අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර.

පිංවත, වර්ණවත්, සුගන්ධවත් මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජීවිත වලට එකතුකොට ගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි, මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත, අපි ආශ්වාදයට ආදරය කළොත් එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත, ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකට. පිංවත, අපි දුක් තුරුල් කරගෙන, ආශ්වාදයටම ආදරය කරනවා. තෘෂ්ණාව යම් තැනක ද එතැන අවිද්‍යාවේ ඇස තිරිහන් වෙනවා. පිංවත, ඔබේ දෑස් හැර හොඳින් ලෝකය දෙස බලන්න. කොහේ බැලුවත් අවිද්‍යාවෙන්ම උපන් ඔබේ ඇසෙන් ඔබ දකින්නේ අවිද්‍යාවමයි. පිංවත, ලෝකය අවිද්‍යාවටම අයිති වෙද්දී, අපි දුක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි දුක බලාපොරොත්තු නොවුණොත්, අනිත්‍ය වන සැපය ඉදිරියේ අපිට ඉතිරි වෙන්නේ බලාපොරොත්තු කඩවීම පමණක්මයි. අපි සියල්ලෝම අවිද්‍යාවේ දරුවෝ. අවිද්‍යාවේ දෙතනින් අපි උරා බිව්වේ සංස්කාර මවු කිරිමයි. සංස්කාර මවු කිරෙන් පෝෂණය වෙන දැනීම් තුළිනුයි අපි දෙපා තබාගෙන සිටින ලෝකය අපිම ගොඩ නගන්නේ. පිංවත, ලෝකය වැරදි නම්, පිංවත් ඔබයි නිවැරදි විය යුත්තේ.

පිංවත, ලෝකය තෘෂ්ණාවේ අවි උපයෝගී කොටගෙන ඉර, හඳ, තාරකා ජයගන්න පුළුවන්, ලෝකය තාක්ෂණයෙන් කිරුළු දරන්න පුළුවන්. නමුත් ලෝකයා එක දෙයක් සිතන්න ඕනේ, ලෝකය තුළ මේ මොහොතේ පවතින මේ සංහිඳියාව පෝෂණය වෙන්නේ, තවමත් නොනැසී පවතින ලෞකික ප්‍රඥාවේ, ශීලයේ, සමාධියේ ශක්තිය නිසාය කියන කාරණය නුවණින් තේරුම් ගන්න. පිංවත, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන අත්තිවාරමේ ශක්තිය මත සිටගෙනයි තවමත් මේ ලෝකය සිනාසෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කර්මය කර්මඵල විශ්වාසය, දානයේ, ශීලයේ ආනිශංස කෙරෙහි විශ්වාසය ලෝකයෙන් ගිලිහී ගියොත් ලෝකය තුළ ඉතිරි වෙන්නේ විනාශයේ කඳුළු පමණක්මයි. භික්ෂුව මේ ආසනය මත වාඩිවෙලා නුවණින් දකිනවා, මීට වසර දෙදහස් හයසීයකට පෙර බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම්, මේ උතුම් චතුරාර්ය සත්‍යය සමාජගත නොවුණා නම් වර්තමාන ලෝකය මොනතරම් නම් අකුසලයේම වියරුවක් වෙන්න පුළුවන් ද? වර්තමානයේ ලෝකය මේ ලබන සංසිඳීම තුළ භික්ෂුව දකින්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේවමයි. උතුම් ශ්‍රී සද්ධර්මයමයි. ඒ උතුම් සද්ධර්මයට පූර්වාදර්ශී වූ සංඝ සමාජයමයි. ඉහත අර්ථය යම් පිංවතෙකුට විහිළුවක් සේ පෙනෙන්නට පුළුවන්. ඒත් ඊට වගකිව යුත්තේ ඔබ නොවේ. ඔබේ ශක්තිමත් අවිද්‍යාවමයි. පිංවත් ඔබ බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය තුළ ජීවත් වෙන මොහොතක් පාසා පිංවත් ඔබ සමස්ත ලෝකයාටම වර්තමානයේ ලබන සාමය, සංසිඳීම ශක්තිමත්කොට දුන්නා වෙනවා. පිංවත් ඔබේ ලෞකික ප්‍රඥාවෙන්, ශීලයේ ශක්තියෙන් ගොඩනගා ගත් සප්ත බොජ්ඣඬ්ඟයන් තුළින් ඔබ සමස්ත ලෝකයේම සාමය, සංසිඳීම තවදුරටත් ජීවත් කරවන්න. උතුම් සද්ධර්මයේ අර්ථයන් නැති ලෝකය තමන්ගේ අම්මා, තාත්තා හඳුනන්නේ නැති ලෝකයක්. තමන්ගේ මවුදෙමාපියන් අනාථ නිවසකට එසේත් නැතිනම් නම්බුකාර සැඳෑ බෝඩිමකට යවන ලෝකයක්. පිංවත, කොටින්ම දෙමාපියන් නමැති මහා බ්‍රහ්මයා එපා කියන ලෝකයක්. පිංවත, සද්ධර්මයේ අර්ථයන් මරාගෙන උපදින මිථ්‍යා දෘෂ්ටියේ “අවතාරයන්” මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සංඥාවන් ලෙස දකින්න එපා. ලෝකය තුළ බෞද්ධ ජනගහනය දුර්වල වුව ද, මේ නිමේෂයේදිත් ලෝකය පවතින්නේ උතුම් සද්ධර්මයේ ආශීර්වාදය තුළින්මයි. පිංවත, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ නිමේෂයේදිත් ලෝකයට අප්‍රකටව කියලා දෙන මෛත්‍රිය, ශීලය, ත්‍යාගය, සමාධිය ගැන සිතලා ඔබ සතුටු වෙන්න. මෙය සටහන් තබන භික්ෂුව නම් දන්නවා මේ දක්වා තුන්වෙනි ලෝක යුද්ධයක් පමා වුණේ, උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝක ගතකොට තිබෙන මෛත්‍රියේ, ශීලයේ, ත්‍යාගයේ පූර්වාදර්ශයන් නිසාමයි කියලා. පිංවත, අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර, උතුම් තෙරුවන්ට කුමන අපහාසයන් සිදු කළත්, එම අපහාසයනුත් අපේ ශීලයේ, මෛත්‍රියේ ශක්තිය උදෙසාමයි අපි යොමුකොට ගතයුත්තේ.

පිංවත, රටේ පාලක පිංවතුන්ලා අධාර්මික වෙද්දි දුශ්ශීලභාවයට, අවිනයට, අධර්මයට ගරු කරනවා. අධර්මයට රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙනවා. මේවා කවදත් ලෝකයේ තිබුණ ස්වභාවයන්. පිංවත, ලෝකය කුසලය සහ අකුසලය යන දෙකටම අයිති වෙද්දි අපිට ලෝකය තුළ හොඳ පෙරහැරක් පමණක් දකින්න බැහැ. අනිවාර්යයෙන්ම අකුසලයට අදාළ නරක පෙරහැරකුත් තිබෙනවා. පිංවත, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයින් අට දෙනාගෙන් එක් කෙනෙක්. අපි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙතයි. ඒ නිසාම අපිට සත්පුරුෂ මනුෂ්‍යයින්, දෙවියන්, බ්‍රහ්මයන් හදවතින්ම වන්දනා කරනවා. පිංවත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කියන්නේ සිංහ සෙයියාවෙන් විදර්ශනා වන පෙතේ සිංහනාද කරන පිරිසක්. පිංවත, භික්ෂුව පිංවත් ඔබට මේ උගන්වන්නේ, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමැති මහා සිංහයා අපිට ඉගැන්වූ සිංහ චර්යාවයි. පිංවත, සමාජගත වෙන මේ දුශ්ශීල නාඩගම් ඉදිරියේ ඔබ අකම්පිත වෙන්න. කම්පිතවීම සිංහ සෙයියාවට ගැලපෙන්නේ නැහැ. පිංවත, සැබෑ සිංහයා කියන්නේ තම ඵස්සය ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ගෙන් නොකම්පිත කොටගන්නා ශ්‍රාවකයාටයි. මේ ශ්‍රාවකයා අවිද්‍යාව විදර්ශනා ප්‍රඥාවෙන් විනිවිද දකින්නෙක්. මේ ශ්‍රාවකයා මුළු පංච උපාදානස්කන්ධ ලෝකයම “දුක” කියන එක අර්ථයට ගන්නවා. මේ ලෝකයම “තෘෂ්ණාව” කියන එකම හේතුවට ගන්නවා. එම ශ්‍රාවකයා හේතුඵල ධර්මයෝ ධම්මානුපස්සනාවෙන් විනිවිද දකිද්දී, ඒ අකම්පිත ශ්‍රාවකත්වය දුකෙන් පිරි ලෝකයම කම්පිත කරනවා. පිංවත, භික්ෂුව මේ සටහන් තබන්නේ සිංහල බෞද්ධ ඔබේ ලේ උරුමයේ කතාවයි. ඔබේ ලේ නහර පුරා දුවන රත් පැහැ ලෙය, ආපෝ ධාතුවක් වුවත්, ඔබේ ලේ නහර පුරා දුවන රත් පැහැ රුධිරය දෙතිස් කුණපයක් වුවත්, මේ රුධිරයෙන් පෝෂණය වෙන ඔබේ ජීවිතය, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සළායතනයන්ම වුවත්, මේ සියල්ලම හේතුඵල ධර්මයන්ගෙන් කළමනාකරණය කොටගෙන අපි ලබන අවබෝධය ධර්මාවබෝධයක්ම වෙනවා.

පිංවත, බැඳීම් කියන්නේ තෘෂ්ණාවේ ඵලයයි. කුමක් ද අපි විඳින්නේ, එතැන තෘෂ්ණාව යළි යළිත් උපදිනවා. යම් රූපයක් වින්දනය කරලා ඇති වෙනකොට එම රූපය කෙරෙහි තෘෂ්ණාව, උපාදානය හීන වෙලා යනවා. ඉහත ධර්මතාවය නිසාමයි ගිහි පිංවතුන්ලා විවාහ වෙනකොට නීතිමය ගිවිසුමකට බැඳෙන්නේ, අපි දෙදෙනා අයිති, අපි දෙදෙනාට පමණක්මයි කියලා. පිංවත, ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ඔබ දෙදෙනාත් අයිති ඔබ දෙදෙනාටම පමණක්ම ද කියලා. පිංවත, එය එසේම නම් පිංවත් ඔබ දෙදෙනාගේ බැඳීම තුළ වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං කියන ධර්මතාවය තවමත් ලෞකික ප්‍රඥාවට අදාළවම සක්‍රීයව පවතිනවා. පිංවත, ලෝකයේ මුල අවිද්‍යාව නිසා කොහේ බැලුවත් ධර්මයක්මයි අපි දකින්නේ. ධර්මය දැක්කත් තවමත් අපිට කර්මය හරස් වෙනවා. ධර්මය, ධර්මයක් සේම දකින්න. පිංවත ධර්මය කියන්නේ ස්වභාව ධර්මයයි. පංච උපාදානස්කන්ධ ධර්මයෝ නිත්‍ය වශයෙන් දකින තාක්කල් සළායතනයෝ උපදිනවා. සළායතනයන්ගේ ඵස්සය තුළ අවිද්‍යාව තිබෙන තාක්කල් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තිබෙනවා. පිංවත, කර්ම නියාම, ධර්ම නියාම, ඍතු නියාම, බීජ නියාම ස්වභාව ධර්මයේ නොවෙනස්වන ගලේ කෙටූ නීතියයි. මේ ස්වභාව ධර්මයේ නීතිය කල්ප විනාශයකදීත්, ඉන් ඉක්බිති නැවත නැවුම්ව ලෝකය ගොඩ නැගෙද්දිත් නොවෙනස්වම සක්‍රීයයි. උතුම් තෙරුවන්ගේ ආයුෂය, වර්ණය, සැපය, බලයත් මේ ස්වභාව ධර්මයේ නීතියට යටත් ධර්මතාවයන්මයි. පිංවත, ලෝකය පණ ගැහෙන්නේ ඔබේ හෘද සාක්ෂියේ රිද්මයටයි. මේ අකාරුණික පංච උපාදානස්කන්ධ ලෝකය තුළ එකම කාරුණික ධර්මතාවය, පිංවත් ඔබ විසින්ම මොනවාට ධර්මයෙන් හික්මවා ගත්තා වූ ඔබේ කල්‍යාණමිත්‍ර සිතමයි.

පිංවත, බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කරනවා, මහණෙනි, සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න. මහණෙනි, ශිලයට, සමාධියට, විදර්ශනා ප්‍රඥාවට, ඥාන දර්ශනයන්ට, විමුක්තියට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. පැවිදි අපි සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ලක්ෂ ගණන් මිථ්‍යා දෘෂ්ටික ගිහි පිංවතුන්ලා, ලක්ෂ ගණන් මිථ්‍යා දෘෂ්ටික, ශ්‍රද්ධාව හීන දෙවියන්, බ්‍රහ්මයින් පැවිදි අපේ අධර්මානුකූල හැසිරීම් විවේචනය කරලා, ඒවාට නිගරු කරලා අපාගත වෙයි කියලා. ගෞරවනීය පිංවත, පැවිදි අපි වචනයක් කතා කරද්දී, ඉරියව්වක් පවත්වද්දී, සමාජය සමග කටයුතු කරද්දී පැවිදි අපි තේරුම් ගන්න ඕනේ, පැවිදි අපේ හොඳ සහ නරක හේතුවෙන් පිංවත් ගිහි සමාජය ද කුසලයෙන් සහ අකුසලයෙන් මෝරා යනවා ය කියන කාරණය.

පිංවත, පැවිදි අපිම, අපේ උතුම් ශීලයේ වැටකඩුළු කඩාබිඳ දමලා, අපේ සතිය සිහිය අපෙන් ඈතට පළා ගියාට පසුව සමාජගත වියරු මිථ්‍යා දෘෂ්ටියෙන් සහ නිර්ආගමික පොලු මුගුරු වලින් අපිට පහර වදිද්දී, එම වියරු පහරදීම් වලට වග කියන්න බුදුරජාණන් වහන්සේට බැහැ. උතුම් ධර්මරත්නයට බැහැ. මේ අවාසනාවට වගකිව යුත්තේ අපිමයි. කරුණාකර අපේ ශීලයේ වැටකඩුළු යළි ශක්තිමත් කොටගෙන මේ නිර්ආගමික උමතුවට අපි මුහුණ දෙමු. අශ්‍රද්ධාව මුල් වී නිර්මාණය කරන මෙවැනි මැජික් විජ්ජාවන්ගේ එකම යටි අරමුණ පවතින දුශ්ශීල දේශපාලනය, උතුම් සම්බුද්ධ ශාසනයේ ගැලවුම්කාරයන් ලෙස නැගී සිටීමේ ව්‍යාජ මිථ්‍යාව පමණක්ම බව, නුවණින් තේරුම් ගන්න. පිංවත, වියරු තෘෂ්ණාව ඉදිරියේ සතිය සහ සිහියෙන් වර්තමානය විග්‍රහ කොටගන්න දක්ෂ වෙන්න.

අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2023/01/15 වන ඉරුදින දිවයින පුවත්පත.