තණ්හාව අතහැරිය යුතු ජීවිතය.

පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති මුල් ගලෙන් ආරම්භ වන මේ උතුම් ධර්ම මාර්ගය චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අවසන් වෙනවා. ආරම්භය තෘෂ්ණාව හේතුවෙන්ම සිදු වුණත්, අවසානය සිද්ධ වෙන්නේ තෘෂ්ණාවේ නිරෝධයෙන්මයි. පසුගිය දවසක මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, තෘෂ්ණාව දුකට හේතුව නම්, ඇයි අපි තෘෂ්ණාවෙන් පින් කරන්නේ කියලා. පිංවත, දුකට හේතුව තෘෂ්ණාව බව ඇත්ත. මේ ඇත්ත දැනගත් පමණින්, මේ ඇත්ත තේරුම් ගත්ත පමණින් තෘෂ්ණාව නිරෝධය වෙන්නේ නැහැ. පිංවත, තෘෂ්ණාව නිරෝධය කිරීමට මාර්ගයක් තිබෙනවා. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත, අපි සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් ශක්තිමත් වෙන්න ඕනේ. අපි හිංසනය සහ කේන්තිය අඩුකර ගන්න ඕනේ. නෙක්ඛම්මය පුහුණු වෙන්න ඕනේ. ශීලයේ ශක්තිය ජීවිතයට එකතුකොට ගන්න ඕනේ. ආජීව අට්ඨමක ශීලයේ ශක්තියෙන් අපි කුසල් දහම් වඩන්න ඕනේ. පිංකම් කරන්න, දන් පූජා කරන්න ඕනේ. ධර්මය සහ අධර්මය කෙරෙහි හොඳින් සතිය සිහිය ඇතිකොට ගන්න ඕනේ. පිංවත, එවිටයි අපිට තෘෂ්ණාව විනිවිද දකින්න පුළුවන් සම්මා සමාධිමත් සිතක ආරම්භය ඇති වෙන්නේ. පිංවත, මේ ආරම්භය ඇතිකොට ගැනීමට නම්, අපේ අතීත අකුසල් යටපත් කරලා, වර්තමානයේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින ශක්තිමත් කොටගන්න ඕනේ. තෘෂ්ණාවේ නිරෝධයට මුල් අදියරේ දී නෙක්ඛම්මයෙන්ම පෝෂණය වූ තෘෂ්ණාව අවශ්‍යමයි. ඇතුවත් බැරි, නැතුවත් බැරි තෘෂ්ණාව, නිවැරදිව කළමනාකරණය කොටදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පිංවත, වර්තමාන සමාජය තෘෂ්ණාවෙන් උඩු දුවලයි තිබෙන්නේ. සමාජය නෙක්ඛම්මය හඳුනන්නේ නැහැ. සමාජය පුරුදු වෙලා සිටින්නේ තරඟයට පව්කම් කරන්න. මෙවැනි සමාජයක දරු සම්පත් බලාපොරොත්තු වෙන මව්දෙමව්පියන් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. සොරකම් සහ වංචාවන් සිදුකරන, තම රාජකාරී වගකීම් ඉටු නොකරන, ජාතියට ණයකරුවන් වෙන වර්තමාන සමාජයේ ජීවත්වෙන පිංවත් මනුෂ්‍යයෝ මැරිලා, තෘෂ්ණා පච්චයා උපාදානං කියන ධර්මතාවය තුළ පටිච්චසමුප්පන්නව නැවත මනුෂ්‍ය මවුකුසක ඉපදුනොත් එම දරුවා පාසල් වයසේදීම දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කරදරකාරයෙක් වෙන්න පුළුවන්. වරදට, දුරාචාරයට, මතට ලොල්වෙන දරුවන් වෙන්න පුළුවන්. පිංවත, මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්. ලෝකය නිවැරදි කරන්න අපිට බැහැ. පිංවත් ඔබ නිවැරදි වෙන්න. පිංවත් ඔබ දරු සම්පත් බලාපොරොත්තු වේ නම්, අවම වශයෙන් ඊට මාස තුනකටවත් පෙරාතුව ධර්මයෙන් සූදානම් වෙන්න. එම කාලය තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, දානය දෙදෙනාගේ ජීවිත වලට ශක්තිමත්ව එකතුකොට ගන්න. කර්මය කර්මඵල විශ්වාසය කෙරෙහි හොඳින් සිත පිහිටුවා ගන්න.

පිංවත් ඔබ දෙපළගේ ජීවිත පිනෙන් පුරවාගෙන පිනැති දරු සම්පත් ප්‍රාර්ථනා කරන්න. පිංවත, සමාජයේ වගකිව යුත්තන් හැසිරෙන ස්වභාවය දකිද්දී, මෙවන් පිංවතුන් මිය ගිහින් නැවත පටිච්චසමුප්පන්නව මනුෂ්‍ය ජීවිත ලැබුවොත්, රටේ ඊළඟ දරු පරම්පරාව මොනතරම් නම් විකෘතියක් වේවි ද? පිංවත, මේ විනාශ වෙන්නේ වර්තමාන පරම්පරාව පමණක් නොවේ. අපේ පටිච්චසමුප්පන්න ඊළඟ දරු පරම්පරාවේ අනාගතයයි.

පිංවත, පටිච්චසමුප්පන්නව නැවත ඉපදීම පිළිබඳව විශ්වාසය සම්මා දිට්ඨියේ උතුම් අර්ථයක්. ඔබ කැමති ද ඊළඟ ජීවිතයේ දී බිත්තරයක උපදින්න. ඔබ කැමති ද ඊළඟ ජීවිතයේ දී පණු කුලයක උපදින්න. ඔබ කැමති ද ඊළඟ ජීවිතයේ දී තිරිසන් මවුකුසක උපදින්න. ඔබ කැමති ද ඊළඟ ජීවිතයේ දී ඕපපාතිකව ප්‍රේතයෙක්, භූතයෙක්, නිරිසතෙක්ව උපදින්න. පිංවත, වර්තමානයේ පිංවත් දේශපාලන මාමලාගේ මනුෂ්‍ය නොවන සංඥාවන් නිසාම කිකිළි බිත්තරයේ මිලත් හුඟාක් ඉහළ ගිහින් නේද? පිංවත් ඔබ කරුණාකර බිත්තර මිල ගැන සිතලා ගැටීම් ඇතිකොටගෙන බිත්තර සංඥාවන් වැඩිය වඩන්න එපා. ඔබ මරණාසන්න මොහොතේ බිත්තර සංඥාවක් උපාදානය වුණොත්, ඔබ පටිච්චසමුප්පන්නව බිත්තරයක උපදින්න පුළුවන්. පිංවත, බිත්තරය අයිති කිකිළියට. කිකිළිය අයිති තිරිසන් ලෝකයට. මේ සියල්ල අයිති අවිද්‍යාවට. මේ සියල්ලෙන් මිදීම අවිද්‍යාවේම නිරෝධය බව සිතමින්, මිල ඉහළ යන බිත්තරය අකුසල් සංස්කාරයක් බවට නොව, භව නිරෝධයේ කමටහනක් බවට පත්කොට ගන්න. බිත්තරයක් මුල්කොටගෙන පිංවත් ජනතාව පීඩාවට පත්කරන සියල්ලෝම වර්තමානයේ තමන්ගේ බිත්තර උපාදානය නිසාම, යළි පටිච්චසමුප්පන්න උපත බිත්තරයකම බව සිහිනුවණින් තේරුම් ගන්න. රටක පිංවත් පාලක පිංවතුන්ලා මනුෂ්‍යයින් නොවී, අමනුෂ්‍යයින් වෙද්දී, කිකිළි බිත්තරය පිංවත් ජනතාවට ආහාරයක් නොව මාරයෙක්ම වෙනවා. පිංවත, බිත්තරයක් හේතුවෙන් අපි ඇතිකොට ගත්තා වූ චේතනාවෝ භව ගමනේ කොතෙක් නම් ඈතකට අපිව පටිච්චසමුප්පන්නව මෙහෙය වනවා ද? ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ රූපය මාරයා යැයි අපිට උගන්වන්නේ. පිංවත, ඔබේ රූපය කියන්නේ අවිද්‍යාවෙන් උපන් මාරයෙක්. ඔබේ සළායතනයෝ භව දුක උපද්දවා දෙන මාර ධර්මයන්මයි. පිංවත, මාරයාගේ ජන්ම ගතිය වෙන්නේ සැප වේදනා ඉදිරියේ ඇලීම සහ දුක් වේදනා ඉදිරියේ දී ගැටීමයි. පිංවත, අවිද්‍යාවෙන් උපන් මාරයාගේ ලෝකය තුළ අපි මේ යන්නේ මාර ගමනක්. දුක සොයාගෙන යන ගමනක්. පිංවත, ඔබේ ඇසෙන් මාරයා ගොදුරු සොයනවා. ඔබේ සළායතනයන්ගෙන් මාරයා ගොදුරු සොයනවා. පිංවත, සම්මා සමාධිමත් සිතයි, මාරයාට තාවකාලිකව කාමච්ඡන්දයන්ගේ ගොදුරු බිම අහිමි කරන්නේ. පිංවත, පාලක පිංවතුන්ලාගේ අසීමිත කෙලෙස් ගින්නෙන් සියළු යහපත් ධර්මයෝ ගිනි ගන්නා සමාජයක කාමච්ඡන්දයන්ගෙන් මිදුණ සම්මා සමාධියක් කෙසේ නම් ඇතිකොට ගන්න ද?

පිංවත, මේ ඔබ ඉපදුන රටයි. මේ ඔබ ජීවත්වෙන රටයි. මේ ඔබ මියයන රටයි. මේ ඔබ යළි පටිච්චසමුප්පන්නව උපදින්න ප්‍රාර්ථනා කරන රටයි. පිංවත, මේ උතුම් රට තවදුරටත් අධාර්මිෂ්ට දේශපාලනයට විනාශකොට දමන්න දෙන්න එපා. පිංවත, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියේ අර්ථයන් තුළින් අපේ අම්මා සහ තාත්තාව මහා බ්‍රහ්මයින් බවට පත්කරලා, දරුවන්ගේ පින සහ කුසලය ශක්තිමත් කරලා, එම දරුවන් අනාගතයේ දී ගුණාත්මක මහා බ්‍රහ්මයින් බවට පත් කරනවා. පිංවත, බුදුරජාණන් වහන්සේ පරම්පරාවක් උපයෝගී කොටගෙන, අනාගතයේ තව පරම්පරාවක් ගුණාත්මක කරනවා. පිංවත, වර්තමාන දුශ්ශීල දේශපාලනය, වර්තමාන පරම්පරාවත්, අනාගත පරම්පරාවත් යන සියල්ලම විනාශකොට දමනවා. බුදුරජාණන් වහන්සේ පාලක පිංවතුන්ලාට දේශනා කරනවා, සමාජයේ ජීවත්වෙන අද දවසේ උපන් ළදැරියගේ පටන් වයෝවෘද්ධ කාන්තාව දක්වා, කාන්තා පක්ෂයේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නය කියලා. කාන්තා පක්ෂයේ ආත්මගරුත්වය ආරක්ෂා කරන්නය කියලා. පිංවත, අද දවසේ ජීවත්වෙන ගැහැනු දරුවායි, අනාගතයේ දී මාතෘත්වය බවට පත්වෙන්නේ. වර්තමානයේ ගැහැනු දරුවා සදාචාරාත්මකව විනාශ වුණොත් අනාගත මාතෘත්වය මහා බ්‍රහ්ම ගුණයන් ගිලිහී ගිය, මිච්ඡා සංකප්පයන්ගේ විකෘතියක්ම වෙනවා. පිංවත, දුශ්ශීලභාවයට සමාජය තුළින් වටිනාකම් ලැබෙද්දී, දුශ්ශීලභාවයට සමාජය තුළින් වරප්‍රසාද ලැබෙද්දී, සමාජය දුශ්ශීලභාවය සතුටින්ම පිළිගන්නවා. පිංවත, දුශ්ශීලභාවය නිදැල්ලේ හැසිරෙන සමාජයකයි වර්තමානයේ අපි ජීවත් වෙන්නේ. අපේ වර්තමාන ළමා සහ තරුණ ගැහැනු දරුවන් දුශ්ශීලභාවයේ අහිංසක ගොදුරු බවට පත්වුණොත්, අපි ජාතියක් වශයෙන් යහපත් සියල්ලම විනාශකොට ගත්තා වෙනවා. පිංවත් ගැහැනු දරුවන් තම ජීවිතය මිච්ඡා ආජීවයක් බවටම පත්කොට ගත්තා වෙනවා. පිංවත, අධාර්මිෂ්ට පාලක පිංවතුන්ලාට මේවා කියලා තේරුමක් නැහැ. එම පිංවතුන් සම්මා දිට්ඨියේ අර්ථයන් හඳුනන්නේ නැහැ. පිංවත් ගැහැනු දරුවන් දක්ෂ වෙන්න, සමාජගත වෙන මේ පාපකාරී දුශ්ශීල අභියෝගයට මුහුණ දෙන්න. පිංවත් ගැහැනු දරුවන් තම දෙමව්පියන් මහා බ්‍රහ්මයින් හැටියට දැකලා දෙමව්පියන්ට කීකරු වෙන්න. දෙමව්පියන් සතුටු කරලා ඔබේ පින, කුසලය ශක්තිමත් කොටගන්න. මෙවන් දුශ්ශීලභාවයෙන් උමතු සමාජයක, පිංවත් ගැහැනු දරුවන්ට වඩාත්ම වටින්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සහ පංචශීලයේ ශක්තියයි. පිංවත් ගැහැනු දරුවන් මෙවන් දුශ්ශීල සමාජයක දී මෛත්‍රිය ජීවිතයට එකතු කොටගත යුත්තේ බොහෝම පරිස්සමෙන්. ඔබේ අහිංසක මෛත්‍රිය, ශීලයේ වෙස්ගත් දුශ්ශීල පුද්ගලයෙකුට වියරු ආහාරයක් වෙන්න පුළුවන්. පිංවත් ගැහැනු දරුවන් තමන්ගේ ආරක්ෂාව සමාජයෙන් බලාපොරොත්තු වෙන්න එපා. සමාජය අන්ත අනාරික්ෂිතයි. ඔබේ ආරක්ෂකයා ඔබේම සිහිනුවණ බවට පත්කොට ගන්න. කෙටි ආශ්වාදයන්ට ලොල් වී දීර්ඝ දුක්, කඳුළු ආදීනවයන් අයිතිකොට ගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නවීන තාක්ෂණය කියන්නේ මාරයාය කියලා. ඔබේ අතේ තිබෙන සෙලියුලර් දුරකථනය, දුකේ මාරයා හැටියටම දකින්න. ඉන්ද්‍රීය සංවරයෙන් යුතුව ඔබේ අධ්‍යාපන කටයුතු සඳහා පමණක්ම ඒවා පරිහරණය කරන්න.

පිංවත, ඔබ වරද, වරදක් හැටියටම දකින්න. වරද ඉදිරියේ ඔබ ඇත්ත කතා කරන්න. තවදුරටත් වරදට නිදැල්ලේ සමාජය තුළ හැසිරෙන්න දෙන්න එපා. වරදට පිංවත් ඔබව පාලනය කරන්න දෙන්නත් එපා. වරදට ඔබව ඉක්මවා යන්න දෙන්නත් එපා. වරද ඉදිරියේ ඔබත් වැරදිකරුවෙක් වෙන්නත් එපා. පිංවත, අපේ නිදහස කියලා කියන්නේ, අපේම මුතුන් මිත්තන්ගේ ලේ සුවඳයි. ඒ ලේ සුවඳ තුළ අතීත විරුවන් කී දාහකගේ ජීවිත පරිත්‍යාගයන් තිබෙනවා ද? අද දවසේ අපි භුක්ති විඳින යහපත් ධර්මයෝ සියල්ලම අතීත ජාතික විරුවන්ගේ මනුෂ්‍යත්වයේ ඵලයයි. ඒ අතීත විරුවන්ගේ පරාර්ථකාමී මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ වර්තමානයේදිත් අපිට සැබෑ නිදහසේ අර්ථය කියා දෙනවා. ගෞරවනීය විරුවනි, ඔබලා ජීවිත පූජා කළේ අපිව ජීවත් කරන්න. සම්මා සම්බුද්ධ සාසනය ජීවත් කරවන්න. ජීවත්වෙන අපේ ජීවිත තුළින් උනන සෑම පිං සිතුවිල්ලක්ම පිංවත් ඔබලාටමයි අයිති. ඔබලා පරලොව ජීවිතයේ දී එම පිං මෙත් සිතින් අනුමෝදන් වේවා! සමස්ත ජාතියේම හෘද සාක්ෂිය මත සැඟවී, ඔබලා අපිට දිනා දුන් ජාතියේ නිදහස හඬා වැටෙද්දී, සියළු පරාර්ථකාමී මනුෂ්‍ය ධර්මයෝ මරාගෙන වර්තමානයේ අසත්පුරුෂභාවයෙන් සමරණ ජාතියේ නිදහස, “නිදහසක්” නොව පරාධීනභාවයේම බන්ධනයක් පමණක්මයි.

පිංවත, ඔබේ පුණ්‍යවන්ත මාතෘභූමිය, ධනයෙන්, බලයෙන්, බවබෝග සම්පත් වලින් බංකොලොත්භාවයට පත්කළේ, සමාජගත වියරු දුශ්ශීල දේශපාලනයයි. තවදුරටත් විනාශයට හේතුව ජීවමානව තිබිය දී “මුහුණු” වෙනස් කරලා මාතෘභූමියට යහපතක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසාම නැවත, නැවතත් ඔබ දුශ්ශීලභාවයෙන් සෞභාග්‍යය බලාපොරොත්තු වෙනවා. කරුණාකර අශ්‍රද්ධාවේ දුශ්ශීලභාවයෙන් මවුබිමට සෞභාග්‍යයක් ලැබිය නොහැකි බව, කර්මය කර්මඵල විශ්වාසයට අදාළව තේරුම් ගන්න. දුශ්ශීල දේශපාලනය වගේම අශ්‍රද්ධාවේ දේශපාලනයන් සම්මා සම්බුද්ධ ශාසනයේ හෙට දවසට අනතුරක්ම බව තේරුම් ගන්න. කරුණාකර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට සහ ශීලයට ගරු කරන ඔබ, පණ ගැහෙන ජාතියේ නිදහසට යළි පණ දෙන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2023/02/19 වන ඉරුදින දිවයින පුවත්පත.