට පෙනෙන පින භුක්ති විඳින්න අපිට නොහැකි වෙලා තිබෙනවා. තමන් උපන් රට ගැන කළකිරුණ මනුෂ්‍යයෝ, තමන් උපන් රට පවුල් පිටින් හැරයන මනුෂ්‍යයෝ, අසනීපයට බෙහෙත්, වෛද්‍ය ප්‍රතිකාර අහිමිව මියයන මනුෂ්‍යයෝ, දවසේ වේල් තුන වෙනුවට දෙවේලෙන් පිරිමහගන්න මනුෂ්‍යයෝ, තමන්ගේ දරුවා පාසල් යවා ගන්න බැරිව හූල්ලන මනුෂ්‍යයෝ අපේ අවාසනාවන්ත කතාවේ දෝංකාරය බවට පත්වෙලා තිබෙනවා. මේ සියල්ල අකුසල් සංස්කාරයන්ගේ ඵලයන් බව ඇත්ත. පිංවත් ජනතාව මෙවන් වියරු අකුසලයන්ට යොමු කළේ මෙතෙක් ක්‍රියාත්මක වූ සම්මා දිට්ඨියෙන් තොර දේශපාලනයයි.
පිංවත, උදාවුණ වෙසක් මංගල්‍යය හුදු පිනේ ආශ්වාදයට යොමුවෙන වෙසක් මංගල්‍යයක් කරන්න එපා. සමස්ත ජනතාවටම සම්මා සතිය ලබාදෙන වෙසක් මංගල්‍යයක් බවට පත්කොට ගන්න. රටපුරා වෙසක් තොරණ ලක්ෂයක් හදනවාට වඩා, රටපුරා දන්සැල් ලක්ෂයක් දෙනවාටත් වඩා අත්‍යාවශ්‍ය වගකීමක් මාතෘභූමිය ඉදිරියේ තිබෙනවා. අශ්‍රද්ධාවෙන්, දුශ්ශීලභාවයෙන් සමාජය තුළ අකුසලය වපුරන දේශපාලනය වෙනුවට ශ්‍රද්ධාවට, ශීලයට ගරු කරන යහපත් දේශපාලනයක් උදාවේවා යැයි සත්‍යක්‍රියා කරන්න. කෙටි පිනේ ආශ්වාදයෙන් අකුසලයට පියාපත් දෙන්න එපා. පිංවත, මේ පුණ්‍යවන්ත වෙසක් සතියේ පිංවත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ශක්තිමත් වී බොරුවෙන්, කපටිකම් වලින් තොර දේශපාලනයක් උදාවේවා යැයි සත්‍යක්‍රියා කරන්න. දුශ්ශීලභාවයෙන් සෞභාග්‍යය බලාපොරොත්තු වෙන්න එපා.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ.
May 07, 2023.