අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා.

පිංවත, වෙලාව දහවල් දොළහයි, මුළු කැලෑ පරිසරයම මීදුමින් වැසිලා. හේතුවකින් තොරව ඵලයක් ඇති වෙන්නෙ නැහැ. කම්මුලට අත තබාගෙන සිතන්න උත්සාහ කළත්, භික්ෂුවගේ සිත වර්තමානයෙන් ඔබ්බට යන්නේම නැහැ. පිංවත මේ වෙන දේවල් ගැන සිතලා ඵලක් නැහැ. පිංවත් මනුෂ්‍යයාගේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගලාගෙන යන තෘෂ්ණාවේ සැඩපහර, පිංවත් මනුෂ්‍යයාගේම සංස්කාර ගල්වැටි පෙරළාගෙන, භවාත්‍රය නමැති මහා සාගරයටම ගලාගෙන යනවා. පිංවත, සත්ත්වයාගේ තෘෂ්ණාවෙන්ම උපදින සංස්කාරයන්ගෙන් පිරී ඉතිරී යන මහා සාගරය, අනාගත කල්ප විනාශයක දී සිඳී වැලි තලාවක් බවට පත්වෙන්නේත්, සත්ත්වයාගේම සංස්කාර අපයෝජනයන් නිසාමයි. වර්තමානයේ සිදුවන සෑම දේශගුණික විකෘතියක්ම මනුෂ්‍යයාගේම අධි තෘෂ්ණාවේ හේතුඵල ධර්මයන්මයි. පිංවත, ඔබේ වර්තමානයට, අනාගතය ගොඩ නගන්න දෙන්න එපා. ඔබේ ඵස්සය අසල දී ඔබ සන්සුන් වෙන්න. අපි අපේ ඵස්සය අසල දී සන්සුන් නොවුණොත්, ඒ නොසන්සුන් වූ ඵස්සයට පුළුවන්, අපි හැමෝගේම සතර අපා බදු ගිවිසුම, තව තවත් සක්‍රීයකොට දෙන්න. පිංවත, ඔබේ ජීවිතයේ දැක්ම පිරිසිදුකොට ගන්න. රූපය තුළින් මම නොදැක, රූපය තුළින් අවිද්‍යාව දකින්න. විදීම් මම යැයි නොසිතා, අවිද්‍යාව ලෙසම දකින්න. අසංවර ඉන්ද්‍රිය ශීලය, සංවරකොට ගන්න. තෘෂ්ණාවේ නොසන්සිඳෙන රසය, ප්‍රත්‍යවේක්ෂාවෙන් විනිවිද දකින්න. ඔබගේ ඉඳුල් වු ඵස්සය යළි බඹසරෙහි පිහිටුවන්න.

පිංවත, ඔබේ සළායතනයන්ගේ ඵස්සයෙන් ඔබේ සංස්කාර ලෝකය ධනවත් කරන්න එපා. පිංවත, වැරදි අසත්පුරුෂ දේශපාලන ක්‍රියාකාරකම් නිසා, මුළු සමාජයම කාමච්ඡන්දයන්ගෙන් තිරිහන්කොට ඇති පරිසරයක් තුළ, අපි කෙසේ නම් පිංවත් ජනතාවට ඉන්ද්‍රීය සංවරභාවය ගැන, ප්‍රත්‍යවේක්ෂාව ගැන කරුණු පහදා දෙන්න ද? අපේ පිංවත් දේශපාලන පිංවතුන්, පිංවත් ගුරුවරු, දෙමාපියන්, වැඩිහිටියන් සෑම විටම කල්‍යාණමිත්‍රභාවයෙන්, අපිට පූර්වාදර්ශී විය යුතුයි. නොමිනිස්කම් සමාජගත කරන ලොකුම විෂ බීජය වෙන්නේ, අධර්මිෂ්ඨභාවයෙන්ම පෝෂණය වූ රාජ්‍ය පාලනයයි. පිංවත, නොමිනිස්කම හේතුවෙන් උපදින සියළුම දරු මුණුබුරෝ පංච නීවරණ ධර්මයෝමය. පිංවත, මනුෂ්‍ය සමාජය තුළ පංච නීවරණ ජයග්‍රහණය, මනුෂ්‍ය ජයග්‍රහණයට වඩා වැඩිවෙලා. එක පිංවත් මනුෂ්‍යයෙක් තුළින් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණ සිතුවිලි, සැකය යන අධර්මයන් පහක්ම වැඩෙත්දි, මනුෂ්‍ය ජයග්‍රහණය ඉක්මවා පංච නීවරණ ශක්තිය දෝරෙ ගලා යනවා. පිංවත, අපේම අතීත කුසල් සංස්කාරයෝ කෙසේ නම් පංච නීවරණයෝ තුළින් සකස්කොට දෙන වර්තමාන අකුසල් සංස්කාරයන්ට ඔරොත්තු දෙන්න ද?

පිංවත, ඔබේ ජීවිතය අයිති ඔබට නොවේ, අවිද්‍යාවටයි. පිංවත, ඔබේ සැප සහ දුක් අයිති ඔබට නොවේ, ඒවා අයිති අවිද්‍යාව හේතුවෙන්ම සකස්වෙන සංස්කාරයන්ටයි. පිංවත, ඔබේ දැනීම් හේතුවෙන් සකස්වෙන සිතුවිලි අයිති ඔබට නොවේ. ඔය සිතුවිලි මෙහෙය වන්නේ සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණ ධර්මයන්මයි. පිංවත මනුෂ්‍ය ජීවිත තුළ අවිද්‍යාව වැඩිවෙනකොට, අකුසල් ඵල බර වී, අපේ සිතුවිලි ආත්මීය දෘෂ්ටියේ සහ මමත්වයේ කෙලෙස් රසයමයි ලබා දෙන්නේ. ආත්මීය දෘෂ්ටියේ හැඩ සහ රුව මතුකොට පෙන්වන විලාසිතාව වෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකෙන් පිරි “ආදීනවය” අවිද්‍යා පෙට්ටගම තුළ සඟවා, රූපයේ සහ කාමයේ ඇස්බැන්දුම් ආශ්වාදය මහමෙරක් කොට පෙන්වීමයි. පිංවත, මොහොතක් ඔය බරට බරේ කරේ තබාගෙන සිටින තෘෂ්ණාවේ බර බිමින් තියලා, ඔබේ කෙලෙස් මොහොතක් නිදි ගන්වා, ලෞකික ප්‍රඥාව තද නින්දෙන් අවදිකොටගෙන, නික්ලේශීව සිතන්න. අතීත සහ අනාගත භවාත්‍රයේ දිග, පළල සහ භවාත්‍රයේ අතිශය ගැඹුර ගැන. පිංවත, භවාත්‍රයේ අතීත සහ අනාගත ගැඹුර දකිත්දි, මේ වර්තමාන මනුෂ්‍ය ජීවිතය මොනතරම් නම් පුංචි තිතක් ද? පිංවත, සංස්කාර ඉදිරියේ දිගින් සහ පළලින් අනන්තයක්ම වූ අනාගත පංච උපාදානස්කන්ධ ලෝකය තුළ අපි ලැබූ මේ ජීවිතය නමැති පුංචි තිත ජාති, ජරා, ව්‍යාධි දුකේ ප්‍රශ්නාර්ථයක් බවට පත්කොට ගන්න එපා. පංච උපාදානස්කන්ධ කතාවේ නැවතීමේ තිතක් බවටම පත්කොට ගන්න.

පිංවත, දුවන්නන් වාලේ දුවන ලෝකයක් තුළ, ඔබේ සිත, ඔබ ළඟම නතරකොට ගන්න. එවිටයි ඔබට හැකියාව ලැබෙන්නේ සමාධිමත් සිතකට ගොඩවෙන මුල්ම පියගැටපෙළ ස්පර්ශ කරන්න. සසල නොවූ නිසල පංච උපාදානස්කන්ධ ලෝකයක් තුළ පංච නීවරණ ධර්මයෝ මරාගෙන උපදින සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ, සැබෑ ලෞකික සැපයේ දොරටුව වෙනවා. පිංවත, ඔබත් ලෞකික සැපයේ මව්දෙමාපියන්ගේ අතිජාත දරුවෙක් ද? එසේත් නැතිනම් අකීකරු දරුවෙක් ද? පිංවත, අපි සියල්ලෝම පංච නීවරණයන්ගෙන් පෝෂණය වෙන අවිද්‍යාවේ දරුවෝ. ඒ නිසාම අපි සියල්ලන්ගේම ජාන පංච නීවරණ සහිතයි. සමාජයේ එක් පිංවතෙක් වැරදි කරනවා, සමාජයේ තවත් පිංවතෙක් එම වැරදි විවේචනය කරනවා. ඒ දෙදෙනාගේම ජාන සංයුතිය පංච නීවරණයෝමයි. පිංවත, අවිද්‍යාව හරිම කපටියි. ඇත්ත සහ බොරුව යන දෙකම අවිද්‍යාව තම ග්‍රහණයට ගන්නවා. පිංවත, අවිද්‍යාවෙන් උපදින සංස්කාරයන්ගේ ඇස්බැන්දුම් ලෝකය තුළ, වැරදි කිරීමත්, වැරදි විවේචනය කිරීමත් ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීමේ රූකඩයක්ම වෙනවා. පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය දුර්වලවෙන අනාගත සමාජය තුළ ඉතිරි වෙන්නේ වැරදි කරන පිංවතුන්ලා සහ එම වැරදි විවේචනය කරන පිංවතුන්ලා පමණක්මයි. මේ දෙපාර්ශවයේම ජාන සංයුතිය පංච නීවරණ ධර්මයෝමයි. මේ දෙපාර්ශවයේම දෙමව්පියෝ අවිද්‍යාවමයි. පිංවත, අවිද්‍යාව ප්‍රශ්න විසඳන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රශ්න අවුල් කරනවා. අවිද්‍යාව යම් තැකක ද එතැන තෘෂ්ණාවේ දුඟඳින් උපදින අවුලක් තිබෙනවා. අපි මේ අවුල නොලිහා ගන්නා තෙක්ම, සංස්කාරයෝ බොර දියේ මාළු බානවාය කියන කාරණය ධර්මතාවයක්ම වෙනවා.

පිංවත, අවිද්‍යාවට දරදිය අදින, වැරදි කිරීම සහ එම වැරදි විවේචනය කිරීම පසෙක තබා අපි ජීවත්වෙන සමාජයේ සාමාජිකයන් තුළින් අවිද්‍යාව අඩු කිරීමේ ක්‍රියාන්විතයකට පිංවත් ඔබ පෙළ ගැසෙන්න. මේ කරුණාබරිත සත්කර්තව්‍යය උදෙසා මුලින්ම පිංවත් ඔබ අවිද්‍යාවේ වහල්භාවයට යටත් නොවෙන්නෙක් වෙන්න. ඒ කියන්නේ ඇලීම් සහ ගැටීම් වලින් තොරව අධ්‍යාත්මික සහ බාහිර ප්‍රශ්න දෙස බලන්න පුහුණු වෙන්න. තෘෂ්ණාවේ මාරයාට, මාරයාගේ ගොදුරු බිමේ මාරයාට ගොදුරක් නොවී ජීවත් වෙන්න උත්සාහ ගන්න. ඊයේ හවස්යාමේ අවසරයකින් තොරවම මහත්මයෙක් කුටියට පැමිණියා. භික්ෂුව එම මහත්තයාගෙන් ඇසුවා, ඇයි මේ අවේලාවේ පැමිණියේ කියලා. ඒ මහත්මයා පෙරළා අහනවා, ඇයි ස්වාමීන් වහන්සේට මාව සැකයි ද කියලා. භික්ෂුව කිව්වා මහත්තයෝ, මට මහත්තයාව සැක නැහැ. නමුත් අවිද්‍යාව සැකයි කියලා. පිංවත, අවිද්‍යාව නමැති මාරයා පංච උපාදානස්කන්ධ ලෝකයේ දී අපි හැමෝවම තමාගේ සහ අනුනගේ සැකයට ලක් කරනවා.

පිංවත, තවදුරටත් දේශපාලන ලෝකය තුළ සිදුවන සොරකම්, වංචා, දූෂණයන්ට නොගැටී, ආවේගශීලීව ප්‍රශ්න දෙස බලන අධර්මයෙන් බැහැර වෙලා මේ වියරු ඵලයන්ට එකම හේතුව කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයෙන් උපන් දුශ්ශීලභාවය ම බව නුවණින් දකින්න. පිංවත් ඔබ හැකිතාක් කල්‍යාණමිත්‍රභාවය සමාජගත කරන්න. ශිල්වත්භාවය සමාජගත කරන්න. පිංවත් ඔබත් වැරදිකරුවන් පසුපස හඹායන තවත් වරදකරුවෙක් නොවී හේතුඵල ධර්මයන්ට අදාළව සත්‍යය සමාජගත කරන්න. පුද්ගල සංඥාවන්ට එරෙහිව පෙළ ගැසෙන්න එපා. පුද්ගල සංඥාවන්ට එරෙහිව පෙළ ගැසුණොත් ඔබ තුළ ද්වේශය, වෛරය, පළිගැනීම මයි ඇති වෙන්නේ. පිංවත, මෙතෙක් මේ මාතෘභූමියේ සියළු විනාශයන්ට මුල් වූ දුශ්ශීල දේශපාලන පිංවතුන්ලා සියළු දෙනාටම “සුවපත් වේවා” යැයි සිතමින්, මාතෘභූමියේ නිවැරදිභාවය උදෙසා ධර්මානුකූල ආරම්භයක් ඇතිකොට ගන්න. පිංවත, දුශ්ශීලභාවයේ ස්වාක්ඛාත ගුණය ඉතාමත් සරලව සහ විවෘතව අපේ සමාජය තුළ ප්‍රකටව පෙනෙනවා වගේම, අපි තුළ පූර්ණ විශ්වාසයක් තිබෙන්න ඕනේ, ශිල්වත්භාවයේ උතුම් ස්වාක්ඛාත ගුණය යළි සමාජය තුළ ඇතිකොට ගත්තොත් ශීලයේ උතුම් ආනිශංශ ධර්මයන් යළි සමාජය තුළ විවෘතව බබලනවාය කියන කාරණය පිළිබඳව.

පිංවත, මාතෘභූමිය තුළ නිදන්ගතව පවතින දුශ්ශීල දේශපාලනය ධර්මානුකූලව විවෘතකොට දක්වමින් ඉරිදා දිවයින ලිපි පෙළට සටහන් කිහිපයක්ම තැබුවේ ආණ්ඩු පෙරළවන්න හෝ ආණ්ඩු පිහිටුවන්න නොවේ. මෙතෙක් පැවති අධාර්මිෂ්ඨ පාලනයන් හේතුවෙන් සමාජගත වී ඇති අධි තෘෂ්ණාවෙන් ලෞකික සැප සොයාගෙන යන අවිද්‍යාවේ වියරුව යම් පමණකට හෝ පාලනය කොට සමාජය තුළ යළි මනුෂ්‍ය ධර්මයන් පෝෂණය කිරීමේ අත්‍යාවශ්‍යභාවය පෙන්වාදීම සඳහාමයි. එය එසේ නොවුණොත් මේ දේශපාලන කළුකඩ මුදලාලිලා විසින් අපි හැමෝම ජාත්‍යන්තරයේ ණයකාර වහලුන් බවට පත්කර දමනවා නියතයක්මය. පිංවත, අපි සියල්ලෝම අවිද්‍යාවේ අණසකට යටත්ව ජීවත්වෙන නිසාම, භික්ෂුවගේ අදහස පිළිගැනීම හෝ නොපිළිගැනීම පිංවත් ඔබගේ වගකීමකි. සියල්ල තීරණය වෙන්නේ, අපේම සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම් මුල්කොටගෙනමය. පිංවත් ඔබලා තවදුරටත් මෙතෙක් පැවති දුශ්ශීල දේශපාලනය කෙරෙහි විශ්වාසය තබනවා නම්, ඊට එකම හේතුව අපේම අකුසල් සංස්කාරයන්ගේ බලවත්භාවයයි. මාතෘභූමිය යළි ආත්මගරුත්වයෙන් යුතුව ඔසවා තැබීමට අවශ්‍ය කුසල් සංස්කාරයන්ගේ දුර්වලභාවයයි. භික්ෂුවගේ ඉහත අදහස් සමාජය තුළින් තරයේ ප්‍රතික්ෂේප වුවත්, එහි වගකිවයුත්තා සමාජගත අවිද්‍යාවේ තීව්‍රභාවයමයි. භික්ෂුව මේ අදහස් දක්වන්නේ අද දවසේ බඩගෝස්තරය උදෙසා නොවේ. අවිද්‍යාව විසින් උදුරාගෙන ඇති මාතෘභූමියේ, සම්බුද්ධ ශාසනයේ, ළමා සහ තරුණ පරපුරේ හෙට දවස උදෙසාමයි. පිංවත, කරුණාකර අවංක, ශිල්වත්, උපන් මාතෘභූමියට ආදරය කරන ඔබ, ශිල්වත් සමාජයක් උදෙසා සමාජයට ඉදිරිපත් වෙන්න. තවදුරටත් ඔබේ අවංක සහ දක්ෂභාවයන් සඟවා තබාගෙන සිටින්න එපා. පිංවත, කරුණාකර ධර්මය, ධර්මයේම පෝෂණය උදෙසා ප්‍රයෝජනයට ගන්න. ධර්මය, අධර්මයේම වර්ධනයට යොමු කරන්න එපා.

පිංවත, අවිද්‍යාවට එරෙහිව අවිද්‍යාවම ප්‍රයෝජනයට ගැනීම සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේම මායාකාරීත්වයක්. අවිද්‍යාවේ ජන්ම ගතිය වෙන්නේ අසීමිත දුකට හේතුවෙන තෘෂ්ණාවට ඉණිමං තැබීමයි. පිංවත, හෙට දවස තීරණය කරන්නේ පිංවත් ඔබලා විසින් නොව, පිංවත් ඔබලාගේම සංස්කාරයෝ විසින්මයි. පුංචි හෝ යහපත් හෙටක් උදෙසා අද දවසේ කුසලයෙන් නැගී සිටින්න. ඔබේ පිංවත් මාතෘභූමියට මරණය නොව ජීවත්වීමට ආයුෂය, වර්ණය, සැපය, බලය ලබා දෙන්න සත්පුරුෂ වෙන්න.

මේ උතුම් ධර්ම දානමය පිංකම් වල ශක්තියෙන් දෙසැම්බර් මස 20 වැනි දින ජන්ම දිනය යෙදී ඇති මගේ උපාධ්‍යායන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක නාහිමිපාණන් වහන්සේට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂත්, උතුම් සද්ධර්මයේ අර්ථයන් තව තවත් වැඩෙන සුබ උපන් දිනයක් වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.