මිථ්‍යා දෘෂ්ටිකභාවය පැවිදි වේශයෙනුත් සමාජය තුළ හැසිරෙනවා.

    පිංවත, උදාවුණ 2023 නව වසරේ දී, ගෙවී ගිය වසරේ දී බැඳුණ පංච නීවරණ මකුළුදැල් ඉවත් කරලා, ඔබේ ජීවිතය සප්ත බොජ්ඣඬ්ඟයන්ගෙන් අළුත් කර ගත්තා ද? ලෝකය නිරවුල්ව දකින්න නම් ඉන්ද්‍රීය සංවරයෙන් පෝෂණය වූ සමාධිමත් සිතක් තිබෙන්නම ඕනේ. අසංවර ඉන්ද්‍රියයෝ ලෝකය කනපිට හරවලා දකින්නේ. පිංවත, අළුත් අවුරුද්දට පිංවත් ඔබට ආදරණීය තෑග්ගක් භික්ෂුව සටහන් තබනවා. පිංවත, සම්මා ආදරය සහ මිච්ඡා ආදරය කියලා අර්ථයන් දෙකක් ලෝකය තුළ තිබෙනවා. සම්මා ආදරය ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සතියෙන් පෝෂණය වෙලයි තිබෙන්නේ. ඒ නිසාම සම්මා ආදරය දන්නවා, අපේ ආදරය නම් තෘෂ්ණා පච්චයා උපාදානං කියන සාංසාරික බැඳීමක්මයි කියලා. ඒ දැක්මම සමාධිමත් සිතකට මාර්ගයක් වෙනවා. මිච්ඡා ආදරය කියලා කියන්නේ ශ්‍රද්ධාව, ශීලය, මෛත්‍රිය, ත්‍යාගය, සතිය නොහඳුනන ආදරයක්. මිච්ඡා ආදරය පණ දෙන්නේ රූපය විඳීමට, හඳුනා ගැනීමට, අකුසල් සංස්කාරයෝ වර්ධනයට පමණක්මයි. ඒ නිසාම පංච නීවරණයෝ, මිච්ඡා ආදරයට තරඟයට ආදරය කරනවා. පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ සම්මා ආදරයට වඩා උත්කෘෂ්ඨ ආදරයක් තිබෙනවා. ඒ ආදරය තමයි රූපය කෙරෙහි විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයෝ නිවී ගිය ආර්ය ආදරය යැයි කියන්නේ. පිංවත, ආර්ය ආදරය තුළ ආදරය තිබුණත්, තෘෂ්ණාව නිවී ගිහිල්ලා.

    පිංවත, නිරතුරුවම සංඝරත්නයට චෝදනා කරන මහත්මයෙක් පසුගිය දවසක අහලා තිබුණා, සංස්කාර කියන්නේ කුමකට ද කියලා. බලන්නකෝ අසරණකමක තිබෙන මහත. සංස්කාර කියන වචනයේ අර්ථයවත් නොදැනයි මහා සංඝරත්නයට චෝදනා කරන්නේ. පිංවත, මිථ්‍යා දෘෂ්ටිකභාවයට අපි අනුකම්පා කරන්න ඕනේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වේගයෙන් දුර්වල වෙන සමාජයක, අපේ ශ්‍රද්ධාව කෙරෙහි අපි හොඳ අවදියෙන් ඉන්න ඕනේ. පිංවත, මිථ්‍යා දෘෂ්ටිකභාවය සමාජය තුළ හැසිරෙන්නේ ගිහි වේශයෙන් පමණක් නොවේ. මිථ්‍යා දෘෂ්ටිකභාවය පැවිදි වේශයෙනුත් සමාජය තුළ හැසිරෙන්න පුළුවන්. පිංවත, උතුම් චීවරය දරාගෙන අපි වැරදි කරන්න නරකයි. අනාගතයේ යම් දවසක මේ උතුම් චීවරය අතුරුදන් වෙලා යනවා. එදාටයි චීවරයක් නැති කාසාව කණ්ඨකලාගේ යුගය බිහි වෙන්නේ. එදාට සංඝයා කියන වචනය සමාජය තුළ භාවිතා වෙනවා, නමුත් තුන් සිවුරයි, පාත්‍රයයි අතුරුදන් වෙලා. අතීතයේ ඒහිභික්ෂුභාවයෙන් පැවිදි උපසම්පදාව ලැබෙද්දී පෙර පින නිසාම තුන් සිවුරයි, පාත්‍රයයි ඍද්ධියෙන්ම අදාළ භික්ෂුවට ලැබෙනවා. අනාගතයේ දී පව නිසාම තුන් සිවුරයි, පාත්‍රයයි අතුරුදන් වී යනවා. ගෞරවනීය පිංවත, ඔබ දරාගත් ඔය තුන් සිවුර, මනුෂ්‍ය සමාජයෙන් තුන් සිවුර අතුරුදන්කොට දැමීම උදෙසා උපකාරක ධර්මයක් කරගන්නට එපා.

    පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මේ දවස්වල දුප්පත් ජනතාවට ගොඩාක් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. එම නිසා තෙරුවන් මුල්කොටගෙන සිදුකරන පහන්, හඳුන්කූරු, මල්, ගිලන්පස, බුද්ධ පූජා පිංකම් නවත්වා එම මුදල් නැති බැරි ජනතාවට දීම නේද කළයුත්තේ කියලා. පිංවත, සම්මා දිට්ඨිය වඳ බැහැපු, මිථ්‍යා දෘෂ්ටිය ඵල දරන මෙවැනි අධර්මානුකූල මිච්ඡා වාචාවන් සමාජය තුළින් නිරතුරුවම අපිට අසන්නට ලැබෙනවා. ගෞරවනීය පිංවත, බුදුරජාණන් වහන්සේ උදෙසා පොල්තෙල් පහනක් දල්වද්දී, එම පොල්තෙල් පහන නිසා, කී දෙනෙක් නම් ජීවත් වෙනවා ද? පොල් ගෙඩියේ පටන් පොල්තෙල් බෝතලය දක්වා, පහන් වැටිය නිෂ්පාදනය කිරීමේ පටන් පහන් තිරය නිෂ්පාදනය දක්වා පිංවත් පවුල් දස දහස් ගණනක් ජීවත් වෙනවා. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේට දාස්පෙතියා මල් දහසක් පූජා කළොත්, ඔබ මිල දී ගත් එම මල් දහස නිසා පවුල් කීයක් නම් ජීවත් වෙනවා ද? පිංවත, අපි සියල්ලෝම හෙට දවසේ පටන් සතියක් බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීම නැවැත්වුවොත් පවුල් දස දහස් ගණනක් ආර්ථික අතින් අනාථ වෙනවා. මල් වගා කරන ගොවි මහතාගේ පටන් මල් සිල්ලරට විකුණන වෙළෙන්දා දක්වා ක්‍රියාන්විතයම නැවතී යනවා. පසළොස්වක පොහොය දිනක දී රට පුරා සිදුකෙරෙන බුද්ධ පූජාවන් සහ ගිලන්පස පූජාවන්ට අවශ්‍ය ආහාරපාන නිෂ්පාදනයෙන්, අලෙවියෙන්, අමු ආහාර සකස් කිරීමෙන් පවුල් දස දහස් ගණනක් ජීවත් වෙනවා. පිංවත, උතුම් තෙරුවන් උදෙසා පූජා කරන මලක්, පහනක්, හඳුන්කූරක්, ගිලන්පසක්, බුද්ධ පූජාවක් පාසා කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින වගේම අහිංසක අසරණ පවුල් ලක්ෂ ගණනක් ආර්ථික අතින් ජීවත් කරවනවා. පිංවත, අනුවණ මිථ්‍යා දෘෂ්ටික මෝඩ කතා වලට නොරැවටී, ඔබ උතුම් තෙරුවන් උදෙසා සශ්‍රීකභාවයෙන් යුතුව මල්, පහන්, හඳුන්කූරු, ගිලන්පස, බුද්ධ පූජාව පූජා කරන්න. එවිට පිංවත් ඔබේ දක්ෂභාවයට අදාළව පින, කුසලය, විදර්ශනා නුවණ ඔබේ ජීවිත වලට එකතුකොට ගන්නවා වගේම ඔබේ මිල දී ගැනීම් තුළින් අහිංසක අසරණ පවුල් ලක්ෂ ගණනකට ආර්ථික ශක්තියක් ලබා දෙන්න.

    පිංවත, රුවන්වැලි මහා සෑ සමිඳුන් නිසා දිනකට මොනතරම් නම් පිරිසක් ජීවත් වෙනවා ද? හෙට දවසේ රුවන්වැලි මහා සෑ සමිඳුන්ට කිසිම ආමිස පූජාවක් නොකරන්න යැයි දැනුම් දීමක් කළොත් මොනතරම් නම් කුඩා ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් පිරිසක් ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙයි ද? පිංවත, කොසොල් රජතුමාගේ ඇමති මණ්ඩලයේත් අසදිස දානය ජනතා මුදල් විනාශ කිරීමක් යැයි චෝදනා කරපු ඇමතිවරු සිටියා. මෙවැනි පිංවතුන්ලාට ලෞකික ප්‍රඥාව තබා අවම වශයෙන් රටක ආර්ථික කළමනාකරණය ගැනවත් වැටහීමක් නැහැ. මෙවැනි ඇමතිවරුන්ගේ මිථ්‍යා උපදෙස් නිසාම වෙන්න ඇති, කොසොල් රජතුමාටත් අනාථයෙක් ලෙස අම්බලමක මිය යෑමට අදාළව සංස්කාරයෝ ජීවිතයට එකතු වුණේ. පිංවත, කෙනෙකුගේ වැරදි කියලා කියන්නේ අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේ ඵලයන්මයි. භික්ෂුව මේ වැරදි පෙන්වලා දෙන්නේ පිංවත් ඔබට නිවැරදි වෙන්න. පිංවත, වැරදිකරුවා දෙස ද්වේශයෙන් බලන්න එපා. එදා අසදිස දානය විවේචනය කළ ඇමතිතුමා වර්තමානයේ සතර අපායේ කොතැනක දුක් විඳිනවා ඇති ද? එදා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් අසදිස දානය පූජා කළ මල්ලිකා බිසව වර්තමානයේ සශ්‍රීක දිව්‍ය තලයක ප්‍රණීත සශ්‍රීකභාවයන් විඳිනවා ඇති. පිංවත, අධිකරණයත් ඔබම වූ කල්හි, විනිශ්චයත් ඔබම වූ කල්හි දුකේ සහ සැපයේ විඳීමත් පටිච්චසමුප්පන්නව ඔබටමයි.

    පිංවත, ලෝකය කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකටයි. පිංවත, දුක කියන කාරණය අවබෝධකොට ගන්න, බෝධිසත්ත්වයන්ට කල්ප ගණනාවක් දස පාරමී ධර්මයන් පුරන්න සිද්ධ වුණා. ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ස්වාක්ඛාත ගුණයෙන් සරණ යන්න, අපි කරපු දස කුසල් ධර්මයන් කොතෙක් නම් වෙන්න ඇති ද? පිංවත, වර්තමාන සමාජය තුළ උතුම් ශාසන අර්ථයන් අවතක්සේරුවට ලක් කිරීමත් තුළින් අපි දකින්නේ පින සහ පව අතර අරගලයයි. පිංවත, මිථ්‍යා දෘෂ්ටිකභාවය ලෝකයේ ජාන ශක්තිය නිසාම, මේ අරගලයෙන් හැමදාමත් ජයගන්නේ පවමයි. මිථ්‍යාවෙන් පිරි ලෝකය තුළ පිනට ලැබෙන්නේ බොහෝම සීමිත අවස්ථාවක්. පිංවත, අපේ දෑස් පියවෙන තුරාවට පවට ජයගන්න දෙන්න එපා. කරුණාකර ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වු පින ශක්තිමත් කොටගන්න.

    පිංවත, පටිච්චසමුප්පන්න ක්‍රියාන්විතය තුළ, ලෝකයේ සාධාරණම අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය ගත්තත්, උපාදාන පච්චයා භවය කියන ධර්මතාවය ගත්තත් අපි දකින්නේ සාධාරණ අධිකරණ ක්‍රියාවලියක්මයි. මේ පටිච්චසමුප්පන්න අධිකරණයේ ව්‍යවස්ථාව වෙන්නේ ධර්මයෝ ධර්මයෝම වඩත් සහ අධර්මයෝ අධර්මයෝම වඩත් යැයි කියන ධර්මතාවයමයි. පිංවත, බුදුරජාණන් වහන්සේ අපිට පනවන්නේ ධර්මානුකූලව ජීවත් වෙන්න කියලයි. චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ජීවිතය දකින්න කියලයි. සමාජය තුළ සිදුවෙන හොඳ සහ නරකට ඔබ ඇලීම් හෝ ගැටීම් ඇතිකොට ගතහොත් ඔබේ පටිච්චසමුප්පන්න අධිකරණය ඔබටම දඬුවම් කරාවි. පිංවත, ඇලීම් සහ ගැටීම් මත දුවන ලෝකය තුළ ඔබ නවතින්න. එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ දුවන ලෝකය දෙස නිවී සැනසිල්ලේ බලන්න.

    භික්ෂුව මේ ආසනය මත වාඩිවෙලා දුවන බාහිර ලෝකය දෙස නිවී සැනසිල්ලේ නුවණින් බලනවා. භික්ෂුවට අරමුණු වෙන්නේ චතුරාර්ය සත්‍යය නොදන්නාභාවය නිසාම සකස් වූ අවිද්‍යාවේ දර්ශනයන් පමණක්මයි. පිංවත, අවිද්‍යාවෙන් තොර දෙයක් ඔබ ලෝකය තුළ දකින්න උත්සාහ ගන්න එපා. අවිද්‍යාව දකිද්දී, අපේ විද්‍යාව විය යුත්තේ ලෝකයෙන් නිවී යෑමමයි. පිංවත, අවිද්‍යාවෙන් කවදාකවත් ලෝකය ජයගන්න බැහැ. පිංවත, භික්ෂුවගේ මේ සටහන් නොහැදෙන අවිද්‍යාවේ ලෝකය හදන්නට නොවේ. නොහැදෙන ලෝකය තුළ, හැදෙන්නට මග කියන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිපුර එක දවසක් හෝ ජීවත් කරවීමයි. පිංවත, ඔබේ පිංවන්ත ජීවිතය තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවත් කරවන්න. එවිට ඔබ මේ උතුම් සද්ධර්මය ජීවත් කළා වෙනවා. පිංවත, කෘතවේදීභාවය කියන්නේ උතුම් තෙරුවන්ගේ පහළවීම වගේම දුර්ලභ දෙයක්. පිංවත, ඔබ භික්ෂුවගෙන් ඇසුවොත් මුලින්ම අතුරුදන් වෙන්නේ උතුම් තෙරුවන් ද එසේත් නැතිනම් කෘතවේදීභාවය ද කියලා. මනුෂ්‍ය සමාජයෙන් මුලින්ම අතුරුදන් වෙන්නේ කෘතවේදීභාවයයි. පිංවත, වයෝවෘද්ධභාවය නිසාම කිසිවෙක් පැවිද්ද ලබා නොදුන් මහළු බමුණෙක් පැවිද්ද ඉල්ලා හඬා වැටෙද්දී බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් විමසුවා, මේ මහළු බමුණාගෙන් උපකාරයක් ලබපු කෙනෙක් මෙතැන සිටිනවා ද කියලා. මේ මහළු බමුණා සාරිපුත්ත මහ රහතන් වහන්සේට අතීතයේ එකම එක බත් හැන්දක් පූජා කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සාරිපුත්ත, ඒ බත් හැන්ද උදෙසා මේ බමුණාට කෘතවේදී වෙන්න කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කෘතවේදීභාවය නිසාම මේ වයෝවෘද්ධ බමුණා පැවිදි උපසම්පදාව ලබා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නවා. පිංවත, ලැබුවා වූ නව වසරේ දී කෘතවේදීභාවය සඟවන්න එපා. එවිට සියළු යහපත් ධර්මයෝ අතුරුදන් වෙලා යාවි. පිංවත, අවිද්‍යාව නිරතුරුවම අශ්‍රද්ධාවට, හිංසනයට, ද්වේශයට, දුශ්ශීලභාවයට කෘතවේදී වෙනවා. යහපතක් දකින්නට නැති සමාජයක් කියන්නේ, දුශ්ශීලභාවයට, අකුසල් මූලයන්ට කෘතවේදීවීමමයි. පිංවත, ලැබුවා වූ නව වසරේ දී මග සහ නොමග තේරුම් ගන්න.

    අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

    උපුටා ගැනීම – 2023 ජනවාරි 8 ඉරු දින දිවයින පුවත්පත