පිංවත, අපි අතීතයේ කවදත් වැටි වැටී නැගී සිටි ජාතියක්. අපි වැටුණා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැගී සිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත, ඔබට මතක ද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත් අරගලය කියලා ධර්මානුකූලව හඳුන්වන්නේ, අපිව ගිල ගැනීමට මාන බලන අසත්පුරුෂ ජාත්‍යන්තර කණ්ඩායම්වල පිනත්, අපේ මාතෘභූමියේ පිනත් අතර තිබූ සංස්කාර තරඟයයි. පිංවත, මුළු රටම අරාජික කළ, රටට නායකයන් අහිමි කළ ඉහත සංස්කාර තරඟයේ දී ජාත්‍යන්තර බලවේගවල පින පරදා, පිංවත් ඔබේ මාතෘභූමියේ පිනේ ශක්තියයි ජය ගත්තේ. යම් හෙයකින් මාතෘභූමියේ ජනතාවගේ පින ජාත්‍යන්තරයේ පිනට පැරදුනා නම්, මේ මොහොත විරුද්ධවාදී කණ්ඩායම් අතර සිවිල් යුධමය තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න තිබුණා. පිංවත, මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සහ සංඝමිත්තා උත්තමාවියගේ සද්ධර්මයේ ලෙයින් උපන්, ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන්, සතියෙන් අන්‍ය ආගම් කෙරෙහි මනුෂ්‍යත්වයෙන් උපන් මේ මාතෘභූමිය සද්ධර්මයේ අර්ථයන් ජනතාව තුළ විකසිතව තිබෙන තාක්කල් වට්ටන්න බැහැ. පිංවත, අරගලය ඉදිරියේ ඔබේ මාතෘභූමියේ පින බලවත් වුවත්, මාතෘභූමිය ලැබූ ජයග්‍රහණය අවංක, විනයගරුක, ජයග්‍රහණයක් නොවේ. පිංවත, කරුණාකර සොරකම් නොකරන, සොරකම ආරක්ෂා නොකරන යම් පමණකට හෝ අවංක දේශපාලනයක් උදෙසා දශ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින කෙරෙහිම විශ්වාසය තබන්න.
පිංවත, මේ ගෙවී යන්නේ උතුම් පොසොන් සමයයි. අපේ රටේ පුණ්‍යවන්ත ජනතාවට සම්මා සම්බුද්ධ ශාසනයේ දායාදය ලබාදීමට පෙරාතුව, මිහිඳු මහෝත්තමයන් වහන්සේ ඉලක්ක කළේ රටේ රජතුමාවයි. රජතුමා ධාර්මික වුණොත් පමණයි සියල්ලම ධාර්මික වෙන්නේ. ඉහත සම්බුදු වදන මතයි මිහිඳු මහෝත්තමයන් වහන්සේ මුලින්ම ස්ථානගත වෙන්නේ. මහරජ, ඔබ රටේ භාරකරු මිස, මේ රටේ අයිතිකරු නොවේ යැයි මිහිඳු මහෝත්තමයන් වහන්සේ රජතුමාට දෙන දේශපාලන අවවාදය තුළ, වර්තමානයේ භාවිතා වන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථයන් ඉක්මවා ගියා වූ දේශපාලන මනුෂ්‍යත්වයේ අර්ථයක් ගැබ්වෙලා තිබෙනවා. ගෞරවනීය පිංවත, මේ පොසොන් සමයේ මිහිඳු මහෝත්තමයන් වහන්සේ පූර්වාදර්ශීව අපිට පෙන්වා දුන් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ධාර්මිෂ්ට දේශපාලනයක අත්‍යවශ්‍යතාවය නුවණින් දකින්න. රජය මැදිහත් වී රාජ්‍ය පොසොන් උත්සව දස දහස් ගණනක් පවත්වනවාට වඩා, වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා අත්‍යවශ්‍යව පවතින්නේ, රාජ්‍ය දේශපාලනයේ අවංක, විනයගරුකභාවය බව ධර්මානුකුලව තේරුම් ගන්න. සියල්ල සංදර්ශන අසිරියට යටත්කොට, විඤ්ඤාණය නමැති මැජික්කරුවාට කීකරු වෙමින් අපි මේ යන ගමන අධර්මයෝ අධර්මයන්ම වැඩීමට හේතුවෙන ගමනක්. ගෞරවනීය පිංවත, මාතෘභූමිය තුළ මුල්බැසගත් වංචාකාරී, අසත්‍ය දේශපාලනය යම් පමණකට හෝ සදාචාරාත්මක බවට පත්කොට නොගත්තොත්, පිරිහෙන දේශපාලනයේ වේගයෙන්ම උතුම් සංඝ සමාජය ද පිරිහීමට පත්වෙනවාය කියන කාරණය සමාව අවසර ඉල්ලමින් සටහන් තබනවා. බුදුරජාණන් වහන්සේ අධම්මික සූත්‍රයේ දී බොහෝම පැහැදිලිව දේශනාකොට තිබෙනවා අධාර්මිෂ්ට දේශපාලනය මුල්කොටගෙනමයි සංඝ සමාජයේ පිරිහීම සිද්ධ වෙන්නේ කියලා. පිංවත් ඔබ සංඝ සමාජයේ පිරිහීමක් දකිනවා නම්, ඔබේ ඉලක්කය විය යුත්තේ ධාර්මිෂ්ට රාජ්‍ය පාලනයක් බව ධර්මානුකූලව සටහන් තබනවා.
පිංවත, උතුම් සංඝ සමාජයේ පිරිහීම කියන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් දුර්වලවීමයි. උතුම් සංඝ සමාජය ගිහි සමාජයට වර්ණය, සැපය, බලය උපද්දවා දෙන, ගිහි සමාජය පූජා කරන සිවුපසයට පෙරලා උපරිමයෙන් ප්‍රතිලාභ ලබාදෙන පුණ්‍ය කෙතයි. ගෞරවනීය පිංවත, මේ උතුම් පුණ්‍යකෙත පංච නීවරණ වල් පැලෑටි වලින් ගහණ වුණොත්, පිංවත් ගිහි ජනතාව පූජා කරන සිවුපසයට පෙරළා ශක්තිමත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. උතුම් සංඝ සමාජය නමැති පුණ්‍යකෙත දුර්වල වෙද්දී පිංවත් ගිහි සමාජය, සංඝ සමාජය කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය දුර්වල වෙනවා. ඒ නිසාම බලවත් අකුසල් ජීවිතවලට එකතුකොට ගන්නවා. මෙවැනි බලවත් අකුසල් අතීතයේ උතුම් ධර්ම විනය අහිමිකොට දැමීමට පවා හේතු ධර්මයන් වුණා. පිංවත, අවිද්‍යාවේ වචන වලින් සතර දිශාවට චෝදනා නොකර මෙත් සිතින් වෙනස් වියයුතු ඉලක්කය හඳුනා ගන්න. මේ පුණ්‍යවන්ත පොසොන් සමයේ අපේ රටේ පිංවත් රජතුමා අවංකව තීරණය කළොත් මම මේ රටේ අයිතිකරුවා නොව, මම මේ රටේ භාරකරුවා පමණක්මයි කියලා, පිංවත, අද දවසේ යළිත් මිහිඳු මහෝත්තමයන් වහන්සේ මේ පුණ්‍යභූමියට වැඩියා වෙනවා. පිංවත, එවන් භාග්‍යයක් ලබන්නට සත්‍යකින්ම අද අපිට පුළුවන් ද? පිංවත, වර්තමානයේදිත් අවංක පුද්ගලයින් බැහැර කොට දූෂිත ධර්මයන්ගේ කළු පැල්ලම් සහිත පිංවතුන්ලාම නේද පදවි තනතුරු ලබන්නේ? ජනතාවගේ සැබෑ අදහස් යටපත්කොට දේශපාලනයේ මමත්වයේ දැඩිභාවයම නේද රජ කරන්නේ? පිංවත, කරුණාකර පුද්ගල සංඥාවන්ට ඇඟිල්ල දිගු කරන්න එපා. එවිට පිංවත් ඔබත් වරදේ වරදකරුවෙක්ම වෙනවා. මේ විකෘතීන් සියල්ල අවිද්‍යාවේ හේතුඵල ධර්මයන්. පිංවත, සිහිනුවණින් සමාජගත වෙන අවිද්‍යා වියරුවට එරෙහිව විද්‍යාවෙන් නැගී සිටින්න. පිංවත, ඔබේ අවිය මෛත්‍රියමයි. පිංවත, ඔබේ බලය ශීලයමයි. අපි සියල්ලෝම බලාපොරොත්තු වන ඵලය කුසලය සහ අකුසලය නිවැරදිව හඳුනා ගන්නා උතුම් සම්මා සතියයි. මේ උතුම් සම්මා සතියයි උතුම් ධර්ම විජය බොජ්ඣඬ්ඟයට මල් පාවඩ එලන්නේ.
පිංවත, ගින්දර අයිති විනාශයටමයි. ඒ නිසාම අපි ගින්දර ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. පිංවත, ගින්දරටත් වඩා විනාශකාරී දෙයක් තිබෙනවා. ඒ තමයි අවිද්‍යාව. පිංවත, ලෝකයේ කොහේ ගින්නක් ඇති වුණත් එම ගින්න ඇති වෙන්නේ මනුෂ්‍යයාගේ අවිද්‍යාව මුල්කොට ගෙනමයි. පිංවත, ගින්දරට වඩා අවිද්‍යාවට බිය වෙන්න. පිංවත, වර්තමානයේ අවිද්‍යාව විසින් අවුලවන පංච උපාදානස්කන්ධ ගිනි ගොඩාක් වැඩියි. මේ අවිද්‍යාව නිසා උපදින පංච උපාදානස්කන්ධ ගිනි වලට පුළුවන් මුළු රටක්ම ගින්දරින් ගිනි තියන්න. පිංවත, වර්තමානයේ සමාජගතවෙන ශාසන විරෝධී ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් දකිද්දී අවිද්‍යාව මොනතරම් නම් විකෘතියක් දැයි ඔබට වැටහෙන්නට ඕනේ. දශපාරමී පුණ්‍ය ශක්තියෙන් උපන්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බෝසත් සිදුහත් කුමරුන්ව, සුද්ධෝදනගේ පොඩි එකා යැයි අවමන් කරද්දී, ඒ තුළින් අපි දකින්න ඕනේ අවිද්‍යාවේ විකෘතියයි. පිංවත, සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන ගමන් නෙළුම් මල් මත ඇවිද්දා යැයි හාස්‍යයෙන් අවමන් කරද්දී, අපි දකින්න ඕනේ මිථ්‍යාදෘෂ්ටියේ පතුලයි. පිංවත, දශපාරමී ධර්මයන්ගෙන් දශමයක්වත් නොපිරූ මෙය සටහන් තබන භික්ෂුව වඩින පාවඩ වලට අතුරන මල් දකිද්දී, භික්ෂුව ධර්මය දේශනා කරන මණ්ඩපයක් සැරසෙන විසිතුරු මල් දකිද්දී, භික්ෂුවගේ අතීත කුසල් සංස්කාරයන්ගේ ආශ්චර්යමයි භික්ෂුව හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ. පිංවත, බෝසත් සිදුහත් කුමරුන් ඉපදුන මොහොතේ පියවර හතක් තැබුවා නියතයක්මයි. ඒ තබන පියවර මත නෙළුම් මල් මහ පොළොවෙන් පැන නැගුණා නියතයක්මයි. පිංවත, පිනේ ආශ්චර්යය තේරුම් ගන්න නම් අපිට සම්මා දිට්ඨිය තිබෙන්නට ඕනේ. නියත මිථ්‍යාදෘෂ්ටික පිංවතුන්, පිංවතියන්ලා කෙසේ නම් පිනේ ආශ්චර්යය දකින්න ද? අනාගත භවයක් නැතැයි විභව තෘෂ්ණාවෙන් ඔද්දල්වුණ, කර්මය කර්මඵල විශ්වාසය ගැන අබමල් රේණුවක්වත් නොදන්න නියත මිථ්‍යාදෘෂ්ටිය, පින සහ පව හඳුනන්නේ නැහැ. පිංවත, මෙවන් මිථ්‍යාදෘෂ්ටීන් හැට දෙකක් (62) බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දඹදිව සමාජයේ අතීතයේ තිබුණා. පිංවත, මේ සමාජගතවෙන ශාසන විවේචනයන් අහම්බයක් නොවේ. කවදත් ලෝකය තුළ තිබුණ අවිද්‍යාවේ හේතුඵල ධර්මයන්.
ගෞරවනීය පිංවත, මෙවන් ශාසන විවේචනයන් ජයගන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. පිංවත, ශාසනය විවේචනය කරන මිථ්‍යාදෘෂ්ටික වරදකරුවන් බන්ධනාගාරගත කළාය කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අවිද්‍යාවේ ජන්ම ගතිය වෙන්නේ ශාසනය විවේචනය කිරීම තුළිනුත්, එවැනි ශාසන විරෝධී ක්‍රියාවන්ට එරෙහිවීම තුළිනුත්, බන්ධනාගාරගත කිරීම් තුළිනුත් සියළු පාර්ශවයන්ගේ අවිද්‍යාවම තව තව පෝෂණය කිරීමමයි. පිංවත, සමාජගතවෙන සම්මා සම්බුද්ධ ශාසන විරෝධී ක්‍රියාවන්ට සහ ප්‍රකාශයන්ට ඔබ පිළිතුරු දිය යුත්තේ අවිද්‍යාවට ආහාර අහිමි කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන්. පිංවත, සමාජගතවෙන මිථ්‍යාදෘෂ්ටික අභියෝගයන්ට පිංවත් ඔබ ආවේගශීලීව, ද්වේශයෙන් විසඳුම් සෙවීමට ගියොත් ඔබේ සම්මා දිට්ඨියේ ශක්තියත් අනතුරටයි යන්නේ. පිංවත, ඔබ මිථ්‍යාදෘෂ්ටියට අසිහියෙන් විසඳුම් සොයන්න ගියොත් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඔබත් මිථ්‍යාදෘෂ්ටික පවුලක උපදින්න පුළුවන්. පිංවත, විඤ්ඤාණය නමැති මායාකරුවා සතු අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර මැජික් යෂ්ටිය හරිම විකෘතියක්. මේ ජීවිතයේ දී ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව ප්‍රශ්න වලට විසඳුම් සොයන බෞද්ධයා ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී අබෞද්ධයෙක් වෙන්න පුළුවන්.
පිංවත, ලෝකය සක්සුදක් සේ පැහැදිලියි. දුක කොතන ද එතැන තෘෂ්ණාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී මාගන්දියා කියන නව යොවුන් සුරූපී තරුණියට අපූරු දොළ දුකක් හැදුනා. එම අසත්පුරුෂ දොළදුක තමයි බුදුරජාණන් වහන්සේව විවාහ කරගැනීමේ දොළදුක. මාගන්දියාගේ බමුණු තාත්තා නිර්ලැජ්ජිතව තම දියණියගේ මඟුල් යෝජනාව බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. බමුණාගේ මඟුල් යෝජනාව අසා බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ සුරූපී රූපය උපමා කළේ අශූචි පිරවූ කළ ගෙඩියකටයි. පිංවත, වර්තමානයේදීත් අශූචි පිරවූ කළ ගෙඩි, වේදිකා මත ලොවුතුරා බුදුරජාණන් වහන්සේව විවේචනය කරමින් විසූඛදස්සනයන් රඟ දක්වද්දී, අපි දැකිය යුත්තේ අතීත මාගන්දියාගේ පරම්පරාවේ වර්තමාන අවිද්‍යාවේ සෙළුව මිස අන් කුමක් ද? තම සුරූපී රූපය අශූචි පිරවූ කළ ගෙඩියකට උපමා කළ බව දැනගත් මාගන්දියා බුදුරජාණන් වහන්සේ සමග ඇතිකොටගත් වෛරය, තෙරුවන් සරණ ගිය සාමාවතිය ඇතුළු පන්සියයක් පරිවාර කාන්තාවන් පණ පිටින්ම ගිනි තබා මරා දැමීමට තරම් සාහසිකභාවයට පත් කළා. මාගන්දියා මේ මොහොතේ පටිච්චසමුප්පන්නව නිරයේ දුක් විඳිනවා ඇති. පිංවත, යම් අවිද්‍යාවේ වියරුවක් උතුම් තෙරුවන් විවේචනය කරයි ද, පිංවත් ඔබ ආවේගශීලී වෙන්න එපා. සංස්කාරයෝ ඒවාට දඬුවම් කරාවි. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් වෙන්න.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.
උපුටා ගැනීම – 2023 ජූනි මස 18 වන ඉරුදින දිවයින පුවත්පත.