පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඵස්සය අසල සීරුවෙන් පසුවෙද්දී සිත විවේකයට ගොඩාක් කැමැතියි. පින්වත් ඔබේ ඵස්සය පංච නීවරණයන්ට ගොදුරු වුණොත්, සිත සෙල්ලමටමයි කැමති වෙන්නේ. එවිට සිත ඇලීම් සහ ගැටීම් සෙල්ලම්වල සිරකරුවෙක් වෙනවා. ඊයේ දිනය පුරාවට ඔබ තුළ සිතුවිලි කොතෙක් නම් ඇති වෙන්න ඇති ද? ඒ එකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ. අනිත්‍ය වූ ඵස්සය හේතුවෙන් සකස් වූ සිතුවිලි පමණක්මයි. පින්වත ඔබ තුළ සකස්වෙන සිතුවිලි මම ය කියලා ගන්න එපා. එම සිතුවිල්ල තුළ මා සිටිනවා, මා තුළ එම සිතුවිල්ල තිබෙනවා යැයි ගන්න එපා. සකස්වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වූ ඵස්සයක් හැටියටම දකින්න. පින්වත පංච නීවරණයන් ඉදිරියේ සිත පාලනයකින් තොරව අයාලේමයි යන්නේ. අවසානයේ අපිට කියන්නට සිද්ධ වෙන්නේ මොනවා වුණා ද කියලා මම දන්නේ නැහැයි කියලා. පින්වත සති සම්බොජ්ඣඬ්ගය ඉදිරියේ විවේකී සිතුවිලි තමන්ට හොඳින් පෙනෙනවා. තමන් එම සිතුවිලි ධර්මානුකූලව විනිවිද දකිනවා. සිතුවිලි නිහඬව දකිද්දී ඔබ මෙතෙක් නොදැක්ක ධර්මයක් කෙරෙහි වීර්යය ඇති වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින වීර්යය ඉදිරියේ ඔබේ සිත ප්‍රීතියට සහ සැහැල්ලුවටමයි පත්වෙන්නේ. පින්වත් ඔබට, ඔබේම ඵස්සය විනිවිද පෙනෙනවා. ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් සෙල්ලම් තාවකාලිකව නවතිනවා. විඳීමේ සෙල්ලම් යටපත් වූ විට ඔබ තුළ ඇති වෙන්නේ සංසිඳුණු සිතක ධර්මයේ උපේක්ෂාව පමණක්මයි. පින්වත දැන් ඔබට පුළුවන් ඔබ තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක් තුළින්ම සප්ත බොජ්ඣඬ්ගයෝ මතුකොට දකින්න.
පින්වත අපි තුළ ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවේ තීන්ත තිබෙන තුරාවට අපි සංසාර කළුලෑල්ලේ භව චිත්‍ර අඳිනවා. කෙලෙස් මතින් රූටා හැලෙන සිතුවිල්ලෙන්, සිතුවිල්ල සංස්කාර කළුලෑල්ලේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම, සතර අපා භව රූපයන් අපි නිරතුරුවම සිත්තම් කොටගන්නවා. මේ සටහන කියවන මොහොතේ ඔබ පසුවෙන්නේ කුසල් සිතකින් නේද? මේ කුසල් සිත ඔබම ඔබේ සංස්කාර භව කළුලෑල්ලේ සුන්දර දිව්‍ය හෝ මනුෂ්‍ය රූපයන් සිත්තම් කරමිනුයි සිටින්නේ. පින්වත ඔබේම පටිච්චසමුප්පන්න සංස්කාර භව කළුලෑල්ලේ ඊළඟ ජීවිතය සිතුවම් කරන සිත්තරා ඔබමයි. පින්වත අද දවසේ ඉපදුන දරුවාත් සංස්කාර කළුලෑල්ලේ භව චිත්‍ර අඳින පුංචි සිත්තරෙක්මයි. පින්වත මවුකුසේ වැඩෙන කලල රූපයටත් එය එසේමයි. අපි මොනතරම් දක්ෂ සිත්තරුන් වුවත්, භික්ෂුවට නම් තවම අලියෙක්වත් රූපයට නගා ගන්න බැහැ. භික්ෂුව චිත්‍ර අඳින්න නම් හරිම අදක්ෂයි. හදවතේ දුක් ගිනි පුරවාගෙන මුවින් සිනාසෙන පින්වත් මනුෂ්‍යයෝ, ජීවිතය අකුසල් වලින් පුරවාගෙන බාහිරින් බෝධිසත්ත්වභාවයෙන් හැඩවැඩවෙන පින්වත් පින්වත් මනුෂ්‍යයෝ බලාපොරොත්තු කඳු ගොඩ ගසාගෙන හැසිරීමෙන් සරලභාවය පෙන්වන පින්වත් මනුෂ්‍යයෝ මරණ බිය සිතුවිල්ලක්, සිතුවිල්ලක් පාසා සඟවාගෙන කැලෑ පරිසරයේ නිදහසේ කල්ගෙවන තිරිසන් සතුන්, පින්වත මේ මොන චිත්‍රය ඇන්දත් අපි අපිවම රවටා ගත්තා වෙනවා. භික්ෂුව වඩාත් කැමති ඇසට පෙනෙන බාහිර රූපයට නොවේ. භික්ෂුව වඩාත් කැමති හදවතින්, හදවතට රිංගා බලන්න. එහෙම බලද්දී මනුෂ්‍යත්වයේ සුවඳ සහ දුශ්ශීලභාවයේ, අකුසලයේ දුගඳ ගැන ලස්සන චිත්‍ර මැවිලා පෙනෙනවා. පින්වත දුක සඟවාගත් සිනාමුසු බාහිර රූපයන් දැකලා නැවත වතාවක් ලෝකයට රැවටෙන්න එපා. රූපයට සැඟවුණ වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ලෝකය විනිවිද දකින්න. එතැනයි ලෝකය ගැන කළකිරීමට හොඳම කමටහන් තිබෙන්නේ. පින්වත රූපය අවිද්‍යාවෙන් උපන් මායාවක්. එම මායාවට ආශ්වාදයේ පියාපත් ලැබෙද්දී අපිවත් ඩැහැගෙනමයි සංස්කාර ලෝකයට පියාඹන්න හදන්නේ.
පින්වත ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක, දුක හැටියට දකින්න. දුක තිබෙන්නේ සඟවාගෙන ජීවත් වෙන්න නොවේ. දුක තිබෙන්නේ සතුටින් පිළිගන්නත් නොවේ. සමාජයේ ජීවත්වෙන පින්වත් මනුෂ්‍යයෝ මොනතරම් නම් දුක සඟවාගෙන ජීවත් වෙනවා ද? ලෝකයට පෙන්වන සිනා රැල්ලක් යට සැඟවී මොනතරම් නම් දුක් ගින්දර තිබෙනවා ද? පින්වත දුක තවදුරටත් සඟවාගෙන ජීවත් වෙන්න එපා. දුක චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ විසිරුවා දකින්න. දුකට අපි ඇලුනොත්, දුකට අපි ගැටුනොත් දුක ප්‍රවර්ධනය කරන තෘෂ්ණාවටමයි අපි උපකාර කරන්නේ. පින්වත අනුනට දුක් දෙන්න එපා. අනුන්ව දුකට පත්කොට ඔබ ලබන කෙටි ආශ්වාදය, දීර්ඝ ආදීනවයක් බවට පත්වී පටිච්චසමුප්පන්නව ඔබ පසුපස සෙවනැල්ලක් සේ එනවාමයි. මේ දිනවල රජයේ රෝහල් ආශ්‍රිතව ගොඩාක් දුක්බර කතා ඇසෙනවා ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යමෙක් රෝගීන්ට උපස්ථානය කරයිද, ඔහු බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ දෙය කරපු කෙනෙක් වෙනවාය කියලා. පින්වත සමාජගතවෙන රෝහල් අඳෝනාවන්ගෙන් අපිට පෙනෙන්නේ අපි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මයන්ගෙන් ගොඩාක් ඈතට යන බව නේද? අහිංසක රෝගී පින්වතාගේ බෙහෙත් පෙත්තෙනුත් ගසාකන අපේ මෛත්‍රියට මොක ද වුණේ? මෛත්‍රියේ එක් ආනිශංසයක් තමයි වස විසෙන් හානි නොවීම. වර්තමානයේ අපිට නිරෝගීභාවය ලබාදෙන බෙහෙත් පෙත්තත් වස විසක් වෙනවා යැයි කියන්නේ, අපි හැමෝගේම මෛත්‍රියට කණකොකා හඬලා නේද? කවු ද වර්තමානයේ අපිට මෛත්‍රියෙන් පූර්වාදර්ශ දෙන්න ඉන්නේ? පින්වත් රාජ්‍ය නායකත්වයේ පටන් පින්වත් ගමේ සභිකයා දක්වාම ද්වේශයේ, වෛරයේ, පළිගැනීමේ සහ ගිලිහෙන බලය රැකගැනීමේ වැරදි අමනුෂ්‍ය පූර්වාදර්ශයන්ම නේද සමාජගත කරන්නේ? පින්වත මෛත්‍රිය මරණාසන්න සමාජයක දුශ්ශීලභාවයට අදාළ මිච්ඡා ආජීවයෝ හතු පිපෙනවා වගේම උපදිනවා. පින්වත රටට ජීවිතය ලබාදෙන රටේ මුදුන් මුල වෙච්ච දේශපාලනය කොමිස්, අල්ලස්, දූෂණ සමග එක ගෙදර පවුල් කන මිච්ඡා ආජීවකයක්ම වෙද්දි, රෝගී ජනතාව නිරෝගී කරන ඖෂධයත් අහිංසක ජනතාවට වසක් විසක්වීම හේතුඵල ධර්මයක්ම වෙනවා.
පින්වත ලක්ෂ ගණන් වියදම් කරලා තම නොපෙනෙන දෑස් වලට පෙනෙන කාච දමා ගත්තාය කියලා ඵලක් නැහැ. දහස් ගණන් වියදම් කරලා නොපෙනෙන දෑස් වලට උපැස් ඇම්මාය කියලා ඵලක් නැහැ. පින්වත අපේ ඵස්සයේ ඇස අවිද්‍යාවෙන් අන්ධ වෙලා. අවිද්‍යාවේ දෑස් අපිට පෙන්වන්නේ සැපයට හේතුව තෘෂ්ණාව කියලයි. ඒ නිසාම අපි තෘෂ්ණාව අධික මනුෂ්‍යයින්ගේ අඩි පාරේ යමින් ඈත පෙනෙන සැපයේ මිරිඟුවට මෝහයේ ඇඟිල්ල දිකුකොට පෙන්වනවා. පින්වත අපි සොරකම් කරන පිරිසක් සමග ගමනක් ගියොත් අපේ තිබෙන දෙයත් සොරකමට ලක් වෙනවා. එසේ නොවුණොත් අපිත් සොරුන් බවට පත්වෙනවා. වර්තමානයේ අපේ රටත් ඔතනයි තිබෙන්නේ. එක්කෝ අපි ගෞරවනීය සොරුන් වෙලා, එක්කෝ අපි ගෞරවනීය සොරුන්ගෙන් පීඩාවට පත්වෙලා. පින්වත ලෝකය සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ට අදාළව තට්ටු මාරු ක්‍රමයට පටිච්චසමුප්පන්නව පෙරට යනවා. මේ ජීවිතයේ දී අහිංසක රෝගී ජනතාවගේ ඖෂධ වලින් ගසාකන අසත්පුරුෂ පුද්ගලයා, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේ දී ඖෂධ විෂ වෙලා මිය යන්න පුළුවන්. සමහරවිට වර්තමානයේ ඖෂධ විෂ වීමෙන් සහ බාල ඖෂධ වලින් මියයන පින්වත් රෝගීන් කියන්නේ පෙර ජීවිතයේ දූෂිත ඖෂධ වෙළෙන්දන් සහ දූෂිත ඇමති, නිලධාරීන් වෙන්න පුළුවන්. ඉහත කාරණය භික්ෂුව සටහන් තබන්නේ වරදක් ඇතොත් සමාව යදිමින්මයි.
පින්වත සංස්කාර ලෝකය හරිම සාධාරණයි. පින්වත සංස්කාර ලෝකය සාධාරණ නිසාම අකුසල් විපාකයෝ, ලෝභ, ද්වේශ, මෝහ අකුසල් ධර්මයෝම රජ කරලා තිබෙනවා. වර්තමානයේ රාජ්‍ය විචාරීමේ එකම ධර්මතාවය ලෝභ, ද්වේශ, මෝහයන්මයි. පින්වත අපේ ලොකු මහත්වරුන්ගේ අංක එක ලෝභ සිතයි. අංක දෙක ලෝභ සිතට බාධා වුණොත් ඇතිවෙන ද්වේශ සිතයි. අවසානයේ අපි ලබන්නේ මෝහයට අදාළ ප්‍රතිඵලයන්මයි. අපි සියල්ලෝම මෝහයේ සිරකරුවෝ වෙලා.
පින්වත අපිව කවුදෝ මෙහෙය වනවා. අපිත් යන්නන් වාලේ ඔහේ යනවා. පින්වත අපිව මෙහෙය වන්නේ චතුරාර්ය සත්‍යය ගැන නොදන්නා වූ මනුෂ්‍යයෝ. චතුරාර්ය සත්‍යය ගැන නොදන්නා වූ මනුෂ්‍යයෝ දුක මිස සැපය හඳුනන්නේ නැහැ. පින්වත සැපය යැයි කියලා අපි මෙතෙක් අයිතිකොටගෙන තිබෙන්නේ දුකම නේද? අපි මේ හති දමමින් තවදුරටත් දුවන්නේ දුක දෙසටම නේද? පින්වත ඔය සකස්වෙන සිතුවිල්ල ළඟ නවතින්න. ජීවිතය මොහොතක් තෘෂ්ණාවෙන් හිස්ව තබා ගන්න. දැන් ඔබට අරමුණු වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ ඇතිවීම නැතිවීම පමණක්මයි. පින්වත දුකෙන් පිරුණු ජීවිතයක් තුළින් තාවකාලිකව හෝ සප්ත බොජ්ඣඬ්ගයන්ගේ සතුට මොහොතක් ලබන්න. සමාජගතවෙන ආශ්වාදයේ සංදර්ශන අසිරිය තුළ සල්ලි කොළ විසි කරමින් පංච නීවරණ හරි හරියට හම්බ කරන පින්වත් ගෞරවනීය මිනිසුනේ, නොමිලේ ලැබිය හැකි සප්ත බොජ්ඣඬ්ගයන්ගේ ප්‍රීතිය, පස්සද්ධියට ඔබේ සිතට ඉඩ දෙන්න. අවිවේකී මනුෂ්‍යයෝ විවේකී ජීවිත දකින්නේ අලසකමක් හැටියට. විවේකී ජීවිතයක් අලසකම මරා දැමූ වීර්යය තුළයි ජීවත් වෙන්නේ. පින්වත වීර්යයට සැබෑ ආයෝජනය වෙන්නේ හේතුඵල ධර්මයන් නුවණින් දකින ධර්මයේ උපේක්ෂාවයි. පින්වත ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකය දකින්න. එවිට ඔබ දකින්නේ හේතුඵල ධර්මයක්මයි. ධනවත්, දුප්පත් මනුෂ්‍යයෝ, උගත් සහ නූගත් මනුෂ්‍යයෝ, නිරෝගී සහ රෝගී මනුෂ්‍යයෝ, කුලවත් සහ කුලහීන මනුෂ්‍යයෝ, සුරූපී සහ විරූපී මනුෂ්‍යයෝ පින්වත මේ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ විවිධත්වයෙන් උපදින සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයෝමය.
පින්වත සමාජය උපේක්ෂා ධර්මයෝ ප්‍රතික්ෂේප කොට ඇලීම් සහ ගැටීම් තුරුළු කොටගෙන මේ යන්නේ කොයිබට ද? ලොවුතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය යැයි කියන්නේ මාරයාය කියලා. රූපය අවිද්‍යාව හේතුවෙන් උපදින නිසාත්, රූපය ශුක්‍රානුවක සහ ඩිම්බයක මුහුවීමකින් හැඩගැන්වෙන නිසාත්, රූපය ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට හේතුවෙන නිසාත් රූපය මාරයාම වෙනවා. පින්වත අපි දුකට මුල්වෙන රූපය හෙවත් මාරයා ආශ්වාදයෙන් වින්දොත් අපිට අයිති වෙන්නේ මාර විපාකයන්ම නේද? පින්වත් තරුණ සුරූපී පාසල් ගුරුවරියක් කියනවා, තමන් ඉංග්‍රීසි විෂය උගන්වන දහවැනි ශ්‍රේණියේ පිරිමි දරුවෙක් කියනවලු, මම ඉංග්‍රීසි විෂයට කැමතිම නැහැ, මම ටීචර් ඉංග්‍රීසි උගන්වන වෙලාවට පන්තියේ සිටින්නේ ටීචර්ගේ ලස්සන රූපය බලලා රස විඳින්නය කියලා. පින්වත අධ්‍යාපනය නමැති මවුකිරි පාසල් දරුවාට පොවන දරුවාගේ දෙවෙනි අම්මා වන ගෞරවනීය ගුරවරියගේ රූපය විඳින ගෝලයෝ, අනාගත සමාජයේ සියලු ගුණාත්මක ධර්මයෝ රස විඳලාම හපයක් කොට දමාවි නේද? පින්වත රටට විනයක් අවශ්‍යයි. විනය පිරිහීගිය සමාජයක අහිංසක පාසල් දරුවාත්, රාජ්‍ය නායකත්වයේ පටන් පින්වත් නිලධාරීන් දක්වාත් යහපත් සියල්ල විනාශ කරන්නන් මිස ආරක්ෂා කරන්නන් නම් වෙන්නේ නැහැ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
මහ රහතුන් වැඩි මග ඔස්සේ,
July 30, 2023.