පිංවත, භික්ෂුව වැඩසිටින ගම්මානයේ පසුගිය සතියක අවුරුදු උත්සවයක් පැවැත්වුණා. උදෑසන පටන් සවස් යාමේ දක්වා ගොඩාක් තරඟ ඉසව් තිබුණා. ශබ්ද විකාශන හඬ කුටියට යාන්තමට ඇසුණා. උදේ සිටම සැඟවිලා සිටිය සැඟවුණු අමුත්තා සවස් වෙනකොට සොයා ගත්තා. අවුරුදු උත්සවයත් ජාතික ගීය වාදනය කරලා අවසන් වුණා. පිංවත, මෙතනින් ඔබ නවතින්න එපා. මේ මොහොතේ පටන් මෙත් සිත පෙරදැරිව හැමෝම එකතු වෙලා අළුත් තරඟ ඉසව්වක් පටන් ගන්න. මාතෘභූමියේ කොහේ හෝ තැනක සැඟවී තිබෙන සම්මා දිට්ඨියෙන් යුත් නායකයෙක් සෙවීමේ තරඟය මේ මොහොතේ සිට ආරම්භ කරන්න. පිංවත, නගර, ගම්, නියම්ගම් සිසාරා ඔබේ සති සම්බොජ්ඣඬ්ඟයේ සිතුවිලි දිගහැර මාතෘභූමියට සක්කාය දිට්ඨියේ අධිපතියෙක් නොව, මනුෂ්‍යත්වයේ සේවකයෙක් සොයා ගැනීමේ තරඟයට බියෙන් තොරව පෙළ ගැසෙන්න. පිංවත, අභියෝගය ඉදිරියේ බිය වෙන්න එපා. ඔබට බියක් දැනෙනවා නම්, ආජීව අට්ඨමක සීලයේ ශක්තිය ජීවිතයට එකතුකොට ගන්න. බිය ඔබට අයිති දෙයක් නොව සමස්ත ජාතියේම අකුසලයක් බව නුවණින් තේරුම් ගන්න. කවදා හෝ පවුලේ සුසාන භූමියක පසට මුසුවෙන ඔබේ ජීවිතයෙන් තවත් අනාගත පරපුරකට සිංහල බෞද්ධකමේ ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවත්කොට දෙන්න.
පිංවත, සම්මා සතියකින් තොරව පංච උපාදානස්කන්ධ ලෝකය නිවැරදිව දකින්නට බැහැ. සම්මා සතියෙන් තොරව අපි ලෝකය දැක්කොත් අපි මග වෙනුවට නොමගයි තෝරා ගන්නේ. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ ශීලය සම්මා සතියට මාර්ගය වෙනවා. පිංවත, ලෞකික ප්‍රඥාවෙන් ලෝකය දෙස දකිද්දී අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර ලෝකය ලස්සන චිත්‍රයක් වගේ පෙනෙනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසාම මේ චිත්‍රවල හැඩතල, වර්ණ වෙනස් වෙන්නේ බොහෝම වේගයකින්. අපි නොසිතූ දේවල් අපේම සිත අපිට කියනව, තමන් මළත් රට දාලා යන්නේ නැහැ කියපු මහත්මයෙක් පසුගිය දවසක තම පවුල පිටින්ම රට හැර දමලා විදේශයකට ගියා. පිංවත් ඔබ උපන් පුණ්‍යවන්ත මාතෘභූමිය කියන්නේ ඔබේම අතීත පුණ්‍යවන්ත සංස්කාරයක්. මේ පුණ්‍යවන්ත සංස්කාරය කෙරෙහි කළකිරිලා ලක්ෂ දහයකට වැඩි ජනතාවක් විදේශගත වෙලාලු. පිංවත, කළකිරීමට විසඳුම පලා යෑම නොවේ. අවිද්‍යාවේ ලෝකය ඔබට බල කරන්නේ උතුම් තෙරුවන්ගෙන් දුරස් වෙන්න, ජීවිතයට අවිද්‍යාවේ පංච නීවරණ වැරහැලිම අන්දවන්න. පිංවත, උතුම් සද්ධර්මය ගැන සිතන එක සිතුවිල්ලක් රුපියක් කෝටියකටත් වඩා වටිනවා. පිංවත් ඔබ මරණාසන්න මොහොතේ සතර සතිපට්ඨානයෝ සිහිපත් වුණොත් එම සිතුවිල්ල මුළු ලෝකයේම සල්ලි වලට මිල කරන්න බැහැ. පිංවත, ඔබේ සාක්කු හිස් වුණත් ඔබ සතු සම්මා සතිය ඔබේ ජීවිතය සැබෑ ධනවත්භාවයෙන් හිස් කරන්නේ නැහැ. සම්මා සතිය තිබෙන ජීවිතයකට සාක්කු අවශ්‍ය වෙන්නේ නැහැ. භික්ෂුව නම් සාක්කු වලට හරිම බයයි. වරක් ස්වාමීන් වහන්සේ නමක් භික්ෂුවට සාක්කු තිබෙන අංසකඩයක් පූජා කළා. භික්ෂුව එම අංසකඩය දැක්කේ සර්ප කූඩුවක් හැටියටමයි. පිංවත, සර්ප කූඩු පරිහරණය කළොත් සර්පයෝ ඇති කරන්න හිතෙනවා. පිංවත, සාක්කු නැති ජීවිතයක සම්මා සතිය තිබෙනවා.
පිංවත, ඔබ පරාජිතයෙක් ද, එසේත් නැතිනම් අපරාජිතයෙක් ද? භික්ෂුව නම් කවදාකවත් පරාජිතයෙක් නම් වෙන්නේ නැහැ. භික්ෂුව ලබන ජයත්, පරාජයත් යන අර්ථයන් දෙකම භික්ෂුව බාර කරන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ට. එවිටයි භික්ෂුව සැබෑම අපරාජිතයෙක් වෙන්නේ. පිංවත, වසවර්ති මාරයාටවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් ලබාදිය නොහැකි ශ්‍රාවකයා සිටින්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පමණක්මයි. පිංවත, ලෝකය තිබෙන්නේ දිනන්නට හෝ පරදින්නට නොවේ, ලෝකය තිබෙන්නේ අවබෝධ කරන්නට. පිංවත, ලෝකය තිබෙන්නේ ගිහිභාවයට හෝ පැවිදිභාවයට නොවේ. ලෝකය තිබෙන්නේ ගිහිභාවයත්, පැවිදිභාවයත් අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන අනිත්‍ය වූ සංස්කාරයක් යැයි අවබෝධ කොටගන්න. පිංවත, සංස්කාරයක් වූ දැනුම මුවහත් වෙන ලෝකයක අවබෝධය යනු අවිද්‍යාව නමැති කුඩම්මාගෙන්වත් සැලකිලි නොලබන විද්‍යාවේ රාජ යෝගයයි. පිංවත, ඔබලා සෑම කෙනෙක්ම විද්‍යාවේ රාජ යෝගය දරාගෙන උපන් ඇත්තෝ. ඒ නිසාම අවිද්‍යාවට පරදින්න එපා. ලෝකය ගමන් කරන්නේ ගලක නොකෙටූ ඉරණම් ගමනක්. මේ ගමන සුළඟ සේම වරින් වර වෙනස් වෙනවා. පිංවත, ඒ වෙනසට අපි හැමෝම කැමතියි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ, මේ වෙනස පිටුපස තිබෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්ය කියලා. පිංවත, මේ සංස්කාරයන්ගේ ඇස්බැන්දුම නිසාම අදට වඩා හෙට දවසේ විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාර, දැනීම් වෙනස් වෙලා යනවා. පිංවත, මේ මොහොත අවිද්‍යාව රජ කරන හරිම අවාසනාවන්ත මොහොතක්. අවිද්‍යාව රජකම් කරද්දී මැති, ඇමති, නිලධාරී, පූජ්‍ය සහ ජනතාව අකුසල් සංස්කාරයන්ටමයි හුඟාක්ම ලෙන්ගතු වෙන්නේ. පිංවත, මේ ගලේ කෙටූ අකුරු නොවේ. දිය මත ඇඳි අකුරු වගේ වෙනස් කළ හැකි දේවල්. පිංවත, එම වෙනස අකුසලයෙන් පණ අදින වර්තමාන සමාජයට මේ මොහොතේ අත්‍යවශ්‍යයි. පිංවත, අකුසලය ඔබේම කුසලයෙන් යටපත්කොට එම වෙනස පිංවත් ඔබමයි සමාජයට ලබාදිය යුත්තේ. අභියෝගයන් ඉදිරියේ උපන් මාතෘභූමියෙන් පලා යන්න එපා. උපන් මාතෘභූමිය මගහැර සිටින්න එපා. පිංවත, අකුසලය පරාජය කළ යුත්තේ කුසලයෙන්මයි. අකුසලය පරාජය කිරීමට පංච නීවරණ ඡන්දයකට, මැතිවරණයකට බැහැ. පිංවත, අද දවස අකුසලයටම අයිති වුවත්, හෙට දවස කුසලයට අයිතිකොට ගන්න. එතැනයි සප්ත බොජ්ඣඬ්ඟ ජයග්‍රහණයක පෙරමග සලකුණු තිබෙන්නේ. පිංවත, තෙරුවන් වැඩසිටින බිමක ජාතියේම බංකොලොත්භාවය උතුම් තෙරුවන්ට කළු පැල්ලමකින් කරන පූජාවක්මයි. පිංවත, මේ අවිද්‍යා ඝනාන්ධකාරයේ දී ලෞකික ප්‍රඥාවේ, මෛත්‍රියේ, ශීලයේ ශක්තියෙන් නැගී සිටින්න. වර්තමානයේ මාතෘභූමියට අත්‍යවශ්‍ය පංච නීවරණයන්ගෙන් කෑකෝ ගසන ජනමතයක් නොවේ. සති සම්බොජ්ඣඬ්ඟයෙන් මොනවාට පෝෂණය වූ නිහඬ ජනමතයක්. පිංවත, අවිද්‍යාව යනු පංච නීවරණ වියරුවක්. පරාජය නොඉවසන, ජයග්‍රහණය සදාකල් යැයි දකින මානසික රෝගයක්. පිංවත, මානසික රෝගීන් ඉදිරියේ පිංවත් ඔබගේ හැසිරීම උපක්‍රමශීලී විය යුතුයි. පිංවත, කුමන ජාතියක, කුමන ආගමක වේවා අපි හැමෝම එකම අම්මා කෙනෙක්ගේ දරුවෝ. ඒ අම්මා මේ පුණ්‍යවන්ත මාතෘභූමියයි. පිංවත, සහෝදරත්වයේ දෑත් එකිනෙකාට දිගු කරන්න. මේ පුණ්‍යවන්ත මාතෘභූමිය අකුසලයෙන් යම් පමණකට හෝ මුදා ගන්න.
පිංවත, ඔබ ආරක්ෂා වුණොත් පමණයි ඔබට, ඔබ උපන් මාතෘභූමිය ආරක්ෂාකොට ගන්න පුළුවන් වෙන්නේ. ඔබ අනාරක්ෂිත නම් කරුණාකර තව කෙනෙක්ව ආරක්ෂා කරන්න යන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව ආරක්ෂිත නිසාමයි භික්ෂුව පිංවත් ඔබගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ. කෝටිපති, ප්‍රකෝටිපති පිංවතුන්ගේ ලෝකය තුළත්, දුප්පත් අසරණ පිංවතුන්ගේ ලෝකය තුළත්, මැද පන්තියේ ලෝකය තුළත් භික්ෂුව නොඇලී සහ නොගැටී ආරක්ෂිතවයි වැඩසිටින්නේ. පිංවත, මේ ලෝක ධර්මයන් ඉදිරියේ ඵස්සයේ සීමාවෙන් එක අඩියක් තබන්න භික්ෂුව අවිද්‍යාවට ඉඩ තබන්නේ නැහැ. පිංවත, මේ විදර්ශනාමය සති සම්බොජ්ඣඬ්ඟයෝ භික්ෂුවට අයිති නැහැ. එය අනිත්‍ය වූ කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම හේතුවෙන් සකස් වූ ධම්මානුපස්සනාවක්. පිංවත, අපි කවදා හෝ අවිද්‍යාව හිස්කළ තැන පනවන්න ලෝකයක් නැහැ. එතැන තිබෙන්නේ නිරෝධයක්. පිංවත, නිරෝධය තුළ හැඩරුවක් හෝ හඳුනා ගැනීමේ සලකුණක් නැහැ. නිරෝධය යනු තෘෂ්ණාව නිවී ගියා පමණක්මයි. නිවී ගිය ගින්නක කෙසේ නම් හැඩරුවක්, සලකුණක් තිබෙන්න ද?
පිංවත, මේ ලෝක ධාතුවේ තිබෙන ශ්‍රේෂ්ඨම ධනය වෙන්නේ ශ්‍රද්ධා ධනයයි. ශ්‍රද්ධා ධනය අපිට විමුක්තියේ පහස ලබා දෙනවා. පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල ලෝකය විමුක්තියේ පහස ලබාදෙන ශ්‍රද්ධාවේ ධනය වෙනුවට සොයා යන්නේ අවිද්‍යාවේ සල්ලි කොළමයි. අවිද්‍යාවේ සල්ලි කොළ මත ඉදිවෙන පංච නීවරණ ලෝකය සමාජ සම්මත සියළු යහපත් ධර්මයෝ අපි ලවාම විනාශකොට දමනවා. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට ගිය නාමික සිංහල බෞද්ධකමක් සමාජය තුළ දිග හැරෙමින් පවතිනවා. පිංවත, ඔබ වෙනස් නොවී සමාජය වෙනස් කරන්න යන්න එපා. පිංවත, ඔබයි මුලින්ම වෙනස් වියයුත්තේ. එවිට සමාජය වෙනස් වේවි. පිංවත, අශ්‍රද්ධාව වෙනුවට ශ්‍රද්ධාව සමාජගත කරන්න. දුශ්ශීලභාවය වෙනුවට ශිල්වත්භාවය සමාජගත කරන්න. බොරුව වෙනුවට ඇත්ත සමාජගත කරන්න. වංචාව, දූෂණය, කපටිකම් වෙනුවට අවංකභාවය සමාජගත කරන්න. පිංවත, ඔබ නිහඬ අරගලයක දැවැන්ත සාමාජිකයෙක් වෙන්න. පිංවත, මේ ධර්ම දානමය කුසල් සිත් ජීවිතය තුළ පිරුණු මේ පිංබර නිමේෂයේ දී අපි හැමෝම දෑස් පියාගෙන සත්‍යක්‍රියාවක් කරමු. සමාජගත වියරු දේශපාලන මානසික විකෘතිය යම් පමණකට දුර්වලකොට දැමීමට සම්මා දිට්ඨියෙන් යුත් ජාතික නායකත්වයක් ජනතාව තුළින් මතුවේවා යැයි කියලා. පිංවත, මේ සම්මා වායාමයෙන් තොරව යළි ජාතියට සම්මා සතියක් නම් නොලැබෙනවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා.
භික්ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ හුළු ගඟ ඉස්මත්තේ තිබෙන විසිතුරු කුටියක. ඇත්තෙන්ම මේ කුටිය ප්‍රණීත විසිතුරු සංස්කාරයක්. ලෝභ සිත් අතහැරලා ශාසනයට කරපු පරිත්‍යාගයක්. කුටියේ වැඩ සිටිද්දී පුංචි සුදු පැහැ දිව්‍ය විමානයක වැඩ සිටිනවා වගෙයි භික්ෂුවට දැනෙන්නේ. පිංවත, ප්‍රණීත විසිතුරු සංස්කාරයෝ ප්‍රණීත, විසිතුරු විපාකයන් පෙරළා ඔබලාට ලබා දෙනවා. හැබැයි ඉතින් කල්‍යාණමිත්‍ර ආශ්‍රය නොලැබුණොත් ප්‍රණීත සංස්කාරයෝ අකුසල් මූලයන්ගෙන් යළි ගිනි ගන්නවා. පිංවත, ප්‍රණීත, විසිතුරු සංස්කාරයන් ඉදිරියේ විදර්ශනා සිත් ඇතිකොට ගන්න. පිංවත, හුළු ගඟේ දිය පහර හරිම අකීකරුයි. ඇය කාටවත්ම කීකරු නැහැ. වේගවත් දිය පහර කළු ගල් මතට වැටී ඝෝෂා කළත්, ඇයගේ අකීකරු ඝෝෂාව කීකරු සිතකට භාවනාවක්මයි, භාවනාවකට නිහඬ සිතක්මයි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023/05/28 ඉරුදින දිවයින පුවත්පත