ගැලවුම්කාර වේශයෙන් සමාජගත වෙන අකුසල්.

පිංවත, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් වලින් පීඩාවට පත්වෙනකොට තීව්‍ර වෙන අවිද්‍යාවේ මන්දාරම ධර්මයේ විකසිතභාවයට බාධාවක්ම වෙනවා. විඳීමේ කෙලෙස් වලාවන් මතින් රූටා වැටෙන සංස්කාර ජල බිංදු ජරා, ව්‍යාධි, මරණ දුක් සාගරයම පෝෂණය කරනවා. පිංවත, සැබැවින්ම අපි දුකට කැමතියි. ඒ නිසාමයි අපි රූපය සතුටින් පිළිගන්නේ. රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්නේ. රූපය මම ය, මගේ ම යැයි රූපය තුළ බැසගෙනම ජීවත් වෙන්නේ. පිංවත, ඔබ අවිද්‍යාවෙන් උපන් ඔබේ රූපයට ඕනෑවට වැඩිය ආදරය කරන්න එපා. ඔබේ රූපය ඕනෑවට වැඩිය විඳින්න, හඳුනා ගන්න යන්න එපා. පිංවත් අම්මා කෙනෙක් භික්ෂුවට කියනවා, තමන්ගේ වැඩිහිටි දියණිය දිනකට හතර වතාවක්වත් හිස හෝ ශරීරය සෝදනවා කියලා. දිනකට ඇඳුම් කට්ටල තුනක්වත් මාරු කරනවාය කියලා. ශරීරයට මෝස්තර සහ ආභරණ දැමීමේ සීමාවක් නැහැය කියලා. පිංවත, ඔබ ඔබේ රූපය නිත්‍යයි, සැපයි, සුභයි යැයි තෘෂ්ණාවෙන් උපාදානය කොටගත්තොත් මරණාසන්න මොහොතේ ඔබට, ඔබගේ රුපය අතහැර ගන්න බැරිව යනවා. මරණය ඔබේ ජීවිතයට කිට්ටු වෙද්දී, ඔබ මරණය එපා කියලා කෑ ගහනවා. ඔබ, ඔබේ රූපය අතහැරලා යන්න බිය වෙනවා. ඒ නිසාම ඔබ මියයන මොහොතේ ඔබේම රූපය උපාදානය කොටගෙන මැරිලා, ඔබේම මළකඳ උපාදානය කොටගන්න ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක් වෙනවා. ඔබේ මළකඳ සුසානභූමියේ භූමදානය කළාට පස්සේ එම ප්‍රේතයා හෝ ප්‍රේතිය තමා උපාදානය කොටගත් රූපය වළ දැමූ මිනී වළ, කුණුවෙන මළ මිනිය මගේ කොටගෙන ජීවත් වෙනවා.

පිංවත, ඔබ මැරෙන්නට පෙරාතුව, මරණින් පසු ඔබේ දේහය තැන්පත් කරන්න සොහොන් ගෙවල් හදන්න යැයි ඔබේ ඥාතීන්ට කියන්න එපා. සොහොන් ගෙවල් උපාදානය, සොහොන් ස්මාරක උපාදානය ඔබට පටිච්චසමුප්පන්නව එම සොහොන් ස්මාරකයේම නැවත උපතක් බවට පත්වෙන්න පුළුවන්. පිංවත, ඔබේ මරණ කටයුතු කෙසේ වියයුතුදැයි තීරණය කිරීම ඔබේ සංස්කාරයන්ටම භාර දෙන්න. එවිට ඔබ අවිද්‍යාවට යටත් නොවුණා වෙනවා. පිංවත් ඔබ අවිද්‍යාවට යට වෙලා තීරණයක් ගත්තොත් ඔබේ දේහය මෙවන් මිල අධික චිතකයක ආදාහනය කළ යුතුයි කියලා ඔබේ දේහය එම චිතකයේ ගිනි ගන්නවා දැකීමට කැමති කළොත් ඔබ පටිච්චසමුප්පන්නව දුර්වල උපතක් ලබලා ඔබේම දේහය ගිනි ගන්නවා දැක බලා ගන්න පුළුවන්. පිංවත, අපිට පුංචි තැනක් වැරදුනොත් නිවැරදි කිරීමට අපහසු ලොකු විනාශයක් වෙනවා. පිංවත, මරණය අයිති ඉපදීමටයි. ඔබ මරණයට අකමැති නම්, ඉපදීමයි නැතිකොට ගත යුත්තේ. පිංවත, නිරතුරුවම මරණය ගැන සිතන්න. මරණය ගැන මරණානුස්සතියෙන් මෙනෙහි කරන්න. එවිට රූපය කෙරෙහි තෘෂ්ණාව ඔබෙන් ටික ටික ගෙවිලා යනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් අහනවා, මේ මරණානුස්සතිය වඩද්දී තමන් තුළින් ගෙවී යන තෘෂ්ණාවේ ප්‍රමාණය, තමන් දැන ගන්නේ කෙසේදැයි කියලා. පිංවත, කායානුපස්සනාව පුහුණු කරද්දී, ඔබ තුළින් ගෙවී යන තෘෂ්ණාවේ ප්‍රමාණය ඔබ සොයන්න හෝ හිතන්න යන්න එපා. ඔබෙන් ගෙවී යන තෘෂ්ණාවේ ප්‍රමාණය ඔබ සොයන්න සහ හිතන්න ගියොත් තව තවත් තෘෂ්ණාවමයි වැඩි වෙන්නේ. පිංවත, තෘෂ්ණාවට, තෘෂ්ණාවෙන් තොරවම ගෙවී යන්න ඉඩ හරින්න. තෘෂ්ණාව නිරෝධය වන එකම මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඔබේ ජීවිතය බවට පත්කොට ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව වැඩීමේ දී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝම ඔබට දිරිදෙන හැටි සිහි නුවණින් දකින්න. ඒ දැක්මත් අනිත්‍ය වූ රූපය ඇසුරෙන් සකස් වූ අනිත්‍ය වූ ඵස්සයක් හැටියටම දකින්න. නිවැරදිව මාර්ගය පුහුණු වෙද්දී, අනාගතයේ යම් මොහොතක ඔබටම දැනේවි සලකුණකුදු නොතබා තෘෂ්ණාව ගෙවී ගියාය කියලා. ඒ දැනීමත් ඔබ තුළ ආයාසයකින් තොරවම ස්වයංක්‍රීයව අනිත්‍ය වූ ඵස්සයක් යැයි ධම්මානුපස්සනාවෙන්ම විදර්ශනාමය සප්ත බොජ්ඣඬ්ඟයන්ට පාවඩ එළාවි. පිංවත, අපි ශ්‍රද්ධාව තුළ ජීවත් වෙන්න ඕනේ, ශ්‍රද්ධාවේ අනිත්‍යභාවය දකිමින්. පිංවත, අපි වීර්යය තුළ ජීවත් වෙන්න ඕනේ වීර්යයේ අනිත්‍යභාවය දකිමින්. අපි සතිය, සමාධිය, ප්‍රඥාව තුළ ජීවත්විය යුත්තේ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින්, එවිටයි ඉන්ද්‍රීය ධර්මයෝ උතුම් බල ධර්මයන් බවට විදර්ශනාත්මකව විකසිත වෙන්නේ.

පිංවත, අවිද්‍යාවේ ලේ උරුමය වෙන්නේ, තෘෂ්ණාවෙන් පෝෂණය වුණා වූ පංච නීවරණ ධර්මයෝමයි. පිංවත, අවිද්‍යාව හරිම සටකපටයි. පිංවත් අපේ වංකභාවය ඉදිරියේත්, අවංකභාවය ඉදිරියේත් තෘෂ්ණාවමයි සැඟවිලා තිබෙන්නේ. අවිද්‍යාවේ සටකපටභාවය ඔබට දකින්න අවශ්‍ය නම්, ලෞකික ප්‍රඥාව තුළ බැසගත්ත නොවිසිරුණු සිතින්, මේ තෘෂ්ණාවේ කෙළිලොල්, සෙල්ලම්කාර, ඇස්බැන්දුම් සමාජය දෙස නුවණින් බලන්න. මොනතරම් අකුසලයෙන් සහ දුශ්ශීලභාවයෙන් ආසාදනය වූ තුවාල සමාජ දේහය තුළ තිබෙනවා ද? කිසිම පිංවතෙක් මේ අකුසලයෙන් උපන් තුවාල සනීප කරගැනීමට, හොඳ කරගැනීමට ගතයුතු ධර්මානුකූල ඖෂධ ගන්නේ නැහැ. සැබෑ නිවැරදිභාවයක් උදෙසා සිල්වතුන්ගේ පෙළ ගැසීමකට සූදානම් වෙන්නේ නැහැ. පිංවතුන්ලා තුවාල සුව කිරීමේ නාමයෙන් සිදු කරන්නේ සමාජගත අකුසලයේ තුවාල, සමාජ මාධ්‍ය උපයෝගී කොටගෙන ඇලීම් සහ ගැටීම් වලින් තව තවත් පාරනවා. තව තවත් තුවාල කරනවා. තුවාලය ඔඩු දුවවනවා. සත්‍යකින්ම සමාජගත වෙන අකුසලයේ තුවාල, තමන් හම්බ කරගැනීමේ ව්‍යාපාර බවටම පත්කොට ගන්නවා. පිංවත, ඔබ අලුතින් ආදායම් මාර්ගයක් සොයන අයෙක් නම්, ඔබටත් පුළුවන් සමාජය නිවැරදි කරන අවිද්‍යාවේ ගැලවුම්කාර වේශයෙන් සමාජගතවෙන අකුසල් සහ දුශ්ශීලභාවයේ තුවාල තළු මර මරා සමාජගත කරලා, කීයක් හරි හම්බකොට ගන්න. සමාජගතවෙන දුශ්ශීලභාවයේ ප්‍රශ්න වලට සැබෑ සිල්වත්භාවයේ විසඳුම් නොසොයා, සමාජගත වෙන තුවාල පෙන්න පෙන්නා ජනතාව තුළ ඇලීම් සහ ගැටීම් පෝෂණය කරන පිංවතුන්ලා නිහතමානීව තේරුම් ගන්න ඕනේ, සමාජගත අකුසලයේ තුවාල වගේම, ඔබේ අවිද්‍යාවේ තුවාලයන් ඔබට හොරාම ඔඩු දුවනවාය කියන කාරණය.

පිංවත, ලෞකික ප්‍රඥාව දුර්වල රජ කෙනෙක්, නායකයෙක් හෝ පාලකයෙක් රටක් පාලනය කරලා මරණින් පසු සුගතියක උපදිනවාය කියන කාරණය දුර්ලභ කාරණයක් වෙනවා. පිංවත, රජ කෙනෙක්, පාලකයෙක් රටක් පාලනය කරලා මරණින් පසු දුගතියක උපදිනවාය කියන කාරණය සුලභ කාරණයක්ම වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පිංවත, ඇත්ත කතාව ඔහොම නම්, පිංවත් ඔබ රජවරුන්, නායකයින්, පාලකයින් ගැන කලබල වෙන්න එපා. පිංවත් ඔබ ඔබේ පාලනය අනුනට නොදී ඔබ ඔබේම පාලකයා, නායකයා වෙන්න. අධාර්මිෂ්ටභාවයේ වෛරසය වේගයෙන් සමාජගත වෙනවා. පිංවත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිශක්තිය වහ වහා ජීවිතයට එකතුකොට ගන්න. අවිද්‍යා ඝනාන්ධකාරය වැඩි වෙනකොට පිංවත් පාලකයින් පහළ වෙන්නේ සමාජය නිරවුල් කරන්න නොවේ. සමාජය තව තවත් අවුල් කරන්න. පිංවත, බොරුවට රැවටෙන්නත් එපා. පිංවත, ඇත්තට වශී වෙන්නත් එපා. පිංවත, සියළු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. සමාජගත වෙන බොරුව සහ ඇත්ත තුළින් ඔබ ඇලීම් හෝ ගැටීම් වලට නොයා, ඔබ සම්මා සමාධිමත් සිතක්ම ඇතිකොට ගන්න. පිංවත් ඔබ මේ මොහොතේ පසුවෙන්නේ සද්ධර්ම පාරාදීසයක. ධර්මයේ ස්වාක්ඛාත ආදී වූ සියළු ගුණයන් සමාජය තුළ ඒහිපස්සිකව විවෘතව බබලනවා. සමාජගත අශ්‍රද්ධාවේ, ද්වේශයේ, දුශ්ශීලභාවයේ, අසිහියේ විපාකයන් සමාජයට පංච නීවරණයන්ම අයිතිකොට දෙනවා. පිංවත, ලෝකයට යන්න දීලා ඔබ නවතින්න. දැක්කා, ඇසුනා, දැනුනා කියන තැන ඔබ නවතින්න. අවිද්‍යාවේ ලෝකය තෘෂ්ණාවෙන් විතර්ක කරන්න එපා. බන්ධනයන්ගෙන් පිරුණු ලෝකය තුළ එතැනමයි නිදහසක් තිබෙන්නේ. තෘෂ්ණාවෙන් ලෝකය දෙස බැලුවොත් සතුටක් හෝ තෘප්තියක් නැහැ. පිංවත, තෘෂ්ණාවෙන් තොරව ලෝකය දකිද්දී, ලෝකය නිරවුල් සද්ධර්මයේ පාරාදීසයක්ම වෙනවා.

පිංවත, දැන් නම් ජීවත් වුණා ප්‍රමාණවත් කියලයි භික්ෂුවට නම් සිතෙන්නේ. ඒත් ඉතින් අතීත සංස්කාරයෝ මරණයේ දොරටුවට තට්ටු කරනාතෙක් අපි හැමෝටම සංස්කාර දුක් ගොල්ලේ කල් මරන්නම සිද්ධ වෙනවා. වර්තමානයේ අපි දකින, අසන, දැනෙන දේවල් ගැන සිතනකොට අනාගතයේ තව මොනතරම් අපි අකමැති දේවල් දකින්නට, අසන්නට අපිට සිද්ධ වෙයි ද? පිංවත, අපි මේ කොටි වලිගයක් නේද අල්ලාගෙන සිටින්නේ. ඇසෙන් රූපයක් දැක්කොත් සංස්කාරයෝ අපිව ගොදුරුකොට ගන්නවා. සළාතනයන්ගේ ඵස්සය සංස්කාරයන්ට ගොදුරු බිමක්ම වෙනවා. පිංවත, අපි ජීවිතයේ එක කොනක් ධර්මයේ ගැට ගැසුවාය කියලා, සංස්කාරයන්ට ගොදුරු බිම අහිමි වෙන්නේ නැහැ. රූපාවචර සහ අරූපාවචර ධ්‍යානගත සමාධියේදිත්, වේදනාවේ ආශ්වාදය භවයට ගොදුරු සොයනවා. පිංවත, තෘෂ්ණාවේ ගැඹුරු ළිඳෙන් වතුර බාල්දියක් අඩු කළාය කියලා කෙසේ නම් අවිද්‍යාවේ ළිං පතුල පෙනෙන්න ද? ඒ වගේමයි අධි බලැති වතුර මෝටර් යොදලා තෘෂ්ණාවේ ගැඹුරු ළිඳ හිස් කරන්න යන්න සුදුසු නැහැ. ධර්ම මාර්ගයේ හීන වීර්යයන්, අධි වීර්යයන් දෙකම අයිති වෙන්නේ පංච නීවරණයන්ටමයි. පිංවත, තෘෂ්ණාව සිඳින මධ්‍යස්ථ වීර්යය නෙක්ඛම්ම සංකප්පයෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා, තමන්ගේ උපන් දිනය දවසේ කරන්න සුදුසු අර්ථවත්ම පිංකම කුමක් ද කියලා. පිංවත, අර්ථවත්ම පිංකම ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ මෛත්‍රියයි. ඊටත් වඩා අර්ථවත්ම පිංකම වෙන්නේ සම්මා සමාධියෙන් පෝෂණය වූ අනිත්‍ය සංඥාවයි. පිංවත, මෙය සටහන් තබන භික්ෂුව තමන්ගේ උපන් දිනය සිහිපත්වෙන සෑම මොහොතකම, භික්ෂුවගේ උපත, එම උපතේ සැබෑ අයිතිකරුවාටම අයිතිකොට දෙනවා. පිංවත, උපතේ සැබෑ හිමිකරු අවිද්‍යාවයි. පිංවත, අවිද්‍යාව නමැති දුකට අධිපති අසත්පුරුෂ ධර්මයකට අයිති “උපත”, භික්ෂුවට නම් හේතුඵල ධර්මයක් පමණක්මයි. පිංවත, ඔබේ උපත සහ මරණය එහි සැබෑ හිමිකරු වන අවිද්‍යාවටම භාර දෙන්න, සංස්කාරයන්ට කැමති දෙයක් කරගන්න කියලා. එවිට පුළුවන් අපිට අපේ පාඩුවේ ඉන්න. පිංවත, ජීවිතය කියන්නේ මහ දවල් ඈතට දිලිසෙන මිරිඟුවක්. හුඟ දෙනෙක් ඒ මිරිඟුවෙන් වතුර ඉල්ලාගෙන එනවා. කෙසේ නම් භික්ෂුව ඔබට වතුර දෙන්න ද? භික්ෂුවගේ ජීවිතයත් අවිද්‍යාවේ මිරිඟුවක් වෙද්දී…

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023/03/12 වන ඉරුදින දිවයින පුවත්පත.