ආර්‍ය අෂ්ටාංගික මාර්ගය තුළින් පෙරට එන්න.

පිංවත, ඔබේ පිංවන්ත මාතෘභූමිය වර්තමානයේ පසුවෙන්නේ ඔත්පලවයි. මහ පොළොව, පරිසරය, ඍතු, අව්, වැසි මේ සෑම දෙයක්ම රෝගීභාවයටම පත්වෙලා, යහපත් සියල්ලම විනාශ වෙලා යද්දී, අයහපත් සියල්ලම මහා වේගයකින් සංවර්ධනය වෙනවා. පිංවත, ඔබේ ලේ, මස්, ඇට, නහර පෝෂණය වුණේ ඇයගේම ජීව රුධිරයෙන්. ඔබ ධර්මය සහ අධර්මය වෙන්කොට හඳුනා ගත්තේ, ඇයගේම පිංවන්ත මව් ගුණයෙන්. ඔබ මනුෂ්‍ය ධර්මයන් ජීවිතයට එකතුකොට ගත්තේ ඇයගේම මනුෂ්‍යත්වයෙන්. පිංවත, දුශ්ශීල දේශපාලනයේ අසත්පුරුෂ ග්‍රහණයන්ට මැදිව මේ මොහොතේ ඇය විඳින දුක, ඇයට පමණක් තනිවම විඳින්න දෙන්න එපා. ඇය විඳින එම දුකෙන් කොටසක් ඔබත් අරගන්න. ඔබට යමක් ලැබුණා ද, ඒ සියල්ලම ඔබට දුන්නේ ඇයම නේද? ඇයි ඔබ තවදුරටත් ආත්මාර්ථකාමීභාවයෙන් අහක බලාගෙන සිටින්නේ? ඇය හඬද්දී, පිංවත් ඔබ සිනාසෙනවා. ඇය දුක කියද්දී පිංවත් ඔබ විනෝද වෙනවා. ඇය ඔත්පලව වැතිර සිටිද්දී පිංවත් ඔබ කාමච්ඡන්දයන්ගෙන්ම සන්තර්පනය වෙනවා. ඇය මරණාසන්න වෙද්දී ඔබ රට හැර යනවා. පිංවත, කෝ ඇය අපට ඉගැන්වූ මනුෂ්‍යකම? පිංවත, ඇය විඳිනා වේදනාවන්ගෙන් අඩක් ඔබත් අරගන්න. ඔබේ පිංවන්ත මාතෘභූමිය වෙනුවෙන් යළි මනුෂ්‍යත්වයට පණ දෙන්න.

පිංවත, ශීලය යම් තැනක ද එතැනයි මනුෂ්‍ය ධර්මයන් තිබෙන්නේ. දුශ්ශීලභාවය උතුම් මනුෂ්‍ය ධර්මයන් හඳුනන්නේ නැහැ. දුශ්ශීලභාවය හඳුනන්නේ මෙලොව සහ පරලොව යන දෙකේම විනාශය පමණක්මයි. පිංවත, දුශ්ශීලභාවයෙන් ඔත්පලකොට දැමූ ඔබේ මවුබිමට, ඔබේ අවංක ශිල්වත්භාවය පරිත්‍යාග කරන්න. ඇය රැකුණොත් පමණක්මයි අපි සියල්ලෝම රැකෙන්නේ. පිංවත, මිථ්‍යා දෘෂ්ටියට මෛත්‍රියේ සහ ශීලයේ ඇස් නැහැ. මිථ්‍යා දෘෂ්ටියට තිබෙන්නේ අවිද්‍යාවේ අන්ධ දෑස් පමණක්මයි. පිංවත, ලෝකය අවිද්‍යාවෙන් හරිම අසරණයි. අවිද්‍යාවෙන් අසරණ ලෝකයට විද්‍යාවේ දෑස් දුන්නේ උතුම් තෙරුවන් සරණ පමණක්මයි. පිංවත, තෙරුවන් සරණ යැයි සිතත්දිම, ජීවිතයට ලැබෙන්නේ මොනතරම් නම් සංසිඳීමක් ද? පිංවත, මේ සන්සිඳීම, සමාජගතවෙන දුශ්ශීලභාවයට උදුරා ගන්න දෙන්න එපා. අනුනගේ අකුසලයෙන් පෝෂණය වූ පව්, ඔබේ කරමත පටවා ගන්නත් එපා. මාතෘභූමියට පිළිලයක් වූ දුශ්ශීල දේශපාලනය සමස්ත ජනතාවම අකුසලයෙන් සහ පවෙන්ම හෙම්බත් කරනවා. ජය පැන් යැයි සිතා සමාජය මේ එක හුස්මට බොන්නේ අකුසලයේම ආශ්වාදයයි. පිංවත, අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන් ගැන සිහිපත් කරනකොට, බුදුරජාණන් වහන්සේ මනා ගමන් ඇති හෙයින් ද, කෙලෙස් ගිනි නිවා දැමූ හෙයින් ද, සුගත නම් වන සේක යැයි සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ පූර්වාදර්ශීව අපිට කියා දුන් මනා ගමන් මග වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පිංවත, සමාජගතව පවතින අකීකරු දේශපාලනයෙන් සමාජය තුළ අකුසලයේ නොමග, කළු ගල් තලාවක් වී තිබුණත්, මෙලොව සහ පරලොව පමණක් නොව මේ දෙඅර්ථයේම නිරෝධය ගැනත් සිතන ඔබේ නිවැරදි මග විය යුත්තේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි.

පිංවත, දේශපාලන අධාර්මිෂ්ඨභාවයන් සමාජය තුළ ශක්තිමත් වෙනකොට, අවිද්‍යාවේ ආශ්වාදයන් හේතුවෙන් ගිහි සහ පැවිදි සමාජයන් තුළින් ද නානාවිධ අවිද්‍යාවේ බයිස්කොප් සමාජගත වෙනවා. පසුගිය දවසක පැවිදි පිංවතෙක් ඔටුනු පැළඳවීමේ අවිද්‍යාවේ සංදර්ශනයක් සමාජගත වී තිබුණා. පිංවත, පංච නීවරණ ධර්මයන්ගේ පෝෂණය වැඩි වී අවිද්‍යාව පෘෂ්ඨිමත් වෙනකොට කායානුපස්සනාවෙන් දැකිය යුතු රූපය අසිහියේ දේවත්වයෙන්ම දකිනවා. වේදනානුපස්සනාවෙන් දැකිය යුතු විඳීම් අසිහියේ උමතුභාවයෙන්ම දකිනවා. චිත්තානුපස්සනාවෙන් දැකිය යුතු සිතුවිලි මමත්වයේ දැඩිභාවයෙන්ම දකිනවා. මේ සියළු ධර්මතාවයෝ අනිත්‍ය යැයි දැකිය යුතු ධම්මානුපස්සනාවටම අධර්මයෙන්ම ඔටුනු පළඳවා ගන්නවා. පිංවත, පුද්ගල සංඥාවෙන් බැහැර වී මේ “සංදර්ශන” අවිද්‍යාව හැටියටම දකින්න. සෝවාන්ඵලයට පත් නොවූ හැම පිංවතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවාය කියන කාරණය ධර්මතාවයක් වෙනවා. පිංවත, මේ ධර්මතාවය වර්තමානයේ ප්‍රභූ ලීලාවෙන්, මහේශාක්‍ය ලීලාවෙන්, සංදර්ශන අසිහියෙන් සමාජගත වෙනවා. පිංවත, සමාජය ඉදිරියේ සිදුවන මේ ආගන්තුක ව්‍යාධීන් ඉදිරියේ ඉක්මන් ද නොවී, ප්‍රමාද නොවී මධ්‍යස්ථ වීර්යය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් පෙරට එන්න. අවිද්‍යාවේ කෙසෙල් ලෙලි වලට පය ලිස්සී, ඔබටත් ඔබේ රූපයට ඔටුනු පැළඳවීමට සිතුණොත් කරුණාකර ඔබේ රූපය කායානුපස්සනාව තුළම විසිරුවා දකින්න. පටිච්චසමුප්පාද ධර්මයන් තුළින්ම ආත්මීය දෘෂ්ටියේ දැක්ම පිරිසිදුකොට ගන්න. අශූචි, මුත්‍රා, ලේ, සැරව ගොඩකට පැළඳවිය යුත්තේ රනින්, මැණිකෙන් ඔපවත් වූ ඔටුනු නොව සතර සතිපට්ඨාන ධර්මයන්ගේම නික්ලේශී ඔටුන්න බව සිහි නුවණින් තේරුම් ගන්න. අපි සියල්ලෝම තවමත් වැරදි කරන ස්වභාවයෙන්ම යුක්තයි. කරුණාකර කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින් වැරදි හඳුනාගෙන නිවැරදි වෙන්න. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යනු උතුම් ධර්ම විනයම රජ කිරීමයි.

පිංවත, අපි සියල්ලම එකතු වී උතුම් ධර්ම විනය ශක්තිමත් නොකළොත් අධර්මයමයි රජ වෙන්නේ. වර්තමානයේ සමාජගත වී පවතින්නේ ඒ අධර්මයේ භූමිකාවයි. මාතෘභූමිය තුළ අතීතයේ පටන් ක්‍රියාත්මක කාමසුඛල්ලිකානු දේශපාලන සංස්කෘතිය දුකට හේතුවෙන තෘෂ්ණාවටම ඔටුනු පළඳවද්දී, කාමසුඛල්ලිකානුභාවයේ ඉව දැනෙන කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වල ගිහි සහ පැවිදි සමාජයේ යම් පිරිසක් තම දැත්වලින්ම තමන්ගේම මෝහයට ඔටුනු පැළැන්දවීම ධර්මතාවයක්ම වෙනවා. පිංවත, භික්ෂුව සමාජගත වැරදි පෙන්වා දෙන්නේ ද්වේශයෙන්, වෛරයෙන් විවේචනය උදෙසා නොවේ. අපි සියල්ලෝම සාංසාරික මවුපිය ඥාතීන්මයි. අපි එකිනෙකා විනයානුකූලව අපි, අපිම නිවැරදිභාවයන් උදෙසා උපකාර කරගත යුතුයි. පිංවත, වර්තමානයේ අපි යන්නේ කොයි පාරේ, වසවර්තියා ගිය පාරේ යැයි කියන්න අකමැත්තෙන් හෝ සිද්ධ වෙලා තිබෙනවා. වසවර්තියා ගිය පාරේ අකුසලයේ, පවේ, ශෝක පරිදේව දුකේ, තෘෂ්ණාවේ පංචකාම දුර්ගන්ධයමයි වහනය වෙන්නේ. පිංවත, මේ සමාජගත වෙන අසීමිත තෘෂ්ණාවේ පංචකාම දුර්ගන්ධය හමුවේ ඔබ ඔබේ නාස්පුඩු වසාගෙන සිටීමෙන් පමණක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මාතෘභූමියේ මවුගුණ හඳුනන, ඒ මාතෘ ගුණයන්ට කෘතගුණ දක්වන, ජාති සහ ආගම්භේද නොතකන පිංවත් ඔබ ශීලයේ ශක්තියෙන් මේ දුශ්ශීල කඩතුරාව ඉරාගෙන පෙරට එන්න. අකුසලයෙන් සහ පවෙන් අඩු සමාජයක් තුළින් ඔබ උපන් මාතෘභූමියට සහ මාතෘභූමිය ඔබට දැක්වූ මහා බ්‍රහ්ම ගුණයන්ට අපේ මේ කෙටි ජීවිත කාලය තුළ දී කෘතගුණ දක්වන්න.

පිංවත, ඔබ ඉපදුනේ හම්බ කරලා, කාලා, බීලා, විනෝද වෙලා, මැරිලා යන්න නොවේ. ඉහත ධර්මතාව අයිති තිරිසන් ලෝකයට. පිංවත, ඔබ ඉපදුනේ පිනෙන්, කුසලයෙන්, භව නිරෝධයෙන් කියන තුන් අර්ථයෙන්. අවම වශයෙන් එක අර්ථයක්වත් ජය ගන්න. මේ උතුම් අර්ථයන් පූර්වාදර්ශීව ඊළඟ පරම්පරාවට උරුමකොට දෙන්න. පිංවත, ඔබේ සියතින් ඔබේ යුතුකම් පක්ෂය එල්ලා මරන්න එපා. ඔබේ යුතුකම් පක්ෂය කෘතවේදීව ජීවත් කරවන්න. ඊළඟ පරම්පරාවට අකුසලය සහ පව නොව පින සහ කුසලය දන් වැටක් සේ පූජා කරන්න. පිංවත් ඔබ සුව සේ කවදාක හරි මිය ගියත් ඉහත පින ඔබට අයිතියි. උපන් මාතෘභූමිය දැන දැන අනතුරට යවලා මෙලොව සහ පරලොව යන දෙකටම ණයකරුවෙක් වෙන්න එපා.

පිංවත, ධම්මානුපස්සනාව කියන්නේ සුන්දර ධර්මයක්. ධම්මානුපස්සනාවෙන් තොර දෙයක් නම් මේ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සිදු වෙන්නේ නැහැ. යම් පිංවතෙකුගේ හෝ යම් පිරිසකගේ අකුසල් සංස්කාර වැඩිවෙන්න, වැඩිවෙන්න එම අධි අකුසල් සංස්කාර විසින් දැනීම් සකස්කොට දෙන්නේ තව තවත් අකුසලය දිශාවටම යෑමටයි. අපේ රටේ සමස්ත දේශපාලනයට සිද්ධ වෙලා තිබෙන්නේ ඉහත අකරතැබ්බයයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළ මේ පුණ්‍යවන්ත භූමිය යමෙක් අධර්මිෂ්ඨභාවයෙන් විනාශකොට දමයි ද, සොරකමින් බංකොලොත්කර දමයි ද එවැනි අකුසල් දීර්ඝ සතර අපා දුකම උරුමකොට දෙන්න පුළුවන්. පිංවත, සමාජගත වෙන හොඳ සහ නරක හේතුඵල ධර්මයන්ට අදාළව විග්‍රහකොටදීම සංඝ සමාජය සතු සාමීචිපටිපන්න ගුණයක්. යහපත් දේශපාලනයක් හේතුවෙන් යහපත් සමාජයක් බිහි වෙනවා. අයහපත් දේශපාලනයක් හේතුවෙන් අයහපත් සමාජයක් බිහි වෙනවා. මෙය ධර්මතාවක්. භික්ෂුව ඔබට මේ අනුශාසනා කරන්නේ යහපත්, ශිල්වත් දේශපාලනයක් තුළින් යහපත්, ශිල්වත් සමාජයක් උදෙසා ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන්න කියලයි. මේ සටහන් තුළ කිසිම දේශපාලනයක් නැහැ. පිංවත් ජනාධිපතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ පිංවතුන් දෙසිය විසිපස් දෙනාටම “සුවපත් වේවා” යැයි සිතමින් කළයුතු ධර්මානුකූල ක්‍රියාන්විතයක් ගැනයි භික්ෂුව මේ සටහන් තබන්නේ.

පිංවත, අධාර්මිෂ්ඨ දේශපාලන කුණාටු වලට මැදිව අනෝරා පංච නීවරණ වැසි වසින සමාජයක, පිංවත් ගිහි සහ පැවිදි සමාජයේ චේතනාවන්, ලෝභ, ද්වේශ, මෝහ දියෙන් තෙත් වෙනවාය කියන කාරණය අපිට පුදුමයක් නොවේ. පිංවත, අධර්මයේ බොරුව සතුටින්ම පිළිගන්න ලෝකය තුළ, ධර්මයේ ඇත්ත හරිම දුර්ලභයි. පිංවත, ඔබත් සුලභ මිනිසුන් අතර දුර්ලභ මනුෂ්‍යත්වයෙන් යුත් පුද්ගලයෙක් වෙන්න. පිංවත, මිථ්‍යා දෘෂ්ටියෙන් පිරුණු ලෝකය කවදත් පංච නීවරණයන්ගෙන් අවලස්සනයි. ඒ අවලස්සන ලෝකය දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දකින සති සම්බොජ්ඣඬ්ඟයන්ගෙන් ලස්සන කරන්න ඕනේ පිංවත් ඔබමයි. පිංවත් ඔබ ළඟ නිවැරදි සති සම්බොජ්ඣඬ්ඟය තිබෙනවා නම්, ප්‍රීතිය සහ පස්සද්ධිය ඔබට තුරුල් වෙලාමයි සිටින්නේ. එවිටයි පිංවත් ඔබට පුළුවන්කම ලැබෙන්නේ සමාධිය සහ උපේක්ෂාවට ඔබ ළඟට එන්න යැයි අත වනන්න. පිංවත, මෙච්චර ලස්සන ධර්මයක් එහි අර්ථය නොදන්නාකමින් විනාශකොට දමන්න හදන පිංවතුන්ලාව ඉන් මුදා ගැනීමට, පිංවත් ඔබ ශීලයේ ශක්තියෙන් සමාජයට ඉදිරිපත් වෙන්න. එයයි මේ මොහොතේ ඔබට කළ හැකි අග්‍රම පිංකම වෙන්නේ.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2022 දෙසැම්බර් 11 වන ඉරුදින දිවයින පුවත්පත.